Saturday 14 October 1995

දේවියගේ ශක්තීන්

 

1. බ්‍රහ්මා පැවසිය: මා මෙසේ විමසු කළ ඉක්බිති භගවති දේවිය මෙසේ ප්‍රකාශ කළාය.

2-4. "මා සහ දෙවියන් වහන්සේ (පුරුෂ) අතර සැම විටම ඒකීය භාවයක් පවති. කිසිම අවස්ථාවක මා සහ දෙවියන් වහන්සේ අතර වෙනසක් නොමැත. මා කවුද, ඒ පුරුෂ ය; පුරුෂ කවුද එ මා වන්නේය. ශක්තිය සහ ශක්තිය දරා සිටින්නා අතර වෙනසක් හට ගන්නේ මායාව හේතුවෙනි. අප අතර ඇති සියුම් වෙනස දන්නා පුද්ගලයා නිසැකයෙන්ම ප්‍රඥාවන්ත ය; ඔහු සංසාර බන්ධනයන්ගෙන් මුක්ත වන්නේය. සදාකාලික වෙනස් නොවන එකම දෙවියන් වහන්සේ (බ්‍රහ්මන්) නිර්මාණ අවස්ථාවේදි ද්විත්ව වන්නේය. පහනක් ලෙස එකක් වුවද සහායක ගුණයෙන් දෙකක් බවට පත් වන්නේ සේ, එකම වත දර්පණයක් ඉදිරියේ ද්විත්වයක් වන්නා සේ, මනුෂ්‍යක් තම ඡායාවෙන් ද්විත්වයක් වන්නා සේ, මායාව නිසා හටගත් විවිධ අන්ත කාරණාවන් (මනස, බුද්ධිය, මතකය සහ අහම්කාරය) උදෙසා අප බොහෝ දේ තුළ පිළිබිඹු වෙමු."

("අන්ත කාරණ" යන්නෙන් අදහස් කරන්නේ මනස සහ හැඟීම් ඇතුළු සමස්ත මනෝවිද්‍යාත්මක ක්‍රියාවලිය යි. එය එක්තරා අකාරයට බෞතික ශරීරය ආත්මය අතර ඇති සම්බන්ධය අරුත් ගන්වයි. මෙම වචනය ආරම්භ වී ඇත්තේ සංස්කෘත අන්තරයෙනි, එහි තේරුම "අභ්‍යන්තරය" හෝ "ඇතුළත" යන්නයි, කාරණ යන්නෙහි තේරුම "ඉන්ද්‍රිය" හෝ "හේතුව" යන්නයි. එය "අභ්‍යන්තර හේතුව" හෝ "අභ්‍යන්තර අවයව" ලෙස පරිවර්තනය වේ. බ්‍රහ්මන් විශ්වයේ පරම සත්‍ය වන අතර බ්‍රහ්මන් ගුණයන්ගෙන් තොර වේ. බ්‍රහ්මන් හැර කිසිවක් නොමැත. නමුත් මායාව හේතුවෙන් හට ගන්නා මේ අන්ත කරණා හේතුවෙන් එකම දෙවියන් විවිධාකාරයෙන් දෘෂ්‍යමාන වේ. නමුත් විවිධාකරයෙන් එකිනෙකට වෙනස් වශයෙන් එක් එක් ස්වරූප ඔස්සේ දිස් වන්නේ එකම දෙවියන් වහන්සේ බව අවබෝධ කරගත් කළ මුක්තිය ප්‍රාප්ත කරගනි.)

5-7. "තම කර්ම ඵලයන් ප්‍රාප්ත කරගැනීමට නොහැකි වූ ජිවින් උදෙසා මහා විනාශයෙන් පසු නිර්මාණය නැවත නැවතත් සිදු වේ; නැවත නිර්මාණය ආරම්භ වන විට ඉහත සඳහන් වෙනස්කම් දක්නට ලැබේ. මෙසේ මායාව තුළ විවිධ වෙනස්කම් හට ගන්නා විට මායාව සහ බ්‍රහ්මන් ද්විත්වයකින් පෙනි සිටින අතර එවිට දෘෂ්‍යමාන හා අදෘශ්‍යමාන වෙනස්කම් හටගනි. මෙම වෙනස් කම් පවතින්නේ නිර්මාණය ඇති තාක් පමණි. මහා ප්‍රලය එනම් විනාශය පැමිණීමෙන් පසුව මා ස්ත්‍රී, පුරුෂ හෝ ද්විලිංගික නොවෙමි. මා එවිට මායාව සමඟ එක් වූ බ්‍රහ්මන් ලෙස පවති." 

