Wednesday 2 August 1995

2) පුරාණය පිළිබඳ විස්තර


1-5. සූත පැවසීය: මා ඉතාමත් භාග්‍යවන්ත වන්නෙමි; මම ආශීර්වාද ලත් අයෙකු ලෙස සලකන අතර ඉතා උසස් පුරාණ පිළිබඳව මාගෙන් ප්‍රශ්න නගන විට මා මහාත්මා මගින් පවිත්‍ර වූයෙමි; සියලු වේදයන් විසින් පිළිගන්නා ශාස්ත්‍රයන්ගේ රහසක් වන, සියලු ආගමයන්ගෙන් උසස් වන එම පුරාණය මා විස්තරාත්මකව පවසන්නම්.

බ්‍රාහ්මණ වරුනි! බ්‍රහ්මා, විෂ්ණු මහේශ්වර සහ අනෙකුත් දේවතාවුන් වර්ණනා කරන, යෝගින් මුක්තිය සඳහා ධ්‍යාන වඩන තුන් ලෝකයේ භගවතී මාතාව නමින් හදුන්වන දේවියගේ පාද පද්මයන් මා නමස්කාර කරමි. මා අද සියලුම සමෘද්ධියන් ලබාදෙන, සියලු රසයන්ගෙන් පරිපූර්ණ වූ සියලු පුරාණයන්ගෙන් ශ්‍රේෂ්ඨතම පුරාණය වන ශ්‍රීමත් භාගවතම් භක්තියෙන් සරල භාෂාවෙන් විස්තර කරමි. ආධ්‍යා ශක්තිය වන, වේදයන් තුළ විද්‍යාව ලෙසින් හඳුන්වන, සර්වඥ වූ, සියල්ලන්ගේම අභ්‍යන්තරය පාලනය කරන, සංසාර බන්ධනයන් විනාශ කිරීමට සමත් වූ, බුද්ධි හීනයන් හට නොවැටහෙන්නා වූ, එනමුත් ධ්‍යානයන් ඔස්සේ මුණිවරුන් හට දර්ශනය වන්නා වූ භගවතී දේවිය, මෙම පුරාණය දේශනා කිරීමට මා හට බුද්ධිය ලබා දෙත්වා.
 
මෙම විශ්වය නිර්මාණය කෙරූ සියලු ලෝකයන්ගේ මාතාව වන, සත්‍යයේ සහ අසත්‍යයේ ස්වභාවය වන, රාජසික, සාත්ත්වික සහ තාමසික ගුණයන්ගෙන් සියල්ල නිර්මාණය, පැවැත්ම සහ විනාශ කාලයේදි සියල්ල තමා තුළට  ද්‍රවණය කරගන්නා විශ්ව මාතාව මාගේ මනසට ආවාහනය කරමි.

6-10. මෙම විශ්වයේ නිර්මාතෘ බ්‍රහ්මා බව පොදුවේ දන්නා කරුණකි.  වේද සහ පුරාණ දන්නා අයද එසේ පවසයි. නමුත් ඔවුන් පවසන්නේ ද බ්‍රහ්මාගේ උත්පත්තිය සිදු වූයේ විෂ්ණුගේ නාභි කමලෙන් බවයි. ඒ අනුව බ්‍රහ්මාට ස්වාධීනව නිර්මාණය කර නොහැකි බව මේ අනුව පෙනී යයි. එමෙන්ම බ්‍රහ්මාගේ උත්පත්තියට මූලික වූ විෂ්ණු කල්ප අවසානයේ අනන්ත සහයනය මත යෝග නිද්‍රාවෙන් වැඩ සිටී. එසේනම් අනන්ත සයනය මත නිද්‍රාවෙන් සිටින භගවාන් නාරායන සංසාරයේ නිර්මාතෘ බව පවසන්නේ කෙසේද? එමෙන්ම අනන්ත ශේෂ රැකවරණය ලබන්නේ ඒකාර්නව සාගරයේ ජලයෙනි; ආවරණයක් නොමැතිව දියරයක් කෙසේ නම් පවතින්නද; එබැවින් මා සියල්ලන්ගේම ශක්තිය ලෙස වාසය කරන එමඟින් සියල්ලන්ගේ ආධාරකරු වන මෑණියන් සරණ යමි, යෝග නිද්‍රාවේ පසුවන විෂ්ණුගේ නාභි කමල මත වැඩ සිටින බ්‍රහ්මාගේ ප්‍රශංසාවට ලක් වූ එම දේවිය සරණ පතමි. මුණිවරුනි! විශ්වය නිර්මාණය, සංරක්ෂණය මෙන්ම සංහාරය කරන එම මහාමායා දේවිය උදෙසා ධ්‍යාන වඩමින්, මා ඔබලා හට සම්පූර්ණ පුරාණය දේශනා කරන්නෙමි.

