හැඳින්වීම


            දේවී භාගවත මහාපුරාණය යනු හින්දු ආගමේ ව්‍යාස මුණිවරයන් විසින් සංස්කෘත භාෂාවෙන් රචිත පුරාණ ග්‍රන්ථ 18න් එකකි. මෙම පුරාණය සර්ග 12කින් සහ පරිච්ඡේද 318කින් සමන්විත වේ. ශක්තී ධර්මය තුළ මුඛ්‍ය ලියවිල්ලක් වන මෙම පුරාණය විශ්වයේ මූලය එනම් බ්‍රහ්මන් ලෙස ආදි පරාශක්තිය අර්ථ දක්වයි. මෙහි සියළුම පැවැත්මේ නිර්මාතෘ, සංරක්‍ෂකයා සහ විනාශ කරන්නා මෙන්ම අධ්‍යාත්මික විමුක්තිය ලබා දෙන දෙවියන් වහන්සේගේ ස්ත්‍රී ස්වරූපය වර්ණනා කරයි. හින්දු ධර්මයේ සියලුම ප්‍රධාන පුරාණ තුළ දේවිය පිළිබඳව සඳහන් කර ගෞරව කර ඇතත්, මෙම පුරාණයෙහි මූලික වස්තු විශ්වය ඇය වටා කේන්ද්‍රගත වේ. මෙහි අද්වෛත වේදාන්ත දාර්ශනික එකවාදය හා ශක්ති වන්දනය මිශ්‍ර කොට ඇත.

හින්දු විශ්වාසය අනුව පරම දෙවිඳුන්ගේ ලිලාවන් වර්ණනා කරන්නා වූ පුරාණ ග්‍රන්ථය වන්නේ භාගවත පුරාණය යි. වර්තමානයේ භාගවත පුරාණ ද්විත්වයක් දැකිය හැකි අතර එනම් විෂ්ණු භාගවත පුරාණය සහ දේවී භාගවත පුරාණය යි. ඇතැම් විද්වතුන්ට අනූකූලව ව්‍යාස විසින් රචනා කළ සත්‍ය භාගවත මහාපුරාණය දේවී භාගවත පුරාණය වන අතර ශිව පුරාණය, ස්කන්ධ පුරාණය, කුර්ම පුරාණය, වරහා පුරාණය එයට මැනවින් සාධක සපයයි. එය භගවති දේවිය මෙන්ම කෘෂ්ණ දෙවිඳුන්වද මැනවින් වර්ණනා කරනු ලබයි. විෂ්ණු භාගවත පුරාණය මෑතකදි බෝපදේව නම් කතුවරයෙකු විසින් රචනා කෙරු මුලාශ්‍රයක් බවත් ඇතැම් විද්වතුන්ගේ මතයයි.

මෙම පුරාණය ස්ලෝක 18,000 සහ සර්ග 12කින් සමන්විත වේ. ශක්ත නිකායේ මූලිකම ග්‍රන්ථයක් වන මෙය විශ්ව මාතාව පිළිබඳව මූලිකවම අවධානය යොමු කරයි. එහි දිව්‍යමය ස්ත්‍රීත්වය සඳහන් වන්නේ සියලු පැවැත්මේ ආරම්භය, මැවුම්කරු, ආරක්ෂා කරන්නා සහ සියල්ල විනාශ කරන්නා මෙන්ම මුක්තිය ප්‍රධානය කරන්නිය ලෙසය.
ශ්‍රිමද් දේවී භාගවතම් යන්නෙහි සංක්ෂිප්ත අර්ථය වන්නේ භාග්‍යවත් දේවියගේ බැතිමතුන් යන්නයි.
  • ශ්‍රීමද්, ශ්‍රීමත් (සංස්කෘත: श्रीमत्) යන්නෙහි අරුත් වන්නේ ශුද්ධ, තේජාන්විත හෝ ශ්‍රීමත් වන අතර එය ගෞරවනීය ආගමික පදවි නාමයකි.
    • ශ්‍රී (සංස්කෘත:श्री) යන්නෙන් අදහස් කරන්නේ සමෘද්ධිමත් බවයි. ප්‍රධාන වශයෙන් විෂ්ණුගේ පතිනිය වන ලක්‍ෂ්මී දේවියටද යනුවෙන් ආමන්ත්‍රණය කරයි. ඒ හැරුණු කොට භුවනේශ්වරී දේවියටද ශ්‍රී මාතා නමින් ආමන්ත්‍රණය කරයි.
  • දේවී (සංස්කෘත: देवी) යනු දේව යන්නෙහි ස්ත්‍රී ලිංග පදයයි.
  • භාගවත, භාගවතම් හෝ භාගවත් (සංස්කෘත: भागवत) භාග්‍යවන්තයාගේ බැතිමතුන් යන්නයි. දේවී භාගවත පුරාණයේ භාග්‍යවත් තැනැත්තා හෙවත් දෙවියන් වහන්සේ ලෙස සඳහන් වන්නේ දේවියයි.
  • පුරාණ (සංස්කෘත:पुराण) යනු පෞරාණික සහ පැරණි (හෝ පැරණි ඉතිහසය) යන්නයි.

