Friday 18 August 1995

ශුකගේ අප්‍රසාදය සහ භගවතියගෙන් විෂ්ණුට උපදෙස්


1-9. ව්‍යාස දෙවගේ වදන් අසා ශුක දෙව මෙසේ පැවසිය: "ඕ පියාණනි! එය සතුන්ව බැඳ තබාගන්නා ලණුවක් මෙන් මිනිසාවද බැඳ තබා ගන්නා සේම නිරන්තර දුකෙහි මූලය වන බැවින් මා ගෘහස්ථ දිවියට ප්‍රිය නොවෙමි. ඕ පියාණනි! නිරන්තරයෙන් ධනය රැස් කිරීමෙහිලා උද්යෝගයෙන් සිටින ගෘහස්ථ දිවියෙහි ඔබ සැපතක් බලාපොරොත්තු වන්නේ කොතැනද? ධනයට ලොල් පුද්ගලයන් තමන්ගේ දිළිඳු ඥාතීන්ගෙන් පවා මුදල් ලබාගනි. තුන් ලෝකයෙහි ස්වාමියා වන ඉන්ද්‍ර පවා කිසිඳු අභිප්‍රායක් නොමැති යාචකයෙකු බවට පත් වීමට රුචි නොවේ. එසේනම්,  මෙම ලෝකයෙන් කවුරුන් සැපතෙහි පිහිටන්නේද? කිනම් හෝ තවුසෙක් දැඩි ලෙස තපසක නිරත වන කල්හී දේවතාවුන්ගේ නායක ඉන්ද්‍ර කලබලයට සහ කනස්සල්ලට පත් වී ඔහුගේ මාර්ගයට බාධා පමුණුවයි. බලන්න, බ්‍රහ්මා පවා තමාගේ විශාල සංසාරයට රුචි නොවේ. භගවාන් විෂ්ණු පවා තම පතිනිය ලෙස සමස්ථ ධනය සහ සමෘද්ධියට අධිපතිනිය වන කමලා දේවිය  සමඟ සිටියත්, එතුමාද නිරන්තරයෙන් පීඩා විදින්නේය. සමෘද්ධියෙහි දේවිය වන ලක්ෂ්මියගේ ස්වාමියා වුවත් එතුමා අසුරයන් සමඟ අඛණ්ඩව සංග්‍රාමයෙහි යෙදෙන්නේය. එතුමා දැඩි සැලකිල්ලෙන් සහ අවංකභාවයෙන් දරුණු ව්‍රතයන් සමාදන් වන්නේය. එබැවින් නිරන්තරයෙන් සැපතෙහි යෙදෙන කවරකු නම් සිටීද? භගවාන් ශංකරට පවා විවිධ දුක් පීඩා විඳීමටත් දෛත්‍යන් සමඟ සංග්‍රාම කිරීමටත් සිදුවන බව මා දනිමි. ඕ පියාණනි! එසේ එක්බිති, ධනවත් ගෘහපතියෙකු පවා ධනය කෙරෙහි ඔහුගේ නිරන්තර සැලකිල්ල සමඟ සුවසේ නොනිදන්නේ නම්, දුගී ගෘහපතියකු කෙසේනම් සැපතෙහි පිහිටන්නෙහිද?  ඕ මහා භාග්‍යවන්තය! මෙම සංසාරයෙහි පරම සත්‍ය හොදින් හඳුනන විටත් ඔබ ඔබගේ පුත්‍රයාව වේදනාවෙන් පිරි භයානක සංසාරයෙහි ගිල්වන්නේ මන්ද?"

