Tuesday 1 August 1995

1) ශෞනක ඇතුළු පිරිසගේ ගැටලු


सर्वचैतन्यरूपां तामाद्यां विद्यां च धीमहि ।

बुद्धिं या नः प्रचोदयात ।।

සර්වචෛතන්‍යරූපාම් තාමාධ්‍යාම් විද්‍යාම් ච ධීමහි 
බුද්ධිම් යා න ප්‍රචෝදයාත

1. මා ආරම්භයක් නොමැති බ්‍රහ්ම විද්‍යාව වන සර්වචෛතන්‍ය රූපී, සියලු විඥානයන්ගේ යථාර්ථය උදෙසා  ධ්‍යාන වඩමි. එය සාක්ෂාත් කරගැනීමෙහි ලා ඇය අපගේ බුද්ධිය උත්තේජනය කරනු ඇත.

2. ශෞනක : ඕ භාග්‍යවත් සූත! ඕ උතුම් සූත! ඔබ පුද්ගලයන්ගෙන් විශිෂ්ටම වන්නේය. ඔබ සියලු යහපත් පුරාණ හොඳින් අධ්‍යයනය කර ඇති හෙයින් ආශීර්වාද ලත් අයෙකු වේ.

3.පාපයෙන් තොර වූ තැනැත්තානෙනි! ක්‍රිෂ්ණ ද්වෛපායන විසින් සම්පාදනය කරන ලද සියලු පුරාණයන් දහ අටම ඔබ අධ්‍යයනය කර තිබේ. මේවා විශිෂ්ඨ ගති ලක්‍ෂණ පහකින් සහ ගුප්ත අර්ථ භාවයෙන් පිරී ඇත.

4-5. ඕ පාපයෙන් තොර වූ තැනැත්තානෙනි! ඒවා ඔබ ගිරවෙකු මෙන් පරායනය කරා නොව, ඔබ සත්‍යාවති පුත්‍ර ව්‍යාස මුණිවරයාගෙන් ඒවා ශ්‍රවණය කර ඇති හෙයින් ඒවායේ අරුත් මනාව ග්‍රහණය කර තිබේ. කලි යුගයේ බලපෑමක් නොවන මෙම දිව්‍යමය ශුද්ධ විශ්වසන ක්ෂේත්‍රය වෙත පැමිණීම අප ලද පුණ්‍යකි.

6-10. ඕ සූත! මෙම මුණිවරුන් මෙහි රැස්ව සිටින්නේ ආගමික කුසලයන් ලබාදෙන ශුද්ධ වූ පුරාණයක් ශ්‍රවණය කිරීම සඳහාය. එබැවින් ඔබේ මනස ඒකාග්‍රතාවයෙන් යුතුව එය අපට විස්තර කරන්න. ඕ සියල්ල දන්නා සුත! දිගු කල් ජීවත් වී තුන් කල් පවතින දුකෙන් නිදහස් වන්න. ඕ භාග්‍යවත් තැනැත්තානෙනි! වේදයන් හා සමාන වන පුරාණය අපට දේශනා කරනු මැනවී. පුරාණයන් ශ්‍රවණය නොකරන්නාට පැහැදිලිවම මිහිර වදන් ඇසීමට ශ්‍රවණ ඉන්ද්‍රිය ඇතත් එය මැවුම්කරු විසින් නිසැකවම අහිමි කර ඇත; මන්ද, සය ආකාරයේ රසයන්ගෙන් (පැණිරස, ඇඹුල්, සැර, කටුක, ලුණු සහ කහට රස) රස ඉන්ද්‍රියයන් තෘප්තිමත් වන්නා සේ, ශ්‍රවණ ඉන්ද්‍රියන් තෘප්තිමත් වන්නේ නුවණැති මිනිසුන්ගේ වදන් ශ්‍රවණය කිරීමෙන් පමණි. එය සියල්ලෝම දන්නා කරුණකි. සර්පයන් හට පාරිශුද්ධ වදන් ශ්‍රවණය කිරීමට ශ්‍රවණේන්ද්‍රියන් නැත. එසේනම් ඇයි ශ්‍රවණේන්ද්‍රියන් සහිත පුද්ගලයන් බිහිරන් මෙන් පුරාණ ශ්‍රවණය කිරීමට නොකැමැත්තක් දක්වන්නේ?

