Friday 19 January 1996

සත්‍යවෘතගේ වෘතාන්තය

1-2. නාරද පැවසිය: "පියාණනි! ඔබ වහන්සේ මා හට ත්‍රිවිධ ගුණයන්ගේ ස්වභාවයන් විස්තර කළේය. ඔබේ පද්මයක් වන මුඛයෙන් මා අමෘතය පානය කළද, තවමත් මා සෑහීමකට පත් නොවෙමි. කාරුණිකව, විස්තරාත්මකව, නියමිත පිළිවෙළට, මා හට ත්‍රිවිධ ගුණයන් පැහැදිලිව හඳුනා ගත හැකි ආකාරය විස්තර කරන්න, එවිට මා හට ඉහළම මනෝභාවයක් ලබා ගත හැකිය.

3. ව්‍යාස පැවසිය: "ඕ රජුනි! රජෝ ගුණයෙන් ජන්මය ලද විශ්ව නිර්මාතෘ බ්‍රහ්මා නාරදගේ පැනයට මෙසේ පිළිතුරු ලබා දුන්නේය.

4-9. ප්‍රජාපති බ්‍රහ්මා පැවසිය: "ඕ නාරද! මා හටද ත්‍රිවිධ ගුණයන් පිළිබඳව සම්පූර්ණ ඥානය නොමැත්තේය; නමුත් මා දන්නා ආකාරයට ඔබට විස්තර කරමි. ශුද්ධ සත්ත්ව ගුණය පමණක් කිසිඳු ස්ථානයක හමු නොවන්නේය. එය නිරන්තරයෙන්ම අනෙකුත් ගුණයන් සමඟ ඒකාබද්ධව ප්‍රකට වේ. වස්ත්‍රාභරණයන්ගෙන් සුශෝභිතව සිටින සුරූපි යුවතියක් තම ස්වාමියාට, මිතුරන්ට, දෙමාපියන්ට සතුටක් ගෙන දෙන අතරම ඇයගේ ප්‍රතිවාදි ස්ත්‍රීන්ට වේදනාවක් ගෙන දේ. එබැවින් රූමත් කාන්තාවක් ලෙස පුද්ගලාරෝපණය කරන ලද සත්ත්ව ගුණය, යම් පුද්ගලයෙකුට මානසික සාත්වික සතුට උපදවයි, වරෙක, එම පුද්ගලයාටම වේදනාවේ උල්පතක් බවටද පත්වේ. නැතහොත් තවකෙකුට එම අවස්ථාවේම සතුටක් මෙන්ම තවකෙකුට වේදනාවක්ද දැනේ. මේ අනුව පිළිවෙලින් රූමත් ස්ත්‍රියක් ලෙස පුද්ගලාරෝපණය කරන ලද රජස් හෝ තමස් ගුණය එක් අවස්ථාවකදී පුද්ගලයෙකුට වේදනාවක් හෝ මුළාවක් බවට පත්වන අතර තවත් අවස්ථාවක එම පුද්ගලයාට සතුටක් ගෙන දෙයි. එබැවින්, එක් ගුණාංගයක් ස්වාධීනව පැවතිය නොහැකි බව පහසුවෙන් දැකගත හැකිය; එයි නිරන්තරයෙන් අනෙක් ගුණයන් සමඟ ඒකාබද්ධව පවති."

10-13. "ඕ නාරද! ගුණ ත්‍රිත්වයම එකින් එක තමන්ගේ සැබෑ ස්වභාවයේ පවතින විට, ඒවායින් ඇති කරන බලපෑම් ද සෑම විටම එලෙසම පවති.; කාලය සහ කාලය හෝ පුද්ගලයාගේ වෙනස් කමක් නොපෙනේ. නමුත් ඒවා ඒකාබද්ධ වූ කළ, ඒ සෑම ගුණයක්ම ඇතැම් විට ඒවායේ ස්වභාවයට පටහැනි බලපෑම් ඇති කරයි. තරුණ, ලජ්ජා ශීලී, නිරහංකාර, ධර්මය පිළිබඳව දැනුම සහිත, උත්කෘෂ්ට ගතු පැවතුම් හිමි, ප්‍රේම ශාස්ත්‍රය කෙරෙහි ප්‍රවීණ සහ මිහිරි ගුණාංග සහිත අලංකාර කාන්තාවක් ඇයගේ හිතවතුන්ට තෘප්තියක් වන්නා සේම විරුද්ධවාදීන්ට ඒ ඒ ගුණාංග අනුව වෙනත් පැතිකට නිරූපණය වේ. ඕ නාරද! එක් ස්ත්‍රියක් තම ප්‍රතිවාදී භාර්යාවන්ට වේදනාවක් හා මෝහයක් ලබා දී තම ස්වාමිපුරුෂයාට සහ මිතුරන්ට සතුටක් ලබා දෙන්නාක් මෙන්, සත්ත්ව ගුණයද, විකෘති වූ කළ, පුද්ගලයන්ට වේදනාව හා මෝහය ලබා දෙයි."

