Wednesday 4 October 1995

හර සහ බ්‍රහ්මාගේ ස්තෝත්‍රයන්

 

1. බ්‍රහ්මා පැවසිය: "ඕ නාරද! විෂ්ණු මෙසේ පැවසීමෙන් ඉක්බිතිව ශංකර පැමිණ දේවියට නමස්කාර කරමින් මෙසේ පැවසිය.

2-5. ශිව පැවසුවේය: "ඕ දේවිය! හරි ඔබ වහන්සේගේ ශක්තියෙන් ජන්මය ලද්දේ නම්, බ්‍රහ්මා ඔබතුමිය ගෙන් ජන්මය ලද්දේ නම්, තමෝ ගුණයන් සහිත මා ඔබ වහන්සේගේ ජන්මය නොලද්දෙ කිමද! ඕ සෞභාග්‍යයවති! සමස්ථ ලෝකයන් නිර්මාණය කිරීමෙහි ලා ඔබ තුමිය ප්‍රවීණය. ඔබ විසින් මා මැවීම තුළ ඇති පුදුමය කුමක්ද? ඕ මෑණියනි! ඔබ වහන්සේ පඨවි, ආපෝ, තේජො වායු ආකාශ යන ධාතුන් වේ. ඔබ වහන්සේ කර්මේන්ද්‍රියන් සේම ඥානේන්ද්‍රියන්ද වන්නාය. ඔබ වහන්සේ බුද්ධිය, විඥානය සහ අහම්කාරය ද වේ. විශ්වයේ නිර්මාතෘ, සංරක්ෂක සහ සංහාරක යනු බ්‍රහ්මා, හරි, හර යැයි පවසන පුද්ගලයන් කිසිවක් නොදනි. එම කාර්‍යන් ත්‍රිත්වයම සිදුකරන්නේ ඔබ වහන්සේය. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් ඔවුන් සියල්ල තම කාර්‍යන් සිදු කරයි."  

6-10. "ඕ මෑණියනි! පංච ධාතුන් ඔස්සේ විශ්වය නිර්මාණය වූයේ නම්, ඔබ වහන්සේගේ ඥානයෙන් ජන්මය නොලැබ, ගුණාංග සහ බලපෑම් වල ස්වභාවය සහිත මෙම ධාතුන් පහ කෙසේ නම් විදහා දක්වන්නේද? ඕ යහපත් මෑණියනි! බ්‍රහ්මා, විෂ්ණු සහ ශිවගේ ස්වරූපයෙන් ඔබ වහන්සේ මෙම විශ්වය නිර්මාණය කරයි. මෙම චංචල නිෂ්චල විශ්වයේ ස්වරූපයෙන් සිටින්නේ ඔබතුමිය යි. ඕ මෑණියන් බ්‍රහ්මා, විෂ්ණු සහ විශ්වය නිර්මාණය කිරීමට අපේක්ෂා කරන කල්හි අප අපගේ යුතුකම් ඉටු කරන්නේ ඔබ වහන්සේගේ පාද පාද්මයේ දූවිලි රැගෙන ය. ඕ මෑණියනි! එය ඔබේ දයාව නොවේ නම්, කෙසේද බ්‍රහ්මා රජෝ ගුණයෙනුත්, විෂ්ණු සත්ත්ව ගුණයෙනුත් මා තමෝ ගුණයෙනුත් යුක්ත වන්නේ? ඕ මෑණියනි! ඔබ වහන්සේගේ මනසේ වෙනස්කම් නොතිබුනේ නම්, මේ විශ්වයේ ධනවත් හා දිළිඳු, රජුන් සහ උපදේශකවරුන්, සේවකයින්, වැනි විවිධ පංති වල ජීවීන් නිර්මාණය කළේ කවර හේතුවකටද? සියල්ලම එක සමාන සතුටකින් හෝ සියල්ලම එක සමාන දුක්ඛිත භාවයකින් නිර්මාණය නොකළේ මන්ද? එබැවින්, ඔබ තුමියගේ දයාව මා කෙරෙහි දැක්වීමට ඔබ තුමියට සිදු වනු ඇත. ලෝකය නිර්මාණය, සංරක්ෂණය සහ සංහාරය කිරීමට ඔබ වහන්සේගේ ගුණ ත්‍රිත්වය නිරන්තරයෙන් සමත් වේ. එවිට හරි, හර සහ බ්‍රහ්මා ලෝකයන්ගේ මුලය ලෙසින් නිර්මාණය කරේ ඔබතුමිය යි."

