Saturday 5 August 1995

හයග්‍රීවගේ කථා වස්තුව


1-4. ඍෂිවරුන් පැවසීය: ඕ සූත! ඔබගේ පුදුම සහගත කියමන ශ්‍රවණය කිරිමෙන් අපගේ මනස් කුතුහලය නම් සාගරයේ ගිලී ඇත. සියල්ලහි ස්වාමීන් වන ජනාර්දන නාරයනගේ හිස ශරීරයෙන් වෙන් වූවා!  පසුව ඔහු තුරඟ මුහුණක් සහිත හයග්‍රීව ලෙස හැඳින්වූවා! ඕහ්! මේ තරම් පුදුමාකාර යමක් තිබේද? වේදයන්හී වර්ණනා කරන්නා වූ, සියලු කාරණයන්ගේ කාරණාව වන, ආදි දේව ජගන්නාතයන්ගේ හිස වෙන් වූයේ කෙසේද? අහෝ ප්‍රඥාවන්තය! ඒ සියල්ල අප හට විස්තරාත්මකව දේශනා කරනු මැනවි.

5-13. සූත පැවසිය; ඕ මුණිවරුනි! දෙවියන්ගේ දෙවියන් වන  උත්තරීතර ජවසම්පන්න විෂ්ණුගේ මහිමාන්විත ක්‍රියාවන් ශ්‍රවණය කරන්න. මෙම සිදුවීම සිදු වූයේ මීට කල්ප ගණනාවකට පෙරය. අසුර ශක්තීන් සමඟ වර්ෂ දසදහසක් පුරා සිදු කෙරූ අඛණ්ඩ සංග්‍රාමයක් හේතුවෙන් වෙහෙසට පත් වූ පරම දේව ජනාර්දන එක්තරා අලංකාර ස්ථානයක පද්මාසයෙන් තම දුන්න පොළව මත සිරස් ආකාරයට තබා යෝගනිද්‍රාවට සම වැදි සිටියේය. මේ අවස්ථාවෙදි ඉන්ද්‍ර ඇතුළු දේවතාවුන් සහ බ්‍රහ්ම, මහේශ යාගයක් පැවැත්වීමට සුදානම් කළේය. පසුව ඔවුන් යාගයන්ගේ ස්වාමී වන ස්වාමි ජානාර්දන බැහැ දැකීමට වෛකුන්තය වෙත පැමිණියත් උන්වහන්සේ එතන නොසිටියේය. පසුව තම ධ්‍යාන ශක්තියෙන් යෝග නිද්‍රාවට සම වැදි සිටින විෂ්ණු දෙවියන් සොයාගත් පසු එතුමා අවදි වනතාක් එම ස්ථානයෙහි රැඳි සිටියහ. දිගු කලක් රැඳී සිටියද එතුමා අවධි නොවු එයින් ඔවුන් කනස්සල්ලට පත් විය.

14. ඉන්ද්‍ර දේවතාවුන්ව ආමන්ත්‍රණය කළේය: “ඕ සුරයන්ගේ විශිෂ්ටයිනි! දැන් අප කුමක්ද කළ යුත්තේ? දෙවිදුන්ව යෝග නිද්‍රාවෙන් අවදි කරන්නෙ කෙසේද? ක්‍රියාත්මක කළ හැකි මාර්ගයක් කල්පනා කරන්න.”

16-18. ඉන්ද්‍රගේ වදන් ශ්‍රවණය කෙරු ශම්භු මෙසේ පැවසිය: “දේවතාවුන්ගේ විශිෂ්ටය! අප යාගය අවසන් කළ යුතුය. නමුත් දෙවිඳුන්ගේ නිද්‍රාවට බදා සිදුවුවහොත් එතුමා ක්‍රෝධයට පත්විය හැක.” ශංකරයන්ගේ වදන් ශ්‍රවණය කිරිමෙන් අනතුරුව බ්‍රහ්මා, නාරායනගේ දුන්නෙහි දුනු දිය කපා දමා එයින් නැගෙන ශබ්දයෙන් එතුමාව අවදි කිරීමට කුරුමිණියෙකු නිර්මාණය කළේය.

