Monday 14 August 1995

ශුක දේවගේ ජන්මය සහ ගිහියන්ගේ යුතුකම්

 

1-4. සූත පැවසිය: ඕ මහා ඍෂිවරුනි එම කාල වර්ණ කන්‍යාවිය දුටු ව්‍යාස දේව මෙසේ කල්පනා කරන්නට විය: " මා දැන් කුමක්ද කළ යුත්තේ? මේ ගෘතාචී නම් මෙම දේව කන්‍යාවිය මාගේ ගෘහය සඳහා කිසිසේත් සුදුසු නොවන්නේය. ව්‍යාස දේව මෙසේ කල්පනා සයුරෙහි නිමග්නව සිටිනු දුටු අප්සරාවිය තමාට ශාප කරනු ඇතැයි සිතා භීතියට පත් වුවාය. භීෂණයෙන් ව්‍යාකූල වී ගිරවියකුගේ ස්වරූපය ගෙන පළා ගියාය. ව්‍යාසද ඇයගේ මෙම ස්වරූපය දැක පුදුමයට පත් විය.පෙර ගෘතාචී ගේ අසාමාන්‍ය සුන්දර ස්වරූපය දුටු හෙයින් ව්‍යාසගේ ශරීරයට අනංගයා ඇතුළු වි තිබුනේය. ඔහුගේ සිතුවිලි එම මිහිරි ස්ත්‍රී ස්වරූපයෙන් පිරී තිබුනු අතර එනිසා ඔහුගේ ශරීරයේ හිරිගඩු පිපි තිබුණි.

5-8. තම ඉවසීම කෙතරම් වඩවා ගැනීමට උත්සාහ කළද කාන්තාව බුක්ති විඳීමට ආශාවෙන් සිටින ඔහුගේ මනස පාලනය කිරීමට ඔහුට නොහැකි විය. ඔහු කෙතරම් ශක්තිවන්ත වූවද ගෘතාචී ගේ ස්වරූපය දැක ව්‍යාකූල වූ ඔහුගේ සිත ඔහුට පාලනය කිරීමට ඔහු අසමත් විය. දෙවියන් වහන්සේ පෙර නියම කරන ලද ක්‍රියාවලියකට අනුව ඔහුගේ මනස ක්‍රියාත්මක විය. මේ අවස්ථාවෙ ඔහු අග්නිය දැල්වීමට ගිනි කූරු එකිනෙකට පිරිමදිමින් සිටි අතර ඒ මතට ඔහුගේ ශුක්‍රාණු පතිත විය. නමුත් ඔහුට එය නොදැනුන අතර දිගින් දිගටම අග්නිය සඳහා පිරිමදින්නට විය. අග්නිය දැල් වූ පසු ඒ තුළින් ප්‍රකට වූයේ ව්‍යාස හා සමාන ශුක දේවයි.  ඔහු පූජා භූමියෙහි දැල්වෙන අග්නිය හා සමාන විය.

