Wednesday 25 October 1995

නිර්මාණය සහ තත්ත්වයන්


1. බ්‍රහ්මා පැවසිය: නාරද! මේ අනුව අප තිදෙනා වන මා, විෂ්ණු හා මහාදේව එම ඉතා ශක්තිමත් දේවිය දුටුවේය. එතුමියගේ පරිවාර දේවීන්ද වෙන් වෙන් වශයෙන් අප දුටුවෙමු.

2-4. ව්‍යාස පැවසිය: ඕ නරපතිය! තම පියාගේ වදන් ශ්‍රවණය කළ උත්කෘෂ්ට නාරද මුණි අතිශයින් ප්‍රීතියට පත්ව මෙසේ විමසිය. "ඕ සමස්ථ ලෝකයන්හි මුත්තානනි! දැන් ඔබ වහන්සේ දැක අවබෝධයට පත් වූ එම ආදි, අවිනාශි, නොවෙනස් වන නිර්ගුණ පරම පුරුෂ පිළිබඳව විස්තර කරනු මැනවි. පියාණනි ඔබ වහන්සේ අත් පා සහිත ස්වරූපයකින් සිටින සර්වබලධාරී දේවියගේ සගුණ ශක්තිය දුටුවේය. නමුත් සමස්ථ ප්‍රකෘති ගුණයන්ගෙන් තොර වූ නිර්ගුණ ශක්තිය කෙසේද යන්න මා හට නොවැටහේ. ඕ පද්ම ජන්මය! ඒ ප්‍රකෘති සහ පුරුෂ යන්නෙහි යථා ස්වභාවය මා හට විස්තර කර මා සන්තර්පණය කිරීමට තරම් යහපත් වන්න."

5-7. "ඕ නිර්මාණයේ ස්වාමීනී! පරමාත්මය සහ නිර්ගුණ ශක්තිය දැකීම සහ අවබෝධ කරගැනීම උදෙසා මා ශ්වේත ද්වීපයේ සිට විවිධාකාරයේ තපස් රැක්කෙමි. එහිදි සිද්ධීන් ප්‍රාප්ත කරගනු ලැබූ බොහෝ උසස් අධ්‍යාත්මික පුද්ගලයන් (මහාත්මා) රාගයෙන් හා ක්‍රෝධය පරාජය කොට තපස තුළ නිරත වනු මා එහිදී දුටුවෙමි. නමුත් මා එම නිර්ගුණ පරමාත්මය පිළිබඳව කිසිවක් අවබෝධ නොකළෙමි. පියාණනි, මා බලාපොරොත්තුන් විනාශ නොකරමින්, නැවත නැවතත් තපසෙහි නිරත වූවද, මා අසමත් වූයෙමි. පියාණනි ඔබ වහන්සේ එම ශක්තියේ සගුණ (ගුණයන් සහිත) ස්වභාවය දැකීමට තරම් සාර්ථක වුයේය; නමුත් එම නිර්ගුණ ශක්තිය සහ නිර්ගුණ පුරුෂ (ගුණයන්ගෙන් තොර) කෙබදු ද?  කරුණාකර මේ සියල්ල විස්තර කර මාගේ හෘදයේ නිරතුරුවම වැජඹෙන ආශාවන් තෘප්තිමත් කරන්න."

8. ව්‍යාස පැවසිය: ඕ රජුනි!  නාරද මෙසේ ඇසු කළ ඉක්බිති නිර්මාණය ස්වාමි වන බ්‍රහ්මා සිනහමුසු මුහුණින් මෙසේ පැවසිය.

