Friday 4 August 1995

4) දේවියගේ උත්කෘෂ්ටතාව


1-3. ඍෂි වරුන් පැවසීය - ඕ සෞම්‍ය! ශුක දේව ජන්මය ලැබුවේ කෙසේද? ඔහු එතරම් ඥානාන්විත අයෙකු වීමට ඔහු තුළ තිබූ ගුණාංග කවරෙක්ද? ප්‍රඥාවන්තය! ඔබ දැන් පැවසුවේ ශුක දේව ස්වභාවික ලෙස මව් කුසකින් ජන්මය නොලැබූ බවත් හෝමයන් සඳහා යොදා ගන්නා දර කැබලිවලින් ජන්මය ලැබු බවයි. එබැවින් අපේ සිත් වලට මහත් විචිකිච්ඡාවක් පැමිණේ. අප ඔබගේ පිළිතුරු අපේක්ෂාවෙන් සිටිමු.


4-8. සූත පැවසිය - බොහෝ කලකට පෙර සත්‍යවතී පුත්‍ර ක්‍රිෂ්ණ ද්වෛපායන සරස්වතී නදිය පාමුල පිහිටි තම ආශ්‍රමයේ වැඩ වසන කල්හී කැදැල්ලක් තුල තම පැටවා ආදරයෙන් රැක බලාගන්නා ගේ කුරුල්ලන් දෙදෙනෙකු දැක අතිශයින් විස්මයට පත් විය. එම පක්ෂීන් දෙදෙනා බොහෝ සෙනෙහසින් තම ශරීරයන් බිළිඳාගේ ශරීරයේ අතුල්ලන්නට විය. ඔවුන් තමන්ගේ වෙහෙස කුසගින්න පිළිබඳව කිසිසේත් තැකීමක් නොකරන අතර; ඔවුන් වෙහෙසෙන්නේ සිය කුඩා දරුවා පෝෂණය කිරීම සඳහා පමණි. ගේ කුරුල්ලන් දෙදෙනා තම පැටවා කෙරෙහි දක්වන මේ අපූරු සෙනෙහස දැක, වේද ව්‍යාස දැඩි කනස්සල්ලට පත් වූ අතර ඔහු සිතින් මෙලෙස කල්පනා කළේය.


9-14. “අහෝ කෙතරම් විශ්මයජනකද! පක්ෂීන් පවා තමන්ගේ පැටවුන් කෙරෙහි මෙතරම් සෙනහසක් දක්වන්නේ නම්, තම දරුවන්ගෙන් සෙනෙහස ලැබීමට කැමති මනුෂ්‍යන් තම දරුවන්ට කොපමණ සෙනෙහස දක්වයිද!  මෙම ගේ කුරුල්ලන් යුගල තම පුත්‍රයාගේ මංගල්‍ය සිදු නොකරන අතර, ඔවුන්ට තම පුත්‍රයාගේ පතිනිය මුහුණු දැකීමට නොහැකි වනු ඇත; ඔවුන් වයසින් මුහුකුරා යන විට ධාර්මික වී තමන්ට සේවය නොකරනු ඇත; තමන්ගේ දරුවා මුදල් උපයා ඔවුන්ව තෘප්තිමත් කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන්නේ ද නැත; ඔවුන්ගේ පුත්‍රයා ඔවුන් මළ පසු අවමංගල්‍ය චාරිත්‍ර සිදු කරන්නේද නැත; ගයාවෙහි ශ්‍රද්ධ පූජාව සිදු නොකරනු ඇත; මුතුන් මිත්තන් පිදීමේදි වෘෂභයෙකු පූජා නොකරනු ඇත. (පසුව වෘෂභයා නිදහස් කරන අතර ඌ පූජනීය ලෙස සැළකේ) නමුත් ගේ කුරුල්ලන් යුවළ තම පැටවා කෙරෙහි දැඩි ඇල්මක් දක්වති! ඔහ්! මෙම ලෝකය තුළ තම පුත්‍රයාගේ ශරීරය ස්පර්ශ කිරීම, විශේෂයෙන් පුත්‍රයන් පෝෂණය කිරීම යනු, ජීවිතයේ ලැබිය හැකි ඉහළම ලෞකික තෘප්තියකි.”


