Friday 11 August 1995

බුධගේ (ග්‍රහයා) ජන්මය

බුධ

1-3. ඍෂිවරුන් පැවසීය: ඕ සූත! කවුද එම පුරූරවා රජු? එමෙන්ම කවුරුන්ද එම උර්වශී නම් දේව කන්‍යාවිය? කෙසේද එම උතුම් පුරුරවා රජු ආපදාවකට ලක් වූයේ? ඕ ලොමහර්ෂණ පුත්‍රය! අපට විස්තරාත්මකව මෙය පවසනු මැනවි. ඔබ වහන්සේගේ ශ්‍රී මුඛයෙන් එම මිහිරි වදන් ශ්‍රවණය කිරීමට අප කැමැත්තෙමු. ඕ සූත! ඔබගේ වදන් අමෘතයටත් වඩා මධුර වන්නේය. දේවතාවුන් අමෘතයෙන් තෘප්තිමත් නොවන්නා සේ අපද එවා ඇසීමෙන් තෘප්තිමත් නොවෙමු.

4. මෙය ශ්‍රවණය කෙරූ සූත පැවසිය: ඕ මුනිවරුනි! ශ්‍රී ව්‍යාසගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කෙරූ ඒ කරුණු මාගෙ බුද්ධිය අනුව මා නුඹලා හට පවසමි. එම අලංකාර දිව්‍යමය වෘතාන්තය දැන් ශ්‍රවණය කරන්න.

5-9. එක් කාලයක බ්‍රහස්පතී හට තාරා නමින් තාරුණ්‍යන් සහ අලංකාර බවින් පිරිපුන් ඉතාමත් කාන්තිමත් හා උඩඟුකමෙන් මත් වූ බිරිඳක් විය. වරෙක යාගයක් සඳහා ඇය බ්‍රහස්පති නියෝජනය කරමින් චන්ද්‍ර දේවයන්ගේ නිවසට (චන්ද්‍ර ලෝක) ගියාය. තාරා දේවියගේ අලංකාර වත දුටු චන්ද්‍රයා කාමයෙන් මුසපත් වූ අතර තාරා තුළද චන්ද්‍රයා කෙරෙහි සෙනෙහස ජන්මය ලැබීය. මේ අනුව, දෙදෙනාම එකිනෙකා සමඟ දැඩි ලෙස බැඳී ගියහ. ඉන්පසු තාරා සහ චන්ද්‍රයා අනංගයාගේ හීසර වලට හසුවී, කාමුක ආශාවෙන් මත් වී දැඩි ආදරණීය අන්‍යෝන්‍ය හැඟීම් සමඟ ලිංගික සංසර්ගය ආරම්භ කළහ. මෙලෙස දින කිහිපයක් ගතවිය.

10-17. තම බිරිඳගේ වෙන් වීමෙන් පීඩාවට පත් වූ බ්‍රහස්පතී තාරාව නැවත රැගෙන ඒමට තම ශිෂ්‍යත්ව පිටත් කළේය. එනමුත් තාරා චන්ද්‍රයාට යටත් වී සිටි හෙයින් නැවත ඒමට ප්‍රතික්ෂේප කළාය. බ්‍රහස්පතී නැවත නැවතත් දූතයන් යැවූ අතර චන්ද්‍ර දෙවියන් ඒ සියල්ලෝම නැවත හරවා එව්වේය. මෙයින් කෝපයට පත් බ්‍රහස්පතී අහංකාරයෙන් උමතු වූ චන්ද්‍රයාගේ නිවසට ගොස් කෝපයෙන් ඔහුව ආමන්ත්‍රණය කළේය. " ඕ චන්ද්‍ර! ඇයි ධර්මයට පටහැනි කුරිරු ක්‍රියාවන් සිදු කරන්නේ? මාගේ සුන්දර පතිනිය නුඹගේ නිවසේ රඳවාගෙන සිටින්නේ ඇයි? මා ඔබගේ ගුරුවරයා; ඔබ මාගේ ශිෂ්‍යයා; ඕ අඥානය! ඇයි නුඹ තම ගුරුවරයාගේ බිරිඳ වින්දනය කරමින් තම නිවසෙහි රඳවා සිටින්නේ? බ්‍රාහ්මණයෙකු ඝාතනය කරන්නා, රන් සොරා ගන්නා, සුරාව පානය කරන්නා, තම ගුරුවරයාගේ බිරිඳ සොරාගන්නා මහා පාපීන් බව නොදන්නෙහිද? එබැවින් ඔබ මාගේ බිරිඳ සමඟ සිටියේනම් ඔබද අතිශයින් දුෂ්ට, මහා පාපියෙකි; ඔබ දේවතාවුන් අතර වාසය කිරීමට සුදුසු නොවේ. ඕ දුෂ්ටය! දැන් ඔබ තාරා දේවිය අත්හැරීම සුදුසුය. මා තාරා නොමැතිව මෙතනින් පිට නොවෙමි. ඔබ ඇයව අත් හැරීමට සුදානම් නොවේනම්, ඔබට ඇය සමඟ සිටිය හැකි නමුත් නුඹට නිසැකවම ශාප කරමි."