11-15. "ඕ භවානි! නිර්මාණයේදි ඔබ වහන්සේගේ ශක්තිය නිෂ්ක්‍රිය වන්නේ නම්, හරි, බ්‍රහ්මා සහ මා විමානයකින් මෙහි පැමිණියේ කෙසේද? පැමිණෙන මගදි ඔබ වහන්සේ නිර්මාණය කෙරූ නව ලෝකයන් අප දුටුවෙමි. එය සිදුවූයේ කෙසේද? ඕ විශ්ව මාතාවනි! ඔබගේ මායා ශක්තියෙන් ඔබ තුමිය නිර්මාණය, සංරක්ෂණය සහ සංහාරය කරන්නීය. ඔබ වහන්සේ නිරන්තරයෙන් පරම පුරුෂ සමඟ වින්දනය කරයි. ඕ ශිවා! ඔබතුමියගේ නොපෙනෙන මාර්ග අපට වටහා ගත නොහැක. ඕ සෞභාග්‍යයවති! ඔබ වහන්සේගේ ක්‍රීඩාවන් අප කෙසේ නම් වටහා ගම්ද? ඕ මෑණියනි! ඔබ වහන්සේගේ පාද පද්මයන්ට සේවය කිරීම උදෙසා පෙර අප ස්ත්‍රියන් බවට පත් වූයෙමු. අපගේ පුරුෂ භාවය අපට ලැබුනහොත්, ඔබ වහන්සේගේ පාද පද්මයන්ට සේවය කිරීමෙන් අපට ප්‍රාප්ත වන මහා තෘප්තිය අහිමි වනු ඇත. ඕ මෑණියනි! ඕ ස්වාමීනි! ඔබ වහන්සේගේ පාද පද්මයන් අත්හැර පුරුෂ ස්වරූපයෙන් නැවත තුන් ලෝකය වෙත යාමට මා නොකැමැත්තෙමි. මා දැන් ඔබතුමිය ඉදිරියේ යෞවනියකුගේ ස්වරූපයක් ලැබ ඇත, නැවත පුරුෂ ස්වරූපයට පත් වීමට මා උනන්දුවක් නොදක්වමි. ඔබ තුමියගේ පාද පද්මයන් දකින කළ තෘප්තිය ඇති වන හෙයින් පුරුෂ ස්වරූපයක් ලබාගැනීමෙන්  ඇති පලය කිම!" 

16-18. "ඕ මෑණියනි! මා ස්ත්‍රි ස්වරූපයෙන් ලබා ඇති කීර්තිය ලොව පුරා ව්‍යාප්ත වේවා; ඔබ වහන්සේගේ පාද පද්මයන්ට සේවය කිරිමෙන් ලෝකය කෙරෙහි පවතින ඇල්ම දුරු වේවා. ඔබ වහන්සේගේ සේවාවන් අත්හැර රාජ්‍යන් භුක්ති විදිමට කැමැත්ත දක්වන්නේ කවුරුන්ද? ඔබතුමියගේ පාද පද්මයන් අත්හැර දමන්නාට එක් මොහොතක් යුගයක් සේ දැනෙන්නේය. ඕ මෑණියනි! ඔබ වහන්සේගේ පාද පාමුල වැඳ නමස්කාර කිරීම අත්හැර තපසෙහි නියුක්ත වූවන්ගේ මනස් නිර්මල හා ශුද්ධ වුවත්, මැවුම්කරු ඔවුන්ව විශිෂ්ටතම දෑ වලින් දුරස් කරයි. ඔවුන්ට ඔවුන්ගේ තපස් ශක්තිය ප්‍රාප්ත වුවද, මුක්තිය සඳහා හිමිකම් ලැබුවද, ඔබ වහන්සේව ප්‍රාප්ත කර නොගැනීමෙන් දරුණු පරාජයක් අත් කර ගන්නේය."

19. "ඕ අනාදි තැනැත්තිය! තපස, විරාගය, යාගයන් ආදි කිසිවකින් සංසාරය සාගරය තරණය කළ නොහැකිය. යමෙකුට එම අග්‍රගණ්‍ය භාවය ප්‍රාප්ත කළ හැක්කේ ඔබ වහන්සේගේ පාද පද්මයන්ට භක්ති සේවනය කිරීමෙන් පමණි."

