Sunday 13 August 1995

උර්වශී සහ පුරූරවා

 

1-7. සූත පැවසිය: ඕ මහාඍෂි වරුනි සද්යුමන රජු මෙසේ මෝක්ෂය ලැබු කල්හී සියලු ගුණයන්ගෙන් හෙබි කඩවසම් ධාර්මික පුරූරවා රජු තම හදවතින්ම සියල්ලන්ගේම සිත් දිනාගනිමින් ධර්මානුකූලව රාජ්‍ය පාළනය කෙරුවේය. එතුමාගේ උපායන් කිසිවෙකුත් නොදැන සිටිය නමුත් එතුමා අන් අයගේ උපායන් පිළිබඳව හොදින් දැන සිටියේය. ඔහු සෑම විටම ඉතා ජවසම්පන්න වූ අතර ඔහුගේ ආධිපත්‍ය ශ්‍රේෂ්ඨ විය. සිව් උපායන් වන සාම, දාන, දණ්ඩ, බේද සම්පූර්ණයෙන්ම ඔහුගේ පාලනය යටතේ තිබුනි. ඔහු තමාගේ පාලනය වර්ණාශ්‍රම ධර්මයට (ජීවිතයේ වර්ණ හා අවධීන්) අනුව හෙබවිය. මනුෂ්‍යන්ගේ නායක පුරූරවා රජු දක්ෂිණා සහිත විවිධ යාගයන් බහුලව සිදුකළ අතර මහත් විශ්මයක් ඇති කරමින් විවිධ පුණ්‍යායතන සඳහා බොහෝ දෑ පරිත්‍යාග කළේය. ඔහුගේ අසාමාන්‍ය අලංකාරය සහ ගුණාංග, උදාරභාවය සහ යහපත් ස්වභාවය, අසීමිත ධනය සහ දස්කම් උර්වශී  නම් දිව්‍ය අප්සරාව ඔහු වෙත ආකර්ශනය කෙරූ අතර ඇයට තමාව තෘප්තිමත් කර ගැනීමට ඔහුව අවශ්‍ය වූවාය. කාලයකට පසුව බ්‍රාහ්මණයන්ගෙන් ලද ශාපයකට අනුව ඇයට භූ ලෝකයට පැමිණීමට සිදුවූ අතර ඇය තම ස්වාමියා ලෙස පුරූරවා නිරිදුන් තෝරා ගත්තේය.

8-13. ඉන්පසු ඇය රජුව මුණගැසි මෙවැනි ගිවිසුමක් ඉදිරිපත් කළාය: "ඕ සියල්ලටම ගෞරවය ලබාදෙන රජතුමනි! ඔබව විශ්වාස කරමින් මා මෙම බැටලුවන් දෙදෙනා ඔබට ලබාදෙමි. කාරුණිකව මොවුන්ව බලාගන්න. මාගේ ගෞරවය ඔබ විසින් සුරැකෙනු ඇත ඕ රජතුමනි! මා ගිතෙල් හැර අන් කිසිවක් අනුභව නොකරමි. එමෙන්ම තවත් එක් කාරණයක් තිබේ; ඕ රජතුමනි! ලිංගික ක්‍රියාවන්හි හැර ඔබ මා හට නිරුවත නොපෙන්විය යුතුය. ඕ රජතුමනි! ඔබ මේ ගිවිසුමෙහි කුමන කාරණාවක් හෝ උල්ලංඝනය කළහොත් මා ඔබව අත්හැර දමමි." රජු උර්වශීගේ යෝජනාව පිළිගත්තේය. උර්වශී ඉහත ගිවිසුම අනුව එහි යම් කාලයක් රැඳී සිටියාය. එම කාලය තුළ රජු උර්වශී කෙරෙහි දැඩි ලෙස ප්‍රේමයෙන් බැඳුණු අතර ඔහුට තම සියලුම වගකීම් සහ ධර්මයන් අමතක විය. මෙලෙස වර්ෂ ගණනාවක් ඔහු උර්වශී සමඟ ගත කළේය. ඇය රහිතව මොහොතක් හෝ ගත කළ නොහැකි තරමට රජුගේ මනස ඇය කෙරෙහි ආකර්ෂණය විය. 

14-16. කාලයක් ගතවූ පසුව ඉන්ද්‍ර උර්වශී ව නොදුටුව හෙයින් ගන්ධර්වයන්ගෙන් ඇය පිළිබඳව විමසා මෙසේ පැවසිය: "ඕ ගන්ධර්වයිනි! නියමිත වෙලාවක් බලා පුරූරවා ගේ මැදුරෙහි සිටින එම බැටළුවන් දෙදෙනා සොරකම් කරනු. ඉන්පසුව උර්වශීව මෙහි රැගෙන එනු. උර්වශී රහිතව මාගේ නන්දන උද්‍යානයෙහි අලංකාරය හීන වී ඇත. එබැවින් කෙසේ හෝ ඇයව රැගෙන එනු."

