Wednesday 23 August 1995

ජනකගෙන් ශුක දෙවට උපදෙස්



1-4. සූත පැවසිය: ඕ මහාඍෂි වරුනි තම ගුරුවරයාගේ පුත්‍ර ශුක දේවගේ පැමිණිම ශ්‍රවණය කෙරූ ජනක රජු  තම පූජකයා ඔහු ඉදිරියට ගෙන ගිය අතර තම අමාත්‍යවරුන් සමඟ එතුමා ඉදිරියට පැමිණියේය. ඉක්බිතිව ශුකට නිසි ලෙස නමස්කාර කරමින් පාද්‍ය, ආර්ග්‍ය, ආසන සහ නැවුම් ක්ෂීරය පිළිගන්වා ඔහුගේ සුභසාධනය පිළිබඳව විපරම් කරේය. ශුක දෙව රජු විසින් පූජා කරන ලද සියළුම දේ නිසි ලෙස පිළිගෙන පසුව ඔහු රජුගේ සෞඛ්‍ය හා යහපැවැත්ම පිළිබඳව ද විමසීය. එතුමා සංසුන්ව අසුන් ගත් පසුව ජනක රජු මෙසේ විමසිය.

5. "ඕ මහාභාග මුනසත්තම! ඔබ කිසිදු බැඳීමකින් තොර වන අතර ඔබට ආශාවන් නොමැත. ඔබ වැනි ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයෙක් මා වෙත පැමිණියේ ඇයිද කියා මම විමසා බැලිය යුතුයි."

6-8. ශුක දෙව පැවසිය; "ඕ උත්කෘෂ්ට නිරිදුනි! මාගේ පියාණන් මෙසේ පැවසීය: ඕ පුත්‍ර! ගෘහස්ථ දිවිය ඉහළම ආශ්‍රම ධර්මය වන බැවින් බිරිඳක් ලබා ගන්න. එනමුත් එය සංසාර බැඳීමක් ලෙස මා සිතූ බැවින් එතුමා මාගේ ගුරු වූවද එතුමාගේ වදන් වලට මා අවනත නොවූයෙමි. ඉන්පසුව යළිත් එතුමා හට මෙසේ පැවසිය: යමෙකු ගෘහස්ථ දිවිය පිළිගැනීම යනු ඔහු වහල් බාවයට පත්වීම නොවේ. මෙසේ පැවසු විටද මා එයට එකඟ නොවීය. එවිට මුනිවරයා, මම තවමත් යම් සැකයකින් පසුවිය යුතු යැයි සිතමින්, මෙම අවවාදය මට ලබා දුන්නේය."  

9-12. "ඕ පුත්‍ර! කණගාටු නොවන්න; මිතිලා වෙත ගොස් ඔබගේ ගැටලු විසඳාගන්න. එහි මාගේ ගෝලයකු වන ජනක රජු කිසිඳු අන්තරාවකින් තොරව තම රාජ්‍ය පාලනය කරන්නේය. ඔහු ජීවනමුක්තිය ලබා ඇති අතර ඔහු කිසිඳු අපේක්ෂාවකින් තොරය, එය සියල්ල දන්නේය. එම රාජකිය මුනි ජනක මායාවට නොබැඳි රාජය පාලනය කරන්නේ නම් ඕ පුත්‍ර! ඔබ වනවාසයෙහි සිටින විටත් මේ සංසාරයට බිය වන්නේ කිමද? එබැවින් ඕ මහාභාග! මා විශ්වාස කොට විවාහ වන්න; ඔබට බොහෝ සැක නම්, ගොස් ජනක රජු හමුවන්න; ඔහුගෙන් අසා ඔබේ සැක දුරු කරගන්න. ඔහු ඔබගේ සැකයන් නිසැකවම දුරු කරනු ඇත. නමුත් ඕ පුත්‍ර! ඔහුට සවන් දුන් විගසින් නැවත මා වෙත පැමිණෙන්න." 