15-21. පුත්‍රයෙකුගෙන් තොරවූ අපේක්ෂාවක් නොමැත, ස්වර්ගයද ඔහුට හිමි නොවේ. පුත්‍රයෙකු හැර මතු භවය සඳහා උපකාර කළ හැකි කිසිවෙකුද නොවේ. ධර්ම ශාස්ත්‍රයන් තුළ මනු ඇතුළු අනෙකුත් මුණිවරුන් විග්‍රහ කර ඇත්තේ, පුත්‍රයෙකු රහිතව ස්වර්ගය වෙත ලඟා වීමට නොහැකි බවයි. පුත්‍රයෙක් සහිත පුරුෂයාට සියලු ස්වර්ගීය සැපයන් විදීමට හිමිකමක් ඇත. වේදයේ වාක්‍යන්ට අනුකූලව පුත්‍රයෙක් සහිත පුරුෂයා සියලු පාපයන්ගෙන් මුක්ත වන්නේය. පුත්‍රයෙකු රහිත මනුෂ්‍යා මරණීය අවස්ථාවේද, නිද්‍රා අවස්ථාවේද බොහෝ කණගාටුවෙන් සිටි, ඔහු ශෝකයෙන් මෙසේ සිතයි;  මාගේ මේ විශාල ධනයන්, නිවාසයන් මාගෙන් පසු කවුරු නම් භුක්ති විඳින්නේද? පුත්‍රහීන මිනිසා මෙසේ ඔහුගේ සිතින් ව්‍යාකූල වූ විට මිය යන මොහොතේද ඔහුගේ සිත නොසන්සුන් වෙයි, එමඟින් ඔහුගේ පසු භවයද දුක්ඛිත වන බව නිසැකය.


22-24. මේ ආකාරයට, විවිධාකාරයෙන් සිතීම හේතුවෙන් සත්‍යවතී පුත්‍ර වේද ව්‍යාස සිහියෙන් තොර විය. ඔහු විවිධ සැලසුම් පිළිබඳව කල්පනා කළ අතර අවසානයේ ඔහු සුමේරු පර්වතය වෙත ගොස් තපසක නිරත වන ලෙස නිශ්චිත නිගමනයකට පැමිණියේය. එහි ලගා වීමේදී, ඔහු සිතුවේ ඔහු නමස්කාර කර යුත්තේ කුමන දෙවියන්ටද යන්නයි! “විෂ්ණු, ශිව, ඉන්ද්‍ර, බ්‍රහ්මා, සූර්‍ය, ගණේශ, කාර්තිකෙය, අග්නි හෝ වරුණ අතරින් කුමන දෙවියන් පහසුවෙන් වර ප්‍රධානය කරයිද?”


25-27. ඔහු මෙසේ කල්පනා කරන අතරතුර වීණාවක් අත දරමින් සිටින නාරද මුණි අහම්බෙන් එම ස්ථානයට පැමිණියේය. නාරද මුණිවරයා දුටු සත්‍යවතී පුත්‍ර වේද ව්‍යාස එතුමාට සියලු ගෞරවයන් පුද කර, ඔහුගේ සුභසාධනය පිළිබඳව විමසීය. එවිට නාරද මුණි මෙසේ පැවසීය: “ඕ ද්වෛපායන! ඇයි ඔබ බොහෝ කනස්සල්ලෙන් සිටින්නේ? පළමුව එය මා හට පවසන්න. 


28-30.  වේද ව්‍යාස පැවසීය: “පුත්‍ර හීන මනුෂ්‍යයකුට කිසිඳු අපේක්ෂාවක් නොමැත; එබැවින් මාගේ මනසෙහි කිසිදු සන්තෝෂයක් නූපදී.  පුත්‍රයකු ප්‍රාප්ත කර ගැනීම මා නිරන්තරයෙන් අපේක්ෂා කරන අතර එබැවින් මා කණගාටුවෙන් සිටිමි. අද මාගේ සිතෙහි එක් අදහසක් මත දැඩි ලෙස කලබලයට පත් වී ඇත, කුමන දෙවියන් මාගේ තපස කෙරෙහි ප්‍රසන්න වේද, කවුරුන් මාගේ ඉච්ඡාවන් සඵල කරන්නේද; අහෝ! දයානුකම්පිත මහා ඍෂි තුමනි! ඔබ සර්වඥ ය; මට මෙය ඉක්මනින් පවසන්න, මා කුමන දෙවියන් සරණ යම්ද, කුමන දෙවියන් මාහට පුත්‍රයෙකු ලබා දේවිද?”