19-22. බ්‍රහ්මාගේ අණ ඇසු වාම්රී මෙසේ ආමන්ත්‍රණය කළේය: ඕ බ්‍රහ්මා! සකල ලෝක සත්ත්වයාටම ගුරු වූ ලක්ෂ්මී පති නාරායනගේ නිද්‍රාවට මා බාදා කරන්නේ කෙසේද? යොග නිද්‍රාවට බාදා කිරීම, යමෙකුගේ දේශනාවකට බාධා කිරීම, ස්වාමියා සහ බිරිඳ අතර පවතින බැඳීම බිඳ දැමීම, මවකගෙන් දරුවෙකු වෙන් කිරීම, ආදි මේ සියලු පාපයන් බ්‍රහ්මහත්‍යාව (බ්‍රාහ්මණයෙකු සංහාරය කිරීම) හා සමානය. එබැවින් අහෝ දෙවියනි! මා දේවාදි දේවයන්ගේ යෝග නිද්‍රාවට බාදා කරන්නේ කෙසේද? දුනුදිය සපා කෑමෙන් මා කරන්නා වූ මේ දුෂ්ට ක්‍රියාවෙන් මට අත් වන ප්‍රයෝජනය කිමද? යමෙකුට වාසිදායක ප්‍රතිඵලයක් ලැබේ නම් ඔහු පාපයක් වූවද සිදු කිරිමට සූදානම්ය, එබැවින් මටද ප්‍රයෝජනයක් අත්වේ නම් මා දුනුදිය සපා කෑමට සූදානම්ය.

23-24. බ්‍රහ්මා පැවසීය: අපගේ යාගයන්ගෙන් අත් වන ඵලයන්ගෙන් කොටසක් ඔබට ලබා දෙන්නෙමු. එබැවින් මට සවන් දෙනු; අපගේ කාර්‍ය සිදු කර විෂ්ණුව යෝග නිද්‍රාවෙන් අවදි කරනු. හෝමය සිදු කරන විට හෝම-කුණ්ඩයෙන් පිටතට වැටෙන සෑම ගිතෙල් ප්‍රමාණයක්ම ඔබට හිමිවනු ඇත. එබැවින් ඉක්මනින් තම කාර්‍ය ඉටු කරන්න.

25-31. සූත පැවසිය: බ්‍රහ්මාගේ ආදේශයන් පරිදි වාම්රි සිරස් අතට තිබු දුන්නෙහි දුනුදිය, කපා ඉවත් කළේය. තදින් බැඳ තිබු තියුණු දුනුදිය විශාල ශබ්දයක් නගමින් කැඩි ගියේය. දේවතාවුන් බියෙක් කැළතී ගියෝය; සමස්ථ විශ්වයම කලබලයට පත් විය; භූමි මාතාව කම්පා වී සාගරය වියරු විය; ජලජ සතුන් මවිතයට පත් විය; සෞම්‍ය සුළං චණ්ඩ මාරුතයක් බවට පෙරලිය; පර්වතයන් සෙලවෙන්නට විට, හිරු අවරට ගොස් සැඟවිය. කුමන නපුරක් පැමිණෙයේද යන්න කල්පනා කරමින් දේවතාවුන් කලබලයට පත් විය. දේවතාවුන් මේ පිළිබඳව පරික්ෂා කරන කල්කි බ්‍රහ්මා සහ මහාදේව, දේවාදිදේව විෂ්ණුගේ හිස ඔහුගේ ශරීරයෙන් වෙන් වී ඇති බව දුටුවහ.

32-36. හිස රහිත නාරායනගේ ශරීරය දුටු ඔවුන් විමතියට පත් වී; කම්පාවේ සාගරයේ ගිලෙමින් වැලපෙන්නට විය. අහෝ ස්වාමීනි! අහෝ දේවාදිදේව! අහෝ සදාකාලික තැනැත්තානෙනි!  කුමන අනපේක්ෂිත අසාමාන්‍ය ඛේදවාචකයක්ද අද අපට සිදු වූයේ! අහෝ දෙවිඳුනි! ඔබගේ ශරීරයට හානි කිරිමට කිසිවකට නොහැකිය; එසේනම් ඔබ වහන්සේගේ හිස ශරීරයෙන් වෙන් වූයේ කෙසේද! මෙය දේවතාවෙකුගේ මායාවක්ද? අහෝ සර්වව්‍යාප්ති දෙවිඳුනි! ඔබගේ තත්වය මෙසේ පවතින විට දේවතාවුන්ට වාසය කළ නොහැක; ඔබ අප කෙරෙහි දක්වන සෙනෙහස කුමක්දැයි අපි නොදනිමු. අපි හඬන්නේ අපගේ ආත්මාර්ථකාමී අවසානය නිසයි; ඇතැම් විට මෙය සිදු වූයේද එම නිසා විය හැක. දෛත්‍යන්, යක්ෂයන් හෝ රාක්ෂසය මෙයට වගකිව යුතු නොවේ; අහෝ ලක්ෂ්මියගේ ස්වාමීනි! කාගේ ක්‍රියාවක් අප භුක්ති විදින්නෙමුද? දේවතාවුන් විසින් දේවතාවුන්ටම කරගත් යමක්ද?

37-41. අහෝ දේවතාවුන්ගේ ස්වාමීනි! සියලු දේවතාවුන් දැන් ඔබගේ සරණ මතයි. අප දැන් කුමන ස්ථානයකට යම්ද?  අප කුමක් කරම්ද? මෙම අඥාන දේවතාවුන් බේරා ගැනීමට කිසිවෙක් නැත!

