Saturday 19 August 1995

ශුක ජනක රජුව බැහැදැකීමට මිතිලා වෙත පිටත්වීම

 

1-10. ව්‍යාස පැවසිය : විශ්මයට පත්වී නුග පත්‍රය මත සිටින ජනාර්දන දෙවියන් දුටු මහා ලක්ෂ්මී දේවිය සිනහසෙමින් මෙසේ පැවසුවාය: "ඕ විෂ්ණු! ඔබ මෙතරම් මවිතයට පත්ව සිටින්නේ මන්ද? මීට පෙරද අනන්ත කාලයක් පුරා බොහෝ විනාශයන්, බොහෝ නිර්මාණයන් සිදුවුණි. සෑම නිර්මාණයකදීම ඔබ ප්‍රථමව ප්‍රකට වූ අතර ඒ සෑම අවස්ථාවකම මා ඔබ සමඟ එක් වූයෙමි. නමුත් මහා ශක්තියෙහි බලපෑමෙන් ඔබට මා පිළිබඳව අමතක වී ඇත. එම මහා ශක්තිය සමස්ථ ගුණයන් පරයන අතර ඔබ සහ මා ගුණයන්ගෙන් යුක්තය. මා සාත්ත්වික ගුණයෙහි ශක්තිය වන අතර මහා ලක්ෂ්මි යන නාමයෙන් මා හැඳින්වේ. ඉදිරියේදී සමස්ථ ලෝකයන්ගේ නිර්මාතෘ ප්‍රජාපතී බ්‍රහ්මා ඔබගේ නාභි කමලෙන් ප්‍රකට වනු වී තුන් ලෝකයන් නිර්මාණය කරනු ඇත. ඔහු ගැඹුරු තපසක් රැක නිර්මාණය කිරීමට අවශ්‍ය ශක්තිය ප්‍රාප්ත කරගනිමින් තම රාජසික ශක්තියෙන් තුන් ලෝකය නිර්මාණය කරයි. එම ප්‍රඥාවන්ත ප්‍රජාපති පළමුව සමස්ථ ගුණයන්ගෙන් යුක්ත පංචමහාභූත නිර්මාණය කරනු ඇත. ඉන්පසු නිර්මාණය සඳහා අවශ්‍ය මනස ඇතුළු ඉන්ද්‍රියයන්ද ඒවාට අධිපති දේවතාවුන්ද ප්‍රකට කරනු ඇත.  එබැවින් ඔහු සමස්ථ බ්‍රහ්මාණ්ඩයේ නිර්මාතෘ ලෙසින් නම් කරනු ඇත. ඕ මහා භාග්‍යවන්තය! ඔබ විශ්වයේ සංරක්ෂක වනු ඇත. බ්‍රහ්මා තම නිර්මාණ අවස්ථාවේදි ක්‍රෝධයට පත්වූ කළ ඔහුගේ මානස පුත්‍රයන් සිව් දෙනා සහ නළලෙන් රුද්‍ර දේවයන් ප්‍රකට වනු ඇත. මෙම රුද්‍ර දේවයන් දැඩි තපසක් රැක තමෝ ගුණ සහිත සංහාර ශක්තිය ප්‍රාප්ත කර, කල්ප අවසානයේදි පංච භූත වලින් නිර්මිත විශ්වය සංහාරය කරනු ඇත. ඔ ප්‍රඥාවන්තය! මා මෙම නිර්මාණ කාර්යය උදෙසා ඔබ වෙත පැමිණියෙමි. සාත්ත්වික ගුණයන්ගෙන් පරිපූර්ණ වෛශ්ණවී ශක්තිය ලෙසින් මා පිළිගන්න. ඕ මධුසූදන! මා ඔබේ ලයෙහි සරණ පතමින් සෑම විටම ඔබ සමඟ රැඳෙනු ඇත."

11-12. මේ සියල්ල ශ්‍රවණය කෙරූ භගවාන් විෂ්ණු පැවසිය: "ඕ සුන්දර දේවිය! බොහෝ කලකට පෙර මා හට පැහැදිලි අර්ධ ශ්ලෝකයක් ශ්‍රවණය වූයෙමි. කවරෙකු එය ප්‍රකාශ කළේද? පළමුව මෙම උත්කෘෂ්ට රහස මාහට පවසනු මැනවි. මාගේ මනසෙහි විශාල සැකයක් මතුවී තිබේ. දුගී මනුෂ්‍යයකු ධනය පිළිබඳව සිතන්නා සේ මාද එය සෑමවිටම කල්පනා කරමි."