8-10. "නිර්මාණ සමයේ මා ශ්‍රී (සමෘද්ධිය), බුද්ධි, ධෘති (ධෛර්යය), ස්මෘති (මතකය), ශ්‍රද්ධා, මෙධා (ඥානය), දයා, ලජ්ජා, ක්ෂුධා (කුසගින්න). තෘෂ්ණා, ක්ෂමා, අක්ෂමා (සමාව නොදීම), කාන්ති, ශාන්ති, පිපාසා, නිද්‍රා, තන්ද්‍රා (අලසබව), ජරා, අජරා, විද්‍යා, අවිද්‍යා, ස්පෘහා (ඉච්ඡාවන්), වාන්චා, ශක්ති, අශක්ති, වසා (සාරය), මජ්ජා (ඇටමිඳුළු), ත්වක් (සම), දෘෂ්ටි, සත්‍යාසත්‍ය වාක්‍ය සහ නාඩි වශයෙන් ප්‍රකට වෙමි." 

11-21. "ඕ බ්‍රහ්මා! බලන්න මේ සංසාරයේ මාගෙන් විසංයුක්ත වූ ද්‍රව්‍යය කුමක්ද? මා හට සම්බන්ධ නොවන යමක් ඔබට සිතා ගත හැකිද? එබැවින් සමස්ථ තත්ත්වයන්ගෙන් සිටින්නේ මා බව වටහා ගන්න. ඕ නිර්මාතෘ! මා නොපවතින කිසියම් හෝ ඔබට දැකිය හැකිද? එබැවින් මෙම නිර්මාණයේදි මා ඒකීයි වෙමි, මම විවිධ ස්වරූපයන්ගෙන් බහු වෙමි. සෑම දේවතාවෙකු තුළම ශක්ති ස්වරූපයෙන්  සිටින්නේ මා බව නිශ්චිතවම වටහා ගනු. ශක්තිය ලෙසින් විද්‍යාමාන වන්නාද එය විදහාන්නා ද මා වෙමි. ඕ බ්‍රහ්මා! මා ගෞරී, බ්‍රාහ්මී, රෞද්‍රී, වාරාහී, වෛශ්ණවී, ශිවා, වාරුණි, කෞබෙරි, නාරසිම්හී සහ වාසවී ශක්ති (ඉන්ද්‍ර ශක්තිය) ලෙසින් විද්‍යාමාන වෙමි. බලපෑමේ ස්වභාවය අනුව සෑම ද්‍රව්‍යයකම මා අන්තර් වශයෙන් වාසය කරමි. පුරුෂයා මෙවලමක් කොට ගනිමින් මා සමස්ථ ක්‍රියාවන් සිදු කරමි. මා ජලයේ සිසිලස වෙමි, අග්නියේ තාපය වෙමි, සූර්‍යයාගේ ප්‍රභාව වෙමි, චන්ද්‍රයාගේ කාන්තිය වෙමි, මා මෙසේ ශක්තිය විද්‍යාමාන කරමි. ඕ බ්‍රහ්මා! සත්‍ය වශයෙන්ම මා ඔබට ප්‍රකාශ කර සිටින්නෙ මේ විශ්වය මා විසින් අතහැර දැමුවහොත් එය නිශ්චල වන බවයි. මා ශංකරයන් අත්හැර දැමුවොත් ඔහුට දෛත්‍යන් සංහාරය කිරීමට නොහැකි වනු ඇත. දුර්වල මනුෂ්‍යකුට ආමන්ත්‍රණය කරන්නේ ශක්ති හීනයකු ලෙසයි: ඔහු රුද්‍ර හීනයෙකු හෝ විෂ්ණු හීනයකු ලෙසින් කිසිවෙකුත් නොපවසයි. බිඳ වැටුණු, බියට පත් වූ පිරිස් ආමන්ත්‍රණය කරන්නේ ශක්ති හීනයන් ලෙස මිස රුද්‍ර හීනයන් ලෙස නොවේ. එබැවින් ඔබ සිදු කරන නිර්මාණයේ මූලය ශක්තිය බව දැන ගනු. ඔබ ශක්තිය හා එක් වුවහොත් පමණක් ඔබට විශ්වය නිර්මාණය කළ හැකි වන්නේය."