31-43. මෙලෙස ක්‍රිෂ්ණ ද්වෛපායනගේ ගැටලුව ශ්‍රවණය කෙරු වේදයන්ගේ කෙළ පැමිණි නාරද මුණිවරයා මෙසේ ප්‍රකාශ කළේය. - “ ඕ භාග්‍යවත් පරාශර පුත්‍රය, ඔබ අද මාගෙන් විමසන ලද ගැටලුව පෙර මාගේ පියානන් වන බ්‍රහ්මා විසින් නාරායනගෙන් අසන ලද්දේය. විශ්වයේ නිර්මාතෘ, රක්ෂකයා මෙන්ම සංහාරකයා වන, ශ්‍රියා කාන්තාවගේ ස්වාමියා වන, පීත වස්ත්‍රයන් දරා සිටින, තම දෑත් සතරෙහි ශංකයක්, චක්‍රයක්, ගධාවක් සහ පද්මයක් දරා සිටින, ශ්‍රීවත්ස සලකුණෙන් ලය අලංකාරව තිබෙන, පරම දිව්‍යත්වයේ ප්‍රතිරූපය වන නාරායන වාසුදේව එම අවස්ථාවේදි යෝග නිද්‍රාවට සමවැදී සිටියේය. එය දැක විස්මයට පත් වූ මාගේ පියාණන් මෙසේ විමසීය: ඕ ජනාර්දන! ඔබ සියලු දෙවියන්ගේ දෙවියන් වන සේක; තුන් කල්හී ස්වාමියා වන සේක; විශ්වයේ ස්වාමියා වන සේක; එසේනම් ඔබ යෝග වඩන්නේ කුමක් හේතුවෙන්ද? කුමක් අරභයා ඔබ ධ්‍යාන වඩන්නේද? දෙවිඳුනි ඔබ සංසාරයේ ස්වාමියා වන විටත් ධ්‍යානය සමවැදි සිටී. එබැවින් මා අතිශයින් මවිතය පත් වෙමි. මෙයට වඩා පුදුමයට පත් වන යමක් සිදුවිය හැකිද? ඕ රමාවන්ගේ (ලක්ෂ්මී) ස්වාමීනි! ඔබ සියල්ලෙහි මූලය වන සේක, සියලු හේතුවන්ගේ හේතුව වන සේක, නිර්මාතෘ, සංරක්ෂක සේම සංහාරකද වන සේක, ඕ මහාරජුනි! ඔබගේ ඉච්ඡාවන් පරිදි මා සංසාරය නිර්මාණය කරා සේම රුද්‍ර දෙවියන් එය විනාශ කරන්නේය, ඔහු ඔබේ අණට යටත් වන්නේය. ඕ ස්වාමිනී! ඔබ අණ පරිදි සූර්‍යා ගමන් කරන්නේය, සුළඟ හමන්නේය, වර්ෂාව ඇති වන්නේය, අග්නිය දැල්වෙන්නේය. මේ තුන් ලෝකයෙහි ඔබ පරයන කිසිවෙකු මා නොදුටුවෙමි. එසේනම් ඔබ ධ්‍යාන වඩන්නේ කුමක් උදෙසාද?”


42-48.  භගවාන් නාරායන බ්‍රහ්මා හට මෙසේ පිළිතුරු ලබා දුන්නේය: “දේවතාවුන්, දානවයන්, මනුෂ්‍යන් ඇතුලු සමස්ථ ලෝකයන් ඔබ නිර්මාණකරු බවත්, මා සංරක්ෂක බවත්, රුද්‍ර සංහාරකයා බව දනී. එනමුත් වේදයන්ගේ කෙළ පැමිණි පුද්ගලයන් පවසන්නේ නිර්මාණය, සංරක්ෂණය සහ සංහාරය සිදු කරන්නේ මූල ශක්තිය විසින් බවයි. ඒ සමස්ථ වශයෙන් ඔබ තුළ පවතින රාජසික ශක්තියද, මා තුළ පවතින සාත්ත්වික ශක්තියද, රුද්‍ර දෙවියන් තුළ පවතින තාමසික ශක්තියද වන්නාය. මෙම ශක්තීන් අක්‍රීය වූ විට ඔබ නිෂ්ක්‍රිය වී නිර්මාණය කිරීමට නොහැකි වනු ඇත, මා සහ රුද්‍රයන්ද එසේය.”


