Thursday 26 October 1995

ගුණයන්ගේ ස්වභාවයන්

 

1. බ්‍රහ්මා පැවසිය; "ඕ නාරද! ඔබ විමසු පරිදි නිර්මාණය සිදු වූ ආකාරය පිළිබඳව මා පැවසුවෙමි. දැන් එම ගුණාංග ත්‍රිත්වයේ වර්ණය, ඒවායේ වින්‍යාසය සහ ඒවා පවතින ආකාරය පිළිබඳව අවධානයෙන් සවන් දෙන්න." 

2-4. "සත්ත්ව ගුණය වින්දනයේ සහ තෘප්තියේ මූලය යි. අවංකත්වය, සත්‍යවාදී බව, පවිත්‍ර බව, ශ්‍රද්ධාව, සමාව දීම, ධෛර්යය, දයාව, ලැජ්ජාව, සාමය සහ තෘප්තිය කෙනෙකුගේ හදවතේ ඇති වන විට, එම මනුෂ්‍යයා ස්ථිර වශයෙන් සත්ත්ව ගුණයෙන් පරිපූර්ණ බව දැනගන්න. සත්ත්ව ගුණයේ වර්ණය ශ්වේත වර්ණය යි. එය සෑම විටම ධර්මයට රුචි වන අතර යහපත් අරමුණු කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවා අයහපත් වස්තූන් කෙරෙහි ඇති නැඹුරුව බැහැර කරයි."

5-8. "සත්‍ය පිළිබඳව ගවේෂණය කරන්නා වූ ඍෂි වරුන් ශ්‍රද්ධාව වනාහී සාත්ත්වික, රාජසික සහ තාමසික ලෙස තුන් ආකාරයකින් වර්ග කරනු ලබයි. රජෝ ගුණයේ වර්ණය රත් පැහැය යි. එය අද්විතීය වන නමුදු ප්‍රසන්න නොවේ; එය නිසැකයෙන්ම සමස්ථ පීඩාවන්හී මූලය යි.  සිත වෛරය, කලහකාරී හැඟීම්, උඩඟුකම, මෝඩකම, නොසන්සුන්කම, අලස බව, ශ්‍රද්ධාවෙන් තොර වීම, මමත්වය, නිෂ්ඵලකම, උඩඟුකම වැනි ගුණාංගයන්ගෙන් පිරී ඉතිරී යන විට ඔහු තුළ නියත වශයෙන්ම රාජසික බව හටගෙන ඇති බව බුද්ධිමතා වටහා ගත යුතුය."

9-11. "තමෝ ගුණයේ වර්ණය කාල වර්ණය යි. තමස් ගුණයෙන් අලස බව, නොදැනුවත්කම, නිද්‍රාව, දරිද්‍රතාව, බිය, ආරවුල්, මසුරුකම, වංකත්වය, ක්‍රෝධය, බුද්ධියේ අපගමනය, ප්‍රචණ්ඩකාරී අදේවවාදය සහ අන් අයගේ දෝෂ සෙවීම වැනි දෑ හට ගනී. ඉහත ගුණාංග යමෙකු තුළ වර්ධනය වන්නේ නම් ඔහු තාමසික ගුණයන්ගෙන් පිරුණු අයෙකු බව ප්‍රඥාවන්තයන් වටහා ගත යුතුය. මෙම තාමසික ශ්‍රද්ධාවෙන් යුක්ත තමස් ගුණය තමාට මෙන්ම අන් අයටද පිඩාකාරි වන්නේය." 

12. "ධර්මයේ හැසිරෙන පුද්ගලයා නිරතුරුවම සත්ත්ව ගුණ වඩවා ගනිමින්, රජස් ගුණ පාලනය කරමින්, තමස් ගුණ විනාශ කළ යුතුය."

13. "මෙම ගුණාංග ත්‍රිත්වය නිරන්තරයෙන් එකිනෙක හා බද්ධව පවතින අතර, ඒ සෑම ගුණයක්ම සෑම විටම අනෙක් ගුණයන් පරයා ජය ගැනීමට ආවේනික නැඹුරුතාවයක් ඇත. එබැවින් එම ගුණයන් සෑම කල්හි එකිනෙක සමඟ සංග්‍රාමයේ නිරත වන්නේය. ඒවාට කිසිදා එකිනෙකාගෙන් වෙන් වූ පැවැත්මක් නැත."