ශිව ඇතුළු අනෙකුත් දේවතාවුන් මෙලෙස හඩාවැළෙපෙනු දුටු වේදයන්ගේ කෙළ පැමිණි බ්‍රිහස්පති ඔවුන්ව මෙසේ සැනසුවේය: ඕ භාග්‍යවන්තය!  මෙසේ හඬමින් හා පසුතැවිලි වීමෙන් අත්වන ප්‍රයෝජනය කිම? ඔබ ඔබලාට සිදුවන විපත් වලට අවශ්‍ය පිළියම් යෙදිය යුතුය. ඕ දේවතාවුන්ගේ ස්වාමීනි! ඉරණම, යමෙකුගේ උත්සාහය සහ බුද්ධිය සමාන වේ. සාර්ථකත්වය ඉරණම හරහා නොපැමිණේ නම්, යමෙක් නිසැකවම තම කුසලතාවයන් පෙන්විය යුතුය.

42. අපගේ ඇස් පනාපිට විෂ්ණු දෙවිඳුගේ හිස වෙන් වන විට ඔබගේ උත්සාහය ගැන ලැජ්ජා වෙමි! ඔබගේ ශූරතාවය සහ බුද්ධිය පිළිබඳව ලැජ්ජා වෙමි! ඉරණම පිළිබඳව මාගේ අදහස නම්, උත්තරීතරය.

43-49. ඉක්බිතිව බ්‍රහ්මා මෙස පැවසුවේය: යහපත් හෝ යහපත් කුමක් සිදු වූවද සියල්ල සිදුවන්නේ දෛවයට අනුවය. සියල්ලොම එය පිළිගත යුතුය; කිසිවකට දෛවය අභිබවා යාමට නොහැකි බව. යමෙකු බෞතික ශරීරයක් ධාරනය කරගත් මොහොතේ පටන් සුඛ සහ දුක යන ආකාර ද්විත්වයම වින්දනය කළ යුතුය; ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැත. බලන්න පෙර කාලයේදි දෛවය හේතුකොට ශම්භු මාගේ හිස වෙන් කර ආකාරය. ඒ ආකාරයම අද දින නාරායනගේ හිස වෙන් වී ලවණ සමුද්‍රයට පතිතව ඇත. කාලයාගේ බලපෑමෙන් වරෙක ශචි දේවියගේ ස්වාමියා වන ඉන්ද්‍රගේ ශරීරයේ ලිංගික සළකුණු දහස් ගණන් ඇති වීම හේතුවෙන් ස්වර්ගයෙන් පිටුවහල් කොට මානසරෝවර විලෙහි වාසය කිරීමට සිදුවිය. ඕ තේජාන්විත පුද්ගලයිනි! එවැනි පුද්ගලයින් පවා වේදනාවට පත් වන්නේ නම්, සංසාරය තුළ දුක් නොවිඳින්නේ කවුරුන්ද! එබැවින් ඔබලා සියල්ලෝම ශෝක වීම නවත්වා සියල්ලෙහි ආධාරකය වන ත්‍රිගුණයන් පරයන, මූල ප්‍රකෘතිය වන, තුන් ලෝකය පුරා පැතිරී සිටින්නා වූ, බ්‍රහ්මවිද්‍යාවේ ස්වභාවය වන, සියලු ජිවීන්ගේ මාතාව වන්නා වූ, සදාකාලික මහාමායාව උදෙසා ධ්‍යාන වඩන්න. ඇය අපගෙ සුභ සාධනය උදෙසා කටයුතු කරනු ඇත.

50. සූත පැවසිය: දේවතාවුන් වෙත මේ ආකාරයෙන් පැවසීමෙන් පසු බ්‍රහ්මා දේවතාවුන්ගේ අභිවෘද්ධිය තකා සියලු වේදයන් ආවාහනය කළේය.

51-52. බ්‍රහ්මා පැවසීය ඕ වේදයිනි! දැන්ම ගොස් සියලු කාර්‍යන් සඵල කරන්නා වූ, සියලු ස්වරූපයන්ගෙන් සැඟවී සිටින, සදාකාලික පූජනීය උත්තරීතර බ්‍රහ්මවිද්‍යාව (පරම සත්‍ය) වන මහාමායව උදෙසා ගීතිකාවන් ගායනා කරනු. ඔහුගේ වදන් ඇසීමෙන් අනතුරුව අලංකාර වේදයන්,  ඥානය ඔස්සේ වටහාගත හැකි, සර්ව ව්‍යාප්ති මහාමායාව උදෙසා ගීතිකාවන් ගායනා කරන්නට විය.