13-18. විෂ්ණුගේ වදන් ශ්‍රවණය කෙරූ මහාලක්ෂ්මී දේවිය මහත් සෙනෙහසකින් සිනහසෙමින් මෙසේ පැවසුවාය: "ඕ ශක්තිවන්තය! මා දැන් මේ පිළිබඳව විස්තරාත්මකව ප්‍රකාශ කරමි; ශ්‍රවණය කරන්න. ඕ චතුර්බුජාධාරිය! මා ඔබ ඉදිරියෙහි ගුණයන් සහ ස්වරූපය සහිතව ප්‍රකට වූ හෙයින් ඔබ මා හඳුනන්නෙමි. නමුත් ඔබ සමස්ථ ගුණයන්ගේ පදනම වන සියලු ගුණයන් ඉක්මවන, මූල ශක්තිය වන ආදි ශක්තිය පිළිබඳව ඔබ නොදන්නේය. ඕ භාග්‍යවන්තය! එම ශුද්ධ වූ, උතුම් වූ, සමස්ථ වේදයන්ගේ සාරය වන එම අර්ධ ශ්ලෝකය ප්‍රකාශ කරනු ලැබුවේ සමස්ථ ගුණයන් පරයන භගවතී දේවිය විසිනි. ඕ ශත්‍රැ නාශකය! මා සිතන්නේ එතුමියට ඔබ කෙරෙහි අතිශය කරුණාවක් ඇති හෙයින් ඔබගේ අභිවෘද්ධිය සඳහා එම උතුම් රහස ඔබට ප්‍රකාශ කෙරූ බවයි. ඕ යහපත් භාරයන් ඉටු කරන්නා! එම වාක්‍ය ප්‍රකාශ කරන ලද්දේ සියලුම ශාස්ත්‍රයන්ගේ සාරය වන මහාවිද්‍යාව විසිනි. එබැවින් එය කිසිදා අමතක නොකොට ඔබගේ හදවතෙහි රඳවා තබාගන්න. එය හැර අවබෝධ කරගැනීමට කිසිවක් නොමැත. මන්ද දේවියගේ වඩාත්ම ආදරණීයයා ඔබ හෙයින් එතුමිය ඔබට මෙය ප්‍රකාශ කර ඇත.

19-23. මහා ලක්ෂ්මී දේවියගේ වදන් ශ්‍රවණය කෙරූ භගවාන් එම අර්ධ ශ්ලෝකය මන්ත්‍රයක් ලෙස ගෙන නිවැරදි උනන්දුවෙන් එය මනසින් ජප කළ අතර එය සදාකාලිකවම එතුමාගේ හදවත තුළ රැකගත්තේය. යම් කාලයකට පසුව විෂ්ණුගේ නාභි කමලෙන් බ්‍රහ්මා ජන්මය ලැබූ අතර ඔහු මධු සහ කෛතභට බිය වී විෂ්ණුගේ සරණ පැතුවේය. භගවාන් විෂ්ණු එම අසුරයන් සංහාරය කොට එම අර්ධ ශ්ලෝකය  නැවතත් පැහැදිලිව ජප කරන්නට විය. පද්මයෙන් ජන්මය ලැබූ බ්‍රහ්මා සතුටු සිතින් විෂ්ණුගෙන් මෙසේ ඇසීය: "ඕ දේවතාවුන්ගේ ස්වාමීනි! ඔබවහන්සේ කුමක් ජප කරන්නෙහිද? ඕ පද්ම නයන! ඔබ වහන්සේ පරයන තව ශ්‍රේෂ්ඨවන්තයෙකු සිටීද? ඕ විශ්වයේ ස්වාමීනි! ඔබ මෙලෙස සතුටු වන්නේ කවරෙකු නිසා බව ඔබ සිතන්නෙහිද? 