11-16. ශ්‍රීමත් භාගවත පුරාණය ඉතාමත් විශිෂ්ට සහ ශුද්ධ වන අතර එහි ශ්ලෝක දහඅට දහසක් ඇත. භගවාන් ක්‍රිශ්ණ ද්වෛපායන (වේද ව්‍යාස) මෙම පුරාණය යහපත් සර්ගයන් දොළහකට සහ පරිච්ඡේදයන් තුන්සිය දහඅටකට වෙන් කොට තිබේ. පළවෙනි සර්ගයේ පරිච්ඡේදයන් විස්සක්; දෙවන සර්ගයේ පරිච්ඡේදයන් දොළහක්; තෙවන සර්ගයේ පරිච්ඡේදයන් තිහක්; සිව්වන සර්ගයේ පරිච්ඡේදයන් විසි පහක්; පස්වැනි සර්ගයේ පරිච්ඡේදයන් තිස් පහක්; සයවැනි සර්ගයේ පරිච්ඡේදයන් තිස් එකක්, සත්වැනි සර්ගයේ පරිච්ඡේදයන් හතළිහක්; අටවැනි සර්ගයේ පරිච්ඡේදයන් විසි හතරක්; නමවැනි සර්ගයේ පරිච්ඡේදයන් පනහක්; දසවන සර්ගයේ පරිච්ඡේදයන් තිහක්; එකොළොස්වන සහ දොළොස්වන සර්ගයන්හි සර්ගයේ පරිච්ඡේදයන් විසි හතරක් සහ දහහතරක් බැගින් ඇත. මේ ආකාරයට ද්වෛපායන මුණි එක් එක් සර්ගයන්ට පරිච්ඡේදයන් සකසා ඇත. 

17-20. මෙලෙස වේද ව්‍යාස විසින් මෙම භාගවත පුරාණය තුළ සර්ග සහ පරිච්ඡේදයන් ගණනාවකට වෙන් කරනු ලැබුවේය. එම ශ්ලෝක ප්‍රමාණය 18,000ක් බව දැනටමත් දක්වා තිබේ. පුරාණය තුළ පහත සඳහන් ලක්‍ෂණ පහ ඇතුළත් වේ: (1) සර්ග (විශ්ව නිර්මාණය), (2) ප්‍රතිසර්ග (දෙවන නිර්මාණය), (3) වංශ (රාජවංශයන්), (4) මන්වන්තර (මනු යුග). (5) වංශ නුචරරිත (මනු සහ අනෙකුත් රජවරුන් පිළිබඳ විස්තර).

ශිවා (ශිවගේ ස්ත්‍රී භාවය) ප්‍රකෘති ලක්ෂණයන් පරයන සදාකාලික මෙන්ම සර්වඥය. ඇය නොවෙනස් වන වෙනස් කළ නොහැකි මෙන්ම යෝග ඔස්සේ හැර ප්‍රාප්ත කර ගත නොහැකිය. ඇය විශ්වයේ සරණ වන අතර ඇයගේ ස්වභාවය පරම විඥානයයි. ඇයගේ සාත්ත්වික ශක්තිය මහා ලක්ෂ්මියයි; සරස්වතිය රාජසික ශක්තිය වන අතර, මහාකාලි ඇයගේ තාමසික ශක්තියයි. මේ සියල්ල ස්ත්‍රී ස්වරූපයන් ය.

21-25. මෙම විශ්වය මැවීම සඳහා මෙම ශක්ති තුන විසින් ශරීර නිර්මාණය කිරීම "සර්ග" ලෙස නම් කර ඇත. එම ශක්තීන් ත්‍රිත්වය බ්‍රහ්මා, විෂ්ණු සහ ශිව වෙත එක් වීම ප්‍රතිසර්ග නම් වේ. සුර්‍ය සහ චන්ද්‍ර රාජ වංශයන්ගේ, හිරන්‍ය කශිපු ආදීන්ගේ තතු වංශ නම් වේ. ස්වායම්භුව මනු ඇතුළු අනෙකුත් මනු වරුන්ගේ රාජ්‍ය කාලයන්ගේ තතු මන්වන්තර වේ. ඔවුන්ගේ පරම්පරාවන් පිළිබඳ තතු වංශ නුචරරිත නම් වේ.