13-14. "ඕ රජතුමනි! මාගේ පියාණන් මෙසේ පැවසු විට එතුමාගේ අවසරය ඇතුව මා ඔබගේ අගනුවර වෙත පැමිණියෙමි. ඕ රජතුමනි! මෝක්ෂය හැර අන් කිසිවක් මට අවශ්‍ය නොවේ; එබැවින් ඕ නිෂ්පාපි තැනැත්ත! මා හට මෝක්ෂය ලබාගත හැකි ආකාරය පවසනු මැනවි. ඕ නිරිදුනි! තපස් රැකීම, ශුද්ධ වූ ස්ථානයන්ට යාත්‍රා කිරීම, වෘතයන් සමාදන් වීම,  යාගයන් සිදු කිරීම,  වේදයන් අධ්‍යනය කිරිම හෝ ප්‍රඥාව වඩවා ගැනීම ආදියෙන් මෝක්ෂය සඳහන් කුමක් හේතු වන්නේද යන්න කරුණාකර මා හට පවසන්න."

15-22 මෙය ඇසු ජනක ඉක්බිතිව මෙසේ පැවසිය: "මාගේ ගුරුවරයාගේ පුත්‍රයානෙනි! මෝක්ෂය ලැබීම පිණිස බ්‍රාහ්මණයන් විසින් කුමක් කළ යුතුද යන්න මා පවසමි; අසන්න. උපනයනය කිරීමෙන් අනතුරුව බ්‍රාහ්මණයකු තම ගුරුවරයා සමීපයෙහි රැඳෙමින් වේද, වේදාන්ත හැදෑරිය යුතුය. පසුව නියමිත විධි විධානයන්ට අනුකූලව ගුරු දක්ෂිණා ලබාදී තම නිවසට පැමිණ විවාහ වි ගෘහස්ථ දිවියට ඇතුලත් විය යුතුය. ඔහු තෘප්තිමත් දිවියක් ගත කළ යුතු අතර, ආශාවන්ගෙන් තොර, පාප රහිත හා සත්‍යවාදී විය යුතුය. පවිත්‍ර හදවතකින්, යුක්තියේ සහ හෘද සාක්‍ෂියේ අනුමැතියට අනුකූලව සිය ජීවනෝපාය උපයා ගත යුතුය. ඔහු අග්නිහොත්‍ර (අග්නියට ගිතෙල් පුදමින් කරන යාගයන්) සහ අනෙකුත් යාගයන් සිදු කළ යුතුය. පුත්‍රයන්, මුනුබුරන් ලැබූ පසු තම පතිනිය පුත්‍රයන්ගේ සෙවනෙහි තබා වානප්‍රස්ථ අවස්ථාවට ඇතුළත් විය යුතුය. ධර්මදර බ්‍රාහ්මණයා තපස ප්‍රගුණ කළ යුතු අතර සය ආකාරයේ කාමයන් (කාම, ක්‍රෝධ, ලෝභ, මද, මෝහ, මාත්සර්‍ය) යටපත් කළ යුතුය. ඔහුට සංසාරික සැපය පිළිකුල් වූ කල ඔහු තුළ විරාගය හටගන්නේය. ඔහු සිව්වන ආශ්‍රම ධර්මයට ඇතුළත් විය යුතුය. මිනිසා ගෘහස්ථ දිවියට ඇතුළු වී ඔහු තුළ ලෞකික දිවිය කෙරෙහි පිළිකුලක් ඇති වු කල සන්‍යාස ආශ්‍රමයට ඇතුළු වීමට ඔහුට හිමිකමක් ඇත. මෙයට පටහැදි කිසිවෙකුට සන්‍යාස ආශ්‍රයමයට ඇතුළු වීමට හිමිකමක් නොමැත. මෙය වේදයන්ගේ ඵලදායි වදනක් වන අතර එය සත්‍ය විය යුතුය. එය අසත්‍යක් විය නොහැක; මෙය මාගේ දැඩි විශ්වාසයයි. ඕ ශුක! වේදයන් තුළ සංස්කාරයන් හතළිස් අටක් දක්වා තිබේ; එයින් සංස්කාර හතළිහක් ගෘහස්ථ දිවිය වෙනුවෙන්ද, අවසාන සංස්කාර අට සන්‍යාසියන් වෙනුවෙන්ද වෙන්කොට තිබේ. මෙම පිළිවෙත පුරාණ කාලයේ සිට පැවත එන්නකි. 
බ්‍රාහ්මණයෙක් ඔහුගේ පෙර පැවති ආශ්‍රම ධර්මය අනුපිළිවෙලින් සම්පූර්ණ කළ යුතු අතර පසුව මීලගට පැමිණෙන ආශ්‍රම ධර්මයට ඇතුළු විය යුතුය."