14-19. නගර ආරක්ෂකයන් සොරුන්ගෙන් පීඩා විදින ධාර්මික මුනිවරයන්ට සහනයක් වන අතර සොර සතුරන්ට ඔවුන්ට පීඩාවකි; අහස අන්ධකාරයෙන් වැසී අකුණු ගසමින් වර්ෂාව ඇද හැලෙන විට එය ගොවියකුට මහත් ප්‍රිතියක් වන අතර තම නිවසේ වහළය සම්පූර්ණයෙන් සදා ගැනීමට නොහැකි වූ අයෙකුට එය මහත් පීඩාවකි. එබැවින් එක් එක් ගුණයන් අනෙක් ගුණයන් හා මිශ්‍ර වීමේදි විපරීත ප්‍රතිඵලයන් ලබාදේ.

20-25. "ඕ දරුව! මා නැවතත් ගුණයන්ගේ ලක්ෂණයන් ඔබට විස්තර කරමි. සත්තව ගුණය පාරිශුද්ධ, පැහැදිලි, ආලෝකමත් ශ්වේත වර්ණයයි, ශරීරයේ පංච ඉන්ද්‍රියන් සැහැල්ලු වූ විට, මනස නිරවුල් වූ විට, රාජසික සහ තාමසික ගුණ කෙරෙහි අප්‍රියතාවයක් ඇති වු විට, ශරීරයේ සාත්ත්වික ගුණය ප්‍රමුඛව ඇති බව වටහා ගන්න,  ඉන්ද්‍රියන් බර වූ විට, නිද්‍රාව අලස බව ඇති විට රාජසික ගුණය ප්‍රමුඛව ඇති බව වටහා ගන්න, කෙනෙකුගේ මනස අපැහැදිලි වූ විට, ශරීරයේ අධික බරක් දැනෙන විට, කළහ කිරිමට නිරන්තරයෙන් සුදානමින් සිටින විට ඔහුගේ ශරීරයේ තාමසික ගුණ ප්‍රමුඛව ඇත."

26. නාරද පැවසිය: "ඕ පියාණනි! ඔබ වහන්සේ ත්‍රිගුණයන්ගේ විවිධ ලක්ෂණ පිළිබඳව පැහැදිලි කළ නමුත් ඒවා එකිනෙක ක්‍රියා කරන ආකාරයට මාහට වටහා ගැනීමට නොහැකිය. මේ එක් එක් ගුණයන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇති හෙයින් මේවා එකිනෙකට විරුද්ධ වේ, එසේ නම් ඒවා එක්සත්ව ක්‍රියා කරන්නේ කෙසේද? කරුණාකර මාහට එය විස්තර කරනු මැනවි"

28-31. බ්‍රහ්මා පැවසිය: "ඕ නාරද! ගුණ ත්‍රිත්වය පහනකට සමාන කළ හැකිය. පහනක් යම් වස්තුවක් ප්‍රකාශ කරන්නාක් මෙන්, මෙම ගුණාංග තුන ඒකාබද්ධ වී යම් දෙයක් ප්‍රකාශ කරයි. බලන්න තිරය, තෙල් සහ අග්නියේ ගුණයන් එකිනෙට වෙනස් ය. තෙල් ගින්නට එරෙහිව ගියත් එය ගින්න සමඟ ඒකාබද්ධ වේ. තෙල්, තිරය සහ අග්නිය එකිනෙකට විරුද්ධව ක්‍රියාත්මක වුවද, මේ සියල්ල එකමුතු වී, ආලෝකමත් කිරීමේ එකම පොදු අරමුණක් ඉටු කරයි. එබැවින් නාරද ගුණාංග තුනම, ප්‍රතිවිරුද්ධ ස්වභාවයන් වුවද, එකම දෙය සනාථ කිරීමට යයි."

31. නාරද පැවසිය: "ඕ සත්‍යවතී පුත්‍ර! පද්මයෙන් ජන්මය ලද බ්‍රහ්මා මෙසේ විස්තර කරන ලද්දේ, ප්‍රකෘතියෙන් ජන්මය ලද මේ විශ්වයට හේතු වන ගුණ ත්‍රිත්වය පිළිබඳව යි. ප්‍රකෘතියේ ස්වභාවය පිළිබඳව මා අසා ඇති දේ මා දැන් ඔබ ඉදිරියේ විස්තර කළෙමි."

32. ව්‍යාස පැවසිය: "ඕ රජුනි! ඔබ මාගෙන් විමසූ ආකාරයටම ගුණයන්ගේ ස්වභාවයන් පිළිබඳව පෙර මා නාරදගෙන් විමසුවෙමි." 

33. "ඕ නිරිදුනි! ශාස්ත්‍රයන්ගේ පවසන ආකාරයට මේ සියල්ලෙහි සාරය නම් විවිධ ස්වරූපයන්ට අනුව ගුණයන් සහිතව සහ රහිතව විශ්වය පුරා ව්‍යාප්තව සිටින උත්තරීතර ශක්තිය වන මහාදේවිය යි. මෙම සර්වබලධාරි ශක්තිය ඉතාමත් ශ්‍රද්ධාවෙන් වන්දනා කළ යුතුය."