10-16. "ඕ පියාණනි! සංසාරයෙහි දුක පිළිබඳව ඔබටක් කුමක් නම් පවසන්නද? මළ මුත්‍රා වලින් යුක්ත මෙම මනුෂ්‍ය උපත දුක් සහගතය, වයෝවෘධභාවය දුක් සහගතය, මරණය දුක් සහගතය. නමුත් ආශාව සහ ලෝභය හේතුකොට හටගන්නා දුක ඉහත සඳහන් කළ දුක් වලට වඩා දුක් සහගතය. එම වේදනාවන් මරණයෙහි වේදනාවටත් වඩා අධික වන්නේය. අහෝ! බ්‍රාහ්මණයන්ට අන් අයගෙන් දන් ලැබීම හැර අන් ජීවනෝපායක් නොමැත. එබැවින් බ්‍රාහ්මණයන් අන් අයගේ දන් බලාපොරොත්තුවෙන් දිනපතා දුක් විදින්නේය. මීට වඩා කනගාටු විය හැකි යමක් තිබිය හැකිද? සියලු වේදයන් ධර්ම ශාස්ත්‍රයන් අධ්‍යනය කොට ප්‍රඥාව ලබාගැනීමෙන් අනතුරුවද ධනවත් පුද්ගලයන් ඉදිරියට ගොස් ඔවුන්ව වර්ණනා කිරීමට සිදුවේ. ඕ පියාණනි! යමෙකු ගිහියකු නොවන්නේ නම් අනෙකුගේ කුස පිරවීම සඳහා සැළකිලිමත් වන්නේ කුමකටද? යමෙක් තුළ මානසික තෘප්තියක් පවති නම් කෙසේ හෝ ඵලවැල මුල් ආදියෙන් කුස පුරවා ගත හැකිය. නමුත් බිරිඳක්, දරුවන්, මුනුබුරන් සහ අනෙකුත් ඥාතීන් සිටින්නේ නම් ඔවුන්ව පෝෂණය කිරීමට සිදු වීමෙන් බොහෝ විපත් සහ කාංසාවන් අත්විඳිති. ඕ පියාණනි! එසේනම් ඔබ ලෝකයෙහි පරිපූර්ණ සතුටක් අත් විඳින්නේ කෙසේද? මාහට උගන්වනු මැනවි! ඕ පියාණනි! යෝග සහ පරම සත්‍ය පිළිබඳව සඳහන් ශාස්ත්‍රයන් පරිපූර්ණ තෘප්තිය ප්‍රධානය කරනු ලබයි. කර්ම කාණ්ඩයෙහි සඳහන් කිසිදු උපදේශයක් මා හට සැපත නොගෙනේ."

17-21. "කර්මයන් ක්ෂීණ කළ හැකි ආකාරය පිළිබඳව මට උපදෙස් ලබාදෙනු මැනවි. උපත, මරණය ආදි වධහිංසාවන් සිදු කරන අවිද්‍යාව ප්‍රදානය කරන සංචිත, ප්‍රාරබ්ධ සහ වර්තමාන කර්මයන් ආකාර ත්‍රිත්වය විනාශ කරන ආකාරය පහදා දෙනු මැනවි. ස්ත්‍රියන්ගේ හැසිරීමට සහ අංගවින්‍යාසයන්ට රැවටෙන පුද්ගලයන්ගේ රුධිරය කූඩැල්ලන් මෙන් ස්ත්‍රීන් පානය කරන බව අඥානයන් නොදන්නේය. ලිංගික සංසර්ගයේදි  පුරුෂයන්ගේ ශක්තිය සහ ශුක්‍ර තරලය සොරා ගන්නා,  මනස ප්‍රේමය ඇතුළු සියල්ල වංක වන, ඉතා සුන්දර, කාන්තා නමින් හැඳින්වෙන ගෘහණිය තරම් සෙරක් තව සිටින්නේද? මාගේ නිගමනයට අනුව එවැනි අවිද්‍යාව තුළ පිහිටන්නෝ නිර්මාණකරු විසින් නිසැකවම මුලා කොට ඇත. ඔවුන් තමන්ගේ සැපත විනාශ කරගැනීමට බිරිඳක් ලබාගනි. ස්ත්‍රියන් දුකෙහි මූලය බවත් කිසිදා සැපතෙහි මූලය නොවන බවත් ඔවුන් කිසිදා වටහා නොගනී." ශුකගේ මෙම වදන් ශ්‍රවණය කෙරූ ව්‍යාස සංකාව සහ කනස්සල්ලෙහි සාගරයෙහි ගිලි ගියේය."