වේද උවාච:
නමෝ දේවී මහාමායේ විශ්චොත්පිකරේ ශිවේ
නිර්ගුණේ සර්වභූතේශි මාතහ් ශංකරකාමදේ ॥ 53 ॥

53. වේදයන් පැවසීය; දේවියට ගෞරව වේවා! සියලු ගුණයන් පරයන, සියලු සත්ත්වයන්ගේ පාලකයා වන, විශ්වයේ නිර්මාතෘ වන ශංකරයන්ට පවා අභිප්‍රායන් ප්‍රධානය කරන උත්කෘෂ්ට මහාමායාවට අප නමස්කාර කරමු!

ත්වම් භූමී සර්වභූතානං ප්‍රාණ ප්‍රාණවතාං තථා
බුද්ධී ශ්‍රී කාන්ති ක්ෂමා ශාන්ති ශ්‍රද්ධා මේධා ධෘති ස්මෘති ॥ 54 ॥

54. ඔබ සියල්ලෙහි ග්‍රාහිකාව වන්නීය; ඔබ සියලු ජිවීන්ගේ ප්‍රාණය වන්නීය; ඔබ සියල්ලන්ගේම බුද්ධිය, ශ්‍රියාව, ශෝභාව, ක්ෂමාව, ශාන්තිය, ශ්‍රද්ධාව, මෙධාව, ධෛර්ය සහ ස්මරණය වන සේක.

ත්වමුදගීතේර්ධමාත්‍රාසි ගායත්‍රී ව්‍යාහතිස්තථා
ජයා ච විජයා ධාත්‍රී ලජ්ජා කීර්ති ස්ප්‍රහා දයා ॥ 55 ॥

55. ඔබ ප්‍රණවාක්ෂරයේ (ඕම්) හී බින්දුවයි, ඔබ අර්ධ චන්ද්‍රයාගේ ස්වභාවයයි; ඔබ ගායත්‍රියයි; ඔබ සකල සත්ත්වයාගේ ව්‍යාර්හිතියයි (උච්චාරණය, ප්‍රකාශය සහ ස්වරය), ඔබ ජයා, විජයා, ධාත්‍රිය (දරා සිටින්නිය), ලජ්ජාව, කීර්තිය, ඉච්ඡාව සහ දයාවයි.

ත්වාම් සංස්තුමෝම්බ භුවනත්‍රය සංවිධාන දශ්ෂාම් දයාරසයුතාම් ජනනීම් ජනානාම්
විද්‍යාම් ශිවාම් සකල ලෝකහිතාම් වරේණ්‍යාම් වාග්බීජ වාසනිපුණාම් භවනා ශකර්ත්‍රීම් ॥ 56 ॥
බ්‍රහ්මා හරහ ශෞරිසහස්ත්‍රනේත්‍ර වාග්බහ්ධි සූර්‍යා භුවනාධිනාථාහ්
තේ ත්වකෘතා සංති තතෝ න මුඛ්‍යා මාතා යතස්ත්වම් ස්ථිරජංගමානාම් ॥ 57 ॥

56-57. ඕ මෑණියනි! ඔබ තුන් ලෝකයේ දයානුකම්පිත මාතාවයි, ඔබ සමස්ථ ලෝකයන්ටම යහපත් වූ, උත්කෘෂ්ට විද්‍යාවයි. ඔබ විශ්වයේ සංහාරිකාව මෙන්ම, දක්ෂ ලෙස බීජාක්ෂරයන්හි සැඟවී සිටින්නියයි. එබැවින් අප ඔබතුමියව ප්‍රශංසා කරන්නෙමු. ඕ මෑණියනි! බ්‍රහ්මා, විෂ්ණු, මහේශ්වර, ඉන්ද්‍ර, සූර්‍ය, අග්නි, සරස්වතී සහ අනෙකුත් ක්ෂේත්‍රයන් ඔබගේ නිර්මාණයන් වේ; එබැවින් ඒ කිසිවෙකු හෝ ඔබට වඩා උසස් නොවේ, ඔබ විචල අවිචල යන සියල්ලෙහිම මාතාවයි.

සකලභුවනමේතත් කර්තුකාමා යදා ත්වම් ස්‍රජසි ජනනි දේවාං විෂ්ණු රුද්‍රා ජමුඛ්‍යාං
ස්ථිතිලයජනනම් තෛ කාරයස්යේකරූපා න ඛලු තව කතංචිද් දේවි සංසාරලේශහ ॥ 58 ॥
න තේ රූපම් වේත්තුම් සකල භුවනේ කෝපි නිපුණෝ න නාම්නාම් සංඛ්‍යා තේ කතිතුමිහ යෝග්යෝස්ති පුරුෂහ
යදල්පම් කීලාලම් කලයිතුමශක්ත ස තු නර කතම් පාරාවාරා කලනචතුරහ ස්‍යාදෘතමති ॥ 59 ॥

