Wednesday 23 August 1995

ශුකගේ ස්වයං වාරණය

 
1-5. සූත පැවසිය: තමා මෙලෙස මිතිලා වෙත යෑමට අදහස් කරන බව තම පියාට පවසා, ශුක දේව දෑත් එකතු කරමින් වැඳ වැටී මෙසේ පැවසීය: "ඕ භාග්‍යවන්තය! ඔබගේ වදන් මා පිළිපැදිය යුතුය. මා ඔබ පැවසු ආකාරයට ජනක රාජධානිය නැරැඹීමට කැමැත්තෙමි. කරුණාකර මාහට අවසර ලබාදෙනු මැනවි! කිසිවෙකුට දඬුවම් නොකරමින් ඔහු රාජ්‍ය කෙසේ පාලනය කරන්නේද යන්න නැවතත් මා හට ගැටලුවකි. රාජධානිය තුළ කිසිවෙකු හෝ දඩුවමට ලක් නොවන්නේ නම් කිසිවෙකු යහපත් මාර්ගයේ නොයන්නේය. ධර්මය සුරෑකීම සදහා මනු ඇතුළු අනෙකුත් මුනිවරුන් දඩුවම් සෑම විටම නිර්දේශ කර තිබේ. දඬුවම් නොකර ධර්මය රැක ගන්නේ කෙසේද? ඕ මහාභාග! මගේ මෑණියන් වඳයි කියන ප්‍රකාශය මෙන් ඔබ පැවසු සියල්ල සත්‍ය සේ මට හැගේ. ඕ සතුරන් විනාශ කරන්නානෙනි! මට මිතිලා වෙත යෑමට අවසර ලබා දෙන්න." 

6-10. මිතිලා වෙත යෑමට දැඩි උනන්දුවෙන් සිටි, කිසිඳු ආශාවකින් තොර වූ, ඥානාන්විත පුත්‍ර ශුක දුටු ව්‍යාස ඔහුව වැළඳගෙන මෙසේ පැවසිය. "ඕ ප්‍රඥාවන්ත පුත්‍ර ශුක ඔබට සදා සාමය උදා වේවා! දිගු කල් ආයු සුරැකේවා! මා ඉදිරියේ සත්‍ය පවසා පිටව යන්න. ඕ පුත්‍ර! ඔබ මිතිලා වෙත ගොස් නැවත මෙම ආශ්‍රමය වෙත පැමිණෙන්න. සදා කල් මෙහි වාසය කරන්න. ඕ පුත්‍ර! දිනපතා ඔබේ පද්මයක් වන් වත දැකීමෙන් මාගේ සිත ප්‍රමෝදයට පත් වන්නේය; මා ඔබව නොදුටුවහොත් එය සාංකාවෙන් බර වේ. ඔබ මාගේ ප්‍රාණය මෙන්ම ආත්මයයි. මෙයට වඩා යමක් තිබේද. එබැවින් මා පවසන්නේ ජනක රජු හමුව තම ගැටලු නිරාකරණය කරගැනීමෙන් අනතුරුව නැවත මෙහි පැමිණ වේදයන් හදාරමින් ශාන්තියෙන් කල් ගෙවන්න."

11-15 ව්‍යස මෙසේ පැවසු කල්හි ශුක තම පූජනීය පියාණන් හට වැඳ නමස්කාර සහ ප්‍රදක්ෂිණා කොට පිටතට පැමිණියේය; ඔහු දුන්නෙන් විදින ලද හීයක් මෙන් වේගයන් ගමන් කරන්නට විය. තම ගමන අතරතුර විවිධ දේශයන්, මුදල් උපයන විවිධ කුලයන්ගේ මනුෂ්‍යයන්, විවිධ උද්‍යානයන් සහ වනාන්තර සහ විවිධ වෘක්ෂයන්ද; ඇතැම් ස්ථානයන්හි ඵල දරා තිබූ හරිත ධාන්‍ය වගාවන් සහිත කෙත්වතුද; ඇතැම් අවස්ථාවන්හීදි තවුසන් තවුස් පුරමින්, යාගයන් පවත්වමින් සිටිනුද; ඇතැම් ස්ථාන තුළ වානප්‍රස්ථ අවස්ථාවේ සිටින උත්කෘෂ්ට යෝගින් යෝගයන්ගේ නිරත වනුද; ඇතැම් ස්ථානයන්හී ශිව, ශක්ති, ගණේශ, සූර්‍ය සහ විෂ්ණු ඇතුළු අනෙකුත් ස්වරූපයන්ගේ භක්තිකයෝද දුටුවේය. මෙලෙස ඔහු මහත් පුදුමයකින් තමාගේ ගමනාන්තය කරා ගමන් කරේය. ඔහුගේ ගමනේදී ඔහු දෙවර්ෂයකින් මේරු පර්වතය තරණය කළේය; ඉන්පසු  හිමාල පර්වතය වසරකින් තරණය කර මිතිලා පුරය වෙත ලඟා විය.     