22-33. "එවිට කුමක් කළ යුතු යැයි සිතමින් එතුමාගේ දෙනෙතෙන් කඳුළු බිඳු වෑහෙන්නට විය; ඔහුගේ මුළු ශරීරයම වෙව්ලන්නට වූ අතර මනස පමණ ඉක්මවා කනස්සල්ලෙන් බර විය. මෙසේ දුක්ඛිතභාවයට පත්ව සිටින තම පියාණන්ව දුටු ශුක දෙව මවිතයෙන් මෙසේ පැවසීය: ඕහ්! මායාවට කෙතරම් ශක්තියක් තිබේද! වෙදාන්ත දර්ශනයන්ගේ රචකයා වන, මුඛයෙන් පිටවන සෑම වදනක්ම සියල්ල විසින් වේදය හා සමානව පිළිගන්නා, පෙර අවිද්‍යාව යටත් නොවූ, සමස්ථ තත්ත්ව ඥානය පවතින එම මහා පඬිවරයා දැන් මායාව විසින් මුළා කොට ඇත. අහෝ! බ්‍රහ්ම විද්‍යාව පිළිබඳව ඥානය සහිත සත්‍යවතී පුත්‍ර ව්‍යාස දෙව මුළා කළ හැකි එම මායාව කුමක්ද! අෂ්ටදස පුරාණයන් සහ මහාභාරතය රචනා කෙරූ, වේදය සිව් ආකාරයට විභේජනය කෙරූ වේද ව්‍යාස අද දිනයේ මායාව තුළ ගිලි සිටි. එබැවින් අන් පුද්ගලයන් පිළිබඳව කවර නම් කතාද! මායාව විසින් බ්‍රහ්මා, විෂ්ණු, මහේශ්වර ඇතුළු සංසාරයම ගිල්ලවන විට; මෙතුන් ලෝකයෙහි එතුමියගේ බලපෑමට ලක්ව නොසිටීමට හැක්කේ කා හටද! එබැවින් මා අභ්‍යන්තර පාලිකාව වන මහාමායා දේවියගේ සරණ යමි. සියල්ලෙහි අධිකරු වන සර්වබලධාරී දෙවියන් වහන්සේව පවා තමාගේ මායාවෙන් යටත් කරමින් සිටින ඇයගේ ශක්තිය කෙතරම් විශ්මයජනකද? පුරාණයන් පිළිබඳව හඳුනන පඬිවරුන් ප්‍රකාශ කරන්නේ ව්‍යාස දෙව, විෂ්ණුගේ අර්ධ අංශුවකින් ජන්මය ලැබූ බවයි. බලන්න අද ඔහු සුන්බුන් වූ නෞකාවක් සහිත වෙළෙන්දකු මෙන් මෝහය නම් සාගරයෙහි ගිලී ඇත. අහෝ මායාවේ ශක්තිය කෙතරම් විස්මිතද! සියල්ල දත් ව්‍යාසයන් අද දින මායාවට හසුවී සාමාන්‍ය මනුෂ්‍යක් ලෙස කඳුළු සලයි. එබැවින් ප්‍රඥාවන්ත පඬිවරයන්ට පවා මායාවෙහි බලපෑමෙන් මිදිය නොහැකි බවට අද මා නිගමනයකට පැමිණියෙමි. මායාවේ ශක්තිය හේතුකොට කෙතරම් භ්‍රාන්තියක් පැන නගින්නේද! බලන්න ඔහු කවුද මා කවුද? කුමක් අරභයා අප මෙහි පැමිණියෙමුද? ඒ පිළිබඳව කිසිඳු නිශ්චිතභාවයක් නොමැත. එමෙන්ම බලන්න පංච මහා ධාතූන්ගෙන් නිර්මිත ඔහුගේ ශරීරය තුළ පියා යන සම්මුතියත් මා තුළ ඔහුගේ පුත්‍රයා යන සම්මුතියත් පවති. බ්‍රාහ්මණ මහාඍෂි ක්‍රිෂ්ණ ද්වෛපායන මායාවට හසුව වැළපෙන බවට ඇය සියල්ලටම වඩා ශක්තිමත් බවට මායාවෙහි ප්‍රවීණයන් පවා ඇයගේ ගොදුරක් වන බවට මාහට දැන් හොඳින්ම පැහැදිලි වේ."