9-17. පුත්‍රයා දුටු ව්‍යාස පුදුමයෙන් මෙසේ කල්පනා කරන්නට විය: "මෙය කිනම් පුදුමයක්ද? ස්ත්‍රියකු රහිතව පුත්‍රයකු බිහිවන්නේ කෙසේද?" මද වේලාවක් කල්පනා කෙරූ ඔහු මෙය ශිව දෙවියන්ගේ ලද වරය හේතුවෙන් සිදු වූවක් ලෙස නිගමනයකට පැමිණියේය. අරණියෙන් උපන් රෞද්‍ර ශුක දේව අග්නිය මෙන් තේජාන්විත විය. මේ අවස්ථාවේදි ස්ථාවර බැල්මෙන් තම පුතයාගේ දෙවැනි ගාර්හපත්‍ය අග්නිය මෙන් (ගාර්හපත්‍ය යනු වෛදික අග්නිය අරුත් ගන්වන අග්නි දෙවියන්ගේ දෙවන වතයි.) ප්‍රමෝදමත් ස්වරූපය දෙස බලා සිටියේය. ඕ තාපසයිනි!  ගංගා දේවිය තම පවිත්‍ර ජලයෙන් සියලු අභ්‍යන්තර ස්නායු දොවනය කරමින් හිමාලයේ සිට ගලා බැස්සාය. ඔහුගේ හිස මතට පුෂ්ප වර්ෂාවන්ද වහින ලදි. ඉන්පසු ව්‍යාස දේව තම උත්කෘෂ්ට පුත්‍රයා වෙනුවෙන් සියලු ජන්ම පිළිවෙත් පැවැත්වු අතර දිව්‍යමය බෙරයන්ගේ නාදයන් සමඟ දිව්‍යමය කන්‍යාවියන් නර්තනයේ යෙදෙන්නටත්, ගන්ධර්ව නායක, නාරද, තුම්බුරු ඇතුළු අනෙකුන් පිරිස සතුටින් ගීත ගායනා කරන්නට විය. සමස්ථ දේවතාවුන් සහ විද්‍යාධරයන් අරණියෙන් උපන් ව්‍යාසගේ පුත්‍රයා ඉදිරියේ සුතුටු සිතින් යුක්තව ස්තෝත්‍ර ගායනා කළේය. ස්වර්ගයේ සිට දිව්‍යමය කෙන්ඩියක්, සැරමිටියක්ද, රූරු සමක්ද පතිත විණි

18-20. ඉතා ශීඝ්‍රයෙන් ශුක දේව වැඩුනු අතර අනන්ත විද්‍යාවන්ගේ ස්වාමියා වන ව්‍යාස දේව තම පුත්‍රයාගේ උපනයන උත්සවය පැවැත්විය. දරුවාගේ මනස තුළ වේදයන්, එහි රහස් සහ සාරයන් තම පියාණන්ගේ සේ පැතිරෙන්නට විය. ඕ මුනිවරුනි! දරුවාගේ ජන්ම අවස්ථාවේදි ව්‍යාස ගෘතාචි අප්සරාව ශුක පක්ෂියෙකුගේ ස්වරූපයෙන් දුටු හෙයින් ඔහුට ශුක යන නාමය තැබීය. 

21-27. ශුක තමාගේ ගුරුවරයා ලෙස බ්‍රහස්පති පිළිගත් අතර බ්‍රහ්මචාරි වෘතය සම්පූර්ණ හදවතින් සහ මනසින් නිසි ලෙස ඉටු කළේය. ශුක මුනිවරයා තම ගුරුවරයාගේ නිවසේ සිටිමින් සමස්ථ වේද ශාස්ත්‍රයන්, රහස්‍ය සහ සාරයන් ඇතුළු අනෙකුත් ධර්ම ශාස්ත්‍රයන් අධ්‍යනය කර නියමයන්ට අනුව ගුරු දක්ෂිනා ලබා දී තම පියාණන් වන ක්‍රිෂ්ණ ද්වෛපායනගේ නිවසට පැමිණියේය. තම ශුක දුටු ව්‍යාස දේව නැගිට ඉතා ආදරයෙන් සහ ගෞරවයෙන් සිප වැලඳ ගත්තේය.  ඔහු අධ්‍යාපනික තතු විමසූ දිව්‍යමය ව්‍යාස එම යහපත් ආශ්‍රයේම රැඳි සිටින ලෙස ඉල්ලුවේය. ව්‍යාස ඉන්පසුව තම පුත්‍රයාගේ විවාහය පිළිබඳව කල්පනා කළ අතර මුනිවරයෙකුගේ අලංකාර දියණියක් සොයන ආකාරය පිළිබඳව සිතමින් කලබලයට පත්විය.