22-29. "හරි, රුද්‍ර, ඉන්ද්‍ර, අග්නි, චන්ද්‍ර, සූර්‍ය, යම, විශ්වකර්මා, වරුණ, පවන සහ අනෙකුත් දේවතාවුන් හට තම කර්මයන් කළ හැක්කේ ඔවුන්ගේ ශක්තීන් සමඟ එක් වූ විටයි. පෘථිවි ශක්තිය සමඟ එක් වූ විට ස්ථිර වන අතර් ජිවින් දරා ගැනීමේ හැකියාව ලැබේ. ඇය ශක්තියෙන් තොර වුවහොත් ඇය පරමාණූන්ගෙන් තොර වනු ඇත. මේ ආකාරයට අනන්ත, කූර්ම සහ අෂ්ට දිශාවන්හි හස්තීන් තම කාර්‍යන් ඉටු කරන්නේ මාගේ උපකාරයෙන් පමණි. ඕ පද්ම ජන්මය! මට අවශ්‍ය නම් සම්පූර්ණ අග්නිය සහ ජලය පානය කළ හැකි අතර සම්පූර්ණ වායුව දරා සිටිය හැකිය. මා හට අවශ්‍ය දේ මා සිදු කරමි. බ්‍රහ්මා ඔබ මේ ලෝකය නිර්මාණය කරන බව පැවසුවහොත් නොගැලපීම මෙසේ පැන නගී: “මා සියල්ල වන විට මම සදාකාලික වෙමි, ප්‍රපංචයන්ගෙන් සැදුම්ලත් මේ මුළු විශ්වයම සදාකාලික වේ. මේ විශ්වය මාගෙන් වෙනස් යැයි කීවේ නම්, මා සියල්ල යැයි කීම නොගැලපේ. මෙසේ සිතමින්, සදාකාලික නොවන විශ්වයේ යථාර්ථය සහ සම්භවය සහ වෙන්වීම පිළිබඳ සැකයට ඔබ පත් නොවන්න. එය සත්‍ය නොවන දෙයක් නම්, එය කෙසේ පැවැත්මක් ඇති කර ගන්නේ ද? වඳ ස්ත්‍රියකුගේ දරුවෙකු මෙන් යථාර්ථවාදී නොවන ද්‍රව්‍ය කිසි විටෙකත් පැවතිය නොහැක; මාගේ ශක්තිය නැති වුවහොත් විශ්වයේ මුළු ජීවියම රහිත වනු ඇත. තමන් වෙනත් ආකාරයකින් පැවතිය හැකි යැයි කෙනෙකු නොසිතිය යුතුය. මුළු මැටි බඳුනක් සහ එහි කැඩුණු මැටි කැබලි අතර වෙනසක් ඇති සේම, ජීවී ශරීරයක් සහ මගේ ශක්තියෙන් තොර ශරීරයක් අතර වෙනසක් ඇත. අද පෘථිවියක් නොමැත එසේනම් පෘථිවි කොහේද ගියේ? නිගමනය නම් පෘථිවිය බරණියේ ස්වරූපයෙන් පරමාණු තුළ පවති. ඕ බ්‍රහ්මා! එබැවින් මේ සියල්ල එක් පවතින්නෙ එක් මොහොතකට පමණයි. මේ සියල්ලෙහි මූලය ශුන්‍යතාවයි." 

30. පලමුව ප්‍රකෘතිය තුළින් මහා තත්ත්ව හටගත් අතර ඒ තුළින් අහම්කාරය හට ගැනිණි. අහංකාරය තුළින් අනෙකුත් ධාතුන් ප්‍රකට විය. මෙම අනු පිළිවෙලට නුඹ විශ්වය නිර්මාණය කරන්න.