18-22. බ්‍රහස්පතී එලෙස පැවසූ විට රෝහිණි දේවියගේ ස්වාමියා වන චන්ද්‍ර, බිරිඳගේ වෙන් වීමෙන් කෝපයට පත් ගුරු දේවයන් අමතා මෙසේ ප්‍රකාශ කළේය; මෙම ලෝකයෙහි ධර්ම ශාස්ත්‍රය දන්නා, කෝපය පාලනය කෙරූ බ්‍රාහ්මණයන් වන්දනා කිරීම සුදුසු වන්නේය; එසේ නොමැත්තන් ඔවුන්ගේ කෝපය හේතුවෙන් අගෞරවයට සුදුසු වන්නේය. ඕ පාපයන්ගෙන් තොරවූ තැනැත්තානෙනි! සුන්දරිය නිසැකවම ඔබතුමාගේ නිවසට පැමිණෙනු ඇත; නමුත් ඇය මෙහි දින කිහිපයක් රැඳී සිටිමෙන් ඔබතුමාට සිදුවන හානිය කුමක්ද? ඇය මෙහි රැඳී සිටින්නේ එයගේ ඉච්ඡාවෙන් වන අතර ඇය පිටව යන්නේද ඇයගේ ඉච්ඡාවෙනි. තව කිනම් කතාද.  බ්‍රාහ්මයන් කරන්නා වූ දුෂ්ඨ ක්‍රියා වේද වල නියම කර ඇති පරිදි යහපත් කර්ම පුරුදු කිරීම ඔස්සේ යළි පවිත්‍ර වන බව ඔබ වහන්සේ මින් පවසා තිබේ, ඒ ආකාරයෙන්ම ස්ත්‍රියන්ද මාසික ඔසප් වීමෙන් අනාචාරයේ යෙදීමෙන් ඇති වෙන්නා වූ වරදකාරි හැඟීම් යළි පවිත්‍ර වන්නේය. 

23-26. චන්ද්‍ර දේවගේ මෙම වදන් වලින් බොහෝ කණගාටුවට පත් වූ බ්‍රහස්පති ශෝකජනක හදවතකින් යුක්තව වහාම ඔහුගේ නිවස වෙත ආපසු ගියේය. තම නිවසෙහි මද කාලයක් ගත කිරීමෙන් අනතුරුව සංකාවෙන් වෙහෙසට පත් වූ බ්‍රහස්පතී නැවතත් චන්ද්‍ර දෙවියන්ගේ වාසස්ථානය වෙත පැමිණියේය. අනමුත් නිවස වෙත ඇතුළු වන ප්‍රධාන ද්වාරයේදි මුරකාවල් විසින් ඔහුව නවතාලනු ලැබීය. චන්ද්‍ර පිටතට නොපැමිණි හෙයින් කෝපයට පත්ව මෙසේ සිතුවේය. "ඕහ්! මෙය කිනම් පුදුමයක්ද? මාගේ ශිෂ්‍යයකු වන නිරාගමික චන්ද්‍ර තම මව ලෙසින් සැළකිය යුතු ගුරුවරයාගේ බිරිඳ සොරා ගනු ලැබුවා. අද මා ඔහුට හොඳ පාඩමක් උගන්වමි."