24-29. බ්‍රහ්මාගේ වදන් ශ්‍රවණය කෙරූ භගවාන් හරි ඉක්බිති මෙසෙ පැවසුවේය: "ඕ භාග්‍යවන්තය!  ඔබ නැවත වරක් සර්වව්‍යාපි, සියල්ලෙහි හේතුව සහ ඵලය වන ආද්‍යා ශක්තී භගවතී දේවිය පිළිබඳව සිතා බලන්න, එවිට ඔබට සියල්ල වැටහෙනු ඇත. (මහාමායාවගේ බලපෑම හේතුවෙන් බ්‍රහ්මා හට දේවිය පිළිබඳව අමතක වී ඇත.) මාගේ ප්‍රධාන දේවිය වන්නේ විශ්වයේ පවතින මෙම සාගරය දරා සිටින ශක්තිය වන බ්‍රහ්මමයී මහා ශක්තියයි. මා සිතන්නේ එය මෙම සසල නිසසල සම්පූර්ණ විශ්වයම නිර්මාණය කෙරූ බවයි. සියලු වරයන් ප්‍රධානය කරන භගවතී දේවිය කරුණාවෙන් ප්‍රසන්න වූ කළ මනුෂ්‍යන් මෙම සංසාරය බන්ධනයෙන් මුක්ත වන්නේය. ඇයගෙන් මූලා වූ පුද්ගලයන්ට එම අනන්ත ප්‍රඥාව, මූක්තියෙහි මූලය මේ සංසාරයට බැඳීමේ ප්‍රභවය බවට පත්වේ.  ඇය මෙම විශ්වයේ ඊශ්වරයන්ගේ ඊශ්වරීයයි. ඕ බ්‍රහ්මා! ඔබ මා සහ විශ්වයේ අනෙකුත් සියල්ලම ඇයගේ චිත් ශක්තියෙන් (විඥානමය ශක්තිය) පමණක් ජන්මය ලබන්නේය; එහි කිසිඳු සැකයක් නොමැත්තේය. ඇය මා වෙත ලබා දුන් එම අර්ධ ශ්ලෝකය භාගවත පුරාණයට බීජය වන අතර එය ද්වාපර යුගය ආරම්භයේදී ප්‍රසාරණය වනු ඇත."

30-38. ව්‍යාස පැවසිය: "භගවාන් බ්‍රහ්මා විෂ්ණුගේ නාභි කමල මත වැඩ සිටින කල්හි ලැබුනු භාගවත බීජය ඔහු තම පුත්‍ර ශ්‍රේෂ්ඨ නාරද මුනි හට ප්‍රධානය කළේය. නාරද එය මා හට ප්‍රධානය කළ අතර මා එය සර්ග දොළොසකට වෙන් කරන ලද්දේය. ඕ මහාභාග! එබැවින් පංච ගුණයන්ගෙන් පරිපූර්ණ, වේදය හා සමාන වන එම භාගවත පුරාණය ඔබ අධ්‍යනය කරන්න. එය තුළ යහපත් කර්මයන් මෙන්ම භගවතී දේවියගේ වීර කාව්‍යන්, වේදයෙහි සැඟවුණු අරුත් සියලු සත්‍යන් අන්තර්ගතය. මෙය සියලු පුරාණයන්ගෙන් ශ්‍රේෂ්ඨතම පුරාණය වන අතර ධර්ම ශාස්ත්‍රයන් මෙන් පවිත්‍ර කරයි. එය බ්‍රහ්ම විද්‍යාවෙහි පදනම බැවින් මෙය අධ්‍යයන කරන මනුෂ්‍යයන් පහසුවෙන් සංසාර සාගරය තරණය කරයි. මුළාවී සිටින අඥානයන් මෙහි සඳහන් වෘතාසුර සංහාරය වැනි වෙනත් ආඛ්‍යාන ශ්‍රවණය කරමින් තෘප්තියක් ලබයි. ඕ මහාභාග! එබැවින් මෙම පවිත්‍ර භාගවත පුරාණය  ශ්‍රවණය කර එය හදවතෙහි රඳවා ගන්න. ඕ උත්තරීතර පුරුෂය!  ඔබ ඥානවන්තයන්ගෙන් ප්‍රමුඛතමයා වන්නේය. එබැවින් ඔබ මෙම පුරාණය අධ්‍යනය කිරීම උචිත වන්නේය. එහි ශ්ලෝක දහඅට දහසක් අන්තර්ගත වන අතර ඒ සියල්ල ඔබ හදවතෙහි රඳවා ගැනීම උචිත වන්නේය. යම් අයකු මෙම පුරාණය අධ්‍යනය හෝ ශ්‍රවණය කරන්නේ නම් ඔහු දිනපතා ප්‍රශංසාවට පාත්‍ර වීමට සුදුසු වන්නේය, පුත්‍රයන් සහ මුනුපුරන් ඔස්සේ අනාගත පරපුර වැඩි කිරීමට හැකියාව ලැබේ, ඔහු තම ලයෙහි වාසය කරන අවිද්‍යාව දුරු කරන ප්‍රඥාවෙහි සූර්‍යයා දකින්නේය."

