Thursday 3 August 1995

3) පුරාණයන් වර්ණනා කිරීම හා සෑම ද්වාපර යුගයකම ව්‍යාසයන්


1-11. සූත පැවසීය- ඕ බ්‍රාහ්මණයන්ගෙන් විශිෂ්ටය! මා දැන් සත්‍යවතී පුත්‍ර වේද ව්‍යාසයන්ගෙන් ශ්‍රවණය කෙරු පුරාණයන් පිළිබඳව පවසන්නෙමි.

"ම" සහ "භ" යන්නෙන් ආරම්භ වන පුරාණයන් ද්විත්වය බැගින් ඇත;  "බ්‍ර" යන්නෙන් ත්‍රිත්වයකි; "ව" යන්නෙනි පුරාණයන් සතරකි; "අ", "න", "ප", "ලිං", "ග", "කූ" සහ "ස්ක" යන්නෙන් එක් පුරාණය බැගින් ඇත. ''ම" යන්නෙන් මත්ස්‍ය පුරාණය, මාර්කන්ඩේය පුරාණයද;  "භ" යන්නෙ  භවිශ්‍ය සහ භාගවත පුරාණයද; "බ්‍ර" යන්නෙන් බ්‍රහ්මා, බ්‍රහ්මාන්ඩ සහ බ්‍රහ්මවෛවර්ත පුරාණද; "ව" යන්නෙන් වාමන, වායු, විෂ්ණු සහ වරාහ පුරාණයන්ද; ඉන්පසු අග්නි, නාරද, පද්ම, ලිංග, ගරුඩ, කූර්ම සහ ස්කන්ද පුරාණ යන මේවා අෂ්ට දස පුරාණයන් වේ. ඕ සෞනක! මත්ස්‍ය පුරාණය තුළ ශ්ලෝක දහහතර දහසක් ඇත; විශිෂ්ට මාර්කන්ඩේය පුරාණය ශ්ලෝක නවදහසක් අඩංගු වේ; භවිශ්‍ය පුරාණයෙහි ශ්ලෝක දහහතරදහස් පන්සියයක්, ශුද්ධ භාගවත පුරාණයෙහි ශ්ලෝක දහඅට දහසක්; බ්‍රහ්ම පුරාණයේ දසදහසක්; බ්‍රහ්මාන්ඩ පුරාණයෙහි ශ්ලෝක දොළොස්දහස් එකසීයයක්; බ්‍රහ්මවෛවර්ත පුරාණයෙහි ශ්ලෝක දහඅට දහසක්ද; වාමන පුරාණයෙහි ශ්ලෝක දසදහසක්; වායු පුරාණයෙහි ශ්ලෝක විසිහතර දහස් හයසියයක්; ඉතා අපූරු විෂ්ණු පුරාණයෙහි  ශ්ලෝක විසිතුන් දහසක්ද; වරාහ පුරාණයෙහි ශ්ලෝක විසිහතර දහසක්ද;  අග්නි පුරාණයෙහි දහසය දහසක්ද; නාරද පුරාණයෙහි ශ්ලෝක විසිපන් දහසක්ද; විශාල පද්ම පුරාණයෙහි ශ්ලෝක පනස්දහසක්ද; ලිංග පුරාණයෙහි එකොළොස් දහසක්ද; නාරායන විසින් දේශිත ගරුඩ පුරාණයෙහි ශ්ලෝක දහනවදහසක්ද; කූර්ම පුරාණයෙහි ශ්ලෝක දහහත් දහසක්ද; විශිෂ්ටතම ස්කන්ද පුරාණයෙහි ශ්ලෝක අසූඑක් දහසක් අන්තර්ගතව ඇත.   ඕ පාපයන්ගෙන් තොර වූ ඍෂි වරුනි! සියලු මහා පුරාණයන් සහ ඒවායේ අඩංගු ශ්ලෝක ප්‍රමාණයන් මා ඔබට මෙසේ විස්තර කළෙමි.  දැන් උප පුරාණයන් පිළිබඳව අසා සිටින්න.