27-28. ප්‍රධාන ද්වාරයේ සිටිමින් බ්‍රහස්පති ශබ්ද නගා කෑ ගැසීමට පටන් ගත්තේය. " ඕ දේවතාවුන්ගෙන් කුරිරු අධමය! ඔබ දැන් ඔබේ අභ්‍යන්තර කුටියේ නිදා ගන්නේ ඇයි? මාගේ පතිනිය වහාම නැවත මා හට ලබාදෙනු; නැතහොත් මා නුඹට ශාප කරමි.  මාගේ බිරිඳව නැවත නොදේනම්, මා නුඹව වහාම භස්ම කරමි."

29-34. මෙය ඇසු චන්ද්‍රයන්ගේ නරපති චන්ද්‍ර දේව සිනහසෙමින් තම නිවසෙන් පිටතට පැමිණ මෙසේ පැවසිය: "ඕ බ්‍රාහ්මණය! ඇයි ඔබ නිෂ්ඵල කාරණාවක් උදෙසා වදන් අපතේ යවන්නේ? එම නීල වර්ණ දේහයකින් යුක්ත උත්තරීතර ආර්‍යාව ඔබ වැනි අයෙකුට සුදුසු නොවේ. එබැවින් ඔබට සාපේක්ෂව විරූපි ස්ත්‍රියක් ඔබේ ප්‍රයෝජනය සඳහා සොයාගන්න. ඇය වැනි අතිශයින් තරුණ හා සුන්දර කාන්තාවක් ඔබ වැනි යාචකයෙකුගේ නිවසකට සුදුසු නොවේ. ඕ අඥානය! ඔබට කාම ශාස්ත්‍රය පිළිබඳව කිසිඳු දැනීමක් නොමැති හැඩයි; එම ශාස්ත්‍රය පිළිබඳව නිපුණතාවයක් සහිත ස්ත්‍රියන් ලිංගික කටයුතු වලදි ඔවුන්ගේ ආදරවන්තයන් ඔවුන්ගේ අලංකාරය හා සමාන වේ. එබැවින් අඥාන පුද්ගලය! ඔබ රිසි ඔනෑම ස්ථානයකට යනු! නුඹගේ ශක්තියෙන් කුමක් කළද මා නුඹගේ බිරිඳ නැවත නොදෙමි. ඔබ කාමයෙන් මුසපත් වී ඇති හෙයින් නුඹගේ ශාපයේ කිසිඳු බලපෑමක් නොමැත. මම අවසාන වශයෙන් කියන්නේ මෙයයි: ඔ ගුරු නුඹ කුමක් කළත් මා ඔබට ඔබේ බිරිඳ නැවත නොදෙමි."

35-39. චන්ද්‍රගේ මෙම ප්‍රකාශයෙන් දැඩි සේ ක්‍රෝධයටත් පත් දේව ගුරු බ්‍රහස්පති ඉතා වේගයෙන් ඉන්ද්‍රගේ නිවසට ගියේය. කණගාටුවට පත්ව සිටි තම ගුරු දේවයන් දුටු ඉන්ද්‍ර එතුමාට පාද්‍යා, ආර්ග්‍ය, ආචමනීය ආදියෙන් නමස්කාර කොට මෙසේ ඇසුවේය. " ඕ භාග්‍යවන්තය! ඇයි ඔබතුමා මෙසේ කණස්සල්ලෙන් සිටින්නේ? ඕ විශිෂ්ට මුනිවරය! ඔබ ශෝකයෙන් කණගාටු වන්නේ ඇයි? ඔබ මාගේ ගුරුවරයාය. මාගේ රාජධානියේ යම් කෙනෙකු ඔබට අපහාස කළෙහිද? නිදහසේ පවසන්න. සියලු ලොකපාලකයන් සහ සමස්ථ දේවතා සේනාවම ඔබගේ විධානයන්ට යටත් වන්නේය. බ්‍රහ්මා, විෂ්ණු සහ මහේශ්වර මෙන්ම අනෙකුත් දෙවිවරුන්ද ඔබට සෑම සහයක්ම ලබාදීමට සුදානමින් සිටි. එයට කිසිඳු සැකයක් නොමැත. ඔබගේ සාංකාවට හේතුව කුමක්ද යැයි පවසන්න.