39-41. සූත පැවසිය: ශුක දේව හට මෙසේ ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාගේ ගුරු ක්‍රිෂ්ණ ද්වෛපායන අපට මෙම පුරාණය ඉගැන්වූ අතර මා එය හදවතින්ම ධාරණය කරගත්තේය. ශුක පුරාණය අධ්‍යයනය කොට ව්‍යාසගේ ආශ්‍රමය තුළ රැඳී සිටියේය. නමුත් ඔහු බ්‍රහ්මාගේ මානස පුත්‍රයන් වන සනත් කුමාරු ඇතුළු පුත්‍රයන් මෙන් ස්වභාවයෙන්ම උදාසීන විය. එබැවින් ගිහියන්ට සුදුසු කර්ම කාණ්ඩයට අයත් පුරාණය අධ්‍යයනය කළත් ඔහුට ශාන්තියක් නොලැබිණි. ඔහුගේ හදවත ඉතාමත් නොසන්සුව පැවති අතර ඔහු හුදෙකලා ස්ථානයක රැඳී සිටියේය. ඔහු ආහාර පිළිබඳව වැඩි අවදානයක් නොදුන් අතර නිරාහාරවද නොසිටියේය.

42-48. වරෙක මෙසේ කල්පනාවෙන් සිටින ශුක දේව දුටු ව්‍යාස මෙසේ පැවසීය: "ඕ පුත්‍ර! ඔබ නිරතුරුවම කුමක් පිළිබඳ කල්පනා කරන්නේද? ඇයි ඔබ ඔබටම දුක්පීඩා ගෙනදෙන්නේ? ණය බරින් මිරිකි සිටින දුගී මිනිසෙකු මෙන් ඔබත් සිතිවිලි ඔස්සේ කැළඹීමට පත්ව සිටී. අනෙක් සියලු සිතුවිලි බැහැර කර ශාස්ත්‍රයන් තුළ පවතින ප්‍රඥාවට අවධානය යොමු කරමින් විඥානය වඩවා ගැනීමට උත්සාහ කරන්න. ඕ සුව්‍රත! ඔබට මාගේ වදන් වලින් ශාන්තියක් නොලැබේ නම් ජනක රජුගේ නගරය වන මිතිලා වෙත යන්න. ඕ මහාභාග! ධාර්මික ආත්මයක් සහිත පරම සත්‍යයේ සාගරය වන ජිවිත්ව සිටියදීම මුක්තිය ලැබූ එම ජනක නිරිදුන් ඔබේ මුලාවෙහි දැල කපා දමනු ඇත. ඕ පුත්‍ර! ඔහු වෙත ගොස් වර්ණාශ්‍රම ධර්ම පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කොට ඔබේ සැකයන් දුරු කරගන්න. බ්‍රහ්මන් පිළිබඳව දන්නා, ජිවමාන අවස්ථාවේදීම මුක්තිය ප්‍රාප්ත කෙරූ, පවිත්‍ර ආත්මයක් සහිත, සත්‍යවාදි, ශාන්ත සහ නිශ්ශබ්ද හදවතක් සහිත එම රාජකීය ජනක මුනිවරයා නිරන්තරයෙන් යෝගයන්ට ප්‍රිය වන්නේය."