23. ශුක පැවසිය: "පාරිශුද්ධ විරාගී පුද්ගලයකු තුළ ගෘහස්ථ ආශ්‍රමයට පෙර ඥානය සහ විඥානය අවධි වූයේ නම්, ගෘහස්ථ, වානප්‍රස්ථ යන ආශ්‍රම ධර්ම වලට යෑම අවශ්‍යමද? නැතහොත් එක වරම සන්‍යාස ආශ්‍රම ධර්මය භාරගෙන සියල්ල අත් හැර වනවාසයට යා හැකිද?"

24-29. "ඕ ශාස්ත්‍රයන්ගේ සහ ආචාර්යවරුන්ගේ ගෞරවාන්විත පුද්ගලය! අපරිපූර්ණ යෝග අවධිය (අසම්පූර්ණ යෝගී තත්වය) තුළ බලවත් ආශාවන් පාලනය කළ හැකි බවක් පෙනෙන්නට තිබුණත්, යමෙකු එය විශ්වාස නොකළ යුතුය. අසම්පූර්ණ යෝගින් තුළ පංචේන්ද්‍රියන්ගෙන් ඇතිවන අරමුණු ඔස්සේ බාධා පැමිණීම සාමාන්‍යන් දැකිය හැකි දෙයකි. දැනටමත් සන්‍යාස ආශ්‍රමයට ඇතුළත් වී ඇති අයෙකුගේ මනස ඔහුගේ ගමන් මග තුළ ව්‍යාකූල වුවහොත් ඔබම මෙය බලන්න, යහපත් දේ ආහාරයට ගැනීම, සුව නින්දක් ලැබීම, තම පුත්‍රයකු දැකීමට හෝ වෙනත් ආශාවන් ඔහුගේ පිරිහීමට තුඩු දෙන බව දැන දැන ඔහු කෙසේනම් තෘප්තිමත් කර ගම්ද? එවිට ඔහු සිටින්නේ ඉතාමත් බරපතල තත්ත්වයක ය. කෙදිනක හෝ නොමැරෙන ආශාව නම් ජාලය මනුෂ්‍යයන් විසින් එකවර පරාජය කිරීමට ඉතා අසීරු ය. එසේනම් එම ආශාවන් සිඳීමට දිය හැකි අවවාදය නම් ඒවා සෙමින් සෙමින් ක්‍රමානුකූලව අත්හැරිය යුතු බවයි. උස් වූ ස්ථානයක නිදන පුද්ගලයකුට එම ස්ථානයෙන් ඇද වැටිමේ අවදානමක් පවති; එනමුත් පහත් ස්ථානයක නිදන අයෙකුට එවැනි අනතුරක් නොමැත්තේය. එබැවින් යමෙකු එක්වරම උත්කෘෂ්ට සන්‍යාස ආශ්‍රම ධර්මය වෙත ගොස් එයින් පිරිහුණොත් ඔහුට කිසිසේත් ප්‍රකෘති මාර්ගය වෙත යළි පැමිණිය නොහැකිය. වෘක්ෂයක මූලයෙන් ගමන් ආරම්භ කෙරූ කුහුඹුවෙකු ක්‍රම ක්‍රමයෙන් එහි ඉහලම ශාඛාවන්ට පැමිණෙන්නා සේ, මනුෂ්‍යයන්ද එක් එක් ආශ්‍රම ධර්මයන් ප්‍රගුණ කරමින් ඉහළට පැමිණිය යුතුය. අපේක්‍ෂිත සත්‍යය පහසුවෙන් ලබා ගැනීමට ඔවුන්ට හැකි වන්නේ එවිට පමණි. කිසිදු අනතුරක් අපේක්ෂා නොකර ඉතා වේගයෙන් අහසට නගින පක්ෂීන්ට ඉතා සීඝ්‍රයෙන් වෙහෙස උදාවන අතර ඔවුන්ට අපේක්ෂිත ස්ථානයට ලඟා වීමට නොහැකි වන්නේය. නමුත් කුහුඹුවන් වනාහි ඉතා සෙමින් අපේක්ෂිත ගමනාන්තය කරා යයි."