40-41. ඉන්ද්‍රගේ බස් ඇසු බ්‍රහස්පතී මෙසේ ප්‍රකාශ කළේය: "චන්ද්‍ර විසින් මාගේ සුන්දර නයනයන් සහිත පතිනිය සොරාගෙන තිබේ. මා නැවත නැවත ඇයව ඉල්ලා සිටි නමුත් එම දුෂ්ටයා ඇයව නැවතත් ලබා නොදේ. ඕ දේවතාවුන්ගේ ස්වාමීනි!  මා දැන් කුමක් කරම්ද? ඔබ මාගේ උපකාරකයා සහ මඟ පෙන්වන්නා ය. ඕ ශතක්‍රතු! ඔබ දේවතාවුන්ගේ ස්වාමියයි! එබැවින්, මා ඉතාමත් දුක්ඛිත හදවතින් යුකතව ඔබට යාඥා කරමි. මේ කාරණයේදී මට උදව් කරන්න.

42-45. ඉන්ද්‍ර මෙසේ ප්‍රකාශ කළේය: "ඕහ් ධර්මධරයානෙනි! දුක් නොවන්න, මා ඔබගේ සේවයකයා වන්නෙමි. ඕ මහා ප්‍රඥාවන්තය! මා නිසැකවම ඔබේ බිරිඳ යළි රැගෙන එමි. මා දූතයෙකි යවන්නෙමි, එවිටත් අහංකාරයෙන් මත් වූ චන්ද්‍ර ඔබේ බිරිඳ නැවත ලබා නොදුන්නොත්, මා සියලු දේව සේනාව සමඟින් ඔහු සමඟ යුද වදිමි. මෙසේ පවසා ඉන්ද්‍ර විශිෂ්ට කථිකයකු වන බුද්ධිමතෙක් දූතයා ලෙස පිටත් කළේය. දක්ෂ සහ නුවණැති පණිවිඩකරුවා චන්ද්‍ර ලෝකය වෙත ගොස්  රෝහිණී දේවියගේ ස්වාමියා වන චන්ද්‍ර දෙවියන්ට මෙසේ ආමන්ත්‍රණය කළේය.

46-53. "ඕ මහාභාග! ඔබ සමඟ සන්නිවේදනය කිරීමට ඉන්ද්‍ර මාව ඔබ වෙත එව්වේය. එබැවින්, ඕ ප්‍රඥාවන්තය! ඔහු මට අණ කෙරු දේ මා ඔබට පවසන්නෙමි; අසා සිටින්න."