14-15. "රජස් සහ තමස් යන ගුණයන්ගෙන් තොරව  සත්ත්ව ගුණය පමණක් කොතැනක හෝ කිසිදා දක්නට නොලැබේ; රජස් සහ තමස් සම්බන්ධයෙන්ද එසේම වේ. ඒවා එකිනෙකට සම්බන්ධ වී එකිනෙක මත රඳා පවතී. ඕ නාරද! කුමන ගුණයන් ද්විත්වය එකිනෙකට සාපේක්ෂද, කුමන ගුණය නිර්වාණය කරා යොමු කරන්නේද යන්න ශ්‍රවණය කරන්න."

16-17. "මා මෙය අවබෝධ කරගත් හෙයින් මෙම කරුණු සම්බන්ධයෙන් ඔබ තුළ කිසිදු අවිනිශ්චිතතාවයක් නොතිබිය යුතුය. මේවායේ යථාර්තය විශේෂයෙන්ම දැනෙන්නේ, ඒවා සැබවින්ම අවබෝධ කරගත් විට සහ එහි බලපෑම් ප්‍රකාශ වීමට පටන් ගන්නා විටය. ඕ ප්‍රඥාවන්තය! මේවා එකවර අවබෝධ කර ගැනීමට කිසිවකුට හැකියාවක් නොමැත. පළමුව ශ්‍රවණය කළ යුතු අතර පසුව මෙනෙහි කළ යුතුය. එය අතීත ක්‍රියාවන් හේතුවෙන් කෙනෙකුගේ ස්වභාවික හැකියාව සහ කුසල් මත ද රඳා පවතී."

18-21. යමෙක් පූජනීය වන්දනා ස්ථාන ගැන ශ්‍රවණය කොට රාජසික භක්තියෙන් පිරී යයි සිතමු. ඔහු එම ස්ථානවලට ගොස් පෙර ඇසූ දේ දකියි. එහිදී ඔහු ශීලයන් සමාදන් වී, පුද පූජා පවත්වමින්, රාජසික පඬුරු පූජා කරමින්, එහි යම් කාලයක් රැඳී සිටියි. නමුත් මේ සියල්ල ඔහු කරන්නේ රාජසික ගුණයේ බලපෑම යටතේය." 

(මෙම පූජාව සිදු කරනු ලබන්නේ යමෙකුට අනුග්‍රහයක් ලෙස හෝ නමක්, කීර්තියක් ලබා ගැනීමට හෝ යම් ප්‍රතිලාභයක් ලබා ගැනීමට ය. මෙම පූජාව ස්වයං ආනුභාවයෙන් කළ එකක් නොවේ. එහිදි ඔහු මනසට, ශරීරයට උත්තේජනයක් ලබා දෙන රාජසික ආහාර වර්ග පූජා කරයි. රාජසික ආහාර වර්ග වලට උදාහරණයන් ලෙස කැෆේන් අඩංගු කෝපි, කෝලා ආදි පානයන්, අධික මිරිස් සහ ලුණු අඩංගු ආහාර, සංසේචනය නොකළ බිත්තර වැනි ආහාර  දැක්විය හැක. )

"තවද ඔහු නිවසට පැමිණෙන විට, ඔහු රාගයෙන්, ක්‍රෝධයෙන්, ප්‍රේමයෙන් හා ද්වේෂයෙන් නිදහස් නොවන බව දකියි; ඔහු පෙර සිටි ආකාරයටම සිටී. එබැවින් ඕ නාරද! ඔහුට එම ශුද්ධ ස්ථානයන්හි බලපෑම නොලැබෙන්නේ ය. ඕ උත්කෘෂ්ඨ මුනිවරය! පූජනීය ස්ථාන තුළින් ඔහුට කිසිදු ආධ්‍යාත්මික ප්‍රයෝජනයක් නොලැබෙන විට, එය ඔහු එම ස්ථානයන් පිළිබඳව කිසිවිටකත් නොඇසීම හා සමාන වේ."