9-10 "ඕ උත්කෘෂ්ඨ මුනිවරය! නිර්ගුණ පුරුෂයාට හට ස්වරූපයක් නොමැති සේම එය විද්‍යාමන නොවන්නේය. මක් නිසාද යත් දෘෂ්ටියට හසුවන සියල්ල අනිත්‍ය වන්නේය. එසේ නම්, එම සදාකාලික ශුද්ධාත්මයාණන් වහන්සේ හට ස්වරූපයක් තිබිය හැක්කේ කෙසේද? ඔහු දෘශ්‍යමාන වන්නේ කෙසේද! ඕ නාරද! නිර්ගුණ ශක්තිය හා නිර්ගුණ පුරුෂ ඉතා පහසුවෙන් බුද්ධිගෝචර නොවන්නේය. නමුත් ඒ ද්විතවයම මුනිවරුන් හට සිහි නුවණින් මෙනෙහි කරමින් අවබෝධ කර ගත හැක."

11-14. "ප්‍රකෘතිය සහ පුරුෂ හට ආරම්භයක් හෝ අවසානයක් නොමැත්තේය. ඒවා සාක්‍ෂාත් කර ගත හැක්කේ ශ්‍රද්ධාව තුළින් පමණි. ශ්‍රද්ධාව රහිත පුද්ගලයන් හට ඒවා කිසිදා සාක්‍ෂාත් නොවන්නේය. ඕ නාරද! සියලු සත්ත්වයන් තුළ දැනෙන විශ්වීය විඤ්ඤාණය, පරමාත්මය ලෙස දැනගන්න. විශ්වය සහ සෑම ජීවියෙකු තුළම සැමවිටම දක්නට ලැබෙන ශක්තිය, පරමාත්මය බව දැනගන්න. ඕ උත්කෘෂ්ට තැනැත්තානෙනි! එම පුරුෂ සහ ප්‍රකෘතිය සෑම ස්ථානයකම පැතිරී සිටින අතර සියල්ල තුළම පවති; ඔවුන් ද්විත්වයෙන් තොරව විශ්වයේ කිසිවක පැවත්මක් නොමැත. ඔවුන් දෙදෙනාම සමස්ථ ගුණයන්ගෙන් තොර, පාරිශුද්ධ සේම අජර වන්නේය."

15-17. "පරාශක්තිය යනු කුමක්ද ඒ ශුද්ධාත්මයාණන් වහන්සේය; ශුද්ධාත්මයාණන් වහන්සේ යනු කුමක්ද ඒ පරාශක්තිය වන්නේය. මේ දෙක අතර ඇති සියුම් වෙනස කිසිවෙකුට නිර්ණය කළ නොහැක. ඕ නාරද! අත්හැරීමකින් තොරව හුදෙක් සියලු ශාස්‌ත්‍ර, වේද එහි ආගම සමඟ අධ්‍යයනය කිරීමෙන් පමණක්‌ මේ ද්විත්වය අතර වෙනස හඳුනා ගැනීමට හැකියාවක්‌ නොමැත. ඕ දරුව! සමස්ථ විශ්වයම අහංකාරය තුළින් පැන නැගුණකි. එසේනම් අහංකාරයෙන් මිදිමෙන් තොරව කල්ප සියයක් පවා උත්සාහ කළද ඉහත වෙනස යමෙකුට අවබෝධ කර ගත හැක්කේ කෙසේද?"

18. "ජීවින් සගුණ වන්නේ ය. (ගුණයන් සහ ආකාරයෙන් යුක්තය.) එසේ නම් සගුණයන් හට තම බෞතික දෘෂ්ටියෙන් නිර්ගුණ තත්වය දැක ගත හැක්කේ කෙසේද? එසේ නම් බුද්ධිමතානෙනි සගුණ තත්වය අවබෝධ කරගැනීමට උත්සාහ කරන්න." (ලෞකික බැඳීම් වලින් මිදී නිර්ගුණ බ්‍රහ්මන් වටහා ගැනීමට සුදුසු වන තුරු)

(පෘතක්ජන පුද්ගලයා හට දෙවියන් වහන්සේගේ පරම නිර්ගුණ තත්වය ඍජුව අවබෝධ කරගැනීමට නොහැක. එබැවින් දෙවියන් වහන්සේගේ සගුණ ස්වරූපයන් පළමුවෙන් අවබෝධ කරගනිමින් ලෞකික බැඳීම් අත් හැරීමට පුරුදු විය යුතුය,)