ඔහු පැවසිය: "ඕ භාග්‍යවත් තැනැත්ත! ඔබට ධර්මය සහ නීති ශාස්ත්‍රය පිළිබඳව මනා වැටහීමක් ඇත්තේය. මන්ද මහාඍෂි අත්‍රි ඔබගේ පියාණන් වන්නේය. එබැවින් ඕ සුව්‍රත! එවැනි දෝෂාරෝපණයට ලක්වන කාරණයකට ඔබ කැප නොවිය යුතුය. බලන්න, සියලු ජීවීන්  නිකරුණේ නොසිට සෑමවිටම තමන්ගේ ශක්තීන්ගෙන් තමන්ගේම භාර්යාවන් ආරක්ෂා කළ යුතුය. එබැවින්, එම කරුණ මත ආරවුල් ඇති වන බවට කිසිඳු සැකයක් නැත. ඕ සුධානිධි! බිරිඳ ආරක්ෂා කරගැනීම පිළිබඳ මෙම කරුණ සැලකිල්ලට ගැනීමේදි, ඔබේ ගුරු දේවයන් එය උපරිමයෙන් ඉටු කරන්නේය. ඔබ තමා පිළිබඳව මෙන් අනෙක් සියල්ලන් පිළිබඳවද සිතා බැලිය යුතුය. ඕ සුධාකර! දක්ෂ රජුගේ දියණියන් වන පතිනියන් විසි අට දෙනෙකු සිටි; එසේනම් ඔබ ගුරුවරයාගේ බිරිඳ සමඟ විනෝද වන්න සිතන්නේ කුමකටද? මේනකා ඇතුළු ස්වර්ගයේ සිටින අප්සරාවන් සමඟ ඔබට රිසි පරිදි විනෝද විය හැකිය. එබැවින් ඔබේ ගුරුගේ පතිනිය අත්හැර දමන්න. කිසියම් බලවත් අයෙක් මමත්වය හේතුකොට නුසුදුසු ක්‍රියාවක නිරත වන්නේ නම්, නූගත් පුද්ගලයන්ද ඔහුව අනුගමනය කරන්නේය. එබැවින් ධර්මය පිරිහෙයි. එමනිසා  ඕ උසස් භාග්‍යවන්තය! දේවතාවුන් අතර ආරවුල් ඇතිවන ක්‍රියාවන් නොකරන්න. ඇය සුන්දර වූවද, තම ගුරුවරයාගේ පතිනිය නිදහස් කරන්න."

54-62. දූතයන්ගේ මෙම වදන් ශ්‍රවණය කොට කෝපයට පත් චන්ද්‍ර ඉන්ද්‍ර දෙවියන්ට පවසන ආකාරයට දූතයාට මෙසේ පිළිතුරු දුන්නේය. " ඕ ශක්තිවන්තය! දේවතාවුන්ගේ ස්වාමියා වන ඔබද ඔබගේ ගුරු මෙන් ධර්මය පිළිබඳව දන්නේය. ඔබලා දෙදෙනාගෙම හිස් එක හා සමානය. අනෙකුන්ට උපදෙස් ලබාදීමට හැකි බොහෝ දේ ඔබට හමුවනු ඇත. නමුත් අවශ්‍යතාන් පැමිණි කල්හි තමන්ගේ වදන් තමන් විසින්ම ඉටු කරන පුද්ගලයන් ඔබට හමුවන්නේ ඉතා විරලවයි. ඕ දේවතාවුන්ගේ ස්වාමීනි!  සියලුම පුද්ගලයන් බ්‍රහස්පති විසින් සකස් කරන ලද ශාස්ත්‍රයන් පිළිගනි;  එසේනම් ඔහුගේ නියමයන් අනුව මා කැමති කාන්තාවක් මා භුක්ති විඳින විට, මා සමඟ ආරවුල් ඇති කරගන්නේ කිමද? බලන්න, මේ සංසාරයේ නියමයන් ශක්තිමත් බව සත්‍යකි; බලහත්කාරයෙන් ලබාගන්නා ශක්තිමත් පිද්ගලයා වෙත සියල්ල හිමි වේ; දුර්වලයාට කිසිවක් හිමි නොවේ. එපමණක්ද නොව, මෙම කාන්තාව මගේ සහ එම කාන්තාව වෙනත් කෙනෙක්ගේ ලෙස මෙම අසත්‍ය අදහස් පැමිණේන්නේ දුර්වල මසක් ඇත්තන්ටයි. තාරා මා කෙරෙහි ඉතාමත් බැඳී ඇති අතර බ්‍රහස්පති කෙරෙහි නොවේ. ඉහත නීතිය තව දුරටත් මා හට අදාළ වේ. ධර්මයට සහ සදාචාරයට අනුව මා කෙරෙහි බැඳී ඇති ස්ත්‍රියක් මා ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? බලන්න! කුටුම්බයෙහි සතුට රැඳී තිබෙන්නේ පතිනිය ස්වාමියාගේ කැමැත්ත මත වාසය කළොත් පමණි, ස්ත්‍රිය අතෘප්තිමත් නම් ගෘහස්ථ සන්තෝෂය පවතින්නේ කෙසේද? බ්‍රහස්පතී තම බාල සොහොයුරු සම්ව්‍රතගේ පතිනිය සමඟ සිටින හෙයින් තාරා දේවිය ඔහු සමඟ අතෘප්තියෙන් සිටි, එබැවින් ගුරුතුමාගේ ගෘහස්ථ සන්තෝෂයක් නොපවතින්නේය. ඕ සහස්‍රාක්ෂ! ඔබට නේත්‍රා දහසක් ලැබුනේ කෙසේද? එය කෙසේ වූවත් ඔබ දේවතාවුන්ගේ රජුයි; එබැවින් ඔබට රිසි දෙයක් ඔබ කරන්න. ඕ දූතය! ඔබ නැවත ගොස් මා පැවසු සියල්ලම දේව රජුට පවසන්න; මා කිසිඳු හේතුවක් නිසා සුන්දර තාරාව නැවත නොදෙමි." චන්ද්‍ර මෙසේ ප්‍රකාශ කිරීමෙන් පසුව, දූතයා නැවත ඉන්ද්‍ර වෙත ගොස් චන්ද්‍ර දෙවියන් පැවසු සියල්ල ඔහුට දැනුම් දුන්නේය.