30-34 "මනස පාලනයට ගැනීම ඉතාමත් අපහසු වන්නේය; මෙය හේතුකොට අපරිපූර්ණ මනසක් සහිත මනුෂ්‍යයන් හට සියල්ල එක්වර ප්‍රාප්ත කරගැනීම අපහසුය. එබැවින් එක් එක් ආශ්‍රම ධර්මය සම්පූර්ණ කරමින් ඉදිරියට ගමන් කිරීමට ඔවුනට උපදෙස් ලබා දේ. බලන්න යම් අයෙකු තම ගෘහස්ථ අවධියෙහි සිටිමින් ක්‍රෝධය පාලනය කරමින්, බුද්ධිය වඩවා ගනිමින්, ඔහු සාර්ථකත්වය සහ අසාර්ථකත්වය එකම ආකාරයකින් ගෙන, ප්‍රීතිමත් අවස්ථාවන්හී ප්‍රීති නොවී, දුක්ඛිත අවස්ථාවන්හී වේදනාවට පත් නොවී, සැලකිල්ලෙන්, ඔහුගේ මනස ව්‍යාකූල නොකර රාජකාරිය වෙනුවෙන් තම යුතුකම ඉටු කරයි නම් එවිට එම ගෘහපතියා ස්වකීය අවබෝධය තුළින් නිර්මල සංතුෂ්ටිය ලබා මෝක්ෂය ප්‍රාප්ත කරගනි. මෙහි කිසිදු සැකයක් නැත. ඕ නිර්මල තැනැත්ත! බලන්න, මම රාජ්‍යය සංරක්ෂණය කිරිමෙහිලා නිරතව සිටියත්, ජීවත්ව සිටියදීම මා නිදහස් වන්නෙමි. දුක සැප යන දෙආකාරය පැන නැගුණු කල්හී මා හට ඒවායෙන් කිසිඳු බලපෑමක් නොමැත. මා විදේහ මුක්තිය (මරණයෙන් පසු විමුක්තිය) ලබා ඇත්තාක් සේ, මා මාගේ ස්වකීය ඉච්ඡාව අනුව සැරිසරන්නෙමි, මා කැමති පරිදි විවිධ දේ භුක්ති විඳිමින්, මා රුචි දෑ සිදු කරයි. එබැවින් ඔබට ඔබේ යුතුකම් ඉටු කර අවසානයේදී මුක්තිය ලැබිය හැකිය."