22-28. "ඕ ශ්‍රේෂ්ඨ මුනිවරය! ඕ නාරද! රාගය, ක්‍රෝධය, තණ්හාව, මෝහය, පිපාසය, ද්වේෂය, නිෂ්ඵලකම, ඊර්ෂ්‍යාව, සමාව නොදීම, නොසන්සුන් බව ආදි මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ පාපයන් සහිත බවයි. මේවායෙන් ශරීරය මුදවන තාක් ඔහු පාපය තුළ ජීවත් වන්නේය. පූජනීය වන්දනා ස්ථාන කරා යාත්‍රා කිරිමෙන් ඉහත තෘෂ්ණාව නැති කර ගැනීමට නොහැකි නම්, එම ස්ථානවලට යාත්‍රා කිරීමේ වෙහෙස නිෂ්ඵල වේ. උදාහරණයක් ලෙස ගොවියකු නුසුදුසු ඉඩමක් යොදාගෙන එය සුදුසු ලෙස සකසා සී සෑම ආරම්භ කරයි; ඔහු මිල අධික බීජ ගෙන වපුරයි. දිවා රාත්‍රි වෙහෙස නොබලා කෙත රකි; සෑම විටම ඔහු අපේක්ෂා සහගතව ද සිටී; සීත සමය පැමිණෙන අතර අස්වනු නෙළීමේ කාලයද ලඟා වේ; එනමුත් ඔහු කෙත රැක බලාගැනීම වෙනුවට නිද්‍රාවට පත් වේ; එම අතරතුර විවිධ වන සතුන් පැමිණ වගාව පාළු කොට දමයි; ගොවියා අපේක්ෂා භංගත්වයට පත් වේ. මේ ආකාරයටම යමෙකු තුළ අධර්මයේ ගුණ පවතිද කෙතරම් පුණ්‍ය ස්ථානයන් වල යාත්‍රාවන්හි නිරත වූවද ඔහුට ආධ්‍යාත්මික සමෘද්ධියක් නොලැබෙන්නේ ය." (එබැවින් රාජසික භාවයෙන් යුක්තව සිදු කරන පුජාවන් ලෞකික වශයෙන් ප්‍රතිඵල දායක වුවද ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණයෙන්ම නිෂ්ඵලය. රාජසික ශ්‍රද්ධාවද එසේමය.) 

29-32. "වේදාන්ත හා අනෙකුත් ශාස්ත්‍ර අධ්‍යනය කිරීමෙහි ප්‍රතිඵලයක් වශයෙන් සත්ත්ව ගුණය බහුල වශයෙන් වැඩෙන විට රාජසික හා තාමසික ගුණ කෙරෙහි කලකිරීමක් ඇති වන අතර සත්ත්ව ගුණය රජස් හා තමස් අභිබවා යයි. එලෙසම ලෝභය සහ තෘශ්ණාවේ ස්වභාවික ප්‍රතිඵලයක් ලෙස රාජසික ගුණය බහුල ලෙස වර්ධනය විට එය සත්ත්ව සහ තමස් බව යටපත් කරයි. මෝහයෙන් තාමසික ගුණය බහුල වශයෙන් වැඩෙන විට එය සත්ත්ව සහ රජස් ගුණයන් අභිබවා යයි. ඕ නාරද! එම ගුණාංග එකිනෙක යටපත් කිරීම පිළිබඳව මා ඔබට විස්තරාත්මක පවසන්නෙමි."

33-36. "පුද්ගලයා තුළ සත්ත්ව ගුණය වැඩෙන කළ ඔහු ධර්මය තුළ පිහිටයි; තව දුරටත් රජස් සහ තමස් වලින් නිර්මිත බාහිර වස්තූන් කෙරෙහි නොසිතයි. ඒ වෙනුවට ඔහුට අවශ්‍ය වන්නේ සාත්ත්වික දෑ භුක්ති විඳීමට ය; ධනය, ආගමික කටයුතු, පූජාවන් කිසිඳු බාධාවකින් තොරව අත්පත් කරගැනීමට සහ සිදු කිරීමට හැකි වන්නේය. එවිට එම පුද්ගලයා මුක්තිය සඳහා ආශාවෙන් පසුවන අතර රාජසික හා තාමසික වස්තූන් පසුපස හඹා යෑම අත්හැර දමයි. මෙසේ, ඕ නාරද! පළමුව, රජස් සහ පසුව තමස් ජය ගැනීමට උත්සාහ කරන්න; එවිට සත්ත්ව ගුණය පවිත්‍ර වන්නේය."