16-18. එහි පැමිණි විට ඔහුට දැකගැනීමට ලැබුනේ ධන ධාන්‍ය ඇතුළු සමස්ථ සුඛයන්ගෙන් පරිපූර්ණ බවත්,  සමස්ථ ප්‍රජාව ආනන්දයෙන් සිටින ආකාරයත්,  සියල්ලෝම ශාස්ත්‍රයන්ට අනුකූලව නියමයන් පාලනය කරන ආකාරයයි. ඔහු නගරයට ඇතුළුවත්ම නගර ආරක්ෂකයන් ඔහුව නැවතුවේ. "ඔබ කවුද? කුමක් සඳහා මෙහි පැමිණියේද?" යන්න අසමිනි. ආරක්ෂකයා එසේ ඇසු විට ඔහු කිසිවක් නොකිය මඩ දුරක් පැමිණ මහත් පුදුමයෙන් මූර්තියක් මෙන් නිශ්චලව රැඳී සිටියේය.

19-21. ආරක්ෂකයා පැවසුවේය: "ඕ බ්‍රාහ්මණය! නුඹ නිහඬව සිටින්නේ කිම? කරුණාකර නුඹ මෙහි පැමිණි කාරණය පවසන්න. කිසිවෙකු හෝ හේතුවක් රහිතව ගමන් නොකරන බව මා හොඳින් දන්නෙමි. මව් පිය පෙලපත සහ චරිතය නොදන්නා ආගන්තුකයන්ව රජු තහනමට ලක්කොට තිබේ. ඕ බ්‍රාහ්මණය! සෑම අයෙකුටම නගරයට ඇතුළු වීමට ප්‍රථමව රජුගේ අවසරය ලබාගත යුතුය. ඔබ වේදයන්ගේ කෙළ පැමිණි ජවසම්පන්න බ්‍රාහ්මණයකු ලෙස පෙනී යයි; එබැවින් ඕ ගෞරවාන්විත තැනැත්ත! ඔබට නගරය පිවිසීමට ඇති අරමුණ මාහට පවසන්න."


22-29. ආරක්ෂකයාගේ මෙම වදන් ඇසූ ශුක දේව මෙසේ පැවසිය: "මා විදේහ ජනකගේ රාජ්‍ය නැරැඹීමට පැමිණියෙමි; එනමුත් මට පෙනෙන්නේ මා වැනි පුද්ගලයන්ට ඇතුළුවීමට අපහසු බවයි; එබැවින් ඕ ද්වාර පාලකය! ඔබෙන් මට පිළිතුරු ලැබිණි. මා මහා අඥානයෙකි රජුව බැහැදැකීමට ඉච්ඡාවෙන් මා බොහෝ දේශයන් සහ පර්වත ද්විත්වයක් පසුකර පැමිණියෙමි. ඕ මහාභාග! මා අන් අයට කුමන දොසක් පවරන්නද? මා රැවටුවේ මාගේ පියාණන් විසිනි; නැතහොත් පෙර ජන්මයේදි මා සිදුකළ යම් කර්මයක ඵලයක් දැන් මා වෙත උදා වී ඇත. අහෝ! ලෝකයෙහි මනුෂ්‍යයකු ගැටීමට පරම කාරණය වන්නේ වස්තුව කෙරෙහි තිබෙන තණ්හාවයි. නමුත් මා හට එය පවා ඇති නොවුනි; මාගේ සාවද්‍ය අභිප්‍රාය මෙතරම් දුරක් මාව රැගෙන ආවෙමි. ඉච්ඡාවන්ගෙන් තොරවූ මනුෂ්‍යයකු මායාව නම් දැලෙහි නොපැටලුණු විට නිරන්තර සුඛ අත්පත් කරගනී. ඕ මහාභාග! මා අපේක්ෂාවන්ගෙන් තොරවූ ද මෝහය නම් සාගරයෙහි ගිලී ඇත. අහෝ! මේරුව කොහිද? මිතිලා කොහිද? (තමා පැමිණි දුර පිළිබඳව කල්පනා කරයි.) මා විශාල දුරක් පා ගමනින් පැමිණිය නමුත් මාගේ දිගු යාත්‍රාවේ ප්‍රතිඵල මෙයයි. එබැවින් නිර්මාතෘ මා රැවටු බව මාහට හොදින් විශ්වාසය. යම් අයෙකු යහපත් වේවා, අයහපත් වේවා, ඔහුගේ ප්‍රාරබ්ධ කර්මය විඳිය යුතුය. යමෙකුගේ උත්සාහය විය යුත්තේ මනුෂ්‍යයාව කර්ම ක්‍රියාවන්ගේ යොදවන මෙම කර්ම නිතිය යටතේ සිටීමටයි. බොහෝ වෙහෙස මහන්සි වී මා පැමිණි මෙම ස්ථානය ශුද්ධ වූ ස්ථානයක් හෝ වේදයන් පුද්ගලරූපීව සිටින ස්ථානයක් නොවන්නේය. මෙහි පවතින එකම දේ ජනක රජු පමණි; නමුත් ඔහුව හමුවීමට වත් අවස්ථාවක් නැත; මන්ද මා හට ඔහුගේ රාජධානිය තුළට ප්‍රවේශ වීමට නොහැකි හෙයිනි."