19-21. "රසේන්ද්‍රිය (දිව) සහ චක්ෂු ඉන්ද්‍රිය (ඇස්) අධික ලෙස පිපාසයෙන් පීඩා විඳින්නේ නම්, අමිහිරි රසය සහ කහ පැහැය පෙර තිබූ ආකාරයට නොපෙනේ. එලෙසම බෞතික ගුණයන්ගෙන් පිරුණු හදවත් වලින් යුක්ත ජිවීන් නිර්ගුණ බ්‍රහ්මන් අවබෝධ කරගැනීමට නුසුදුසු වන්නේය. ඕ නාරද! හෘදය අහංකාරයෙන් පැමිණියේ නම් එය අහංකාරයෙන් තොර වන්නේ කෙසේද? ගුණාංගයන් සමඟ පවතින සියලුම බන්ධනයන් කපා හැරීමෙන් තොරව නිර්ගුණ බ්‍රහ්මන් අවබෝධ කර ගැනීමට නොහැකිය."

22-24. නාරද පැවසිය : "ඕ උත්කෘෂ්ඨය! අහංකාරය සාත්ත්වික, රාජසික සහ තාමසික යනුවෙන් ආකාර ත්‍රිත්වයකි. කරුණාකර මේ ඥානයෙන් මා ආලෝකමත් කරන්න. කරුණාකර විවිධ ගුණ වල ලක්ෂණ සහ ගුණාංගද නිර්වචනය කරනු මැනවි."

25-27. බ්‍රහ්මා පැවසිය. "ඕ නිෂ්පාපි තැනැත්ත! අහංකාරය ඥාන ශක්ති (තාර්කිකභාවය සහ අවබෝධය); ක්‍රියා ශක්ති (ක්‍රියාව සහ චලනය) සහ අර්ථ හෝ ද්‍රාව්‍ය ශක්ති (ඉන්ද්‍රියයන් විසින් දන්නා) යනුවෙන් ආකාර ත්‍රිත්වයකි. ඥාන ශක්තිය නිර්මාණය වන්නේ සාත්ත්වික අහංකාරයෙනි; ක්‍රියා ශක්තිය නිර්මාණය වන්නේ රාජසික ශක්තියෙනි; ද්‍රාව්‍ය ශක්තිය එනම් පදාර්ථ ශක්තිය නිර්මාණය වන්නේ තාමසික අහංකාරයෙනි."

28-30. ඕ නාරද! අහංකාරයේ තුන් ආකාරය පිළිබඳව මා ඔබට මෙසේ පැහැදිලි කළෙමි. මා දැන් ඒවායේ කාර්‍යන් සහ ස්වභාවයන් පිළිබඳව විස්තර කරමි. හොඳින් සහ සම්පූර්ණ අවධානයෙන් සවන් දෙන්න. පදාර්ථයන් තුළ පවතින ශක්තිය හෙවත් ද්‍රාව්‍ය ශක්තියෙන් රූප, ශබ්ද, ගන්ධ, රස සහ ස්පර්ශ යන පංච තන්මාත්‍රා හෙවත් ප්‍රාථමික පරමාණු නිර්මාණය වේ. ආකාශ යන මූලද්‍රව්‍යයේ ගුණය ශබ්දය යි; වායු ධාතුවේ ගුණය ස්පර්ශය යි; අග්නි ධාතුවේ ගුණය රූපය යි; ජල ධාතුවේ ගුණය රසය යි; පඨවි මූලද්‍රව්‍යයේ ගුණය ගන්ධය යි.  මෙම දහය (ඝන මූලද්‍රවයන් පහ සහ ප්‍රාථමික පරමාණු පහ) එක් වීමෙන් පංච මහා භූතයන් නිර්මාණය වේ. මේවා පංචිකරණ ක්‍රියාවලිය සමඟ සංයෝජනය වූ විට සමස්ථ සක්වළෙහි ගොඩනැගීම සිදු වේ. තාමසික අහම්කාරයේ ප්‍රතිඵලයක් ලෙස ද්‍රව්‍ය උත්පාදනය කිරීමේ ශක්තියෙන් යුක්ත වේ.