(නිර්මාණයට හේතුවන බෞතික ශක්තිය මහා-තත්ත්ව ලෙසින් හඳුන්වනු ලබයි. නමුත් ආරම්භයේදි දෙවියන් වහන්සේ පුරුෂ හෝ ප්‍රකෘතිය ලෙස නොපැවතුනු අතර නිර්මාණය උදෙසා ශිව (පුරුෂ) - ශක්ති (ප්‍රකෘති) වෙන් වීමෙන් අනතුරුව ප්‍රකෘතියෙන් මහා තත්ත්ව හට ගැනිණි. මහා තත්ත්වයන් තුළින් අහංකාරය නිර්මාණය විය. අහංකාරය නැවතත් සාත්ත්වික, රාජසික හා තාමසික ලෙස කොටස් තුනකට විභේජනය විය. සාත්ත්වික අහම්කාරයෙන් පංච ඥානේන්ද්‍රියන් වන ඇස, කණ, නාසය දිව, ශරීරයත්, කර්ම ඉන්දිර්‍යයන් වන මුඛය, අත්, පා, බහිශ්‍රාවි පද්ධතිය හා ජනනේන්ද්‍රිය හට ගනි. තාමසික අහංකාරයෙන් පංච තන්මාත්‍රයන් වන රූප, ශබ්ද, ගන්ධ , රස සහ ස්පර්ශ හට ගනි. රාජසික අහංකාරයෙන් පංච තන්මාත්‍රයන් පංච මහාභූත බවට පරිවර්තනය වේ. මේ පිළිබඳව හත්වැනි පරිච්ඡේදයේ විස්තරාත්මකව දක්වා තිබේ.)

31-37. "ඕ බ්‍රහ්මා! දැන් නුඹලා නැවතත් තමන්ගේ ස්ථාන කරා ගොස් නිර්මාණයෙන් අනතුරුව එහි රැඳී සිටිමින් කර්මයන්ට අනුකූලව කාර්‍යන්හී නිරත වන්න. රජෝ ගුණයෙන් පිරුණු සහ සිනහ ස්වභාවයෙන් යුත් මෙම සුන්දර මහා ශක්ති මහා සරස්වතීව ගන්න. දිව්‍යමය ශ්වේත වස්ත්‍රයන්ගෙන් අලංකෘතව උත්කෘෂ්ට ආසනයක විරාජමානව සිටින මේ ශක්තිය සැමවිටම ඔබේ ආශිර්වාද ලත් සහායිකාව වනු ඇත. ඇය මාගේ විභූතියක් (ශක්ති sස්වරූපයක්) ලෙසින් සළකන්න. කිසිදා ඇයට නිග්‍රහා නොකරන්න. ඇයව රැගෙන වහාම සත්‍යලෝකය වෙත ගොස් මහා-තත්ත්ව ඔස්සේ සිව් ආකාරයේ ජිවීන් නිර්මාණය කරන්න. සියුම් ශරීර සහ කර්මයන් වෙන්ව පවතින අතර නියමිත කළ ඒවා එකිනෙකින් වෙන් කරන්න. නමුත් මෙය සැම විටම මතකයේ තබා ගන්න, නිර්මාණය කාලය, සමය, අරමුණ, ජීවිකාව, ස්වභාවය, මූලධර්මය, ස්වභාවය, ගති ලක්‍ෂණ, කුසලතාවයන්, චංචල හෝ නිශ්චල යන හේතු වලට අනුකූල විය යුතුය."