31-32. මෙසේ පවසා ශුක මුනිවත රකින පුද්ගලයකු සේ නිහඬව සිටියේය. ආරක්ෂකයා විසින් මොහු ඉතාමත් ඥානාන්විත බ්‍රාහ්මණයකු බව වටහාගෙන ඉක්බිති මෙසේ පැවසීය: "ඕ බ්‍රාහ්මණය! ඔබගේ කාර්‍යන් සිදු කිරීමට අවශ්‍ය ඔනෑම ස්ථානයකට ගමන් කරන්න. ඕ බ්‍රාහ්මණය!  ඔබ නවත්වා ; මා විසින් සිදු කරන ලද වරදට මාහට සමාවන්න. ඔබ වැනි නිදහස් පුද්ගලයින්ට ඔවුන්ගේ ප්‍රබලම ශක්තිය ලෙස කරුණාව පමණක් ඇත."

33-35. මෙය ඇසූ ශුක දෙව මෙසේ පැවසිය: "ඔබගේ වරද කුමක්ද? ඔබ අන් අයකු මත යැපෙන්නේය; සේවකයා සෑම ආකාරයකින්ම ඔහුගේ ස්වාමියාගේ වචනයට කීකරු වී ඔහුට සේවය කළ යුතුයි. ඔබ මට ඇතුළුවීමට ඉඩ නොදීම තුළ රජුගේද වරදක් නොමැත, නවකයින් සතුරන් වුවත් සොරුන් වුවත් ඥානවන්තයින් සෑම ආකාරයකින්ම තහවුරු කර ගත යුතුය. එබැවින් මා ආගන්තුකයෙකු වී මෙම ස්ථානයට හදිසියේම පැමිණි විට එහි වරද මුළුමනින්ම මාගේ ය. අන් නිසවකට යාම තමාවම පහත් කිරීමක් බව සෑම පුද්ගලයෙකුම දනී."

36. ආරක්ෂිතයා ඉන්පසුව පැවසුවේය: "ඕ උත්කෘෂ්ට බ්‍රාහ්මණය! සතුට යනු කුමක්ද? වේදනාව යනු කුමක්ද?  හිතවතා කවරේද? සතුරා කවරේද? උපකාරකයා කවරේද? මේ සියලු කරුණු පිළිබඳව මාහට උපදෙස් ලබාදෙනු මැනවි."

37-39. ඉක්බිති ශුක දෙව මෙසේ පැවසිය: ඔවුන්ගේ අභ්‍යන්තර ස්වභාවය සම්බන්ධයෙන් ගත් කල සෑම ස්ථානයකම මනුෂ්‍යයන් රාගී (මෝහයෙන් යුක්ත) සහ විරාගී ලෙස ආකාර ද්විත්වයකට බෙදී ඇත; විරාගී පුද්ගලයන් ඥානී, අවිඥානී සහ මධ්‍යම ලෙස අකාර ත්‍රිත්වයකටත්, රාගී පුද්ගලයන් අඥාන සහ චාතුර්ය්‍යය (කපටි) ලෙස ආකාර ද්විත්වයකට වෙන් වේ. චාතුර්ය්‍යය පුද්ගලයන් නැවතත් ශාස්ත්‍රයහී නියමයන්ට අනුව චාතුර්ය්‍යය බාවය හෝ බුද්ධිය අනුව චාතුර්ය්‍යය බව ලෙසින් ද්විත්වයකි. බුද්ධිය අනුව චාතුර්ය්‍යය පුද්ගලයන් නැවත කොටස් දෙකකි; එනම් යුක්ත (යුක්තිමත්) සහ අයුක්ත (අයුක්තිමත්) ලෙසිනි.

