Sunday 6 August 1995

6) මධු සහ කෛටභ යුද්ධය සඳහා සුදානම් වීම

1-16. ඍෂි වරුන් පැවසූහ: ඕ සෞම්‍ය! ඔබ දැන් වර්ෂ පන්දහසක් පුරා මහා සාගරය මධ්‍යයේ විෂ්ණු සහ මධු කෛතභ සංග්‍රාමය පිළිබඳව පැවසුවේය. දේවතාවුන්ගෙන් අදෘශ්‍යමාන වූ,  එම බලවත් අසුරයන් දෙදෙනා ජන්මය ලැබුවේ කෙසේද? කරුණාකර එම අපූර්ව වෘතාන්තය අප හට පවසනු මැනවි. අප සියල්ලෝම එය ඇසීමට උත්සුක වන්නෙමු. ඔබතුමා මහා පඬිවරයෙකු මෙන්ම මනා කථිකයෙකු වන්නේය. එබැවින් මෙහි පැමිණීම අප ලද භාග්‍යකි. අඥාන භාවය සමඟ වාසය කිරීම ඉතාමත් දුක් සහගත වේ; ඥාන භාවය සමඟ වාසය කිරිම අමෘතය මෙන් මහත් තෘප්තියකි. තිරිසන් සත්වයන් ලෝකයෙහි වාසය කරන්නේ අඥාන භාවයෙනි. ඔවුන් සත්‍ය අසත්‍යභාවය පිළිබඳව නොසිතයි, මෝක්ෂය අපේක්ෂා නොකරයි. එබැවින් භාගවත ශ්‍රවණය කිරීමට ප්‍රිය නොවන්නාද මෘගයකු හා සමානය; ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැත. මිග ආදි අනෙකුත් සත්ත්වයන්ට මනුෂ්‍යන්ට මෙන් ඇසිමේ හැකියාවක් පවති; පචේන්ද්‍රියන් වලින් දෘෂ්ටි ඉන්ද්‍රියයන් සහ ශ්‍රවණ ඉන්ද්‍රියයන් විශේෂ වන්නේය. මක්නිසාද යත් දැනුම පැනනගින්නේ ඇසීමෙන් වන අතර හදවත තෘප්තිමත් වන්නේ දැකීමෙනි. එබැවින් පඬිවරුන් ශ්‍රවණය මෙලෙස ආකාර ත්‍රිත්වයකින් දක්වා තිබේ; 1) සාත්ත්වික, 2) රාජසික සහ 3)තාමසික වේ; වේද සහ අනෙකුත් ශාස්ත්‍රයන් සාත්ත්වික වන්නේය; සාහිත්‍ය රාජසික වන්නේය; සංග්‍රාම සහ විවේචනයන් තාමසික වේ.  ඥානාන්විත පුද්ගලයන් ශාස්ත්‍රයන් උත්තම, මධ්‍යම සහ අධම ලෙස උප කොටස් ත්‍රිත්වයකට වෙන්කරනු ලබයි. මොක්ෂය ප්‍රාප්ත කරන ශාස්ත්‍රයන් උත්තම වන්නේය; ස්වර්ග සුව ලබාදෙන ශාස්ත්‍රයන් මධ්‍යම වන්නේය; බෞතික සුවයන් ලබාදෙන ශාස්ත්‍රයන් අධම වන්නේය. සාහිත්‍යද උත්තම, මධ්‍යම සහ අධම ලෙස ආකාර ත්‍රිත්වයකට වෙන් කොට තිබේ, සත් පුරුෂයන්, නිත්‍යානුකූල ජීවත් වීම විස්තර කරන සාහිත්‍ය උත්තම වේ. නිත්‍යානුකූල නොවන බැඳිම් උප භාර්‍යාවන් පිළිබඳ තතු මධ්‍යම වන්නේය. විපරීත පුද්ගලයන් පිළිබඳව තතු අධම වන්නේය. බෞතික සුවයන් ලබා දෙන තාමසික ශාස්ත්‍රයන්ද මෙලෙස උප ආකාර ත්‍රිත්වයකි. අධාර්මික පුද්ගලයන් සමඟ සිදු කරන සංග්‍රාම පිළිබඳ තතු උත්තම වේ, පාණ්ඩවයන්ගේ සිදු වීම මෙන්  ශතෘ භාවය සහ එදිරිවාදි බව හේතුවෙන් සිදුවන සංග්‍රාමයන් පිළිබඳ තතු මධ්‍යම වේ. කිසිඳු හේතුවක් රහිතව සිදුවන සංග්‍රාම පිළිබඳ තතු අධම වේ. 

17-18. එබැවින්, ප්‍රඥාවන්තය! පුරාණයන් ශ්‍රවණය කිරීම සියලු ශාස්ත්‍රයන්ට වඩා උත්තරීතර වන්නේය, එබැවින් පාපයන් දුරු වී පුණ්‍යන් ප්‍රාප්ත කරගන්නේය.  ඕ බුද්ධිමතානෙනි! කරුණාකර ඔබ ක්‍රිෂ්ණ ද්වෛපායනගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කෙරූ මෝක්ෂය ලබාදෙන එම පුරාණයන් අප හට දේශනා කරනු මැනවි.

19-27. සූත පැවසිය: ඕ භාග්‍යවන්තය! ඔබලා පුරාණයන් ශ්‍රවණය කිරීමට උත්සුක වන හෙයින් මා ඒවා දේශනා කිරීමට සුදානම්ය. එවිට අප දේපාර්ශවයම ආශිර්වාද ලබා ඇත්තො වෙමු.