27-31. ඉන්පසු ඔහු තම පුත්‍රයා හට මෙසේ පැව්සීය: "ඕ මහා ප්‍රඥාවන්තය! ඔබ දැන් සියලු වේදයන් සහ ධර්ම ශාස්ත්‍රයන් හදාරා අවසන් වන්නේය. එබැවින්, ඕ පාපයන්ගෙන් රහිත තැනැත්තානෙනි! විවාහ වීම සුදුසු වන්නේය. අලංකාර පතිනියක් සරණ පාවා ගෙන, දේවතාවුන් සහ මුතුන් මිත්තන් පුදමින් ගෘහස්ත දිවිය පවත්වාගන්න. මා මේ ණය බරින් නිදහස් කරන්න. ගැටළු රහිත පුද්ගලයින් සඳහා වෙනත් මාර්ගයක් නොමැත. නැතහොත් කෙදිනක හෝ ස්වර්ගය වෙත යාමට නොහැකිය. එබැවින් ඕ භාග්‍යවන්තය! ගෘහස්ත දිවියට ඇතුලු වී මා සතුටට පත් කරන්න. ඕ මහා ප්‍රඥාවන්තය! ඔබ පිළිබඳව මා තුළ විශාල බලාපොරොත්තූන් ඇත; දැන් ඒවා ඉටු කිරීමට උත්සාහ කරන්න. ඕ ප්‍රඥාවන්ත ශුක! ඉතා දැඩි තපසකින් අනතුරුව ගර්භාශයකින් තොරව ජන්මය ලැබූ දේවතාවෙකු ලෙස මා ඔබව ලබා ගත්තෙමි. එබැවින් මා ඔබේ පියා වන්නෙමි; මා ගලවාගනු මැන."

32-33. ව්‍යාස ශුකව තමා ලඟ හිදුවා ගනිමින් පැවසූ විට තම පියා සංසාරය වෙත අතිශයෙන් බැඳී ඇති බව තහවුරු කරගනිමින් පත්වූ ශුක මෙසේ පැවසිය. "ඕ ධර්මදරයානෙනි! ඔබගේ මහා ප්‍රඥාවෙන් ඔබ වේදය සිව් කොටසකට වෙන් කරනු ලැබුවේය. එසේ නම් ඔබ දැන් මට මෙසේ උපදෙස් දෙන්නේ මන්ද? මා ඔබගේ ශිෂ්‍යයකි; එබැවින් මා හට නිවැරදි උපදෙස් ලබාදෙනු මැන, මා නිසැකවම එවා ඉටු කරන්නෙමි. "

34-35. ව්‍යාස පැවසිය " ඕ පුත්‍ර! ඔබව ප්‍රාප්ත කරගැනීමේ ඒකායන අරමුණ සහිතව මා වර්ෂ සියයක් භගවාන් ශංකර උදෙසා තපස් රැක්කෙමි. ඕ මහා ප්‍රඥාවන්තය! මා යම් රජෙකුගෙන්  ඔබගේ ගෘහ ජිවිතයට වියදම් වන ප්‍රමාණවත් ධනයක් ඉල්ලා සිටින්නම්. ඉතිං ඔබ යෞවන විය ප්‍රාප්ත කර සිටින හෙයින් ගිහි ජීවිතය භුක්ති විඳින්න."