58-59. ඕ මෑණියනි! ඔබට විශ්වය නිර්මාණය කිරීමට අවශ්‍ය වූ විට, ඔබ ප්‍රථමයෙන් බ්‍රහ්මා, විෂ්ණු සහ රුද්‍ර නිර්මාණය කොට, නිර්මාණය, සංරක්ෂණය සහ සංහාරය යන කාර්‍යන් පැවරු නමුත් ඔබතුමිය සංසාරය කෙරෙහි බන්ධනය නොවන්නාය. ඔබතුමිය සදාකල් නියත ස්වරූපයෙන් වැඩ සිටින්නීය

න දේවානාම් මධ්යේ භගවති තවාංනන්ත විභවම් විඥානාත්යේකෝපි ත්වමිහ භුවනෛකාසිං ජනනී
කතම් මිත්‍යා විශ්වම් සකලමපි චෛකා රචයසි පරමාණම් ත්වේතස්මිං නිගම වචනම් දේවි විහිතම් ॥ 60॥

60. ඔබගේ ස්වභාවය වටහා ගත හැකි සමතෙකු සංසාරය තුළ නොමැත්තේය; ඔබේ නාමයන් ප්‍රමාණය ගණනය කිරිමටද සමතෙකු නොවන්නේය. සාමාන්‍ය ළිඳක් හො තරණය කිරීමට අපොහොසත් වන අයෙකුට සංසාර සාගරය කෙසේ නම් තරණය කරන්නද.

නිරීහෛවාසි ත්වම් නිඛිල ජගතාම් කාරණමහෝ චරිත්‍රම් තේ චිත්‍රම් භගවති මනෝ නෝ ව්‍යතයති
කතංකාරම් වාච්‍යහ සකලනිගමා ගෝචර ගුණ ප්‍රභාවහ ස්වම් යස්මාත් ස්වයමපි න ජානාසි පරමම් ॥ 61 ॥

61. ඕ භගවතී! ඔබගේ අසීමිත ශක්තිය සහ මහිමය පිළිබඳව සම්පූර්ණයෙන් දන්නා අයෙකු දේවතාවුන් අතර හෝ නොමැත. විශ්වයේ ආර්‍යව සහ මාතාව ඔබම පමණි.

න කිං ජානාසි ත්වම් ජනනි මධුජිං මෞලිපතනම් ශිවේ කිං වා ඥානත්වා විවිදිශසි ශක්තිම් මධුජිතහ
හරේ කිංවා මාතර්දුරිත තතිරේශා බලවතී භවෙත්‍යාහ් පාදාබ්ජේ භජනනිපුණේ ක්වාස්ති දුරිතම් ॥ 62 ॥

62. මේ යථාර්ථවාදී නොවන විශ්වය ඔබ තනිවම නිර්මාණය කල බවට සමස්ථ වේදයන් සියල්ලම සාක්ෂි දරයි. ඕ දේවිය! ඔබ කිසිදු උත්සාහයක් හෝ ආශාවන් කිසිවක් නොමැතිව මෙම දෘශ්‍යමාන ලෝකයේ නොවෙනස්ව පවතින හේතුව බවට පත්ව ඇත. මෙය මහත් ආශ්චර්යකි.  පරස්පර ප්‍රභේද සහිත මෙම සංයෝජනය අපට සිතා ගත නොහැක. ඔබ ඔබේ ස්වභාවය නොදන්නා විට, වේදයන් හො ඔබේ ශක්තිය නොදන්නා විට, අප කෙසේ නම් ඔබව වටහා ගන්නෙමුද!

63-64. “ඕ මෑණියනි ඔබ නාරයනගේ හිස අහිමි වීම පිළිබඳව දැන සිටියද, ඔබ ඔහුගේ ශක්තිය පරික්ෂා කරන්නාය. හරි (විෂ්ණු) කුමක් හෝ පාපයක් සිදු කළේද? එසේ සිදු වන්නේ කෙසේද!  ඔබට සේවය කරන ඔබේ අනුගාමිකයන් තුළ පාපය පවතින්නේ කෙසේද! ඕ මෑණියනි!  ඇයි ඔබ මෙතරම් දේවතාවන් කෙරෙහි උදාසීනව සිටින්නේ! නාරායනගේ හිස අහිමි වීම මහත් ආශ්චර්යයකි. ඇත්තෙන්ම අපි මහා ඛේදවාචකයකට මුහුණ දී සිටිමු. ඔබේ බැතිමතුන්ගේ දුක ඉවත් කිරීමට ඔබ දක්‍ෂයෙකි. එසේනම් ඇයි ඔබ නාරායනගේ හිස යථා තත්වයට පත් කිරීමට මෙතරම් ප්‍රමාද වන්නේ.”