35-41. "ඕ මා ගුරු පුත්‍රය! වේදාන්ත ශාස්ත්‍රයන්ට අනුකූලව මෙම බෞතික ලෝකයෙහි සමස්ථ අවිද්‍යාවන්ට හේතුව වන්නේ බෞතික දෘෂ්ටියයි. එසේනම් කෙසේද මෙම බෞතික දෘෂ්ටිය බෞතික නොවන පරමාත්මය කෙරෙහි බැඳීමෙහි ප්‍රභවය වන්නේ? ඕ බ්‍රාහ්මණය! පංච මහාභූතයන් බෞතිකව දැකිය හැකි නමුත් ඒවායේ ගුණ දැනගැනීමට හැක්කේ අනුමානයන් තුළින් පමණි. එමෙන්ම ආත්මයද අනුමානයකි; එය කිසිදා බෞතික දෘෂ්ටියට හසු නොවන්නේය. (මෙය ආත්මය යනු පරමාත්‍මයත්, ජීව යනු ජිවියා තූළ පවතින ආත්මයත් වේ.) එමෙන්ම ආත්මයද නොවෙනස් වන කිසිඳු බෞතිකත්වයකට හසු නොවෙන්නා වූ අනුමාන ස්වභාවයකි. ඕ බ්‍රාහ්මණය! මෙම අපවිත්‍ර හෘදය සමස්ථ දුක සැපයන්ගේ මූලයයි; එබැවින් හෘදය පවිත්‍ර වූ කල සියල්ලම පවිත්‍ර වනු ඇත. අපවිත්‍ර හෘදයක් සහිත වූවෙක් තීර්ත යාත්‍රාවන්හි නිරත වීමෙන් (වන්දනා ගමන්) ශුද්ධ වූ ස්ථානයන්හී ස්නානය කිරීමෙන් සියලු පීඩාවන් දුරුවන්නේය. ඕ ශතැ නාශකය! මෝහයට සහ මූක්තියට හේතු වනුයේ මනස මිස ජිවාත්මය (ජිවියා තුළ අන්තර්ගත ආත්මය) හෝ සංඥාවන් නොවේ. පරමාත්මය නිරන්තරයෙන් පවිත්‍රමය විඥානයයක් සේම සදා මුක්තය; සත්‍යවශයෙන්ම කිවහොත් එය කිසි විටෙකත් බැඳිය නොහැක. මෝහය සහ මුක්තිය පවතින්නේ මනස තුළ පමණි. එබැවින් මනස නිදහස් වූ කල සංසාර බන්ධනයන්ද අවසන් වන්නේය."

41-43. "ඔහු සතුරෙකි, ඔහු මිතුරෙකි, ඔහු සතුරෙක් හෝ මිත්‍රයකු නොවන්නේය, මේ ආකාරයේ විවිධාකර සිතිවිලි මනස තුළ පැන නගින්නේ ද්වෛතය (ද්විත්වභාවය) හේතුකොටගෙන ය. සියල්ල එකම ආත්මයකින් ව්‍යාප්ත වන කල මෙවැනි එකිනෙකට වෙනස් වූ චෛතසිකයන් පවතින්නේ කෙසේද? ජීව (ජිවියාගේ ආත්මය) යනු බ්‍රහ්මන් (සර්බලධාරී එකම දෙවියන් වහන්සේ) වේ; මා එම බ්‍රහ්මන් වන අතර අන් කිසිවක් නොවන්නේය; මෙහි සාකච්ඡා කිරීමට කිසිවක් නැත. ඒක දේවත්වය නොපැහැදිලි වනුයේ මෙම ද්විත්වභාවය හේතු කොටගෙනය. එවිට ජීව සහ බ්‍රහ්මන් (එක් එක් ආත්මය සහ දෙවියන් වහන්සේ)  අතර වෙනකම් හටගන්නේය. (ද්වෛතය හටගන්නේ මායාව හේතුකොට ගෙනය.) ඕ මහාභාග! මෙම වෙනස්කම් හටගන්නේ අවිද්‍යාව හේතුවෙන් වන අතර විද්‍යාව හේතුවෙන් ඒ සියල්ල විනාශ වන්නේය."

යා දේවී සර්වභුතේශු විද්‍යා රූපේණ සංස්තිතා - සියල්ල තුළ විද්‍යාව නම් ස්වරූපයෙන් සිටින දේවිය.