(දේවියට භක්ති සේවය නොකරමින් සිදු කරන තපස්හි පූර්ණ ඵලයන් නොලැබේ.)

20. "ඕ දේවී! ඔබතුමිය මා කෙරෙහි අතිශයින් දයානුකම්පිත නම්, ඔබගේ ඒ අපූරු ශුද්ධ වූ මන්ත්‍රය තුළින් මා ආරම්භ කරන්න. චණ්ඩිකා දේවියගේ එම උත්කෘෂ්ඨ නවාක්ෂර මන්ත්‍රය මා නැවත නැවතත් පරායනය කරමින් තුටු වෙමි.

නවාක්ෂර මන්ත්‍රය - "ඕම් හ්‍රීම් ශ්‍රීම් චණ්ඩිකායේ නමහ."

21."ඕ මෑණියනි! පෙර ජන්මයේදි මා නාවාක්ෂර මන්ත්‍රය ප්‍රාප්ත කරගනු ලැබූවද, මාගේ ස්මෘතියෙන් එය ගිලිහි ගොස් ඇත. ඕ තාරිනි! මා හට එම මන්ත්‍රය යළි ලබා දි ලෝක සාගරයෙන් මා මුදවා ගනු මැනවි."

22-25. බ්‍රහ්මා පැවසිය: "අද්විතීය තේජසක් සහිත ශිව මෙසේ පැවසු කළ අම්බිකා දේවිය පැහැදිලිව නවාක්ෂර මන්ත්‍රය පැවසුවාය. මහාදේව එම මන්ත්‍රය ප්‍රාප්ත කරගැනීමෙන් මහත් ආනන්දයට පත් වී ඉක්බිති පසඟ පිහිටවා ආචාර කොට මුක්තිය ප්‍රධානය කරන්නා වූ එම නවාක්ෂර මන්ත්‍රය බීජය සමඟ පරායනය කරන්නට විය. ශංකර එසේ සිදු කරනු දුටු මාද දේවියට ආචාර කරමින් මෙසේ ප්‍රශංසා කළේය."

26-28. "ඕ මෑණියනි! ඔබේ ස්වභාවය නිශ්චය කර ගැනීමට වේදයන්ට නොහැකි වීම නොවේ; මන්ද, පූජා කිරීමේ හා වෙනත් සුළු ක්‍රියාවන්හිදී ඔවුන් ඔබේ පූර්ණ ස්වභාවය ගැන සඳහන් නොකරන බැවිනි. සරලව සඳහන් කරන්නේ ඉන්ද්‍ර ඇතුළු උප දේවතාවුන් හා යාගයන්ට අධිපති ඔබතුමියගේම අංශුවක් ස්වාහා දේවිය පිළිබඳව යි. එබැවින් ඕ දේවී! සියලු දෙවිවරුන් හා සියලු ලෝකයන් අතික්‍රමණය කරමින් විශ්ව විඥානය ලෙස මෙම විශ්වය තුළ ප්‍රශංසාවට පාත්‍ර වී ඇත්තේ ඔබතුමිය යි. මා මෙම අද්විතිය විශ්වය නිර්මාණය කළෙමි; මා බ්‍රහ්මාණ්ඩයේ ස්වාමී වෙමි. මෙම තුන් ලොවෙහි මා අභිබවා යන්නෙකු සිටීද? මා සමස්ථ ලෝකයන් අභිබවා යන බ්‍රහ්මා වන කළ, මා ආශීර්වාදය ලද්දෙකු වූ කළ; එහි කිසිදු සැකයක් නොමැත. මෙම අහංකාරය හේතුකොටගෙන මා සංසාර සාගරයෙහි ගිලි සිටියෙමි. ඔබතුමියගේ පාද පද්මයේ දූලි ලබා ගැනීමට මට හැකි වී ඇති අතර එය මා මහත් ආඩම්බරයට පත් කර ඇත. අද සැබැවින්ම ආශීර්වාද ලත් අතර ඔබ වහන්සේගේ කරුණාවෙන් මාගේ මේ ආඩම්බර ප්‍රකාශය සාධාරණීය ය."

