Saturday 12 August 1995

පුරූරවාගේ ජන්මය

 

1. සූත පැවසිය: ඕ මහාඍෂිවරුනි! ඉහත සඳහන් කළ බුධගේ පුත්‍රයා වන්නේ ඉතාමත් පරිත්‍යාගශීලි ධාර්මික පුරූරවායි. ඔහු ජන්මය ලැබුවේ ක්ෂත්‍රීය ස්ත්‍රියක් වන ඉලාගෙනි. මා දැන් බුධට සහ ඉලාට දාව පුරූරවා ජන්මය ලැබූ ආකාරය විස්තර කරමි. කාරුණිකව සවන් දෙන්න.

2-10. පුරාණ කාලයෙහි, තම ඉන්ද්‍රියයන් සංවර කිරීමට සමත් සද්යුමන නමින් ඉතාමත් සත්‍යවාදි නිරිදෙකු සිටියේය. එක් දිනක් තම ආජගබ් නැමති අසාමාන්‍ය දුන්නද රැගෙන පිටුපසින් හී පුරාවගනිමින් දඩයම් කිරීම උදෙසා සින්ධු දේශයෙහි ජන්මය ලද අශ්වයකු මත නැග තම අමාත්‍යවරුන් කිහිපයක් සමඟ වනයට පැමිණියේය. වනාන්තර ප්‍රදේශ වල සැරිසරමින් එතුමා තම යාගයන් සඳහා විවිධ සත්වයන් දඩයම් කෙරූ අතර; මේ අකාරයට  වනාන්තරය අභ්‍යන්තරයම පැමිණියේය. මෙම මන්දාර වනය පිහිටා තිබෙන්නේ මේරු පර්වතය පාමුළයි. (අටවැනි සර්ගයේ ජම්බුද්වීපය පිළිබඳව විස්තර කරන විට මෙම ප්‍රදේශය පිළිබඳව වෙනම පැහැදිලි කෙරේ.) අවට වනාන්තරය අලංකාර කරමින් විවිධ වෘක්ෂයන් සහ පුෂ්පයන් දසත පැතිරී තිබුනි. එහි අශෝක ලතාවන්, මූන-මල්, සල්, තල්, කළුවර, වන සපු, මී, සමන් පිච්ච, මාලති, අඹ, කොහොඹ, කෙසෙල්, පොල් අදි වෘක්ෂයන් සහ පුෂ්පයන් වූ අතර ඇතැම් ස්ථානයන්හී තුරුගොමු තුළ පුවක් ගෙඩියා වැල් අලංකාරය වැඩි කළ අතර අවට ඇති දීප්තිය පැතිරුවේය. වැව් සහ ජලාශ කොකුන් සහ හංසයන් ඇතුළු අනෙකුත් ජලජ පක්ෂීන්ගෙන් පිරී තිබුණි. ඉවුරේ පිහිටා ඇති උණ ගස් වාතයෙන් පිරී යන විට මිහිරි සංගීතමය ශබ්දයක් නිකුත් විය. එමෙන්ම එම වනයේ බොහෝ ස්ථානයන්හී බිගුන්ගේ ගුමු ගුමු නාදය මනස ප්‍රමෝදයට පත් කරමින් දසත පැතිරිණි.

10-14. මෙම අලංකාරවත් වනයේ ස්වභාවය දැක හදවතින්ම ආනන්දයට පත් වූ රාජර්ෂී සද්යුමන වනයට ඇතුළු වු මොහොතේම ස්ත්‍රියක බවට පත් වු අතර ඔහුගේ අශ්වයාද වෙළඹෙකු බවට පත් විය. එවිට රජු දැඩි ලෙස කලබලයට සහ ලැජ්ජාවට පත් වී නැවත මෙසේ සිතන්නට විය: "කුමක්ද මේ? කෙසේද මෙය සිදු වූයේ? මා දැන් කුමක් නම් කරන්නද? මා කෙසේද මේ ස්ත්‍රී ස්වරූපයෙන් නැවත නිවසට ගොස් මාගේ රාජ්‍ය පාලනය කරන්නේ? මෙලෙස මා රැවටූවේ කවුරුන්ද!"