65-68. “ඕ දේවී! ඔබ දේවතාවුන්ගේ ක්‍රියාවන් විෂ්ණු මත පැටවුවාද? නැතහොත් විෂ්ණු අහංකාර වීම හේතුවෙන් ඔබ එය මැඩ පැවැත්වුවාද? නැතහොත් කිසියම් දෛත්‍යකු ශුද්ධ වූ ස්ථානයක සිට තපසක් රැක වර ලැබු හෙයින් විෂ්ණුගේ හිස අහිමි වුවාද? නැතහොත් ඔබට විෂ්ණුගේ හිස රහිත ශරීරය දැකිමට ආශාවක් පහළ වී, මෙය සිදු කෙළේද? ඕ ආධ්‍යා ශක්තී! ඔබ ලක්ෂ්මිය සමඟ කෝපයෙන් ඇයගේ ස්වාමියා උදුරාගත්තෙහිද? ලක්ෂ්මියද ඔබතුමියගේම අංශුවකි, එබැවින් ඔබතුමියට ඇයට සමාව දිය යුතුය. සමස්ථ මුඛ්‍ය දේවතාවුන් ඔබතුමියට සේවය කරන්නේය; නිරන්තරයෙන් ඔබතුමියට ප්‍රණාමය කරන්නේය. ඕ දේවි! කරුණාවන්ත වී සකල ලෝක ස්වාමි නාරායනට නැවත ප්‍රාණය ලබා දී අපව මෙම ශෝක සාගරයෙන් මුදවා ගනු මැනවී. ඔබතුමිය හැර අපට අන් සරණක් නොමැත, අමෘතය ප්‍රාණය ලබා දෙන්නා සේ සමස්ථ සංසාරයට ජන්මය ලබා දුන් ඔබතුමියට, විෂ්ණුගේ ප්‍රාණය නැවත ලබාදීමට නොහැකි මන්ද?”

69-73. සූත පැවසිය: වේදයන් තමන්ගේ අංග සහ සාමගාන (සාම වේදයේ ගීතිකා) සමඟ මේ ආකාරයට වර්ණනා කළ අතර, එයින් නිර්ගුණ මහාමායාව ප්‍රසන්න වුවාය. සියල්ලන්ගේම ශ්‍රවණේන්ද්‍රියන් තෘප්තිපත් කරමින් ගුවනේ සිට ස්වරූපයක් රහිත දිව්‍යමය ස්වරයක් ඇසෙන්නට විය. “ඕ සුර ගණය! කිසිවක් පිළිබඳව තැකීමක් නොකරන්න. සිහියට පැමිණෙන්න, ඔබ සියල්ලෝම අමරණීය වන්නේය. වේදයන් ගායනා කෙරු ගීතිකා කෙරෙහි මා අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැත. ඔබලා එම ගායනා කෙරු ස්තෝත්‍රය යමෙකු මා උදෙසා ගායනා කරන්නේද, ඔවුන්ගේ සියලු ඉච්ඡාවන් සඵල වනු ඇත. යමෙක් තුන් සන්ධ්‍යාවන්හී (උදේ, දහවල් සහ රාත්‍රී) භක්තියෙන් මෙම ස්තෝත්‍රය ශ්‍රවණය කරන්නේද, ඔහු සියලු බාධකයන්ගෙන් මුක්ත වී සතුට ලඟා කරගන්නේය. වේදයන් විසින්ම මෙම ස්තෝත්‍රය ගායනා කළ හෙයින් වේදය හා සමාන වේ.”

74-84. සංසාරය තුළ හේතුවක් රහිත ඵලයක් තිබේද? හරි ගේ හිස වෙන් වීම පිළිබඳව හේතුව දැන් අසන්න. එක් තරා කාලයක විෂ්ණු දෙවිඳුන් ලක්ෂ්මිය සමඟ වාසය කරන කල්හි ලක්ෂ්මී දේවියගේ වත දෙසු බැලූ නාරායන සිනහ පහළ කළේය. එවිට ලක්ෂ්මී දේවිය මෙසේ කල්පනා කළාය, “ නිසැකවම ඔහු මාගේ වතෙහි අප්‍රිය යමක් දුටු හෙයින් සිනහා පහළ කරේය. එසේ නොමැතිනම් මාගේ ස්වාමියා මට කුමකට සිනහ පහළ කරන්නේද! නමුත් මාගේ වතෙහි තිබෙන අප්‍රියතාව කුමක්ද! නැතහොත් ඔහු වෙනත් ස්ත්‍රියක් පිළිබඳව සිතනවාද” මෙලෙස තමාගේ සිතුවිලි තුළ නිමග්නව සිටි මහාලක්ෂ්මී දේවියට තාමසික ගුණ ආරෝපනය වන්නට විය. ඉක්බිති තාමසික ගුණෙහි බලපෑම් හේතුවෙන් කෝපයට පත් වූ දේවිය මෙලෙස ප්‍රකාශ කළාය; “මා වෙත සිනහා පහළ කෙරු නුඹගේ හිස වෙන් වේවා!” මෙලෙස නිරතුරුව කැළඹීමට පත්වන ස්ත්‍රී ගුණය සහ දෛවය හේතුකොට ගෙන ලක්ෂ්මිය කිසිඳු යහපතක් හෝ අයහපතක් පිළිබඳව නොසිතා දෙවිඳුන්ට ශාප කළාය. තාමසික ශක්තිය හේතුවෙන් තමා වැන්දඹුවක් වීමට වඩා පර ස්ත්‍රීන් ලැබීම දුක්ඛිත යයි සිතුවාය. අසත්‍යයභාවය, නිෂ්ඵල නිර්භීතකම, කපටිකම, අඥාන භාවය, නොඉවසීම, අධික කෑදරකම, අපිරිසිදුකම සහ රළු බව කාන්තාවන්ගේ ස්වාභාවික ගුණාංගයි. එම ශාපය හේතුකොට ගෙන වාසුදේවයන්ගේ හිස ලවණ සමුද්‍රය වෙත පතිත වුනි. මා දැන් එය පෙර ආකාරයටම සකසන්නෙමි.