29-30. ඔබතුමිය සංසාර භිය දුරු කොට මුක්තිය ප්‍රධානය කරන්නීය. ඕ දේවිය! මාගේ මෝහය නම් දම්වැල කපා ඔබ වහන්සේගේ බැතිමතෙකු බවට පත්කර ගන්නා ලෙස මා ඔබ වහන්සේට යාඥා කරමි. ඔ සෞභාග්‍යයවති! ඔබතුමිය නිර්මාණය කෙරූ පද්මය මත මා ජන්මය ලැබුවෙමි. දැන් මා මුක්තිය ප්‍රාප්ත කරගන්නේ කෙසේද යන්න පිළිබඳව කනස්සල්ලෙන් පසුවෙමි. මා ඔබ වහන්සේගේ කීකරු සේවකයා වෙමි;  මා මුලාව නම් සංසාර සාගරයෙහි ගිලී සිටිමි. ඕ ශිවා! මා මෙම සංසාරයෙන් මුදවා ගනු මැනවි. ඔබතුමියගේ ස්වභාවය නොදන්නා පිරිස් මා විශ්වයේ නිර්මාතෘ හා ස්වාමිහු ලෙසින් පවසයි. ඔබ තුමියට නමස්කාර නොකොට ඉන්ද්‍ර ආදි දේවතාවුන් නමස්කාර කර ස්වර්ගය ප්‍රාප්ත කරන්නන් ඔබතුමියගේ මහිමය පිළිබඳව නිසැකවම නොදන්නේය. ඔබ වහන්සේ සදාකාලික මහාමායාවයි! ඔබ වහන්සේට මෙම විශ්වීය නූර්තියේ රඟ දැක්වීමට අවශ්‍ය වූ හෙයින් බ්‍රහ්මා ලෙස මා නිර්මාණය කළාය."

31-33. "ඉක්බිති මා අණ්ඩජ, ජලාබුජ, සංසේදජ හා ඕපපාතික ජිවින් නිර්මාණය කෙරු හෙයින් මා තුළ හටගත් අහම්කාරය ඔස්සේ ඇති වූ මා සර්වබලධාරි වෙමි යන පාපි සිතුවිල්ලට මා හට කමා කරනු මැනවි. ඕ මැණියනි! ආශාව හේතුවෙන් අන්ධ වූ, අෂ්ට යෝගයන් සහ සමාධීන් සරණ යන පුද්ගලයන් ව්‍යාජව හෝ ඔබතුමියගේ නාමය උච්චාරණය කළ විට ශාන්තිය අත්වන බව  නොහඳුනන්නේය. ඕ භවානි! පරම සත්‍ය සහ ඔබේ නාමය අමතක කරන ඔවුන් මේ ලෝකය පුරා පවතින මායාව හේතුවෙන් මුලාවී අන්ධ වී නොසිටින්නේද? මක්නිසාද යත්, මේ ලෝකයෙහි මුක්තිය ලබා දෙන්නේද ඔබතුමිය විසින්ම ය"

34-35. "පරම සත්‍ය අවබෝධ කෙරූ හරි, හර සහ අනෙකුත් දේවතාවුන්ට මොහොතකට හෝ ඔබතුමියගේ දිව්‍යමය චරිතය හා ඔබතුමියගේ නාමයන් වන ශිවා, අම්බිකා, ශක්ති, ඊශ්වරි යන නාමයන් අමතක වන්නේද? ඔබ වහන්සේගේ බැල්මෙන් පමණක් මෙම සිව් ආකාරයේ නිර්මාණය සිදු කිරීමට නොහැකිද? සත්‍ය වශයෙන්ම හුදු තෘප්තිය සහ ඉච්ඡාව සඳහා පෙර කාලයේ සිටම මා මැවුම්කරුවෙකු කළේ ඔබතුමිය යි. මහා සාගරයේදි මධු සහ කෛටභ යන අසුරයන්ගෙන් හරිව මුදවා ගනු ලැබුවේ ඔබ නොවේද? විනාශ සමයේදී මහා සංහාරක වන හර (ශිව) පවා විනාශ කරනු ලබන්නේ ඔබතුමිය නොවේද? එසේ නොමැතිනම් නව නිර්මාණ සමයේ හර කෙසේනම් මාගේ නළල් තලයෙන් ප්‍රකට වන්නේද?"