17-22. ඉන්ද්‍ර මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, විශ්වාවසු ඇතුළු අනෙකුත් දේවතාවුන් රාත්‍රි කාලයේදි පුරූරවා උර්වශී සමඟ සංසර්ගයේ යෙදෙන මොහොතේදී එහි පැමිණ බැටළුවන් දෙදෙනා සොරා ගත්තේය. උන් දෙදෙනා අහසෙන් රැගෙන යන විට නැගූ හඬ උර්වශීට ඇසුණු අතර එයින් කෝපයට පත් වී ඇය රජුව ආමන්ත්‍රණය කළාය. " ඕ රජතුමනි! මා ඔබ සමඟ ඇති කරගත් ගිවිසුම දැන් කඩවි ඇත. මා ඔබව විශ්වාස කළේ මාගේ අවාසානාව නිසා බව මට හැගී යයි. බලන්න! මාගේ පුත්‍රයන් හා සමාන බැටළුවන් දෙදෙනා සොරුන් විසින් රැගෙන යන විට ඔබ ස්ත්‍රියක් ලෙස මෙහි නිදා සිටින්නේ කෙසේද? අහෝ! මා නිෂ්ඵල ලෙස තමාගේ ශක්තීන් පිළිබඳව පුරසාරම් දොඩවන බෙලහීන අයෙකු සරණ පාවා ගත්තෙමි. මාගේ දිවියටත් වඩා මා හට වටින මාගේ බැටළුවන් දෙදෙනා කොහේද?" උර්වශී මෙසේ විලාප තබන විට විශ්වයේ ස්වාමි පුරූරවා රජු සිහියක් නොමැතිව නිරුවතින්ම ගන්ධර්වයන් පසු පස හඹා ගියේය.

පුරූරවා රජු  සහ උර්වශී

23-32. පිටව යෑමට සුදානම් සිටි උර්වශීට නිරුවත් රජුව පෙනෙන ලෙස ගන්ධර්වයන් අලෝකයක් නිකුත් කර බැටළුවන් දෙදෙනා එහි දමා පිටවී ගිය අතර වෙහෙසට පත් වූ රජු නිරුවතින්ම බැටළුවන් දෙදෙනා යළි නිවසට රැගෙන පැමිණියේය. තම ස්වාමියා නිරුවතින් සිටින දුටු උර්වශි ක්ෂණිකව ස්වර්ගය වෙත පිටව ගියාය. උර්වශී මෙසේ පිටව යන විට රජු බොහෝ සෙයින් විලාප දුන්නේය. මෙලෙස උර්වශී ගේ වෙන් වීමෙන් ව්‍යාකූල වූ රජුගේ මනස ආශාවන් මුලාව පාලනයෙන් තොර වී ගිය අතර ඔහු විවිධ රාජධානීන් තුළ ඉබාගාතේ සැරිසැරීය. මෙසේ පෘථිවිය පුරා ගමන් කිරීමෙන් අනතුරුව කුරුක්ෂෙත්‍රයෙහි ඔහු උර්වශී ව දුටුවේය. ඔහු ඉතා ප්‍රීතියෙන් මෙසේ පැවසිය: "ඕ ප්‍රියේ! මදක් නවතින්න; මාගේ මනස ඔබ කෙරෙහි ආකර්ශනය වී ඇත; එය ඉතාමත් අහිංසක මෙන්ම ඔබට යටත්ව ඇත. එබැවින් ඔබ මෙතරම් දරුණු අවස්ථාවක මාව අත් නොහැරිය යුතුයි. ඕ දේවිය! ඔබ වෙනුවෙන් මා මෙතරම් දුර පැමිණියද නමුත් ඔබ විසින් අත්හැර දමා මෙහි වැටී කපුටන් සහ වෘකයන් ඇතුළු අනෙකුත් මාංශ භක්ෂක සතුන් විසින් ගිල දමනු ඇත." ඉතා ශෝකජනක හදවතින් සහ විලාප තබමින් වෙහෙසට පත්ව සිටින රජුව දැක උර්වශී: "ඕ රජතුමනි! ඔබ නිසැකවම අඥාන පුද්ගලයෙකි; ඔබේ අසාමාන්‍ය දෑනුමට කුමක්ද සිදු වූයේ?  ඕ රජතුමනි! ස්ත්‍රියගේ ප්‍රේමය වෘකයෙකුගේ ප්‍රේමය හා සමාන වන බව ඔබ නොදන්නෙහිද? එබැවින් කිසිඳු මනුෂ්‍යකු කාන්තාවන් සහ සොරුන් පිළිබඳව විශ්වාස නොකළ යුතුය. එබැවින් නැවත ඔබේ ස්ථානයට ගොස් රාජ්‍ය වරප්‍රසාදයන් බුක්ති විඳින්න; ඔබේ මනස තවදුරටත් දුකෙහි නොගිල්ලවනු."

 33- උර්වශී විසින් පුරූරවා රජුව නැවත නියමිත සිහියට ගෙන්වූ පසුවද ඇගේ ප්‍රේමයට ඔහු බෙහෙවින් වශී වූ හෙයින් ඔහුගේ සිතට කිසි සැනසීමක් දැනුනේ නැත. ඕ මුනිවරුනි! මෙලෙස මා නුඹලාට වේදයේ විස්තරාත්මකව සඳහන් උර්වශී පිළිබඳ කරුණු කෙටි කොට ප්‍රකාශ කළෙමි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහතුන්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.