38-42. "විෂ්ණු සත්ත්ව ගුණයෙන් ප්‍රමුඛ වන අතර එබැවින් ඔබට වඩා උසස් වේ. ඔබ නිරතුරුවම ඔහුට ගරු බුහුමන් දැක්විය යුතුය. ඔබට කුමක් හෝ බාධාවක් ඇති වූ කළ විෂ්ණු පෘථිවියට පැමිණ ඔබට උපකාර කරනු ඇත.  ජනාර්දන විෂ්ණු ඇතැම් විට මනුෂ්‍ය යෝනියෙහි ජන්මය ලැබ දානවයන් සංහාරය කරනු ඇත. මහා ශක්ති සම්පන්න මහාදේවයන්ද ඔබට උපකාර කරනු ඇත. දැන් දේවතාවුන් නිර්මාණය කොට ඔබට රිසි පරිදි වින්දනය කරන්න. බ්‍රාහ්මණ, ක්ෂත්‍රීය සහ වෛෂ්‍යන් ඔබට භක්තියෙන් නමස්කාර කරනු ඇත."  

43-46. "යාගයන් හා පූජාවන් හිදී මාගේ ස්වාහා යන නාමය උච්චාරණයෙන් සමස්ථ දේවතාවුන් තෘප්තියට පත්වනු ඇත. සෑම යාගයකම තමෝ ගුණයෙන් යුත් ශිව, වන්දනයට හා ගෞරවයට පාත්‍ර වනු ඇත. දේවතාවුන් අසුරයෙන් හේතුකොට භීතියට පත්වූ කළ වාරාහි, වෛෂ්ණවී, ගෞරී, නාර සිම්හී, ශචී, ශිවා සහ මාගේ අනෙකුත් ශක්තීන් ස්වරූප රැගෙන ඔවුන්ව බියෙන් මුදවනු ඇත."

47-48. එබැවින් ඕ පද්ම ජන්මය! ඔබ සැහැල්ලුවෙන් කාර්‍යන් සිදු කරන්න. බීජ සහ ධ්‍යාන සමඟ මාගේ නවාක්ෂර මන්ත්‍රය ජප කරමින් ඔබගේ කාර්‍යන් ඉටු කරන්න. ඕ ප්‍රඥාවන්තය! මෙම නවාක්ෂර මන්ත්‍රය සමස්ථ මන්ත්‍රයන්ගෙන් උත්කෘෂ්ට වන්නේය. ඔබේ සියලු අරමුණු සාක්ෂාත් කර ගැනීමෙහිලා ඔබ මෙම මන්ත්‍රය ඔබේ හදවතෙහි රඳවා ගත යුතුය."

49-52. මා හට මෙසේ පවසා, භගවති දේවිය සිනහා පහළ කොට විෂ්ණු හට මෙසේ පැවසුවාය. "ඕ විෂ්ණු! මෙම සුන්දර මහා ලක්ෂ්මී දේවිය රැගෙන පිටවන්න. ඇය ඔබගේ හෘදය තුළ වාසය කරනු ඇත. ඒ පිළිබඳව කිසිඳු සැකයක් නොමැත. ඔබගේ වින්දනය සඳහා මා ඔබට මෙම යහපත් ශක්තිය ලබාදෙමි. ඔබ ඇයට නිරන්තරයෙන් ගෞරව කළ යුතු අතර කිසිදා අවමන් නොකළ යුතුය. ලෝකයේ යහපත උදෙසා මා ලක්‍ෂ්මි සහ නාරායන එකතු කරමි. නුඹලාගේ ප්‍රයෝජනය සඳහා මා යාගය නිර්මාණය කරමි. නුඹලා ත්‍රිත්වය සමගියෙන් කටයුතු කරන්න. 