49-55. “ඕ බුද්ධිමත් සුව්‍රත! අප සියල්ලන්ම ඍජුව හො වක්‍රව එම ශක්තිය යටතේ සිටී; ප්‍රලය (විනාශය) සිදුවන කල්හි මා එම ශක්තියට යටත් වි අනන්ත සයනය මත සැතපේ; නිර්මාණය සිදුවන කල්හි යලි අවධි වේ. මා එම මහා ශක්තියට නිරන්තරයෙන් යටත්ව සිටිමි. මා දීර්ඝකාලීනව තපසෙහි නිරතව සිටියෙමි; ඇයගේ අණ පරිදි මා විටෙක ලක්ෂ්මිය සමඟ වින්දනය කරන්නේය; ඇතැම් විට අසුරයන් සමඟ සංග්‍රාමයයෙහි නිරත වන්නෙමි. ධර්මදර තැනැත්තානෙනි! ඔබ ප්‍රකට වීමට පෙර මාගේ කලාදුරු වලින් ජන්මය ලැබූ බලවත් අසුරයන් දෙදෙනෙකු වන මධු සහ කෛතභ සමඟ වසර පන්දහසක් යුද්ධ වැදුනෙමි. දේවියගේ කරුණාව හේතුවෙන් මා ඔවුන් දෙදෙනා සංහාරය කිරීමට සමත් වූයෙමි. ඕ වාසනාවන්ත තැනැත්තා! ඒ අවස්ථාවේදී ඔබ සමස්ථ හේතුන්ගේ හේතුව වන එම උත්තරීතර ශක්තිය අවබෝධ කරගනු ලැබුවේය; එසේනම් කවර කාරණයක් හේතුකොට ඔබ නැවත නැවතත් එකම ගැටලුව විමසන්නේද?” 


56-58. “එම මහා ශක්තියේ ඉච්ඡාව හේතුවෙන් යුගයක් යුගයක් පාසා මා කුර්ම, වරාහ, නරසිංහ සහ වාමන ආදි ස්වරූප ධාරණය කරගන්නෙමි. තිරිසන් යෝනියක ජන්මය ලැබීමට කිසිවෙකුගේ මනාපයක් නොමැත; එසේනම් ඔබ සිතන්නේද මා මාගේ ඉච්ඡාව අනුව වරාහ, කුර්ම ආදි ස්වරූප ධාරනය කරගත් කියා.  මා ස්වාධීන නම් කුමන හේතුවක් නිසාද මා ලක්ෂ්මිය අත්හැර තිරිසන් යෝනියෙහි ජන්මය ලබන්නේ?”


59-64.  “ඕ ස්වායම්භු! පුරාණ කාලයේදී දුනුදිය වෙන්වී යාම හේතුවෙන් මාගේ හිස වෙන් වූ ආකාරය ඔබ දුටුවේය; එමෙන්ම ඔබ රැගෙන පැමිණි අශ්ව හිස විශ්වකර්මා මාගේ හිස රහිත ශරීරයට බද්ධ කළේය. ඕ බ්‍රහ්මා! එතැන් පටන් මා “හයග්‍රීව” යන නාමයෙන් පිදුම් ලබන්නේය. එසේනම් දැන් පවසන්න, මා ස්වාධීන නම් එවැනි නින්දා සහගත යමක් මට සිදුවේද? කෙසේවත් නොවේ. එබැවින් මා ස්වාධීන නොවන අතර සෑම පසෙකින්ම මා එම ශක්තිය යටතේ සිටී. මා නිරන්තරයෙන් එම ශක්තිය උදෙසා ධ්‍යාන වඩමි, එම ශක්තිය හැර අන් කිසිවක් මා නොදනිමි.


66-65. නාරද පැවසිය; මේ ආකාරයට විෂ්ණු විසින් බ්‍රහ්මාට පිළිතුරු ලබා දුන්නේය. ඕ වේද ව්‍යාස මුණිවරයානෙනි! ඔබත් භගවතී දේවියගේ පාද පද්මයන් උදෙසා ඔබේ හදවතින්ම ධ්‍යාන වඩන්න, දේවිය ඔබගේ සියලු ඉච්ඡාවන් සඵල කරනු ඇත. 


වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ සිව්වන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.