85. අහෝ සුර ගණය! මෙයට හේතුවන තවත් කාරණයක්ද තිබේ, එය නුඹලාට ඉතාමත් යහපත් වනු ඇත.

86-92. පුරාණ කාලයේදි ඉතා ප්‍රසිද්ධ දෛත්‍යකු වන හයග්‍රීව සරස්වතී නදියෙහි පාමුල තපසක නිරත වුයේය. සියලු ආකාරයේ වින්දනයන් අතහැර දැමීම, සමඟ ඔහුගේ ඉන්ද්‍රියයන් පාලනය කරගනිමින් කිසිඳු ආහාරයක් නොමැතිව මාගේ තාමසික ශක්ති ස්වරූප උදෙසා මායා-බීජය (හ්‍රීම්) ජප කරමින් වර්ෂ දහසක භයානක තපසක නිරත විය. මාද තාමසික ස්වරූපයෙන් ඔහු තපස් රකින ස්ථානයෙහි ප්‍රකට වුවාය. එහිදි සිංහයා මත විරාජමානව සිටිමින් ඔහුගේ තපස කෙරෙහි ප්‍රසන්න වී මා ඔහුව ආමන්ත්‍රණය කළෙමි; ඕ තේජානවිත තැනැත්ත! මා ඔබට වර ප්‍රධානය කිරිම උදෙසා මෙහි පැමිණියෙමි. දේවියගේ වදන් ශ්‍රවණය කෙරු දෛත්‍යයා භක්තියෙන් ඇයගේ පාද පද්මයන් නමස්කාර කොට කඳුළු පිරුණු දෑස් වලින් මා හට ස්තෝත්‍ර ගායනා කළේය.

නමෝ දේව්යේ මහාමායේ ඍෂ්ටි ස්ථිත්‍යන්ත කාරිණි
භක්තානුග්‍රහ චතුරේ කාමදේ මෝක්ෂදේ ශිවේ ॥93॥

93. හයග්‍රීව පැවසීය; නමස්කාර වේවා මහාමායා දේවියට! සංසාරයේ නිර්මාතෘ, සංරක්ෂක මෙන්ම සංහාරක වන ඔබතුමියට මාගේ ප්‍රණාමය වේවා!

ධරාංබුතේජහ පවනඛපාංචානංම් ච කාරණම්
ත්වම් ගන්ධ රස රූපාණාම් කාරණම් ස්පර්ශ ශබ්ධයෝ ॥94॥

94. ඔබේ සැදැහැවතුන්ට උපකාර  දැක්වීමට දක්ෂ වන්තිය! ඔබතුමියට නමස්කාර වේවා! මුක්තිය ප්‍රධානය කරන්නිය! ඔබ තුමිය පඨවි, ආපෝ, තේජො, වායු සහ ආකාශ නම් පංච මහා ධාතුන්ද, ගන්ධ, රස, රූප, ස්පර්ශ සහ ශබ්ද යන පංච තන්මාත්‍ර ද ඔබතුමිය වන සේක!

ග්‍රාණම් ච රසනා චක්ෂු ස්ත්වක්ශ්‍රෝත්‍රම් ඉන්ද්‍රියානි ච
කර්මේංද්‍රියානි චාංයානි ත්වතහ සර්වම් මහේශ්වරි ॥95॥

95. ඕ මහේශ්වරි ඔබා පංච ඥානේන්ද්‍රියන් වන ඇස, කණ, නාසය, දිව සහ ශරීරයද, පංච කර්මේන්ද්‍රිය වන අත්, පා, මුඛය, ගුදය සහ ලිංගික අවයවද ඔබතුමිය විසින් නිර්මාණය කොට ඇත.