36-48. තමා පියාණන්ගේ වදන් ඇසු ශුක දේව මෙසේ පැවසීය: " ඕ පියාණනි! මෙම පෘථිවිය තුළ දුකක් රහිතව පවහින සතුට කුමක්ද යන්න මට කරුණාකර පවසනු මැනවි. ප්‍රඥාවන්තයින් වේදනාව සමඟ මිශ්‍ර වු තෘප්තිය, සතුට ලෙසින් නොහඳුන්වයි. යකඩ හෝ ලීයෙන් තැනු කනුවක බැඳ සිටින අයෙකු යම් දවසක නිදහස ලැබුවද, බිරිඳ සහ දරුවන් කෙරෙහි බැඳී සිටින තැනැත්තාහට කිසිදා නිදහස ලඟා නොවේ. පුරුෂයාගේ ශරීරය තුළ මළ මුත්‍රා පවතින්නා සේම, ස්ත්‍රියගේ ශරීරය තුළද පවති. ඊටත් වඩා, මා කුසකින් තොරව ජන්මය ලැබු විට, කෙසේ මට එහි සතුට සොයා ගත හැකිද? මේ ජන්මයේදි පමණක් නොව නමුත් මාගේ පෙර ජන්මයේදී පවා කිසියම් හෝ කුසකින් ජන්මය ලැබීමට ආශාවක් නොතිබුණි. වෙනත් තෘප්තියක් හා සමාන නොවන ආත්ම තෘප්තිය හේතුවෙන් මා මළ මුත්‍රා භුක්ති කෙසේද? තමන් තුළින්ම සතුටක් ලබන උසස් ආත්මයක් සහිත පුද්ගලයන් ඉන්ද්‍රියන් පිනවිම සඳහා වස්තූන් පසුපස හඹා නොයයි. මා පළමුව වේදයන් විස්තරාත්මකව අධ්‍යනය කරන විට මට පෙනී ගියේ වේදයන් කටයුතු කරන්නේ කර්මමාර්ග ශාස්ත්‍රය සමඟ බවයි; එය සම්පූර්ණයෙන්ම හිංසාකාරි වන්නේය. ඉන්පසුව සැබැ ප්‍රඥාවට මග විවර කර ගැනීමට බ්‍රහස්පති මාගේ ගුරු ලෙස තෝරා ගත් නමුදු මට අවබෝධ වූයේ ඔහුද අවිද්‍යාව නම් භයානක රෝගයට ගොදුරු වී සංසාර සාගරයෙහි ගිලී ඇති බවයි. එබැවින් මාගේ මනසට පැහැදිලි වූයේ ඔහු කෙසේ නම් මා මුදවා ගන්නද යන්නයි. වෛද්‍යවරයා පවා රෝගීව සිටින කල්හි ඔහු කෙසේ නම් අන් රෝගීන් සුවපත් කරම්ද? මාගේ අරමුණ මුක්තිය නම්,  සංසාරය තුළ අතිශයින් ඇළි ඇති එවැනි පුද්ගලයෙකු මාගේ ගුරුවරයා ලෙස තෝරාගන්නේ කෙසේද; එවැනි අයකු සංසාරය කෙරෙහි ඇළීම නම් රෝගයෙන් මා මදුවා ගන්නේ කෙසේද? එය හුදු විගඩමක් වනු ඇත. මා ගුරුවරයාට නමස්කාර කොට මෙම සංසාරයෙන් මාව බේරා ගැනීමට ඔබ වෙත පැමිණියෙමි. දහවල සහ රාත්‍රියෙදි ජීවියා මෙම භයානක සංසාරය තුළ ගමන් කරන්නේය. ඔවුන් සූර්‍යා මෙන් ගමන් කරන අතර කිසිඳු විවේකයක් නොලබයි. ඕ පියාණනි! අපි ආත්මයේ සත්‍යය පිළිබඳව සාකච්ඡා කළහොත්, මෙම සංසාරයෙහි කිසිඳු සතුටක් නොමැති බව අපට හමුවනු ඇත. පණුවන් මළ මුත්‍රාවන් භුක්ති විදින්නා සේ අඥාන පුද්ගලයන් සංසාරයෙහි සැපත සොයයි. වේදයන් ඇතුළු අනෙකුත් ශාස්ත්‍ර අධ්‍යනය කළත් ඔවුන් සංසාරය කෙරෙහි බැඳී සිටිනවානම්, ඔවුන් අශ්වයන්, සූකාරයන් සහ සුනඛයන් මෙන් නිසැකවම මුලාවට පත්ව ඇත. ඔවුන් තරම් අඥාන හා නූගත් කිසිවෙක් නැත."