14-15. සූතගේ මෙම විශ්මයජනක වදන් වලට සවන් දීමෙන් අනතුරුව ඍෂිවරුන් මෙසේ පැවසීය: " ඕ සූත! ඔබ දැන් පැවසුවේ දේවතාවුන් හා සමාන සද්යුමන රජු ස්ත්‍රියක් බවට පත් වූ බවයි; සත්‍ය වශයෙන්ම මෙය ඉතාමත් පුදුමාකාරය! එබැවින් ඕ සුව්‍රත ඔහු ස්ත්‍රියක් බවට පත් වීමට හේතුව කිමද? එම උත්කෘෂ්ට රජු වනයේ සිදු කළ දෑ විස්තරාත්මකව පවසනු මැනවි."

16-20. සූත පැවසීය: එක් තරා කාලයක ශණක ඇතුළු අනෙකුත් ඍෂිවරුන් තම රැස් මඩලයන්ගෙන් දස දිශාවන් ආලෝකමත් කරමින් මෙම වනයට පැමිණියහ. එනමුත් එම අවස්ථාවේදි භගවාන් ශංකර සහ ශංකරි කාම වින්දනයේ යෙදෙමින් සිටියහ. රූමත් අම්බිකා දේවිය නිර්වස්ත්‍රව ශංකරගේ උකුළෙහි වාඩි වී සිටි හෙයින් ඔවුන් දැක මහත් ලජ්ජාවට පත් වූවාය; ඇය වහා නැඟී සිට වස්ත්‍ර දාරණය කරගනිමින් මහත් ලැජ්ජාවකින් හා වෙව්ලමින් එහි රැඳී සිටියාය. ඔවුන්ගේ කාමුක ක්‍රියාවන් දුටු ඍෂිවරුන්ද ක්ෂණයකින් ආපසු හැරි නර නාරායනගේ ආශ්‍රමය වෙත ගියහ.

21-22. ඉන්පසු සංවේදීව සිටි ශංකරිය දුටු භගවාන් ශංකර මෙසේ පැවසීය: "ඇයි නුඹ මෙතරම් කුලෑටි සහ ලජ්ජාශීලි වන්නේ? මා දැන් සිදුකළේ ඔබව තෘප්තිමත් කිරීමයි. ඕ සුන්දරිය! මෙතැන් පටන් මෙම වනාන්තර පරිශ්‍රයට ඇතුළු වන ඔනෑම අයෙකු ක්ෂණිකව කාන්තාවක් බවට පරිවර්තනය වනු ඇත."

23-33. ඕ මුනිවරුනි! මෙම වනාන්තරය සියලු සැප සම්පත් ප්‍රධානය කළත්, මෙම ශාපය දන්නා සියල්ලොම මෙම වනාන්තර මග හැර සිටී. අවිද්‍යාව හේතුවෙන් වනය තුළට පැමිණි සද්යුමන සහ ඔහුගේ පිරිස ස්ත්‍රීන් බවට පත් විය. එහි කිසිඳු සැකයක් නොමැත. කාංසාවෙන් බලවත් සේ පීඩා විඳි රජු ලජ්ජාව හේතුවෙන් නැවත නිවසට නොගිය අතර ඇය වනාන්තර තුළ ඔබමොබ සැරිසරන්නට වූවාය. ඉන්පසු ඇයව ඉලා නමින් හඳුන්වන්නට විය. එක් අවස්ථාවක බුධ සංචාරය කරමින් සිටින කල්හි ස්ත්‍රියන් විසින් වට කරගෙන සිටින ඉලාව දැක ඇය කෙරෙහි ආකර්ෂණය වූයේය. ඉලාද චන්ද්‍ර පුත්‍ර කඩවසම් බුධව දැක තම සැමියා කර ගැනීමට දැඩි ආශාවක් ඇති වුවාය. ඔවුන් තුළ එකිනෙකා කෙරෙහි දැඩි ඇල්මක් ඇති වූ අතර ඉන්පසු ඔවුන් සංසර්ගයේ යෙදුණි. මේ ආකාරයට බුධට දාව ඉලාගේ කුසෙන් පුරූරවා ජන්මය ලැබුවේය. පසුව කලබල වූ ඇය පවුලේ පූජකයා වන වසිෂ්ඨ දේව හදවතින්ම සිහිපත් කළාය. විපතට පත් සද්යුමන රජු දැක අනුකම්පා සහගත වූ වසිෂ්ඨ දේව, සියලු දෙවියන්ගෙන් යහපත් වූ මහාදේව උදෙසා ස්තෝත්‍ර ගායනා කළේය. භගවාන් ශංකර එතුමා උදෙසා වරයන් ප්‍රධානය කිරීමට පැමිණි කල්හි, වසිෂ්ඨ දේව ඉල්ලා සිටියේ රජුව නැවත පුරුෂයෙකු බවට පත් කරන ලෙසයි. එවිට භගවාන් ශංකර පැවසුවේ සද්යුමන රජු එක් මසකදි පුරුෂයෙකු බවටත් අනෙක් මාසයේදි ස්ත්‍රියකු බවට පත් වන බවත්ය.  