භාගවත පුරාණයේ මහිමය පුරාණය තුළ මෙලෙස දක්වා තිබේ.

ශ්‍රීමත් දේවී භාගවතම්, පළමුවන සර්ගය, 2වන පරිච්ඡේදයේ, ශ්ලෝක 17:18
"මෙලෙස වේද ව්‍යාස විසින් මෙම භාගවත පුරාණය තුළ සර්ග සහ පරිච්ඡේදයන් ගණනාවකට වෙන් කරනු ලැබුවේය. එම ශ්ලෝක ප්‍රමාණය 18,000ක් බව දැනටමත් දක්වා තිබේ. පුරාණය තුළ පහත සඳහන් ලක්‍ෂණ පහ ඇතුළත් වේ: (1) සර්ග (විශ්ව නිර්මාණය), (2) ප්‍රතිසර්ග (දෙවන නිර්මාණය), (3) වංශ (රාජවංශයන්), (4) මන්වන්තර (මනු යුග). (5) වංශ නුචරරිත (මනු සහ අනෙකුත් රජවරුන් පිළිබඳ විස්තර)."

ශ්‍රීමත් දේවී භාගවතම් පළමුවන සර්ගය, 1වන පරිච්ඡේදයේ, ශ්ලෝකය 21
"ඕ සුත! අමෘතය පවා පානය කිරීමෙන් මුක්තිය නොලැබෙන්නේය. නමුත් භාගවත ශ්‍රවණය කිරීමෙන් යළි යළි මැරි ඉපදෙන මෙම සංසාරයෙන් මුක්තිය ලැබෙන්නේය." 

දේවී භාගවත පුරාණය ඉතාමත් උත්තරීතර වන අතර එය පරායනය කරන්නන් හට ධර්මය, ඉච්ඡාවන්, ලෞකික සමෘද්ධිය සහ මුක්තිය යන සියල්ල ප්‍රධානය කරයි. දේවී භාගවත පුරාණයේ මහිමය පිළිබඳව ස්කන්ද පුරාණයෙහි මානස ඛන්ඩය තුළ සඳහන් කර ඇත. මෙය සාමාන්‍ය පුරාණයක් නොවන අතර මහාභාරතය සහ රාමායණය මෙන්ම උත්කෘෂ්ටය. මෙම උසස් ලියවිල්ලෙහි ප්‍රධාන දේවිය වන්නේ භුවනේශ්වරී දේවියයි. ඇය පරාශක්තියෙහි සිව්වන මහා විද්‍යා ස්වරූපයයි. ලලිතෝපාඛ්‍යානය තුළ දේවියගේ ත්‍රිපුර සුන්දරී ස්වරූපය මූලික වන අතර දේවී භාගවතම් තුළ භුවනේශ්වරී ස්වරූපය මූලික කොටගැනේ. එතුමියගේ වාසභවනය වන මණිද්වීපය පිළිබඳව දොළොස්වැනි සර්ගයේ දසවැනි පරිච්ඡේදය තුළ විස්තරාත්මක සඳහන් කොට තිබේ. පුරාණය තුළ සඳහන්ව තිබෙන ආකාරයට දේවියගේ ස්වරූපය ඉතාමත් සුන්දර සහ දයාන්විත වන අතර ඇය බැතිමතුන්ගේ සියලු ඉච්ඡාවන් සම්පූර්ණ කරයි. දේවියගේ බැතිමතුන්ට හට මෙම සංසාරය තුළ ප්‍රාප්ත කළ නොහැකි යමක් නොමැත. මේ අනුව, මෙම පුරාණය බැතිමතුන්ට දැඩි ශක්තියක් ලබා දෙයි.  ඇය සංසාර මායාව මෙන්ම බ්‍රහ්මවිද්‍යාව (පරම සත්‍ය) යන ද්විත්වයම වේ. ඇය සර්වබලධාරී බ්‍රහ්මන් සේම විශ්වයේ පුරුෂ සහ ස්ත්‍රි ශක්තියයි. ඇයව සරලව වටහා ගත නොහැකි අතර ප්‍රඥාව තුළින් පමණක් අවබෝධ වන්නේය. සමස්ථ පුරාණය තුළ ඇයගේ තේජස ඇයගේ ශක්තිය වර්ණනා කරන්නා සේම බැතිමතුන්ට බ්‍රහ්මවිද්‍යාව ප්‍රාප්ත කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීමද ලබාදෙයි.