34. "බ්‍රහ්මන් ලෙස සැළකෙන පරම පුරුෂ උත්තරීතර මෙන්ම සම්පූර්ණ වුවද උන්වහන්සේ ආශාවන් සහ හැඟීම් වලින් තොරය. උන්වහන්සේ කිසිදු ක්‍රියාවක් සිදු නොකරයි. උත්තරීතර ශක්තිය වන මහාමායාව විශ්වයේ සියලුම කාර්‍යන් සිදු කරනු ලබයි."

35-41. "බ්‍රහ්මා, විෂ්ණු, ශංකර, සූර්ය, චන්ද්‍ර, ඉන්ද්‍ර, අශ්විනිකුමාර වරුන්, වසුන්, විශ්වකර්මා කුබෙර, වරුන්, අග්නි, වායු, පූශා, ස්වාමි කාර්තිකේය සහ ගණේෂ; සහ අනෙකුත් දේවතාවුන්ට ඔවුන්ගේ කාර්යයන් පරිපූර්ණ ලෙස ඉටු කළ හැක්කේ, ඔවුන් ආදි ශක්ති ශක්තිය හා සම්බන්ධ වී ඇති විට පමණි. එබැවින් රජතුමනි! ඒ සර්වබලධාරි මහාමායාව විශ්වයට හේතුව වන බව දැනගන්න. නරපතිය!  ඔබ මේ දේවියට නමස්කාර කරන්න, ඇයට ගෞරවයක් වශයෙන් නමස්කාර කරන්න, ඉහළම භක්තියෙන් පුද පූජා පවත්වන්න. ඕ රජතුමනි! ඒ මහාමායාව මහා ලක්ෂ්මිය යි, මහා කාලිය යි, මහා සරස්වතිය යි; එතුමිය සියලු ධාතූන්ගේ දේවිය සේම සියලුම හේතුන්ට මූල හේතුවයි. එම සාමකාමී, පහසුවෙන් නමස්කාර කළ හැකි සහ කරුණාවේ සාගරයට, නමස්කාර කරන විට, ඇගේ බැතිමතුන්ගේ සියලු ආශාවන් ඉටු කරයි: තම ආශාවන් ලබා ගැනීම සඳහා ඇගේ නම ජප කිරිම පමණක් ප්‍රමාණවත් වන විට කුමක් නම් පවසන්නද."

41-42. අතීතයේදි, බ්‍රහ්මා, විෂ්ණු, මහේශ්වර සහ අනෙකුත් දේවතාවුන් ඇතුළු සාන්තුවරයන් මුක්තිය ලබා ගැනීම උදෙසා එතුමියට නමස්කාර කළහ. ඕ රජතුමනි! මීට වඩා මා එතුමිය පිළිබඳව කුමක් නම් පවසන්නද;  යමෙක් ඇගේ නම නොපැහැදිලි ලෙස පවා ගතහොත්, ලබා ගැනීමට අපහසු ප්‍රාර්ථනා පවා ඉටු කර දෙයි.

43. "යමෙකු වනාන්තරය මැද ව්‍යාග්‍රයකු හෝ අනෙකුත් විලෝපිකයෙකු දැක බියට පත් වු කළ, "අයිම්" යන බීජාක්ෂරය වෙනුවට ඕම් "අයි, අයි" යන්න දෙවරක් උච්චාරණය කළ විට ඔහුගේ ප්‍රාර්ථනාවන් ඉටු වේ."

44-45. "ඕ විශිෂ්ට නරපතිය! මේ කාරණය සම්බන්ධයෙන් සත්‍යව්‍රතගේ උදාහරණයක් ඇත. භගවති දේවියගේ නාමය කී පමණින් අනපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන බව අප ඇතුළු උසස් මනස් ඇති මුනිවරුන් ද දැක ඇත. එසේම බ්‍රාහ්මණයන්ගේ රැස්වීම් වලදි බොහෝ ශාස්තෘන් වහන්සේලා ඉහත කරුණු පිළිබඳව බොහෝ අවස්ථා විස්තරාත්මකව උපුටා දක්වනු මා අසා ඇත්තෙමි."

46-47. ඕ රජතුමනි! සත්‍යවෘත නම් නූගත් බ්‍රාහ්මණයෙකු විය. වරෙක ඔහු අයි ශබ්දයෙන් හඬ නගන තුවාල වූ ඌරෙකු දුටුවේය. සංවාදයකදී ඔහුම එම ශබ්දය අහඹු ලෙස ප්‍රකාශ කළ අතර එමඟින් විශිෂ්ට පඬිවරයකු බවට පත්විය.

(අයිම් යනු සරස්වතී දේවියගේ බීජ මන්ත්‍රය යි.)

48. කරුණාවේ සාගරය වූ සර්වබලධාරි දේවිය, බ්‍රාහ්මණයාගේ එම උච්චරාණයෙන් ඉතාමත් ප්‍රසන්න වී ඔහුව විශිෂ්ටතම කාව්‍ය කරුවෙකු බවට පත් කළාය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ නවවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.