12-17. උප පුරාණයන්ද දහටක් ඇත, එනම්; සනත්කුමාර පුරාණය, නරසිම්හ පුරාණය, නාරදිය පුරාණය, ශිව පුරාණය, දුර්වාස පුරාණය, කපිල පුරාණය, මනු පුරාණය, ඖශනස පුරාණය, වරුණ පුරාණය, කාලිකා පුරාණය, සම්භ පුරාණය, නන්දිකේශ්වර පුරාණය, සෞර පුරාණය, පරාශර පුරාණය, ආදිත්‍ය පුරාණය, මහේශ්වර පුරාණය, භාගවත පුරාණය සහ වාසිෂ්ත පුරාණයයි. මහාත්මා තුළ සඳහන් කරන උප පුරාණ මෙසේය.

සත්‍යාවති පුත්‍ර වේද ව්‍යාස මෙම මහා පුරාණ සහ උප පුරාණ සම්පාදනය කිරීමෙන් අනතුරුව මහාභාරත නම් ඓතිහාසික වීර කාව්‍ය රචනා කළේය. 

18-24. වේද ව්‍යාස විසින් සෑම මන්වන්තරයකම පවතින සෑම ද්වාපර යුගයකම ධර්මය ස්ථාපනය කිරීම උදෙසා පුරාණ ව්‍යාඛ්‍යාන කරනු ලබයි. වේද ව්‍යාස අනෙකකු නොව නාරායනම වන්නේය. එතුමා ලෝකයාගේ සුභ සිද්ධිය උදෙසා තම ව්‍යාස ස්වරූපයෙන් වේදය චතුර් වේදය ලෙස වෙන් කරනු ලැබුවේය. කාලි යුගයේ බ්‍රාහ්මණයන්ට කෙටි ආයු කාලයක් ඇති අතර ඔවුන්ගේ බුද්ධිය (බුද්ධි) තියුණු නොවේ. වේදයන් හැදෑරීමෙන් පසු එහි අරුත් අවබෝධ කර ගැනීමට ඔවුන්ට නොහැකිය. එබැවින් දෙවිඳුන් සෑම ද්වාපර යුගයකම පුරාණ සංහිතාවන් විස්තර කරනු ලබයි. කාන්තාවන්, ශුද්‍රයන් සහ පහළ ද්විජයන් හට වේදය ශ්‍රවණය කළ නොහැකි හෙයින් ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා පුරාණ රචනා කෙරිණි. වර්තමානයේ ගතවන්නේ සත්වන මන්වන්තරය වන වෛස්වස්වත මන්වන්තරයයි; ධර්මය පිළිබඳව ප්‍රවීණ සත්‍යවතී  පුත්‍ර ක්‍රිෂ්ණ ද්වෛපායන මෙම 28වන ද්වාපර යුගයේ වේද ව්‍යාසයි, ඊලඟ ද්වාපර යුගයේ ව්‍යාස වන්නේ ද්‍රෝන පුත්‍ර අශ්වත්තාමායි. මේ දක්වා ව්‍යාසයන් විසිහත් දෙනෙකු සිට ඇත. 

25-33. ඍෂි වරුන් පැවසිය - ඕ භාග්‍යවත් වූ සූත - ද්වාපර යුගයන්හී පුරාණයන් පරායනය කෙරූ පෙර ව්‍යාස වරුන්ගේ නාමයන් අප හට පවසනු මැනවි.