34-40. ඉක්බිති  ශුක දෙව තෙම බ්‍රහ්මා ඇතුළු අනෙකුත් දේවතාවුන්ගේ නිර්මාණකරු සහ පාලිකාව වන මහාමායා දේවියට මනසින් නමස්කාර කොට වේදනා සයුරෙහි ගිලී සිටින ව්‍යාස දෙව මෙම උත්කෘෂ්ට වදන් පවසා සිටියේය. "ඕ පියාණනි! ඔබ සමස්ථ පුද්ගලයන්ට තත්ත්ව ඥානය ලබා දෙන්නා වූ උපදේශක බැවිනුත් උත්කෘෂ්ට පරාශරගේ පුත්‍රයා බැවිනුත් ඔබ ඉතාමත් භාග්‍යයවන්තය. ඕ ප්‍රභූ! ඇයි ඔබ වික්ෂිප්ත මනුෂ්‍යයකු දුකට ඉඩ සලසන්නේ? ඕ මහාභාග! ඔබ උසස් පෞරුෂයක් සහිත වූවද මේ මහා භ්‍රාන්තිය (වරද) තුළ ගිලී සිටින්නේ! මා ඔබගේ පුත්‍රයා ලෙස ජන්මය ලැබූ බව සත්‍යයකි. එනමුත් මාගේ පෙර භවයේදි අප දෙදෙනා අතර තිබූ බැඳීම පිළිබඳව මා නොදන්නෙමි. එබැවින් මහා බුද්ධිමතානෙනි! ඔබේ ප්‍රඥාවෙහි දෑස් විවර කර ඉවසිලිවන්ත වනු මැනවි. නිෂ්ඵල වේදනා සාගරයෙහි තමා විසින්ම නොවැටෙන්න. සමස්ථ විශ්වයම මෝහයෙහි දැලක් මෙනි; එය වටහා ගනිමින් ඔබේ සියලු ශෝකයන් අත්හරින්න. පුත්‍ර ස්නේහයෙන් මුලාවී දුර්වලව පීඩා විඳින්නේ මන්ද? අහරක් ගෙන් කුසගින්න නිවිය හැක, ජලය පානය කිරීමෙන් පිපාසය සංසිදවා ගත හැකිය; එනමුත් පුත්‍රයා දැකීමෙන් කුසගින්න ශාන්ත නොවන්නේය. මිහිරි සුවඳ ආඝ්‍රාණය කිරීමෙන් ඝ්‍රාණේන්ද්‍රිය තෘප්තිමත් කරගත හැකිය; මියුරු ශබ්ද ශ්‍රවණය කිරීමෙන් ශ්‍රවණේන්ද්‍රියන් තෘප්තිමත් කළ හැකිය. ස්ත්‍රියක් විදීමට ඇති ආශාව ලිංගික සංසර්ගය ඔස්සේ තෘප්තිමත් කළ හැකිය; එනමුත් පුත්‍රයකුට ලබා දිය හැකි තෘප්තිය කුමක්ද? එබැවින් මා ඔබගේ පුත්‍රයා ලෙස හිඳිමින් ඔබට කුමක් කරන්නද? තමා පිළිබඳව තෘප්තියට පත් වීමට පුත්‍රයකු කිසිඳු හේතුවක් නොවන්නේය."

41-43. "මේ හේතුවෙන් පුරාණ කාලයේදි අජිගර්ත බ්‍රාහ්මණයා තම පුත්‍රයා හරිශ්චන්ද්‍ර රජු වෙත මුදලට ලබා දුන්නේය.  වින්දිතයින් ලෙස මනුෂ්‍යයන් බිලි දෙන කල්හි තමාගේ කැප කිරීම උදෙසා මනුෂ්‍යයකු අවශ්‍ය කරන්නේ කා හටද? තමාට ක්ෂණිකව සැපත ලබා දෙන වස්තූන් ධනයෙන් ප්‍රාප්ත කරගත හැකිය; එබැවින් ඔබට තෘප්තියට පත් වීමට අවශ්‍ය වන්නේ නම්,  ධනය රැස් කරන්න. මා ඔබේ පුත්‍රයා ලෙසින් ඔබට කිනම් ප්‍රයෝජනයක්ද? ඕ මුනිවරයානෙනි! ඔබට සියුම් දේ දැකිය හැකි සේම ඔබ බෙහෙවින් ප්‍රඥාවන්තය; එබැවින් මා ඔබට ප්‍රාර්ථනා කරන්නේමි, පුත්‍රයකු ලෙස මා දෙස බලා මෙම උත්පත්තියෙන් සදාකාලිකවම නික්මිමට හැකි මාගේ ප්‍රඥාවෙහි දැස් විවර කරනු මැනවි."