40. ආරක්ෂකයා පැවසිය; "ඕ බුද්ධිමතානෙනි! ඔබ පැවසු දේ මට නොවැටහේ; එබැවින් ඒවායෙන් අරුත් ගනවන දෑ මට පවසන්න."

41-44. ඉක්බිති ශුක දෙව මෙසේ පැවසිය: "මෙම සංසාරය කෙරෙහි ඇලී සිටින පුද්ගලයන්ට රාගි තැනැත්තන් ලෙස පවසන්නේය. මෙම රාගි පුද්ගලයන්ට නිරන්තරයෙන් සැප දුක දැනෙන්නේය. ඔවුන් බිරින්දෑවරුන්, පුත්‍රයන්, ධනය, ගෞරවය, උසස් වීම ආදිය ලබාගත් කළ සැපය විඳින්නේය; මේ කිසිවක් ලබා නොගත් කළ නිරන්තරයෙන් දුකට පත් වන්නේය. රාගී පුද්ගලයා නිරතුරුවම උත්සාහ කරනුයේ තමාගේ ලෞකික සැපය ආරක්ෂා කරගැනීමටයි. එබැවින් ඔවුන්ගේ අපේක්ෂාවන්ට විරුද්ධව කටයුතු කරන ඕනෑම අයෙකු ඔවුන්ගේ සැපය බිඳ දැමීමක් ලෙස සලකනු ලබන අතර එම නිසා එවැන්නන් ඔවුන්ගේ සතුරන් බවට පත්කර ගනි. මේ අතරින් රාගී  නමුත් ඒ සමඟම චාතුර්ය්‍යය මනුෂ්‍යයකු ඔවුන් පිළිබඳව ව්‍යාකූල නොවී කලබලයට පත් නොවන්නේය; නමුත් රාගී අඥාන පුද්ගලයන් නිරන්තරයෙන් සෑම ස්ථානයකම වික්ෂිප්තව හැසිරෙන්නේය." 

45-47. හුදෙකලා ස්ථානයක සිට ආත්ම සාධනා කරමින්, ආත්මය උදෙසා ධ්‍යාන වඩමින් සිටින විරාගී පුද්ගලයා වේදාන්ත ශාස්ත්‍ර හැදෑරීමෙන් සැපයක් ලබන අතර ලෞකික බැඳීම් සහිත සෑම විෂයකින්ම වේදනාවට පත් වේ. ලෞකික සැපයට අකැමැති තමාගේ සැබෑ යහපත අපේක්ෂා කරන ඥානවන්තයා ලෝභ, දෝෂ, මෝහ ආදිය තමාගේ සතුරන් ලෙස සොයා ගන්නේය. තුන් ලෝකයේ සංතුෂ්ටිය පමණක් ඔහුගේ එකම මිත්‍රයා වන අතර ඒ ඔහුගේ සැබෑ ආත්මයයි. 

48-57. ශුක දෙවගේ මෙම වද ශ්‍රවණය කෙරූ ද්වාර පාලකයා ඔහුව ප්‍රඥාවන්තයෙකු ලෙස නිගමනය කළ අතර ඔහුව අලංකාර මැදිරියක් වෙත රැගන ගියේය.  ශුක දෙව දුටුවේ නගර තුළ උසස්, මධ්‍යම සහ තුච්ඡ යන තුන් ආකාරයේ මනුෂ්‍යයන් සිටින බවත්, සාප්පු විවිධ භාණ්ඩයන්ගෙන් වලින් පිරී තිබෙන ආකාරයයි. බොහෝ දේ නොනවත්වා මිලට ගනිමින් විකුණමින් තිබුණි. එම නගරය තුළ බොහෝ මිනිසුන්, මුදල් සහ සියලු ආකාරයෙන් ධනයෙන් හා සමෘද්ධියෙන් පිරී තිබුණි. සෑම තැනකම පාහේ බැඳීම්, වෛරය, රාගය, කෝපය, ලෝභය, නිෂ්ඵලභාවය සහ මුලාව වැනි අවස්ථා දක්නට ලැබුණි; ඇතැම් ස්ථානයන්හී මනුෂ්‍යයන් එකිනෙකා සමඟ කෝලාහල කරන අයුරුද දක්නට ලැබුණි. තුන් ආකාරයෙන් යුත් මනුෂ්‍යන් දුටු , දෙවන සූර්යා මෙන් ප්‍රාකාශිත බලවත් ශුක, රාජ භවන වෙත පැමිණි අතර ද්වාර පාලකයා විසින් ඔහුව නැවැත්විය. එවිට ඔහු ලී කොටයක් මෙන් එහි සිටගෙන මෝක්ෂය උදෙසා ධ්‍යාන වැඩීමට පටන් ගත්තේය. ඔහු ආලෝකය සහ අන්ධකාරය පිළිබඳව එක ලෙස සිතන්නට පටන් ගත්තේය. මහා තාපසයා වූ ශුක ධ්‍යානයෙහි සම වැදි නිශ්චලව සිටියේය. ක්ෂණයකින් රාජකීය අමාත්‍යවරයෙක් පිටතට පැමිණ ඔහුට දෑත් එක් කොට ආචාර කරමින් ඔහුව දෙවන මැදිරියකට රැගෙන ගෙන ගියේය. 