බුධ සහ ඉලා

34-36. මේ ආකාරයට වසිෂ්ඨ දේවගේ අනුග්‍රහයෙන් සද්යුමන නිරිදුන් ලද වරයෙන් රාජධානිය වෙත නැවත ගොස් එය පාලනය කිරීමට පටන් ගත්තේය. ඔහු ස්ත්‍රියක් බවට පත් වූ විට අභ්‍යන්තර කුටියෙහි රැඳී සිටියේය, පුරුෂයෙක් වූ විට පාලන කටයුතු හෙබවිය. මේ කාරණාව ඉතා කනස්සල්ලට පත් වූ අතර ඔවුන් පෙර ආකාරයට රජුව පිළිනොගත්තහ. මේ ආකරයට කාලය ගත වී පුරූරවා කුමරුන් තම යෞවන වියට පා තැබුවේය. ඉන්පසු සද්යුමන රජු තම පුත්‍රයාට කිරුළු පළඳවා රාජ්‍යත්වය ලබාදී තපස් රැකීම උදෙසා ආශ්‍රමයකට ගියේය. 

37-40. ඔහු අලංකාර වෘක්ෂයන්ගෙන් ගහණ වනයකට ගිය අතර එහිදි නාරද මුනිවරයාගෙන් ලද භගවතී දේවියගේ නවාක්ෂර මන්ත්‍රය ගෙන ඔහු එය නොකඩවා හදවතින්ම උච්චාරනය කරන්නට විය. දින ගණනාවක් ගත වූ පසු සම්පූර්ණ විශ්වයේ පරම ගැලවුම්කාරිය වන උත්කෘෂ්ට භගවතී දේවිය ප්‍රසන්න වි අභිමානයන් යුක්තව දෑස් පෙරළමින් මත් වූ ස්වභාවයෙන්, සමස්ථ ගුණයන්ගෙන් පරිපූර්ණ, සිංහවාහනාරූඩව දිව්‍යමය ස්වරූපයකින් ඔහු ඉදිරියේ දර්ශනය වුවාය.  විශ්ව මාතාවගේ දිව්‍යමය ස්වරූපය දුටු ඉලා දේවිය (සද්යුමන) ආදරණීය දෑස් වලින් යුක්තව දේවියට නමස්කාර කොට සන්තෝෂයෙන් එතුමිය උදෙසා ස්තෝත්‍ර ගායනා කළාය.