44-45. "ඕ පාපයන්ගෙන් තොරවු තැනැත්ත! මෙම කර්ම භූමියෙහි මනුෂ්‍යයකු ලෙස ජන්මය ලැබීම දුර්ලභය; එයිනුත් බ්‍රාහ්මණ කුලයෙහි ජන්මය ලැබීම අතිශයින් දුර්ලභය; එසේ මා මෙම අතිශය දුර්ලභ ජන්මය ලැබූ කල්හී නිෂ්ඵල ලෙසින් කාලය ගෙවන්නේ කුමකටද? ඕ පියාණනි! මා බොහෝ කාලයක් ප්‍රඥාවෙන් පරිපූර්ණ ආධ්‍යාත්මික ගුරුවරුන් හට සේවය කළද මා කෙසේ හෝ මෙම සංසාරය නම් දැලෙහි පැටලි ඇති බව මාගේ ස්ථිර අදහසයි. ආශාවන් හේතුකොට ඇතිවන අවිද්‍යාව නම් අන්ධකාරයෙන් වැසී තිබෙන සංසාරය නම් දැල මා අත්හැර නොයන්නේය."

46-51. අසීමිත ශක්තියකින් සහ බුද්ධියකින් හෙබි ශුක දෙව මෙසේ පැවසූ කල්හී, තම පුත්‍රයා සිව්වන ආශ්‍රම ධර්මය වන සන්‍යාස ධර්මය කෙරෙහි ඉතා නැඹුරුවක් දක්වන බව දුටු ව්‍යාස මෙසේ ප්‍රකාශ කළේය; "ඕ පුත්‍ර! ඔබේ මනස ඒසේනම් මා විසින් සම්පාදනය කෙරූ ඉතාමත් සුබදායකයි, අතිවිශාල, වේදයට පමණක් දෙවන වන භාගවත පුරාණය පරායනය කරන්න. මෙහිදි ඔබට සර්ග උපසර්ග ආදියද, අනෙකුත් පුරාණ සේ පංච ලක්ෂණයන්ද, සර්ග දොළහක්ද හමුවනු ඇත. මෙම භාගවත ශ්‍රවණය කිරීමෙන් බ්‍රහ්මන් පමණක් පරම සත්‍ය බවත්, සංසාරයෙහි සියල්ල අසත්‍යක් බව සහ අවබෝධාත්මක සහ වක්‍ර ඥානය ඉස්මතු වන්නේය. එබැවින් භාගවත පුරාණය සියලු පුරාණයන්ට ආභරණයක් ලෙසින් සැළකේ. ඕ මහා ප්‍රඥාවන්තය! ඔබ මෙම පුරාණය අධ්‍යයනය කිරීම උචිතය. ඕ දරුව! පුරාණයේ කල්ප අවසානයේදි භගවාන් හරි කුඩා දරුවකගේ ස්වරූපයෙන් පාවෙන නුග්‍ර පත්‍රයක වැතිර සිටිමින් මෙසේ කල්පනා කළේය. "කුඩා දරුවකු වන මා නිර්මාණය කෙරූ ඒ මහා ප්‍රඥාවන්තයා කවරහුද? ඔහුගේ අරමුණ කුමක්ද? කුමන කාර්‍යක් සඳහා මා නිර්මාණය කළේද? කොහි සිට මා මේ සියල්ල දැනගම්ද?"

52. එකල්හි භගවාන් හරිගේ ධ්‍යානය දුටු පරම විඥානමය රූපී භගවතී දේවිය, ගුවනෙහි සිට දිව්‍යමය ස්වරයකින් මෙම අර්ධ ශ්ලෝකය ප්‍රකාශය කළේය. (භාගවත පුරාණය ප්‍රසාරණය වූයේ මෙම ශ්ලෝකයෙනි.)

සර්වම් ඛල්විදමේවාහම් නාන්‍යදස්ති සනාතනම් - මෙම සම්පූර්ණ නිර්මාණයම මා වෙමි; මා හැර අන් කිසිවක් සදාකාලික නොවේ. 