සියල්ලටම ප්‍රථමව සියලු සක්වළ එක් මැ දිය කඳෙක් වැ සිටියි. එ සමයෙහි දේවාදේව ජනාර්දන විෂ්ණු අනන්ත සයනය මත යෝගනිද්‍රාවෙහි යෙදී සිටින කල්හි ඔහුගේ කලාඳුරු වලින් මහාබල මධු සහ කෛටභ නම් අසුරයන් දෙදෙනෙකු ජන්මය ලැබූහ. කලක් පුරා ඔවුන් ජලයෙහි ක්‍රීඩා කරන කල්හි ඔවුන්ට වැටහුවේ සංසාරයේ කිසිවක් හේතුවක් රහිතව සිදු නොවන බවයි. මේ සාගරයෙහි පාදම කුමක්ද? මෙහි නිර්මාතෘ කවුරු වේද? මෙය කෙසේ නිර්මාණය කළේද? අප මෙම සාගරයේ කුමක් කරන්නෙමුද? අපගේ නිර්මාතෘ කවරහුද? මේ ආකරයට සිතමින් අවසානයේ තීරණයක් ගැනීමට නොහැකි වූ කල්හි කෛතභ තම සොහොයුරා ආමන්ත්‍රණය කළේය.

28-36. සොහොයුර! පෙනෙන ලෙස අප මෙම සාගරයේ රැඳී සිටීමට යම් ස්ථිර ශක්තියක් මුල් වී ඇත. මෙම සම්පූර්ණයෙන් සාගරය එම ශක්තිය මත රඳා පවති. එම සර්වෝච්‍ය දේවිය මේ සියල්ලෙහි මූලයයි.

මෙලෙස ඔවුන් අවබෝධ කරගන්න කල්හි ආකාශ ධාතුවේ සිටි මධුර ස්වරයකින් ඔවුන්ට වාග්බීජය (සරස්වතී දේවියගේ බීජ මන්ත්‍රය - අයිම්) ශ්‍රවණය විය. ඉන්පසු ඔවුන් වාග් බීජය ස්ථාවර භාවයෙන් ජප කරන්නට විය. එවිට දීප්තිමත් තීව්‍ර ආලෝකයක් ගුවනෙහි පෙනි සිටි අතර එය ක්‍රම ක්‍රමයෙක් ස්වරූපයට පත් විය. ඒ වාග් විද්‍යාවට අධිපතිනිය වන සරස්වතී දේවියගේ සගුණ ස්වරූපයයි. මෙයින් තව තවත් උද්යෝගි වූ ඔවුන් කුසට අහරක් නොමැතිව, එකාග්‍රතාවයෙන් එම මන්ත්‍රය ජප කරන්නට විය. මේ ආකාරයට වර්ශ දහසක් උත්තරිත ධ්‍යානයෙහි නිරත විය. සර්වබලධාරි ආද්‍යා ශක්තිය ඔවුන් කෙරෙහි ප්‍රසන්න වූ කල්හී නිරාකාර ස්වරයකින් ගුවනේ සිට ඔවුන්ව ආමන්ත්‍රණය කළාය. "ඕ දානවයනි! මා ඔබලාගේ තපස කෙරෙහි අතිශයින් ප්‍රසන්න වුයෙමි; එබැවින් ඔබට රිසි වරයක් ඉල්ලනු; මා එය ලබා දෙමි." 

37. එම ස්වරය ශ්‍රවණය කෙරු අසුරයන් දෙදෙනා මෙසේ පැවසීය: "ඕ දේවීය! අපට ඉච්ඡා මෘත්‍ය වරය ප්‍රධානය කරනු මැනවි. (තමාගේ කැමැත්ත අනුව තම මරණය සිදු වීමට) 

38. මෙය ශ්‍රවණය කෙරූ සරස්වතී දේවිය; ඕ දානවයනි! මාගේ ආශිර්වාදය හේතුකොට නිසැකවම නුඹලාගේ මරණය නුඹලාට රිසි අයුරින් සිදු වනු ඇත. එමෙන්ම ඔබ දෙදෙනා සියලු සුර අසුරයන්ට අදෘශ්‍යමාන වනු ඇත. එහි කිසිඳු සැකයක් නොමැත.

39-40. සූත පැවසිය: දේවියගෙන් ලද වරය හේතු කොට අහංකාරයෙන් මත් වුනු ඔවුන් ජලජ ජිවීන් සමඟ ක්‍රීඩා කරන්නට විය. ඕ බ්‍රාහ්මණයනි! යම් කාලයක් ගතවූ පසු ඔවුන් දුටුවේ විෂ්ණුගේ නාභි කමල මත වැඩ සිටින ප්‍රජාපතී බ්‍රහ්මාය. කුතුහලයෙන් මත් වු ඔවුන් බ්‍රහ්මාට යුද්ධය සඳහා ඇරයුම් කළහ: "ඕ සුව්‍රත! යුද්ධ කරනු නැතහොත් මෙම ස්ථානයෙන් පිට වී නුඹට රිසි ස්ථානයකට පිටවනු. ඔබ වයෝවෘද හෙයින් ඔය පද්මාසනය නුඹට සුදුසු නොවේ. එය විදිය යුත්තේ අප වැනි ශූරයන් විසිනි. එසේ ඔබ බියගුල්ලෙකු නම් වහා පිටවු යනු. දානවයන්ගේ හඬ ඇසුනු ධ්‍යානයට සමවැදි සිටි බ්‍රහ්මා ඔවුන් දැක මා දැන් කුමක් කරම්ද? ලෙස කල්පනා කරන්නට විය.  

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ හයවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.