31-34. රාජසික අහංකාරයෙන් ගොඩනැගෙන දෑ පිළිබඳව දැන් සවන් දෙන්න. ඇස, කණ, නාසය, දිව සහ ශරීරය වන පංච ඥානෙන්ද්‍රියන් ද, අත්, පා, මුඛය, අධෝමාර්ගය හා ලිංගේන්ද්‍රිය වන පංච කර්මේන්ද්‍රියන් ද, ප්‍රාණ, අපාන, ව්‍යාන, සමාන සහ උදාන යන පංච වායුන් ද බිහි වේ. මෙම පහළොවෙහි එකතුව රාජසික ශක්තිය ලෙසින් හැඳින්වේ. ඒ සියල්ලම ක්‍රියා ශක්තියෙන් යුක්ත වේ. ඒවායින් ප්‍රකට වන ද්‍රව්‍ය මායාව ලෙස හැඳින්වේ.

35-38. ඕ නාරද! ඥාන ශක්තිය හට ගන්නේ සාත්ත්වික අහම්කාරයෙනි. ඥාන ඉන්ද්‍රියයන් පහේ අධිපති දේවතාවෝ පස්දෙනා - වායු, සූර්‍ය, වරුණ, දික් පාළකයන් හා අශ්විනි කුමාරවරුන් දෙදෙනා; පංච කර්මේන්ද්‍රියන් හි අධිපති වන පංච වසුන්, සහ අන්තකාරණාවන්ට අධිපති සිව් දෙනා වන චන්ද්‍ර, බ්‍රහ්මා, රුද්‍ර සහ ක්ෂෙත්‍රජන ද, මනස ද වේ.   

39-40. ඕ පුත්‍ර! පරමාත්මය හෙවත් පරාශක්තියට ඝන සහ සියුම් යනුවෙන් ස්වරූප ද්විත්වයක් ඇත. සියුම් තත්වයට බෞතික කායක් නොමැත්තේය; අරූපිකය; විඥානමය ප්‍රතිරූප යි; ඍෂිවරුන් සළකන්නේ මෙම සියුම් තත්වය අතිවිශිෂ්ට විශ්වයේ මූලය ලෙසයි. (මෙය පෘතක්ජනයන් හට ගෝචර නොවේ.) දෙවන ස්වරූපය ඝන ස්වරූපය වන අතර දෙවන පන්තියෙ පුද්ගලයන් හට ධ්‍යාන වැඩීම සඳහා එය පවති. සර්වබලධාරී දෙවඟනගේ මෙම ඝන තත්ත්වය මායාව (කාලය, අවකාශය සහ කර්ම ශක්තිය) සමඟ අන්තර්ගතව ඇත. මෙය ද නැවතත් ඝන සහ සියුම් ලෙසින් විභේජනය වේ. (මෙහි සියුම් තත්වය දෙවන පන්තියේ බැතිමතුන් හටත් ඝන තත්ත්වය තෙවන පන්තියේ එනම් සාමාන්‍ය මිනිසුන් හටත් සුදුසු වේ.)