36-39. "එබැවින් හරි සංරක්ෂක හෝ හර සංහාරක නොවන්නේය. ඔවුන් එසේ වේනම් ඔබ වහන්සේ සංරක්ෂණය කොට සංහාරය කරන්නේ කෙසේද? එබැවින් සියල්ලන්ගේම නිර්මාතෘ සහ සංරක්‍ෂකයා ඔබතුමියම පමණක් ය. ඕ භවානි! ඔබ වහන්සේගේ ජන්මය පිළිබඳව කිසිවෙකු දැක හෝ ශ්‍රවණය කර නොමැත; ඔබතුමියගේ ජන්ම ස්ථානය කුමක්ද යන්න කිසිවෙකුත් නොදනි. ඔබ වහන්සේ සැබැවින්ම පරම ශක්තිය යි! ඔබේ ස්වභාවය කෙනෙකුට තේරුම් කළ හැක්කේ වේදයන්ට පමණි. ඕ මෑණියනි! ඔබතුමියගේ උපකාරයෙන් පමණක් මා නිර්මාණ කාර්යය; හරි සංරක්ෂණ කාර්යය; හර සංහාරන කාර්යය සිදු කරයි. ඔබ වහන්සේගේ උපකාරය රහිතව අපට කිසිවක් කළ නොහැක. මේ ලෝකයේ ජන්මය ලද හෝ ලබන කිසිවකු තුළ අප මෙන් සැකයක් නොපවති. විවිධාකාරයෙන් සමන්විත වූ ඔබේ ලිලාවෙන් පිරී ඇති ඔබේ විස්මිත විචිත්‍රවත් විශ්වය අසම්පූර්ණ බුද්ධිය සහිත වූවන්ගේ විවාදයට පොදු හේතුවයි. මෙම දෘෂ්‍ය අදෘශ්‍ය සංසාරය මත නොබැදෙන ඔබ වහන්සේටත් වඩා ආදිතම වූ තවත් ආදි පුද්ගලයෙකු සිටින්නේය; ඔබ වහන්සේගේ පදනම වන තවත් උතුම් පුද්ගලයකු සිටිනේය." 

(මෙහිදි බ්‍රහ්මා විමසන්නේ පරම පුරුෂයන් මෑණියන්ට වඩා උසස් හෝ නොවේද යන්නයි.) 

40-41. "එය මනාව තර්ක කළ හොත් එය නිශ්චය කිරීමට සාක්‍ෂි ඇති තාක් ඔප්පු කළ හැකි වෙනත් තුන්වන පුද්ගලයෙකු නොමැති බව පෙනේ. සමස්ථ නියමයන් දන්නා ප්‍රඥාවන්තයන් ප්‍රකාශ කරනු ලබන්නේ ඔබතුමියගේ සර්ව ව්‍යාප්තී  ලිලාවන්ට සාක්ෂි දරන ගුණයන්ගෙන් තොර, නිෂ්ක්‍රීය, දෘෂ්ටියකින් තොර වූ, අනුබද්ධයකින් තොර, එකම දෙවියන් වහන්සේ කෙනෙකු සිටින බවයි. පවතින එකම දේ බ්‍රහ්මන් වේ, ඒ හැර අන් කිසිවක් නොවේ."

42- "මෙය වේදයන්ගේ සඳහන් ප්‍රකාශයකි. වේදයෙහි සඳහන් මෙම ප්‍රකාශය පිළිබඳව මා හට ගැටලුවක් පැන නැගී. වේදයන් සාවද්‍ය යැයි පැවසීමට මට නොහැකිය. එසේනම් මා ඔබතුමියගෙන් මෙසේ විමසමි: වේදයෙහි සඳහන් වන පරම (එකම) බ්‍රහ්මන් ඔබ වහන්සේද? නැතහොත් ඔබ වහන්සේ පවා ඉක්මවන යමක් තිබේද? කරුණාකර මාගේ සැකයන් දුරලනු මැනවි. මාගේ මනස සැකයන්ගෙන් නිදහස් වී නොමැත; යථාර්තය එකක්ද නැතහොත් ද්විත්වයක්ද යන්න පිළිබඳව මාගේ මනස තුළ විවාදයක් ගොඩනැගී ඇත; එය මාහට විසඳා ගත නොහැකි ය. එබැවින් ඔබවහන්සේ මාගේ සැකයන් දුරලනු මැනවි. ඔබ වහන්සේ ස්ත්‍රී හෝ පුරුෂද යන්න විස්තරාත්මකව වදාලනු මැනවි. එබැවින් එම උත්තරීතර ශක්තිය පිළිබඳව දැන මා සංසාර සාගරයෙන් මුක්ත වෙමි"

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ පස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.