58-61. මෙහිදී අමාත්‍යවරයා එතුමා හට අලංකාර දිව්‍යමය උද්‍යාන පෙන්වීය. පළතුරු සහිත දිව්‍යමය වෘක්ෂ පේළි වලින් අලංකාර ලෙස සරසා ඔහුට හොඳ පිළිගැනීමක් ලබා දී ඉතා අලංකාර භවනකට රැගෙන ගියේය. ඉන්පසු අමාත්‍යවරයා සංගීතය සහ වාද්‍ය භාණ්ඩ වාදනය කිරීමට සහ කාම ශාස්ත්‍රය පිළිබඳව ප්‍රවීණ රාජකීය සේවයේ නියුතු අංගනාවන් කැඳවා ශුක දේව හට සේවය සපයන ලෙස පවසා මැඳුරෙන් පිටව ගියේය. ව්‍යාස පුත්‍ර ශුක එහි රැඳී සිටියේය. පසුව එම වෛෂ්‍යාවන් කාලයට සහ ස්ථානයට ගැලපෙන පරිදි විවිධ ආහාර වර්ග පිළියෙළ කර, ශුකගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඔහුට නිසි ලෙස නමස්කාර කළහ. ප්‍රාකාර සතරක් තුළ වාසය කරන එම කාන්තාවෝ ශුක දෙවගේ කඩවසම් ස්වරූපය දැක ප්‍රබෝධමත් වී අභ්‍යන්තර සංයුක්තයේ තිබූ උද්‍යාන ඔහුට පෙන්වූහ. ශුක තරුණ මෙන්ම කඩවසම්ය; එබැවින් ඔහු ඉතා සුන්දර, ලස්සන අත් පා වලින් යුක්ත විය; ඔහුගේ හඬ මෘදු හා ආචාරසම්පන්න විය; එබැවින් ඔහු දෙවන අනංගයා මෙන් විය. අනංගයාගේ හී වලින් පහර කෑ සියලුම කාන්තාවන්ගේ සිහි විකල් වුවෝය. නැවත යථා තත්වයට පැමිණි ඔවුන් ශුක දෙව ආශාවන් පාලනය කරන්නෙකු ලෙස සැළකු අතර මහත් සැළකිල්ලෙන් යුක්තය එතුමාට සේවය කරන්නට විය. අරනියෙන් උපන් පවිත්‍ර ශුක දේව ඔවුන්ව දුටුවේ මාතෘත්වය මුසු හැඟීමෙනි.

62-66. සංතුෂ්ටියෙන් තෘප්තිමත් වන කෝපය පාලනය කෙරූ ශුක කිසිවක් පිළිබඳව තෘප්තිමත් හෝ අප්‍රසාදයට පත් නොවන්නේය. කාමුක හැඟීම් වලින් ස්ත්‍රියන් කැළඹී සිටින බව දුටුවද, ඔහු නිහඬව සංසුන් සහගතව රැඳී සිටියේය. කාන්තාවන් විසින් ශුක දෙවට සැතපීම සඳහා පිරිසිදු ඇතිරිල්ලකින් සහ කොට්ටයකින් යුත් අලංකාර යහනක් සකසා දුන්නාය. පසුව සුපරීක්ෂාකාරීව පා දොවනය කර තම සන්ධ්‍යා වන්දනය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ධ්‍යානයෙහි සම වැදුනේය.  හෝරා ත්‍රිත්වයක් පරබ්‍රහ්මන් කෙරෙහි ධ්‍යාන වැඩු පසු එතුමා හෝරා සයක් සැතපුනේය. අලුයම අවදි වූ එතුමා බ්‍රහ්ම මුහූර්තයේදි (සූර්‍ය උදාවට හෝරාවකට පෙර) ස්නානය කොට උදෑසන වන්දනාවන් සිදුකොට සමාධියට ගියේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහහත්වන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.