41-43. බ්‍රහ්මා පැවසිය: මාගේ මෙම ශරීරය සුත්‍රාත්මා ලෙසින් හඳුන්වනු ලබයි. ඕ නාරද! හිරන්‍යගර්භ නම් නූලක හෝ නූලක ස්වභාවය ඇති මාගේ ශරීරයත් ආත්මයත් පරමාත්මයෙහි දළ ශරීරයයි. එබැවින් පරමාත්මය සුත්‍රාත්මය සමඟ වන්දනා කළ යුතුය. ඕ නාරද! මා දැන් ඔබට බ්‍රහ්මන්ගේ බාහිර ඝන ශරීරය පිළිබඳව පවසමි. එය සාවධානව අසන්න; යමෙක් ශ්‍රද්ධාවෙන් හා භක්තියෙන් එය ශ්‍රවණය කරන්නේ නම්, මුක්තිය නියත ය. මා ඔබට සියුම් මූලද්‍රව්‍ය හෙවත් පංච තන්මාත්‍ර පිළිබඳව පැවසුවෙමි. එය පංචීකරණ ක්‍රියාවලියට භාජනය වීමෙන් ඝන මූලද්‍රව්‍ය බවට පරිවර්තනය වේ. දැන් පංචීකරණ ක්‍රියාවලිය යනු කුමක්දැයි ශ්‍රවණය කරන්න.

44-45. ඔබට ජලයේ ඝන මූලද්‍රව්‍යක් නිර්මාණය කිරීමට අවශ්‍ය යැයි සිතමු. ජලයෙහි සියුම් මූලද්‍රව්‍යය සමාන කොටස් දෙකකට බෙදන්න; අනෙක් මූලද්‍රව්‍ය සතරද පිළිවෙළින් සමාන කොටස් දෙකකට බෙදන්න. දැන් එක් එක් මූලද්‍රව්‍ය පහේ පළමු භාගය වෙන් කරන්න; එක් එක් මූලද්‍රව්‍යයේ දෙවන භාගය සමාන කොටස් හතරකට බෙදන්න. එක් එක් මූලද්‍රව්‍යයේ පළමු භාගය අනෙක් මූලද්‍රව්‍යන් හතරේ දෙවන භාගයේ එක් එක් කොටස සමඟ මිශ්‍ර කරන්න; ඔබට එක් ඝන මූලද්‍රව්‍යයක් ලැබෙන ආකාරයටම ඔබට අනෙක් ඝන මූලද්‍රව්‍ය හතර ලැබේ.

{1/2 + 1/8+1/8+1/8+1/8 = 1}

46-51. මෙසේ පංච දල මූලද්‍රව්‍ය නිපදවන විට විඤ්ඤාණය එම මූලද්‍රව්‍යවලට අධිපති දෙවිවරුන් ලෙස ඇතුළු වේ. ඊළඟට පැමිණෙන්නේ පංච ධාතූන්ගෙන් නිර්මාණය වූ ශරීරය සමඟ මමත්වය හෙවත් අහංකාරය යි. මෙම මහා මමත්වය උත්කෘෂ්ට විඥානයේ ශරීරය භගවාන්, ආදිදෙව හෝ නාරායන ලෙසින් හැඳින්වේ. පංචීකරණ ක්‍රියාවලිය මගින් දළ මූලද්‍රව්‍ය පහ ඝන වී ඒවායේ පැහැදිලි නිශ්චිත ස්වරූපයන් ලබා ගනි. මේ අනුව අකාශ ධාතුවට ශබ්දයෙ ගුණය ඇත; වායු ධාතුවට ශබ්ද සහ ස්පර්ශ ගුණයන් ඇත; අග්නියට ශබ්ද, ස්පර්ශ සහ රූප යන ගුණයන් ඇත;  ජලයට ශබ්ද. ස්පර්ශ, රූප සහ රස යන ගුණයන් ඇත; පඨවි ධාතුවට පංච ගුණයන්ම පවති. මේ අනුව මූලද්‍රව්‍යයන්හී සංයෝජනයෙන් මහා විශ්වය නිර්මාණය වේ.

52. මේ අනුව ජිවයන්ගේ එකතුව සම්පූර්ණ බ්‍රහ්මණ්ඩාවේ කොටස් කිහිපයකින් නිපදවයි; මුනිවරුන් මෙම ජීවයන් අසුහාර ලක්ෂයක් බව පවසයි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ සත්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.