65-72 මෙය අසා කෝපයට පත් ඉන්ද්‍ර, සියලු දේවතා සේනාංක වලට රැස්වෙන ලෙස අණ කළේය. සංග්‍රාමය පිළිබඳව පුවත ඇසු ශුක්‍රාචාර්‍ය, බ්‍රහස්පතී සමඟ තිබෙන වෛරය හේතුකොට චන්ද්‍ර හමුවී මෙසේ පැවසිය; " ඕ ප්‍රඥාවන්තය! කිසිවිටකත් තාරා ආපසු නොදෙන්න, ඔබ සහ ඉන්ද්‍ර අතර සිදුවන සංග්‍රාමයට මාගේ මන්ත්‍ර ශක්තියෙන් ඔබට උපකාර කරමි." අනෙක් අතට චන්ද්‍ර ගේ දුෂ්ට ක්‍රියාවන් සහ ශුක්‍රාචාර්‍ය බ්‍රහස්පතීගේ සතුරෙකු බව දන්නා, භගවාන් ශංකර දේවතාවුන්ගේ සහය පිණිස එහි ප්‍රකට විය. එවිට තාරකාසුරගේ සංග්‍රාමය හා සමාන මහා සංග්‍රාමයක් දේවතාවුන් අතර සිදුවිය. මෙය දුටු පිතාමහ බ්‍රහ්මා තම හම්ස වාහනයෙන් එම ස්ථානයට පැමිණ චන්ද්‍රයා හට මෙසේ පැවසිය: "ගුරුවරයාගේ පතිනිය නිදහස් කරනු: නැතහොත් මා විෂ්ණු ආවාහනය කොට නුඹගේ සියලු සේනාවන් සංහාරය කරමි." එවිට ශුක්‍රාචාර්‍ය ද යුද්ධය නවත්වන ලෙස චන්ද්‍ර දේවයන්ට පැවසුවේය. "ඔබ ගුරුවරයාගේ පතිනිය නිදහස් කිරීම උචිත වේ, ඔබගේ පියාණන් වන මහාඍෂි අත්‍රි එම කාර්‍ය සඳහා මාව ඔබ වෙත එව්වේය. ශුක්‍රාචාර්‍යගෙ මෙම පුදුමාකාර වදන් ඇසීමෙන් අනතුරුව චන්ද්‍ර බ්‍රහස්පතීගේ බිරිඳ තාරාව නැවත ඔහුට ලබා දුන්නේය. ඇය ඔහු ගැන සෑහීමකට පත් නොවී සිටියත් ඇය ගැබ්ගෙන සිටියාය.