96. දේවිය පැවසුවාය: “ඕ දරුව! මා ඔබගේ විස්මිත තපස සහ භක්තිය කෙරෙහි ප්‍රසන්න වූයෙමි. ඔබට අවශ්‍ය වරය කුමක්ද යැයි පවසන්න. මා ඔබගේ ඉච්ඡා වරය ලබා දෙමි.”

97. හයග්‍රීව පැවසුවේය: “ ඕ මෑණියනි! මරණය මා වෙත නොපැමිණීමට වරයන් ලබා දෙන්න. මා දේවතාවුන් සහ අසුරයන්ගෙන් අදෘශ්‍යමාන වී යෝගියෙක් මෙන්ම අමරණීය පුද්ගලයෙකු වීමට වර ලබාදෙන්න.

98. දේවිය පැවසුවාය; “මරණය උත්පත්තිය රැගෙන එන්නේය, උත්පත්තිය මරණය රැගෙන එන්නේය; මෙය වැළැක්වීමට නොහැකිය. එය සංසාරයේ නියෝගය වන අතර කිසිදා එය භංග නොවේ. රාක්ෂසයන්ගේ උත්තරීතරය!  මරණය නියත බව දැනගනිමින්, හොදින් සිතා වෙනත් වරයක් ඉල්ලනු.”

100. හයග්‍රීව පැවසිය: “ ඕ  විශ්වමෑණියනි! ඔබ තුමිය මා හට අමරණීය භාවය පුද නොකරන්නේ නම්, එසේ නම් මට වරයන් ලබාදෙන්න මාගේ මරණය අශ්ව හිසක් සහිත පුද්ගලයකු හැර වෙනත් යමෙකුගෙන් සිදු නොවීමට. දයානුකම්පිත වී මම කැමති මෙම වරප්‍රසාදය මා හට ලබා දෙන්න. "
101. ඕ භාග්‍යවන්තය: “ නැවත ගොස් ඔබට රිසි සේ රාජ්‍ය පාලනය කරනු, ඔබගේ මරණය අශ්ව හිසක් සහිතෙකු හැර වෙනත් කිසිවෙකු ඔස්සේ සිදු නොවනු ඇත.

102-104. “මෙලෙස වර ප්‍රධානය කරමින් දේවිය නික්මුණාය. වරය පිළිබඳව සතුටු වෙමින් ඔහු තම නිවසට පැමිණී අතර එතැන් පටන් ඔහු වේදයන්ට, දේවතාවුන්ට සහ මුණිවරුන්ට බොහෝ පීඩා සිදු කරන්නේය. තුන් ලෝකයෙහි ඔහුව සංහාරය කිරීමට සමත් කිසිවෙකුත් නොවේ. එබැවින් විශ්වකර්මා හට අශ්ව හිසක් ගෙනවිත් විෂ්ණුගේ ශරීරයට බද්දට කිරීමට ඉඩ දෙනු. එවිට දේවතාවුන්ගේ යහපත උදෙසා හයග්‍රීව දෙවිදුන් එම අසුර හයග්‍රීව සංහාරය කරනු ඇත.

107-112. සූත පැවසුවේය: මෙලෙස පවසමින් භගවතී දේවියගේ ස්වරය ශාන්ත වූවාය. ඉන්පසු ඉතමත් සතුටු වූ දේවතාවුන් විශ්වකර්මා ආමන්ත්‍රණය කළහ: “කරුණාකර මෙම දිව්‍යමය කාර්‍ය සිදු කරන්න. විෂ්ණුගේ හිස නැවත සකසන්න. ඔහු හයග්‍රීව බවට පත් වී එම අසුරයා සංහාරය කරනු ඇත. සූත පැවසීය: මෙම වද ඇසු විශ්වකර්මා ඉක්මනින් විෂ්ණුගේ ශරීරයට අශ්ව හිසක් බද්ධ කළ අතර මහාමායාවගේ කරුණාවෙන් දෙවිඳුන් හයග්‍රීව බවට පත් විය. දින කිහිපයකට පසුව හයග්‍රීව දෙවිඳුන් දේවතාවුන්ගේ ශතෘ වන එම අසුරයා සංහාරය කරන ලදී. ඕනෑම මිනිසෙකු, මෙම ශ්‍රේෂ්ඨ පුරාවෘත්තය ශ්‍රවණය කරන්නේද, නිසැකවම සියලු ආකාරයේ දුෂ්කරතා වලින් නිදහස් වේ. මහාමායාවගේ මහිමාන්විත ක්‍රියාවන් පරායනය හෝ ශ්‍රවණ කිරිමෙන් සියලු පාපයන් විනාශ වී, සියලු ආකාරයේ සමෘද්ධිය ලැබේ.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ පස්වන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.