42-45 "ඕ භගවතී! සියලු ලෝකයන්ට යහපත සහ කරුණාව ලබාදෙන ඔබ වහන්සේගේ  දයාන්විත ස්වරූපය දැකීමට මා කෙතරම් භාග්‍යවන්ත වෙමිද! එබැවින් සියලු දේවතාවුන් සේවය කරන, සමස්ථ ඉච්ඡාවන් සහ මුක්තිය ප්‍රධානය කරන්නා වූ ඔබතුමියගේ පාද පද්මයන් සරණ යන්නෙමි.  ඕ මෑණියනි! දේවතාවුන් හා මුනිවරුන් පවා ඔබව සෙවීමේදී වික්ෂිප්ත වන විට ඔබේ මහිමය සම්පූර්ණයෙන් වටහා ගත හැකි මනුෂ්‍යයකු කෙසේ නම් සිටින්නද! ඕ දේවිය! අගහිඟකම් ඇති දුප්පත් සහ අසරණ මිනිසුන් කෙරෙහි ඔබේ දයානුකම්පාව සහ මහිමයන් දැක මා පුදුමයට පත් වීමි. බ්‍රහ්මා, විෂ්ණු, මහේශ්වර, ඉන්ද්‍ර, චන්ද්‍ර, පවන, සූර්‍ය, කුවේර සහ අෂ්ට වාසුන් පවා ඔබ වහන්සේගේ ශක්තීන් නොහඳුනන කල්හී සියලු ගුණයන්ගෙන් තොර වූ ඔබ වහන්සේව පෘතක්ජනයෙක් කෙසේ නම් වටහා ගන්නද. ඕ මෑණියනි! අසමසම තේජසකින් යුත් භගවාන් විෂ්ණුද සියලු ඉච්ඡාවන් සඵල කරන සාත්ත්වික ගුණය වන කමලා දේවිය ලෙස ඔබ වහන්සේව හදුනන්නේ ඉතා සුළු කොටසකින් පමණි; භගවාන් බ්‍රහ්මාද රාජසික ගුණයෙහි සරස්වතිය ලෙස ඔබ වහන්සේව හඳුනන්නේ සුළු කොටසිකිනි; ශංකර ඔබ වහන්සේ හදුනන්නේ තමෝ ගුණයේ ස්වරූපය ලෙස සුළු වශයෙනි. ඕ මෑණියනි! ඒ කිසිවෙකුත් ඔබතුමියගේ සියලු ගුණයන් අභිබවා යන සත්‍ය ස්වරූපය නොදන්නේය. ඕ මෑණියනි! මාගේ හීන බුද්ධියක් සහ ශක්තියක් රහිත පහත් ආත්මය කොතනද, ඔබ වහන්සේගේ අතිශයින් සමෘද්ධිමත් සාමය සහ කරුණාව කොතනද! ඇත්තෙන්ම මා කෙරෙහි එවැනි දයාන්විත කරුණාවක් නිසැකම මාගේ බලාපොරොත්තු ඉක්මවා යන්නේය. එබැවින් ඕ භවානි! මෙම භක්තිකයන් තුළ ඔබතුමිය කෙරෙහි පවතින භක්තිය කෙරෙහි නිසැකවම ඔබතුමිය තුළ දයාවක් උපදින හෙයින් ඔබ වහන්සේගේ හදවතෙහි අසීමිත දයාවක් පවතින බව මා වටහා ගත්තෙමි.