ශ්‍රීමත් දේවී භාගවතම් සර්ග දොළහකින් සහ පරිච්ඡේදයන් 318කින් සමන්විතය.

පළමු සර්ගයේ මෙම පුරාණයට පාද වන මූලික අවස්ථාවන් පිළිබඳව සඳහන් වන අතර භාගවත පුරාණයේ උත්කෘෂ්ට බව, අනෙකුත් පුරාණයන්ගේ තොරතුරු සමඟ පරිච්ඡේදයන් විස්සක් අඩංගු වේ. දෙවන සර්ගයෙහි වේද ව්‍යාස පිළිබඳව, මහාභාරතය ආදි ඓතිහාසික කරුණු අඩංගු වේ. මෙහි පරිච්ඡේද දොළහකී. තෙවන සර්ගයේ පරිච්ඡේදයන් තිහක් ඇති අතර විශ්වයේ දෙවන නිර්මාණය (ප්‍රතිසර්ග) පිළිබඳව විස්තර කෙරේ. ශ්‍රි කෘෂ්ණ සහ ශිවගේ ස්වරූප පිළිබඳව විස්තර කෙරෙන සිව්වන සර්ගයෙහි පරිච්ඡේදයන් විසිපහකි. ඉතාමත් සුවිශේෂී පරිච්ඡේදයන් විසිපහක් අඩංගු පස්වැනි සර්ගයේ දුර්ගා සප්තශතී හී මෙන් දේවියගේ දයාව සහ ශක්තිය පිළිබිඹු කෙරෙන වීර කාව්‍යන් පිළිබඳව විස්තර කෙරේ. මහාදේවගේ උත්කෘෂ්ටභාවය පෙන්වන ලිංගෝද්භව ස්වරූපය පිළිබඳ පුවතද සඳහන් වේ. පරිච්ඡේද තිස් එකක් අඩංගු හයවැනි සර්ගයෙහි මෙම වීර කාව්‍යන් තව දුරටත් විස්තර කෙරේ. හත්වැනි සර්ගය වේදාන්ත කරුණු පිළිබඳව වැඩි වශයෙන් සඳහන් කරමින් වඩාත් දාර්ශනික භාවයක් ගනී. බ්‍රහ්මන් පිළිබඳ යථාර්ථය මෙන්ම ආත්මන් සහ බ්‍රහ්මන් එකක්, බවත් එය වටහා ගත් විට මුක්තිය ලැබෙන බව යන අද්වෛත වේදාන්ත සංකල්පය තහවුරු කරයි. පරාශක්තිය තහවුරු කරන පරිදි මෙම දැනුම පැමිණෙන්නේ මායාවෙන් පිරුණු ලෝකයෙන් වෙන් වී තම ආත්මය ගැන මෙනෙහි කිරීමෙන් ය. මෙම ඥානය ඇය විස්තර කරන්නේ හිමාලය රජුටයි. දේවිය සහ රජු අතර ඇති වන මෙම උතුම් සංවාදය දේවී ගීතා ලෙසින්ද හඳුන්වයි. 

අටවැනි සර්ගය තුළ මූලික වශයෙන් සඳහන් වන්නේ ලෝක විශයයි.  භූ මණ්ඩලය, ජම්බුද්වීපය ඇතුළු සප්ත මහා ද්වීප පිලිබඳව තොරතුරුද, චන්ද්‍රයා ඇතුළු අනෙකුත් ග්‍රහයන්ගේ චලනයන්ද, විවිධ නිරයන්ගේ තොරතුරුද සඳහන්ව තිබේ. මෙම සර්ගයේ පරිච්ඡේදයන් විසි හතරකි.