26-32. වේද ව්‍යාස විසින් රචිත මහාභාරතයද එබඳුය. එයද මෙම ගුණාංග පහෙන් යුක්තය. එය පස්වන වේදය සහ ඉතිහාසය ලෙස හැඳින්වේ.

ඕ සූත! කුමක්ද ඒ පුරාණයන්, එවායේ ශ්ලෝක කොපමණ ප්‍රමාණයක් බැගින් තිබේද? මෙම දිව්‍යමය ක්ෂේත්‍රය තුළම ඒවා විස්තරාත්මකව පවසන්න; අප මෙහි පැමිණ සිටින්නේ ඒ පිළිබඳව කුතුහලයෙනි. අප තුළ කලි යුගය කෙරෙහි බිය ඉපදුනු විට බ්‍රහ්මා අපට මනෝමය චක්‍රයක් ප්‍රධානය කොට මෙසේ පැවසිය- මෙම රෝදය අනුගමනය කරන්න, එය පසුපස යන්න සහ රෝදය තුනී වී ගමන් නොකරන ස්ථානයට පැමිණි විට, එම ස්ථානය දිව්‍යමය ස්ථානයකි; එහි කලි යුගයේ බලපෑමක් නොමැත. ඔබලා සියල්ලෝම සත්‍ය යුගය නැවත පැමිණෙන තාක් එහි රැඳී සිටින්න. ඒ ආකාරයට බ්‍රහ්මාගේ ආදේශයන් පරිදි අප මෙහි පැමිණෙමු. අප වේගයන් රොදය පසු පස පැමිණියේය, අපේ අරමුණ නම් විශිෂ්ටතම හා ශුද්ධ වූ ස්ථානය කුමක්ද යන්න තීරණය කිරීමයි. මෙහි පැමිණි විට රෝදය සිහින් වී දිදුළන්නට වුවේය. එබැවින් මෙම ක්ෂේත්‍රයට නෛමිසාරන්‍ය ලෙස පැවසේ; එය වඩාත්ම පූජනීය ස්ථානයයි.

කලි යුගයේ ප්‍රභාවක් මෙහි නොමැත; එබැවින් මුණිවරුන්, සිද්ධ පුරුෂයන් කලි යුගය කෙරෙහි බියෙන් මෙහි පැමිණ ඇත්තෙමු. අප බොහෝ යාගයන් සිදු කළෙමු, සත්‍ය යුගය එන තාක් මෙහි කාලය ගත කිරීම හැර අපට කිරිමට යමක් නොමැත. ඕ සූත! ඔබ මෙහි පැමිණීම පිළිබඳව අප සෑම අතින්ම ඉතාමත් භාග්‍යවන්ත වන්නෙමු; වේදයන් හා සමාන වන පුරාණයන්හි නාමයන් අපට අද පැවසිමෙන් අපව පවිත්‍ර කරනු මැන. ඕ සූත! ඔබත් උගත් කථිකයෙකි;  අපේ මනස වෙහෙසීමට වෙනත් කාර්‍යන් නොමැති හෙයින් අපි ද දැඩි ශ්‍රාවකයෝ වෙමු. ශුද්ධ වූ භාගවත පුරාණය අද දිනයේ අපට දේශනා කරනු මැනවි. ඕ සූත! දිගු කල් ජීවත් වේවා! අභ්‍යන්තරව හෝ බාහිරව කිසිදු දේවතාවෙකුෙගෙන් ඔබට කිසිදු පීඩාවක් නොවේවා. මුක්තිය ලබා දෙන ධර්ම, අර්ථ කාම සහිත ව්‍යාස විසින් දේශිත බොහෝ පුරාණයන් අප අසා ඇත්තෙමු. එම ශුද්ධ වූ වදන් අපට ඇසෙන තරමට ආශාවන් තෘප්තිමත් නොවේ. තුන් ලෝකයේ මාතාවගේ ලිලාවන් සහිත, පව් කමා කරන,  කල්ප වෘක්ෂයක් හා සමාන වන භාගවත පුරාණය අපට දේශනා කරනු මැනවී.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.