49-55. ව්‍යාස දෙවගේ මෙම ප්‍රකාශය අසා ඉක්බිති ශුක දෙව මෙසේ පැවසිය: "ඕ ගුණවත් තැනැත්ත! ඔබගේ වදන් කෙදිනක හෝ අසත්‍ය නොවේ; නමුත් ජනක රජු රාජ්‍ය පාලනය කරන විටත් ඔහු මුක්තිය ලබා ඇති බවත්, ශරීරයක් ඇති විටත් ශරීර බන්ධනයන්ගෙන් මුක්තය යන ඔබගේ ප්‍රකාශය අඳුර සහ ආලෝකය එක මොහොතේ පවතින්නාක් මෙන් මාහට එකිනෙකට පරස්පර විරෝධී ලෙස දැනේ. ඕ පියාණනි! රාජකීය මුනි ජනක ශරීර බන්ධනයෙන් තොර වී කෙසේ තම රාජ්‍ය පාලනය කරන්නේද යන්න මට මහත් ගැටලුවකි. මා සිතන්නේ වඳ ස්ත්‍රියකගේ පුත්‍රයකු සේ ඔබගේ ප්‍රකාශයද දෝෂ සහගත බවයි. ඔහු මඩෙහි පවතින පද්මයක් සේ සංසාරයට නොඇලි සිටින ආකාරයට දැන ගැනීමට මට මහත් ඉච්ඡාවක් පහළ වූ හෙයින් මා ඔහුව බැහැ දැකීමට යා යුතුය.  ඕ මහා කථිකය! ජනකගේ මුක්තිය පවතින්නේ බෞද්ධ මූලධර්ම හෝ බෞතික මූලධර්මය අනුවද? ඕ මහා ප්‍රඥාවන්තය! ගිහියකු වූවද ජනක රජු තම පංචේන්ද්‍රියයන් කෙසේ නම් සංවර කරමින් සිටිනේද? මා හට මෙය වටහා ගැනීමට නොහැකිය. ඔහු බුක්ති විඳින වස්තූන් ඔහුට බුක්ති නොවවිඳින්නා සේ විඳින්නේ කෙසේද? ඔහුගේ ක්‍රියාවන් ක්‍රියාවන් නොවන්නේ කෙසේද? මව, බිරිඳ, පුත්‍රයා, සහෝදරිය, වෛෂ්‍යාවන් යන ලෞකික බැඳීම් ඔහු තුළ හට ගන්නා විට ඒ අතරම සම්පූර්ණයෙන්ම අතුරුදහන් වන්නේ කෙසේද? තවද එය එසේ නොවේ නම් කෙසේ ජීවනමුක්තිය පවතින්නේද? 

56-61. ඔහු තම රසේන්ද්‍රිය විවිධ රසයන්ගෙන් තෘප්තිමත් කරන්නේ නම් ඔහු ඉතාමත් විශිෂ්ඨ දෑ භුක්ති විඳින බව එවිට පැහැදිලි ය. ඕ පියාණනි! මෙය මා හට පුදුමයක් මෙන්ම මහත් ගැටලුවකි. ඔහුගේ ඉන්ද්‍රියන් වල උණුසුම, ශීතල, තෘප්තිය සහ වේදනාව දැනෙන්නේ නම් ඔහු ජීවනමුක්තිය ලබා තිබෙන්නේ කෙසේද? තම පාලනය පිළිබඳව මනා අවබෝධයක් සහිත රජෙකු සතුරන්, මිතුරන්, රසයන්, නීරසයයන් බැහැර කර තම රාජ්‍ය පාලනය කරන්නේ කෙසේද? ඔහු සොරෙකු සහ තාපසයකු කෙරෙහි සම දෘෂ්ටියෙන් දකින්නේ කෙසේද? තවද ඔහු යම් වෙනසක් කරන්නේ නම් ඔහුගේ මුක්තිය බලපැවැත්වන්නේ කෙසේද? සංසාරයෙ මුක්ත වී දක්ෂ ලෙස රාජ්‍ය පාලනය කරන මනුෂ්‍යයකු මා කිසිදා දැක නොමැත. මේ හේතුවෙන් මා තුළ මහත් ගැටලුවක් පැන නැගී ඇත. ජනක රජු ගිහියකු වී සිටියදීම මෝක්ෂය ලැබූ පුද්ගලයකු වීම මට වටහා ගත නොහැකිය. ඒ කුමක් වූවද ජීවනමුක්තිය ලැබු ඔහුව බැහැදැකීමට මා හට බලවත් ඉච්ඡාවක් පහළ වී තිබේ. එබැවින් මාගේ ගැටලු විසඳා ගැනීමට මා මිතිලා වෙත යමි.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහසයවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.