විශාලතම සර්ගය වන නවවැනි සර්ගයේ පළවෙනි පරිච්ඡේදය තුළ පංච ප්‍රකෘතිය හෙවත් දේවියගේ පංච ස්වරූප වන දුර්ගා, ලක්ෂ්මී, සරස්වතී, සාවිත්‍රී සහ රාධා යන ස්වරූප පිළිබඳව විස්තරාත්මකව සඳහන් වන අතර විශ්වයේ ප්‍රාථමික නිර්මාණ අවස්ථාවේදි ශ්‍රී පරම කෘෂ්ණගේ ප්‍රකට වීම, ත්‍රිමූර්තියි සහ ත්‍රිදේවීන්ගේ ප්‍රකට වීම ආදියද සඳහන් වේ. දසවැනි සර්ගය පරිච්ඡේද දහතුනකින් සමන්විත වේ. මෙය. දේවි භාගවත පුරාණයේ කෙටිම සර්ගයකි. මෙහි මනුගේ නිර්මාණයන් සහ සංසාරයේ සෑම කාලයකම දේවිය නමස්කාර කරන බව සඳහන් වේ. එකොළොස්වැනි සර්ගය තුළ පුද්ගලයෙක් වශයෙන් තිබිය යුතු ගුණධර්ම සහ ධර්මය ගැන සාකච්ඡා කරනු ලැබේ. මෙම කොටස මඟින් සෘති වර්ණනා කරන අතර ස්මෘති සහ පුරාණ ද මඟ පෙන්වීම සඳහා වූ මූලාශ්‍ර බව සඳහන් කෙරේ. රුද්‍රාක්ෂ පිළිබඳව මෙන්ම පස් ආකරයේ යාගයන් පිළිබඳවත් සඳහන් වේ. මෙහි පරිච්ඡේදයන් විසි හතරකි. පරිච්ඡේද දහහතරකින් සමන්විත දොළොස්වැනි සර්ගය අවසාන සර්ගය වන අතර මෙහි ආධ්‍යා ශක්තිය (ප්‍රාථමික, මූල ශක්තිය) ලෙසත්, ගායත්‍රි මන්ත්‍රයේ හරය ලෙසත්, වේදයේ මාතාව ලෙසත් දැක්වේ. 10 වෙනි පරිච්ඡේදයේ සිට 12 වන පරිච්ඡේදය දක්වා වෛකුන්තය සහ ගෝලෝකයට ඉහළින් පිහිටි මණිද්වීපය නම් දේවියගේ උත්තරීතර වාසස්ථානය පිළිබඳ විස්තර අඩංගු වේ. 

මෙම මහා පුරාණය දින නවයක් පුරා කියවීම නවහ යාගය ලෙසින් හඳුන්වයි. මෙය බැතිමතුන්ගේ සියලු ඉච්ඡාවන සඵල කර අතර අති මහත් කුසලයන්ද රැස් වේ.  කියවිය යුතු ආකාරය මෙසේය. 

  • පලමු දින තෙවන සර්ගයේ 13 වන පරිච්ඡේදය දක්වා.
  • දෙවන දිනයේ සිව්වන සර්ගයේ 08 වන පරිච්ඡේදය දක්වා.
  • තෙවන දිනයේ පස්වන සර්ගයේ 18 වන පරිච්ඡේදය දක්වා.
  • සිව්වන දිනයේ හයවැනි සර්ගයේ 18 වන පරිච්ඡේදය දක්වා.
  • පස්වැනි දිනයේ හත්වන සර්ගයේ 18 වන පරිච්ඡේදය දක්වා.
  • හයවැනි දිනයේ අටවන සර්ගයේ 17 වන පරිච්ඡේදය දක්වා.
  • හත්වෙනි දිනයේ නවවැනි සර්ගයේ 28 වන පරිච්ඡේදය දක්වා.
  • අටවන දිනයේ දහවැනි සර්ගයේ 13 වන පරිච්ඡේදය දක්වා.
  • නවවැනි දිනයේ දොළොස්වන සර්ගයේ අවසානය දක්වා.