73-79. බ්‍රහස්පති ඔහුගේ බිරිඳ සමඟ සතුටින් තම නිවසට පැමිණියේය. දේවතාවුන් සහ දානවයන් තමන්ගේ ස්ථාන කරා පිටව ගිය අතර බ්‍රහ්මා බ්‍රහ්මලෝකයටත්, ශංකර කෛලාශය වෙතටත් පිටව ගියහ. බ්‍රහස්පතී තම අලංකාර බිරිඳ සමඟ කාලය ගත කළේය. දින ගණනාවක් පසු වූ විට තාරා සුභ දිනයකදී චන්ද්‍ර දෙවියන්ගේ සමස්ථ ගුණ සහිත උත්කෘෂ්ට පුත්‍රයෙකුට ජන්මය ලබා දුන්නේය. බ්‍රහස්පතී බොහෝ සතුටින් දරුවාගේ ජන්මෝත්සවය පැවැත්විය. තම දරුවා ජන්මය ලැබූ බව දැනගැනීමට ලැබුනු චන්ද්‍ර දූතයෙකු අත දරුවා ඔහුගේ නොව තමාගේ බවත්, කුමන හේතුවක් නිසා දරුවාගේ ජන්මෝත්ස්වය ඔහු පැවත්වූයේ ද අසා පණිවිඩයක් යැවුවේය. චන්ද්‍රගේ දූතයාගේ වදන් ඇසූ බ්‍රහස්පතී මෙසේ පැවසිය: "නැහැ, මේ මාගේ දරුවායි, එහි කිසිඳු සැකයක් නොමැත, ඔහුගේ පෙනුම මා හා සමානය."

80-85. බ්‍රහස්පති මෙසේ පැවසූ විට නැවතත් යුද්ධයක් ඇති විය. දේවතාවුන් සහ දානවයන් සංග්‍රාම භූමියේ එ වූ අතර යුද සභා පැවැත්විණි. සංග්‍රාමය ආරම්භ වීමට ප්‍රථමව සාමය සුරැකීම සඳහා ප්‍රජාපති බ්‍රහ්මා එහි ප්‍රකට විය. බ්‍රහ්මා තාරාගෙන් මෙලෙස ප්‍රෂ්ණ කළේය: " ඕ යහපත් තැනැත්තිය! මේ දරුවා සත්‍ය වශයෙන්ම කාගේ දැයි පවසන්න? ඕ සුන්දරිය! ඔබ සත්‍ය ප්‍රකාශ කළහොත් මෙමෙ සංග්‍රාමයෙන් ජිවිත විශාල සංඛ්‍යාවක් විනාශ වීම නිවතිනු ඇත." එවිට සුන්දර තාරා දේවිය ලජ්ජාවෙන් හිස පහත් කොට බ්‍රහ්මාට "මේ චන්ද්‍රයාගේ දරුවායි" ලෙස පවසා නිවස තුළට දිව ගියාය. මෙයින් තෘප්තිමත් වූ චන්ද්‍ර දෙවිදුන් දරුවා රැගෙන ඔහුට බුධ ලෙස නම් තබා රැගෙන ගියේය. භගවාන් බ්‍රහ්මා, ඉන්ද්‍ර සහ අනෙකුත් දේවතාවුන් තමන්ගේ ස්ථාන කරා නැවත පිටත් විය. සියලුම නරඹන්නන් ද ඔවුන් පැමිණි ස්ථාන කරා ගියහ.

86. ඕ මුනිවරුනි! මා සත්‍යවතී පුත්‍ර ව්‍යාස දේවයන්ගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කෙරූ, චන්ද්‍ර දෙවියන්ට දාව බ්‍රහස්පතීගේ පතිනියගේ ගර්භයේ බුධ (නවග්‍රහයන්ගෙන් එක් ග්‍රහ දේවතාවෙක්) ජන්මය ලැබූ ආකාරය විස්තර කළෙමි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ එකොළොස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.