49-54. "මෙවන් දුර්ලභ මනුෂ්‍ය උත්පත්තියක් ලබා වේද සහ අනෙකුත් හා ශාස්ත්‍රයන් අධ්‍යයනය කොටත් සංසාරය කෙරෙහි බැඳෙන්නේ නම් මුක්තිය ලබන මනුෂ්‍යන් කවරහුද? බිරින්දෑවරු, දරුවන් සහ නිවාසයන්ට බැඳී ඇති පුද්ගලයන්ට පඬිවරුන් ලෙස හැඳින්වීම නම් පුදුමයට වඩා දෙයක් ඔබට හමුවිය හැකිද? මායාවෙහි තුන් ගුණයන්ගෙන් රචිත මෙම සංසාරයට බැඳී නොමැති පුද්ගලයන් පඬිවරුන් වන අතර ඔවුන් ශාස්ත්‍රයන්හී අරුත් නියමාකාරයෙන් අවබෝධ කරගනි. මායාවෙන් පිරුණු මෙම සංසාරයට බන්ධනය වීමට උගන්වන ශාස්ත්‍රයන් නිෂ්ඵල ලෙස අධ්‍යයනය කිරිමෙන් අත්වන ඵලය කිම? මිනිසාට මුක්තිය ලබාදෙන්නා වූ ශාස්ත්‍රයන් අධ්‍යනය කිරිම උචිත වන්නේය. නිවසකට "ගෘහ" යන්නෙන් ආමන්ත්‍රණය කරන්නේ එය මිනිසාව දැඩිව බැඳ තබා ගන්නා හෙයිනි. එසේනම් සිපිරිගෙයක් හා සමාන නිවසකින් ඔබ කිනම් සතුටක් බලාපොරොත්තු වන්නේද? ඕ පියාණනි! එබැවින් මා බිය වන්නෙමි. මනුෂ්‍ය උපතක් ලබා ගෙනද නැවතතත් සිරවන පංඩිතයන්ව නිසැකවම මැවුම්කරු විසින් මුලාකොට ඇත." 

55-59. ශුකගේ වදන් ශ්‍රවණය කෙරු ව්‍යාස මෙසෙ ප්‍රකාශ කළේය: "ඕ පුත්‍ර! ගෘහය කිසිදා සිර මැදිරියක් නොවන්නේය. එමෙන්ම බන්ධනයක්ද නොවන්නේය. සංසාරය කෙරෙහි නොබැඳි සිටින ගියෙකුට වුවද මෝක්ෂය ප්‍රාප්ත කරගැනීමට හැකිය. සත්‍යවාදි, ශුද්ධ, සාධාරණ ලෙස ධනය ඉපයීමෙන් සහ  වේදයාන්හී නියමයන් වලට අනුව චාරිත්‍ර ඉටු කිරීමෙන්, නිසි ශ්‍රද්ධාව ඇති කරගැනීමෙන් ගිහියකුට වූවද නිසැකවම මෝක්ෂය ලබාගත හැකිය. බලන්න බ්‍රහ්මචාරීයකු, තාපසයකු, වනවාසියෙකු හෝ යම් වෘතයක් රකින්නෙකු පවා සියල්ලන්ම මධ්‍යහ්නයෙන් පසු නිවාස හිමියාට නමස්කාර කළ යුතුය. ධාර්මික ගිහියාද ඔවුන්ව මිහිර වචනයෙන්, දානයන්ගෙන්, ශ්‍රද්ධාවෙන් සහ ගෞරවයෙන් පිළිගත යුතුය. එබැවින් ගෘහස්ථ බව සියලු ආශ්‍රම ධර්මයන්ගෙන් උත්තරීතර වන අතර, මා අන් කිසිඳු ආශ්‍රධර්මයක් එයට වඩා උත්තරීතර බව අසා හො දැක නැත. එම නිසයි වසිෂ්ඨ සහ අනෙකුත් ආචාර්යවරුන්, ප්‍රඥාවන්තයන් වූවද ගෘහ දිවියක් ගත කරනු ලබන්නේ. ඕ මහා භාග්‍යවන්තය!යම් අයෙකු වෛදික නියමයන්ට අනුව චාරිත්‍ර පිළිවෙත් අනුගමනය කරන්නේ නම් ඔහුට කිසිවක් අප්‍රායෝජ්‍ය නොවේ. (සියල්ල ප්‍රායෝගික වේ.) 