44-47. "සූර්‍යාගේ උණුසුම පළමුව නොවිඳ කෙසේ නම් සූර්‍යා රහිත සිසිලස විදින්නේද? එමෙන්ම අවිද්‍යාව නොවිඳ විද්‍යාව අත්විඳින්නේ කෙසේද? ගුණයන්ගෙන් නිර්මිත සියල්ල තුළ සත්ත්ව, රජස් සහ තමස් ගුණ ස්වභාවයෙන්ම පවතින්නේය. ධාතුන් වලින් නිර්මිත සියලු වස්තූන් තුළ ස්වභාවිකම පංච මහාභූතයන් පවතින්නේය. එබැවින් ඉන්ද්‍රියයන් ස්වභාවයෙන්ම ස්වකීය ස්වරූපයෙන් වාසය කරයි. එසේ නම් බන්ධනය නොවූ පරමාත්මයේ යම් කැලලක් ඇති වන්නේ කෙසේද? කෙසේ වෙතත්, මනුෂ්‍යත්වයට ඉගැන්වීම සඳහා උසස් ආත්මයක් සහිත පුද්ගලයින් සෑම විටම ඉතාමත් ගෞරවයෙන් වේදයන් ආරක්ෂා කරති. ඔවුන් එසේ නොකරන්නේ නම්, ඕ පාපයෙන් තොරවූ පුද්ගලය! එවිට ඔවුන් චාර්වාකයන් (චාර්වාක හෙවත් ලොකායත යනු කර්මය, අන්තර් භවය, ආත්මය, මුක්තිය සහ වේදයන් සියල්ල ප්‍රතික්ශේප කරන පෞරාණික ඉන්දියානු ගුරුකුලයකි) සේ තම සිතැඟි පරිදි කටයුතු කරන්නේය. ධර්මය ශේෂ වී යයි. ධර්මය ශේෂ වූ කල ආශ්‍රම ධර්මයන්ද විනාශ වන්නේය; එබැවින් යහපත් ඇත්තන් නිරන්තරයෙන් වේදයේ මාවත අනුගමනය කල යුතුය." 

48- ශුක පැවසිය: "ඕ රජුනි! ඔබ පැවසු සියල්ල මා දැන් ශ්‍රවණය කරමුත් මාගේ විචිකිච්ඡාවන් තවමත් ශේෂව පවති; ඒවා විසඳී නැත. ඕ රජතුමනි! වෛදික ධර්මය තුළ හිංසාව පිළිබඳව සඳහන් වන්නේය; අප හිංසාව හේතුවෙන් බොහෝ අධාර්මික ක්‍රියාවන් ශ්‍රවණය කරන්නෙමු. එසේනම් වෛදික ධර්මය කෙසේ නම් මෝක්ෂය ලබා දෙන්නේද? ඕ නිරිදුනි! වේදයන්හී ආකාරයට සෝම රසය (පුරාණ කාලයේ ආර්යයන් විසින් භාවිතා කරන ලද මධ්‍යසාර පානයක්) පානය කරනු, සත්ත්ව හිංසනය සිදුකරනු, මස් මාංශ අනුභව කරන ආකාරය යම් අයෙකුට තම දෑසින් බලාගත හැකිය. කෙතරම්ද යත්, සෞත්‍රාමණ නම් පූජාවේදී සුරාව පානය කිරීම සහ අනෙකුත්  වෘතයන් පිළිබඳව පැහැදිලිව සඳහන් කර ඇත. කොටින්ම වේදයන්හී සූදුව පවා අනුමත කරන්නේය. එවැනි වෛදික ධර්මයකින් කෙසේ නම් මුක්තිය ලබන්නද?  පුරාණ කාලයේ ජිවත් වූ ඉතා ධාර්මික, ස්වාධීන ශශබින්දු නමින් නරපතියෙකු පිළිබඳව අසා ඇත්තෙමි. ඔහු සත්පුරුෂයින් ආරක්ෂා කළ අතර දුෂ්ටයන්ට හා අයාලේ යන පිරිස් හට දඩුවම් කළේය. ඔහූ වේදයන්ට අනුකූලව විශාල වශයෙන් ගවයන් සහ බැටළුවන් බිලි දුන් යාගයන් බොහෝ පැවැත්වුයේය. තම යාගයන්ට සහභාගි වූ සියල්ලන් හටම ඔහු දක්ෂිණා ලබා දුන්නේය. මෙම පූජාවලදී, බිලි ලෙස පූජා කරන ලද ගවයින්ගේ හම් විශාල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබුණේ දෙවන වින්ද්‍යා පර්වතය මෙනි. එවිට වර්ෂාව ඇද හැලුණු පසු එම අති විශාල සම් ගොඩෙන් පිටවන අපිරිසිදු ජලය පහළට ගලා ගොස් එතැනින් චර්මණ්වතී නදිය නමින් ගංගාවක් උත්පාදනය විය. කෙතරම් පුදුමයක්ද? එම කුරිරු නරපති ඔහුට කියා නිම කළ නොහැකි කීර්තියක් අත්හැර ස්වර්ගයට ගියේය. එය කුමක් වුවත්, බොහෝ ඝාතන හා කෘරත්වයෙන් පිරී ඇති වේද ධර්‍මය මා අනුගමනය කළ යුතුයි යන්න කිසි දින මාගේ මනසට නොපැමිණේ. එමෙන්ම මනුෂ්‍යයන් ලිංගික ක්‍රියාවන් ඔස්සේ තෘප්තිය ලබන කල ඔවුන්ට එය නොලැබුණු විට ඔවුන් දුකට පත් වේ, එවැනි පුද්ගලයන් මුක්තිය ලබන බව ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?" 