53-58. එවිට භගවාන් විෂ්ණු ගුවනෙහි සිට ඇසුණු මෙම හඬ කුමක්දැයි ගැඹුරු ලෙසින් කල්පනා කළේය. "කවුරුන්ද එම සත්‍යවාදි ප්‍රකාශය නිකුත් කළේ? මා එම කථිකයා ස්ත්‍රී පුරුෂ හෝ ද්වීලිංගිකද යන්න දැනගන්නෙ කෙසේද?" දිගු කාලයක් මෙලෙස කල්පනා කරත් නිගමනයකට එළඹීමට නොහැකි වු කල්හි, භගවතිය ප්‍රකාශ කළ එම ශ්ලෝකය ජප කරන්නට විය. නුග පත්‍රයක සිටි භගවාන් හරි එම හඬ වටහා ගැනීමට දැඩි උනන්දුවක් ඇතිවූ කළ උත්කෘෂ්ට භගවතී දේවිය සුන්දර වතක්, ශාන්ත ස්වරූපයක් සහ මහා තේජසකින් යුක්තව, සියලු විභූතීන් පිරිවරමින් සත්ත්ව ගුණයෙහි ප්‍රතිමූර්තිය වන මහා ලක්ෂ්මී ස්වරූපයෙන් භගවාන් විෂ්ණු ඉදිරියෙහි ප්‍රකට වුවාය ඇය හා සම වයසින් පසු වන ඇයගේ පරිවාර දේවීන් දිව්‍යමය වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි අතර ඇය මෙන් තම තමන්ගේ දිව්‍යමය දෑත් සතරෙහි ශංකයක්, චක්‍රයක්, ගදායුධයක් සහ පද්මයක් දරා සිටියෝය.


59-62. ජලය මත තම චතුර් දිශාවන්හී රති, භූති, බුද්ධි, මති, කීර්ති, ස්මෘති, ධෘති, ශ්‍රද්ධා, මෙධා, ස්වධා, ස්වාහා, ක්ෂුධා, නිද්‍රා, දයා, ගති, තුෂ්ටි, පුෂ්ටි, ක්ෂමා, ලජ්ජා, ජ්රම්භා, තන්ද්‍රා සහ අකිනෙකට වෙනස් ස්වරූප සහ හැඟීම් වලින් යුක්ත අනෙකුත් පුද්ගලාරෝපිත බලවේග සමඟ  එම අලංකාර දේවිය දුටු පද්මයන් හා සමාන නේත්‍රා සහිත විෂ්ණු මහත් විමතියට පත් විය. ඔවුන් සියල්ලගේම දෑත්වල විවිධ දිව්‍යමය අස්ත්‍රය දරා සිටින අතර ඔවුන්ගේ ගෙලවල් මන්දාර පුෂ්ප මාලාවන්ගෙන් අලංකෘතව ඇත. එමෙන්ම ඔවුන්ගේ ශරීරයේ සියලුම අවයව විය දිව්‍යමය සැරසිලි වලින්ද සරසා ඇත.

63-67. එම සාගර මධ්‍යයේ ලක්ෂ්මී දේවිය ඇතුළු ඇයගේ ශක්තීන් දුටු පරමාත්ම භගවාන් ජනාර්දන බෙහෙවින් මවිතයට පත්ව මෙසේ කල්පනා කරන්නට විය; "මේ කුමක්ද? මෙය මා අත්විඳින යම් මායාවක්ද? මෙම ස්ත්‍රියන් පෙනී සිටියේ කොහේ සිටද? මෙම නුග්‍ර පත්‍රය මත සිටින මා කොහේ සිට මෙහි පැමිණියේද? මෙම නුග පත්‍රයෙන් නුග වෘක්ෂයක් ඇතිවූයේ කෙසේද? මෙම සාගර ස්කන්ධය තුළ නුග වෘක්ෂයක් ඇති වූයේ කෙසේද? කුඩා දරුවකුගේ ස්වරූපයෙන් මා මෙහි තැබුවේ කවරෙකුද? මේ මාගේ මෑණියන්ද? නැතහොත් අසම්භාව්‍ය වස්තූන් නිර්මාණය කළ හැකි යම් මායාවක්ද? ඇය මා ඉදිරියේ ප්‍රකට වූයේ කුමන කාරණයකටද? නැතහොත් ඇය මෙහි පැමිණියේ යම් සැඟවුනු චේතනාවකින්ද? මා දැන් කුමක් කළ යුතුද? මා වෙනත් ස්ථානයකට යම්ද? නැතහොත් මා මෙහි නිසොල්මන්ව සහ පරික්ෂාකාරීව කුඩා දරුවාගේ මෙම ස්වරූපයෙන් රැඳී සිටින්නද?

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ පහළොස්වන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.