සූත පැවසිය - පළමුවන ද්වාපර යුගයේ බ්‍රහ්මා විසින්ම වේදයන් වෙන් කරණු ලැබුවේය. දෙවන ද්වාපර යුගයේ පළමු ප්‍රජාපති ව්‍යාසගේ කාර්‍ය ඉටු කරේය. ශුක්‍ර තෙවන, බ්‍රහස්පති සිව්වන, සූර්‍ය පස්වන, යම සයවන, මඝවා විසින් සත්වන, වසිෂ්ත අටවන, ශරස්වත ඍෂි නමවන ද්වාපර යුගයේ ත්‍රිධාම (ශිව පුරාණයේ සඳහන් වන පරිදි එතුමා ශිව ස්වරූපයකි), ත්‍රිවර්ශ එකොළොස්වන, භාරද්වාජ දොළොස්වැනි, අන්තරික්ශ දහතුන්වන, ධර්ම දහහතරවන, ත්‍රයියාරුනි පහළොස්වන, ධනන්ජය  දහසයවන, මේඝතිථි දහහත්වන, ව්‍රතී දහඅටවන, අත්‍රී දහනවවන, ගෞතම විසිවන, උත්තම විසිඑක්වන, වාජශ්වර වේන විසි දෙවන, ඔහුගේ පරපුරෙන් පැවත එන සෝම විසි තුන්වන, තෘණබිංදු විසිහතරවන,  භාර්ගව විසිපස්වන,  ශක්ති විසිහයවන, ජාතුකර්ණ්‍ය විසි හත්වන සහ ක්‍රිෂ්ණ ද්වෛපායන විසි අටවන වේද ව්‍යාස බවට පත් විය.

34-35. මා අසා ඇති පරිදි වේද ව්‍යාසයන් 28දෙනා පිළිබඳව මෙලෙස විස්තර කළෙමි. මා ක්‍රිෂ්ණ ද්වෛපායනගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රීමත් භාගවත පුරාණය ශ්‍රවණය කළෙමි.

35-43. එය සියලුම බාධක දුරලමින් සියලු ඉච්ඡාවන් සඵල කරයි, එහි සෑම ශ්ලෝකයකම වේදයේ හරය අන්තර්ගතය. එය සියලු පැතුම් ඉටු කරන අතර බැඳීම් වලින් මුක්තිය ලබා දෙයි. එය සියළුම ගවේශකයන් විසින් පූජනීය හා ආදරණීය ලෙස සලකනු ලැබේ. ඕ විශිෂ්ට මුණිවරුනි! වේද ව්‍යාසයන් සියලුම පුරාණ රචනා කිරීමෙන් අනතුරුව මෙම පුරාණය විශිෂ්ටතම පුරාණය ලෙස නිගමනය කළේය. එබැවින් ඔහු එය පළමුව ගිණි දැල්වීම සඳහා භාවිතා කරන වියලි දර වලින් උපත ලද තම පුත්‍ර ශුක දේව වෙත ලබා දීය. මුණිවරුනි! ශ්‍රීමත් දේවී භාගවත යනු සියලු ඉච්ඡාවන් සඵල කරන දිව්‍යමය කල්ප වෘක්ෂයේ හට ගන්නා ඵලයන් මෙනි; සංසාර සාගරය තරණය කිරීමට නම් එම ඵලයන් අනුභව කළ යුතුය. හැගිම් වලින් අපවිත්‍ර වී සිටින පව් කාරයෙකු වූවද අවස්ථාවක් ලැබුන හොත් යෝගින් අතර විරාජමානව සිටින ආදි ශක්තියේ පාද පද්මයන් නිසැකවම ලඟා කරගනු ඇත. යෝගයන් ඔස්සේ දර්ශනය වන එම නිර්ගුණ දේවිය බැතිමතුන්ගේ හදවත්හි අභ්‍යන්තරයේ වාසය කරන්නීය. ගැඹුරු අපරිචිත (වටහා ගත නොහැකි) මායාවේ සාගරය තරණය කිරීමට මෙය ආරක්ෂිතම රැකවරණයයි.  ශ්‍රවණාබාධයෙන් තොරව හා තේරුම් ගැනීමේ හැකියාව ඇති; දේවී භාගවතම් ශ්‍රවණය කිරීමට අවස්ථාවන් තිබෙන විටත් ශ්‍රවණය නොකර මිනිසා වඩාත්ම අවාසනාවන්ත වන අතර ඔහු තම දිවිය පුරාම අනවශ්‍ය කාරණා ශ්‍රවණය කරමින් කල් ගෙවයි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ තෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.