60-65. උසස් පවුලක ජන්මය ලැබීම වේවා. ස්වර්ග සුවය වින්දනය කිරීම වේවා, මෝක්ෂය වේවා, සියලු ඉච්ඡාවන් සාර්ථක වනු ඇත. එමෙන්ම යම් අයෙකු ජිවිත කාලය පුරාම එකම ආශ්‍රම ධර්මයක නියැලිය යුතුයි යන්නෙන් නියමයක් නොමැත. ධර්මදර පඬිවරයන් පවසන්නේ ශිෂ්‍යයන්ට එක් ආශ්‍රම ධර්මයක සිට තවත් ආශ්‍රම ධර්මයකට මාරු විය හැකි බවයි. එබැවින් දරුව! ගෘහ දිවිය පිළිගෙන ඔබගේ යුතුකම් හොදින් ඉටු කිරීමට උත්සාහ කරන්න. ඕ පුත්‍ර! ගෘහස්ථ දිවියට ඇතුළු වී දේවතාවුන්, මුතුන්මිත්තන් සහ මනුෂ්‍යයන් සතුටු කරන්න. පුතුන් බිහි කර ගෘහ ජීවිතයේ සතුට භුක්ති විඳින්න. වයෝවෘධ වූ විට වානප්‍රස්ථ ආශ්‍රම ධර්මය පිළිගෙන වනයට ගොස් තපස් රකිමින් සන්‍යාස ධර්මය භාර ගන්න.  ඕ භාග්‍යවන්තය! බිරිඳක් නොගන්නා තැනැත්තා, නිසැකවම පංච ඉන්ද්‍රියයන්ගෙන් හා මනසෙන් උමතු වන්නේය. එබැවින් ශාස්ත්‍රයන්ගේ නිර්මාණකරුවන් පවසන්නේ ඉන්දියන්ගේ හානිකර බලපෑම් වලින් වැළකීමට නම්  තරුණ වියේදි බිරිඳක් ලබාගත යුතු බවත් මහළුවියේදි තපසෙහි නිරත විය යුතු බවත් ය.

66-67. ඕ භාග්‍යවන්තය! පෙර කාලයේදි රාජඍෂී විශ්වාමිත්‍ර කිසිඳු අහරක් නොමැතිව වර්ෂ තුන් දහසක දීර්ඝ තපසක නිරත විය. ඔහුගේ අසීමිත තේජස මෙනකා නම් දිව්‍ය අප්සරාවක් ආකර්ශනය කෙරූ අතර ඇයගේ ගර්භයෙහි විශ්වාමිත්‍රට දාව දියණියක ජන්මය ලැබීය.

68-70. මාගේ පියාණන් වන පරාශර මහා තාපසයෙකු වූවද, ධීවර දියණියක් වන කාලිව (මහාකාලි දේවිය නොව ව්‍යාසගේ මාව සත්‍යවතී දේවියයි) දැක අනංගයාගේ හී සර වලට හසු වූ හෙයින් ඔරුවක් තුළ ඇය හා එක් විය. බ්‍රහ්මා තමාගේ දියණිය වන සන්ධ්‍යාව දැක කාමයෙන් මත් වී ඇය පසුපස හඹා යන කල්හී රුද්‍ර දේවයන් උන්වහන්සේගේ හුම්කාරයෙන් බ්‍රහ්මාව සිහි මුර්ජා කර ඔහුව එම කාර්‍යයෙන් වැළැක්වූ විට තව කිනම් කතාද! එබැවින් භාග්‍යවන්තය! මාගේ කල්‍යාණ වදන් පිළිගනිමින් උත්කෘෂ්ට පරපුරක කන්‍යාවියක් සරණ පාවා ගෙන වේදයේ මාවත අනුගමනය කරන්න.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහහතරවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.