11.-18. ඕ සෞම්‍ය! මෙම බ්‍රාහ්මණයන් මෙම නෛමිසාරන්‍ය වනයට පැමිණ සිටින්නේ කලි යුගයේ බලපෑම් වලට බියවී පුරාණයන් ශ්‍රවණය කිරීමටයි. කෙසේ හෝ වෙනත් ආකාරයකින් කාලය ගත කළ යුතුය. ඒ අතර මෝඩයන් මෝහයෙන් යුක්ත ක්‍රියාවන්ගෙන් සහ අධාර්මික කටයුතු වලින් නිරතවෙමින්  ඔවුන්ගේ කාලය ගත කරන අතර බුද්ධිමතුන් තම ශාස්ත්‍රයන් මෙනෙහි කරමින් කල් ගෙවයි. නමුත් මෙම ශාස්ත්‍රයන් ඉතා විශාල හා විවිධාකාර වේ. ඒවායේ විරුද්ධ පාර්ශවය දිනා ගැනීම සඳහා වාද විවාද හෝ ගැටුම්කාරී සාකච්ඡා තිබේ, නිවැරදි නිගමනවලට එළඹීමට හොඳ මූලධර්මයන් තිබේ, එමෙන්ම විවිධ අර්තවේදයන් (පැහැදිලි කිරීම් සහ නියමයන් තුළින් යහපත් දේ පැන නගින බව සඳහන් කරමින් විදි හෝ ශික්ෂා පද නිර්දේශ කිරීම, පිළිපැදීම) පවති. මේවා අතරින් වේදාන්ත සාත්ත්වික වේ, මිමංස රාජසික වන අතර හේතුවාදි සංකල්ප සහිත න්‍යාය ශාස්ත්‍රයන් තාමසික වන බැවින් සාස්ත්‍ර විවිධාකාර ය. ඒ ආකරයටම පුරාණයන්ද විවිධකාරය; (1) සාත්ත්වික, (2) රාජසික සහ (3) තාමසික. ඕ සෞම්‍ය! ඔබ ලක්‍ෂණ පහකින් හා පූර්ණත්වයෙන් යුත් බොහෝ පුරාණ අධ්‍යනය කොට තිබේ; මෙයින් පස්වැනි පුරාණය සියලු ගුණාංගයන්ගෙන් වේදයන් හා සම වන්නේය. භාගවත පුරාණය ධර්මය, අර්ථය සහ කාමය ලබා දෙයි, විමුක්තිය අපේක්ෂිතයන්ට විමුක්තිය ලබාදෙයි. ඔබ මෙය කලින් සඳහන් කළ නමුත් සාමාන්‍යයෙනි. ඔබ මේ පිළිබඳව විශේෂයෙන් සඳහන් කළේ නැත. දැන් මෙහි පැමිණ සිටින බ්‍රාහ්මණයන් සතුටු සිතින් සියලු පුරාණයන්ගෙන් ශ්‍රේෂ්ඨතම දිව්‍යමය භාගවත පුරාණය ශ්‍රවණය කිරිමට කැමැත්තේය. එහෙයින් එය අපට විස්තරාත්මකට දේශනා කරනු මැනවි.

19-28. ධර්මය පිළිබඳව දන්නා තැනැත්තානෙනි! ඔබට ඔබගේ ගුරුවරයා කෙරෙහි ඇති භක්තිය හේතුවෙන් ඔබ සාත්ත්වික ගුණයෙන් යුක්ත වන අතර ඔබ වේද ව්‍යාස විසින් දේශනා කරන ලද පුරාණ සංහිතාවන් පිළිබඳව හොදින් දනී. ඕ සර්වඥයානෙනි! එබැවින් ඔබේ ශ්‍රී මුඛයෙන් අප බොහෝ පුරාණ ශ්‍රවණය කොට ඇත්තෙමු. එහෙත් දේවතාවුන් අමෘතයෙන් තෘප්තිමත් නොවන්නා සේ අපද තෘප්තිමත් නොවෙමු. ඕ සුත! අමෘතය පවා පානය කිරීමෙන් මුක්තිය නොලැබෙන්නේය. නමුත් භාගවත ශ්‍රවණය කිරීමෙන් යළි යළි මරණයට පත්ව ජන්මය ලබන මෙම සංසාරයෙන් මුක්තිය ලැබෙන්නේය. ඕ සුත! එම සුවය ලබාගැනීමට අපි යාගයන් දහස් ගණන් සිදු කළ නමුදු අපට සම්පූර්ණ සුවය නොලැබුණේය. මන්ද යාගයෙන් සිදු වන්නේ ස්වර්ග ලෝකය වෙත යාම පමණි, එම පුණ්‍යකර්මයන් අවසන් වූ විට ස්වර්ගයෙන් නෙරපා හරිනු ලබයි. එබැවින් චක්‍රයක් මෙන් ගමන් කරන මෙම සංසාරයේ අවසානයක් නොමැත. ඕ සර්වඥයානෙනි! ඥානයෙන් තොරව ත්‍රිගුණයන්ගෙන් සමන්විත මෙම කාලචක්‍රයෙන් මුක්තියක් නොලැබෙන්නේය. එබැවින් සියලු රසයන්ගෙන් සමන්විත, මුක්තිය අපේක්ෂිතයන්ට ප්‍රිය වූ, ඉතා රහසිගත ශුද්ධ වූ භාගවත පුරාණය දේශනා කරනු මැනවි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ පළමු පරිච්ඡේදය මෙසේ අවසන් වේ.