46-51. ඕ මෑණියනි! භගවාන් මධුසූදන විෂ්ණු ඔබ වහන්සේගේ අංශුවක් වන කමලා දේවියව සරණ පාවා ගැනිමෙන් අනතුරුවද තමා ඇයට නුසුදුසු යැයි දැනෙන හෙයින් නොසතුටෙන් සිටීමත්; එමෙන්ම ආදි පුරුෂයෙන් තම පාදයන් කමලා දේවියට ස්පර්ශ කිරිමට ලබා දෙන්නේද ඇය ඒවා ස්පර්ශ කිරීමෙන් පවිත්‍ර වන හෙයින් බැවිත් මම තවත් කුමක් කියන්නද? ඕ මෑණියනි! මට පෙනෙන ලෙස භ්‍රිගු මුනිවරයා විෂ්ණුගේ ලයට පයින් ගසන විට උයන්පල්ලෙකු විසින් අශෝක වෘක්ෂයක් අලංකාර කිරිම උදෙසා එය කපා දමන විට අශෝක වෘක්ෂය ඔහු කෙරෙහි කෝප නොවන්නා සේ, විෂ්ණුද කෝපයට පත් නොවන තරමට ශ්‍රී දේවි කෙරෙහි ඇති ආශාවෙන් පිරී සිටියේය. ඕ දේවිය! අඳුරු වළාවන් තුළින් නැගෙන අකුණක් සේ ඔබ සෑම විටම භගවාන් විෂ්ණුගේ ලයෙහි ශාන්තව වාසය කරන විට කිසිඳු සැකයකින් තොරව ඔහු විශ්වයේ ස්වාමියා මෙන්ම ඔබගේ වාහනය වන්නේය. ඕ මැණියනි! ඔබ වහන්සේ මධුසූදන කෙරෙහි කෝපයෙන් ඔහුව අත් හැරියොත් ඔහු ක්ෂණිකව ශක්ති හීන වන අතර ඔහු කිසිවෙකු අතර වන්දනයට පාත්‍ර නොවන්නේය. මන්ද සන්සුන් සහ ප්‍රසන්න අයෙකු වේවා ශ්‍රියාව ඔහුව අත්හැර ගියහොත් කිසිදු ගුණාංගයක් නැති අයෙකු ලෙස සියල්ලන්මද ඔහුව අත්හැර දමයි. ඕ මෑණියනි! මා ස්ත්‍රියක වීම හේතුවෙන් ඔබ තුමියගෙන් ප්‍රතික්ෂේප විය යුතු නොවේ මන්ද යත් නිරන්තරයෙන් ඔබගේ පාද පද්මයන් සරණ යන බ්‍රහ්මා ඇතුළු අනෙකුත් දේවතාවුන් මණිද්වීපයේ අලංකාර ස්ත්‍රී ස්වරූප ධාරනය කරගත් බවත්, ඔබ නැවත ඔවුන්ව පුරුෂ ස්වරූපයට පත් කළ බවත් මා හොඳින් දනිමි. එබැවින් ඔබතුමිය තුළ අසීමිත ශක්තියක් පවති! මා ඔබ වහන්සේගේ ශක්තිය පිළිබඳව කුමක් නම් පවසන්නද? සත්‍ය වශයෙන්ම ඔබ වහන්සේ ස්ත්‍රියක් ද පුරුෂයෙක්ද යන්න පිළිබඳව මට මහත් සැකයක් තිබේ. ඕ දේවී! ඔබ වහන්සේ ගුණාංග සහිත හෝ ගුණාංග ඉක්මවා ගියද, පුරුෂ වේවා ස්ත්‍රී වේවා, කිනම් අයෙකු වූවද,  මා ඔබ වහන්සේට පූර්ණ භක්තියෙන් යුක්තව හදවතින්ම නමස්කාර කරමි. ඕ මෑණියනි! මාගේ මෙම අවසාන මොහොතේදි මා හට අවශ්‍ය එකම දේ වන්නේ ඔබ වහන්සේ කෙරෙහි අසීමිත භක්ති සේවනයයි!

52-53. සූත පැවසිය: මේ ආකාරයට දේවිය ප්‍රශංසා කිරීමෙන් අනතුරුව ඉලා නම් ස්ත්‍රී ස්වරූපයෙන් සිටි සද්යුමන රජු විශ්ව මාතාවගේ සරණ පැතීය. ඇය කෙරෙහි ප්‍රසන්න වූ දේවිය, මුනිවරයන්ට පවා අපහසු වූ දේවිය හා එක් විමෙහි අවස්ථාව (මෝක්ෂය) ලබා දුන්නාය. මේ අනුව මුල ශක්ති දේවී බ්‍රහ්මමයී ගේ අනන්ත අසීමිත මහා කරුණාව හේතුකොට ඇයට සංසාරය තුළ ප්‍රාප්ත කරගත හැකි උත්තරීතරම වරය (මුක්තිය) ලැබීය. 

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දොළොස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.