57-60. ජනක පැවසිය: පූජාවකදි සත්ත්වයන් ඝාතනය කිරීම ඝාතනයක් නොවන්නේය; එය අහිංසාවක් ලෙස සළකන්නේය. නමුත් එම අහිංසාව කිසිඳු ආත්මාර්ථකාමී අපේක්ෂාවකින් තොර විය යුතුය එවැනි පූජාවක් නොමැති විට සහ ආත්මාර්ථකාමී චේතනාවකින් යුක්තව සත්ත්වයන් ඝාතනය කරයිද එය හිංසාවකි; මේ පිළිබඳව වෙනත් මතයක් නොමැත. ගින්නක් තුළ ඉන්ධන ඇති විට දුමාරයක් මතු වේ, ඉන්ධන එකතු නොකරන විට දුම නොපෙනේ. ඕ මුනිසත්තම! වේදයන්හී අනුමත කරන හිංසාවන් සියලු පැල්ලම්ගෙන් තොරය, එබැවින්, එයට අපහාස කළ නොහැකි ය. මෝහයෙන් යුක්ත පුද්ගලයන් විසින් හිංසා සහගත චේතනාවෙන් යුක්තව සිදු කරන හිංසාවන් සත්‍ය වශයෙන්ම හිංසාවන් වන්නේය; එයට දොස් පැවරිය යුතුය, එනමුත් මෝහයෙන් මිදුණු පුද්ගලයන් විසින් හිංසා සහගත චේතනාවකින් තොරව කරන හිංසාවන්, සත්‍ය වශයෙන්ම හිංසාවන් නොවන්නේය.  (වර්තමානයේ දේවිය උදේසා බිලි යාගයන් සිදු  කරන පුද්ගලයන් මෝහයෙන් මිදුණු ප්‍රාණගාත චේතනාවකින් තොරව සිටින පුද්ගලයන්ද? චේතනාව අනුව තම කර්මය සැකසේ.) එබැවින් වේදයන්හී පවතින හිංසාවන් සිදු කළ යුත්තේ මෝහයෙන්, අහම්කාරයෙන් තොර වු පුද්ගලයන් බව ප්‍රඥාවන්තයන් දන්නේය.

61-61. ඕ ද්විජ! සත්‍ය පැවසුවහොත් බෞතික ආශාවන්ට, පංචේන්ද්‍රියන්ට යම් ආකාරයකින් හෝ බැඳුණු පුද්ගලයකු කුමන හෝ හේතුවක් උදෙසා සත්ත්ව ඝාතනයක් සිදු කරයිද, එය සැබෑ ප්‍රාණඝාතයක් වන්නේය. එනමුත් ඕ මහාභාග! තම හෘදයෙන්ම කිසිදු ලෞකික ආශාවකට නොබැදුනු, මෝහයෙන් මුක්ත, ස්වයං පාලනය සහිත මෝක්ෂය පමණක් තම ඉච්ඡාව වන පුද්ගලයන් කිසිදු ප්‍රාණගාත චේතනාවකින් තොරව තම කර්තව්‍ය උදෙසා හිංසාවක් සිදු කරයිද එය ප්‍රාණඝාතයක් ලෙස නොසැළකේ. 

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහඅටවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.