53-60. "ඔබ බ්‍රහ්මා සහ ශිව මාගේ ගුණයන්ගෙන් ජන්මය ලද ත්‍රිදේවයන් ය. නුඹලා ත්‍රිත්වය නිසැකවම ලෝකය තුළ ගෞරවයට පාත්‍ර වනු ඇත. නුඹලා ත්‍රිත්වයේ වෙනස් කම් දකින අඥානයා නිසැකවම නිරයට යනු ඇත; එහි කිසිඳු සැකයක් නොමැත. හරි යනු ශිව වේ, ශිව යනු හරි වේ; මේ අතර වෙනස් කම් ඇති කරන්නා නිරයට යනු ඇත. එහෙයින් ශිව සහ විෂ්ණු සමඟ බ්‍රහ්මා එක හා සමාන ය; මෙහි කිසිදු සැකයක් නොමැත්තේය. ඕ විෂ්ණු! නමුත් ඔවුන්ගේ ගුණයන් තුළ වෙනස්කම් පවති. මා මේ ප්‍රකාශ කරන දේ සාවදානව අසන්න, උත්තරීතර ආත්ම සාධනය හා ගත් කළ සත්ත්ව ගුණය ඔබ තුළ මූලික වනු ඇත;  රජෝ සහ තමෝ ගුණය ද්විතීයික වනු ඇත. වෙනත් අවස්ථාවන් තුළ රජෝ ගුණය සමඟ ලක්ෂ්මී දේවිය බුක්ති විඳින්න. ඕ රමා (ලක්ෂ්මී) ස්වාමීනි! ඔබට ඉහළට යෑම උදෙසා මා ඔබට වාක්බීජය (අයිම්), කාමබීජය (ක්ලීම්) සහ මායාබීජය (හ්‍රීම්) ප්‍රධානය කරමි. මේ මන්ත්‍ර රැගෙන ඔබ රිසි ආකාරයෙන් භුක්ති විඳින්න. ඕ විෂ්ණු මෙමගින් මරණ භිය කාල භිය ඇති නොවනු ඇත."

61-63. "මෙම විශ්ව නිර්මාණය සම්පූර්ණයෙන්ම අවසන් වූ පසු මා මෙම චංචල නිශ්චල සියල්ල විනාශ කරමි. එවිට ඔබ මා තුළ ද්‍රාවණය වනු ඇත. ඔබ මෙම මන්ත්‍රයට ප්‍රණවය සහ මෝක්ෂයට මාර්ගය වන කාම බීජය එකතු කළ යුතු අතර උත්කෘෂ්ට අරමුණෙන් යුක්තව එය නිරන්තරයෙන් ජප කළ යුතුය. ඕ පුරුෂොත්තම! ඔබගේ වෛකුන්ඨ පුරය නිර්මාණය කරන්නා; එහි සිටිමින් මාගේ සදාකාලික ස්වරූපය සිහි කරමින් ඔබට රිසි සේ කල් ගෙවන්න."

64. බ්‍රහ්මා පැවසිය: වාසුදෙව හට මෙසේ පැවසු ත්‍රිගුණයන්ගෙන් සමන්විත මෙන්ම එයින් මුක්ත වූ  මූල ප්‍රකෘති දේවිය දේවාදි දේව මහාදේවයන්ට මියුරු ස්වරයෙන් මෙසේ පැවසුවාය.

65-68. දේවිය පැවසුවාය: "ඕ ශංකර මේ මහා කාලි ගෞරී දේවිය පිළිගෙන, කෛලාශ නගරය නිර්මාණය කොට සතුටින් කල් ගෙවන්න.  ඔබේ ප්‍රාථමික ගුණය තාමසික වන අතර සත්ත්ව සහ තමස් ද්විතීය ගුණයන් වේ. ඔබ අසුරයන් සංහාරය කරන වීට තමෝ සහ රජෝ ගුණයන් සරණ කොට ගන්න. ඕ නිශ්පාපි ශංකර! ඔබ උත්තරීතර ආත්මය ගැන මෙනෙහි කර දැඩි ලෙස කටයුතු කරන විට සාමකාමී සත්ත්ව ගුණය වෙත යොමු වන්න. ත්‍රිගුණයන්ගෙන් සමන්විත නුඹලා විශ්වයේ නිර්මාණය, පැවැත්ම සහ සංහාරය උදෙසාය. ත්‍රි ගුණයන්ගෙන් වෙන් වන කිසිවක් සංසාරය තුළ නොමැත.  දෘෂ්‍යමාන වන සියල්ල ත්‍රි ගුණයන්ගෙන් සමන්විත වන අතර ඒවා රහිතව කිසිවක් පැවතිය නොහැක."