37-40. "රාජසික ගුණය ප්‍රමුඛව වැඩෙන විට, පුද්ගලයා රාජසික විශ්වාසයන් අදහමින්, ස්වකීය සනාතන ධර්මය අත්හැර ඔහුගේ ආගමික උපදෙස්වලට පටහැනිව ක්‍රියා කරයි. රාජසික ප්‍රවනතාවයන් යටතේ ධනය රැස්කරගෙන රාජ්‍ය සම්පන්න දෑ භුක්ති විඳීමට උත්සුක වේ. රජෝ ගුණය සත්ත්ව ගුණය වළකාලමින්, තමෝ ගුණය පාලනය කරයි."

41. ඕ නාරද! තාමසික ගුණය ප්‍රමුඛව වැඩෙන විට වේද සහ ආගමික ශාස්ත්‍ර කෙරෙහි තිබූ විශ්වාසය මුළුමනින්ම පහව යයි. තාමසික ඇදහිල්ල උකහා ගැනීමෙන්, පුද්ගලයා තම ධනය නාස්ති කරන අතර නිතරම කෝලාහලයන්හි නිරතවෙමින් ඊර්ෂ්‍යාව, ප්‍රචණ්ඩත්වය සමඟ කිසිදා සාමය භුක්ති නොවිඳියි. තාමසික ගුණයෙන් යුතු පුද්ගලයා රාජසික් හා සාත්ත්වික ගුණයන් අභිබවා ක්‍රෝධයෙන් යුත්, දුෂ්ට වංචාකාරයෙක් බවට පත්වී තමාගේ උසස් අය නොතකා තමන්ට රිසි සේ කටයුතු කරයි.

42-44. "නාරද! මේ අනුව, මෙම ගුණාංග තුනෙන් කිසිවෙකට අනෙක් ගුණාංගවලින් මිදී සම්පූර්ණයෙන්ම තනිව සිටිය නොහැකි බව ඔබට පෙනේ. ද්විත්වයක් හෝ ත්‍රිත්වයක් ආකාරයට මේවා සෑම විටම පවති. රජෝ ගුණය රහිතව සතෝ ගුණය නොපවති;  තමෝ ගුණය රහිතව රජෝ ගුණය නොපවති; තමස් නොමැතිව මෙම ගුණාංග දෙක කිසිදා පැවතිය නොහැක. නැවතත් තමෝ ගුණය රජෝ සහ සතෝ ගුණයන් නොමැතිව පැවතිය නොහැක."

45-51. "ඒවා කිසි විටෙකත් වෙන් වෙන්ව නොපවතියි; ඔවුන් යුගල වශයෙන් හෝ ත්‍රිත්වයක් ලෙස පවතින අතර එකිනෙක හා ආරම්භකයන් වේ. මෙම ගුණාංග වස්තූන් ප්‍රජනනය කිරීමේ ස්වභාවයයි; වෙනත් වචන වලින් කිවහොත්, ඇතැම් අවස්ථාවන්හි සත්ත්ව ගුණය රජස් හෝ තමස් ආරම්භ කරයි; ඇතැම් විට රජෝ ගුණය සත්ත්ව සහ තමස් ආරම්භ කරයි. දෙව දත්ත, විෂ්ණු මිත්‍ර සහ යඥ දත්ත යන තිදෙනා හට එක් වි ඕනෑම කාර්‍යක් සිදු කරහැකි ආකාරයට මෙම ගුණාංග ත්‍රිත්වය එක්ව  ජිවන්ගේ බුද්ධිය තුළ පවතින අතර ඔවුන්ගේ ඉන්ද්‍රිය සංජානන ජනනය කරයි.  රජස් සහිත සත්ත්වය රජස් සත්ත්ව යුගලය සාදයි; සත්ත්ව සහ රජස් තවත් යුවළක් සාදයි, එහිදී සත්ත්ව ගුණය ප්‍රමුඛ වේ."

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ අටවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.