69-74. "පරමාත්මය පමණක් මෙම ගුණයන්ගෙන් තොර වන්නේය; නමුත් ඔහු දෘෂ්‍යමාන නොවන්නේය. ඕ ශංකර! මා පරා ප්‍රකෘතිය යි; ඇතැම් අවස්ථාවන් හී මා ගුණයන්ගෙන් ප්‍රකට වන අතර මා ගුණයන්ගෙන් තොර භාවයෙන්ද පවතිමි. ඕ ශම්භු! මා සැම විටම හේතුඵල ස්වභාවයෙන් පවතිමි; මා කිසි විටෙකත් බලපෑමේ ස්වභාවය නොවේ. මා හේතුව වන කළ ගුණයන්ගෙන් යුක්ත වෙමි; මා පරම පුරුෂ සමඟ සිටින කළ මා ගුණයන්ගෙන් තොර වෙමි. ගුණයන් ඔස්සේ සංසාරය ක්‍රියා කරයි. පරම සත්‍යයෙන් ආහම්කාරය පැන නගි. අහම්කාරය ගුණයන් ත්‍රිත්වයෙන් සමන්විත හෙයින් පඬිවරුන් එය මාගේ බලපෑමක් ලෙසින් හඳුන්වනු ලබයි. අහම්කාරයෙන් මහා තත්ත්වය හටගන්නා අතර එය බුද්ධිය ලෙසින් නම් කර ඇත. එබැවින් මහා තත්ත්වය ඵලය වන අතර අහම්කාරය හේතුව වේ. මහා තත්ත්වයෙන් නැවතත් අහම්කාරයක් ජන්මය ලබන අතර මෙම ද්විතීය අහම්කාරයෙන් පංච තන්මාත්‍ර නිර්මාණය වේ."

75-78. "මෙම සියුම් පදාර්ථ පඨවි, ආපෝ, තේජෝ, වායු සහ ආකාස යන පංච මූලද්‍රව්‍යයන්ගේ හේතුකාරක බවට පත්වේ. ගුණයන් ත්‍රිත්වයේ විවිධ සංයෝජනයන් හා ගණනය කිරීම් තුළින් සමස්ත නිර්මාණයේ පාදමේ කොටස් වන තන්මාත්‍ර හෝ ප්‍රාථමික පරමාණු පහ පැමිණේ. මේවායින් පංච කර්මේන්ද්‍රියන්, පංච ඥානේන්ද්‍රියන්, පංච වසුන් සහ මනස නිර්මාණය වේ. මෙයින් සමහරක් අනියම් වන අතර සමහර ඒවා ක්‍රියාකාරී ය. ප්‍රථම පුරුෂ හෙවත් පරමාත්මය හේතුව හෝ ඵලය නොවන්නේය. ශම්භු! නිර්මාණය සිදු වන ආකාරය සහ අනුපිළිවෙල පිළිබඳ කෙටි වාර්තාවක් මම ඔබට ලබා දුන්නෙමි."

79-80. "ඕ දේවතාවුනි! නැවත විමානයට නැග තම තමන්ගේ ස්ථානයන්ට ගොස් තම කාර්යන් ඉටු කරන්න. නුඹලා දැඩි අසීරුතාවයකට පත් වූ සෑම විටම මා සිහි කරන්න; මා නුඹලා ඉදිරියේ පෙනී සිටිමි. ඕ දේවතාවුනි! නුඹලා සෑම අවස්ථාවකම පරමාත්මය හා මා ස්මරණය කළ යුතුය. නුඹලා අප දෙදෙනාම සිහිපත් කරන විට, නුඹලාගේ සියලු ක්‍රියාවන්, සාර්ථකත්වයේ කිරුළු පළඳින බවට සැකයක් නොමැත."

81- බ්‍රහ්මා පැවසිය: ඉක්බිති දේවිය අප හට දිව්‍යමය සුන්දරත්වයක් හා තේජසකින් යුත් ශක්තීන් පිරිනැමුවාය. එතුමිය විෂ්ණු හට ලක්ෂ්මි දේවියත්, ශිව හට කාලි දේවියත් මා හට සරස්වතී දේවියත් ලබා දී අප හට සමු දුන්නාය. අප නැවතත් පුරුෂ ස්වරූපයට පත් වූ අතර විමානයෙන් අප නැවතත් විෂ්ණු විසින් එම අසුරයන් සංහාරය කෙරූ සමුද්‍රය වෙත පැමිණියෙමු.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ සයවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.