Sunday 27 August 1995

ශුකගේ විවාහය

 


1-6. ශ්‍රී ශුක පැවසිය: "ඕ රජුනි! මාගේ මනස තුළ මෙම විශාල ගැටලුව පැන නැගුනි, මායාවෙන් යුක්ත සංසාරය මධ්‍යයේ ජීවත් වන්නා වූ මනුෂ්‍යයා ඉච්ඡාවන් හා කර්ම ඵලයන්ගෙන් මුක්ත වන්නේ කෙසේද? ශාස්ත්‍රයන් ඔස්සේ ප්‍රඥාව අවධි කර සත්‍ය අසත්‍යතාව තෝරා ගැනීමෙහි හැකියාව ප්‍රාප්ත වුවද, යමෙක් යෝග පුහුණුව සඳහා යොමුවන තාක්, මානසික භ්‍රාන්තිය දුරු නොවන්නේය. එසේනම් ගිහියෙකු හට කෙසේනම් අමෝහය සහ මුක්තිය පැමිණෙන්නේද?  අඳුරු කුටියක පවතින අන්ධකාරය කුඩා පහනකින් සම්පූර්ණයෙන්ම දුරු නොවන්නා සේ, ශාස්ත්‍රයන් ඔස්සේ ලබා ගන්නා ප්‍රඥාව මනුෂ්‍යයාගේ අභ්‍යන්තරය පාලනය කරන මායාව නම් අන්ධකාරය කිසි විටෙකත් දුරු නොකරන්නේය. ඕ නරපතිය! යම් අයෙකුට මෝක්ෂය අවශ්‍ය වන්නේ නම් ඔහු පළිගැනීම, හිංසාව හෝ ප්‍රාණඝාත ආදියෙන් වැළකි සිටිය යුතුය; එසේනම් ගිහියකුට මෙය කෙසේනම් කළ හැකිද? ධනය ලබා ගැනීමට, රාජකීය සැප සම්පත් භුක්ති විඳීමට, සංග්‍රාමයන්හී විජයග්‍රහණය ලබා ගැනීමට ඔබේ ඇති ආශාවන් යටපත් වී නොමැත; එසේනම් ඔබ ජීවනමුක්තිය ලබා තිබෙන්නේ කෙසේද? ඕ රජතුමනි! ඔබ තවමත්, සොරෙකු සොරෙකු ලෙසත්, සාන්තුවරයකු සාන්තුවරයකු ලෙසත් දකින්නේය; ඔබ මනුෂ්‍යයකු සලකන්නේ ඔබේ ඥාතියකු ලෙස හෝ වෙනත් අයෙකු ලෙස ය. මෙම චෛතසිකයන් ඔබෙන් පහව ගොස් නැත; එසේනම් ඔබට විදෙහ ලෙස ආමන්ත්‍රණය කරනුයේ කෙසේද?" 

7-16 "ඕ රජුනි! තියුණු, කටුක, කහට, ඇඹුල් රසය සහ ඒ හා සමාන රසයන් ඔබට දැනේ; ඔබට සාර්ථකත්වය උදාවූ කල ඔබ සතුටු වන අතර අසමත් වූ විට දුකට පත් වේ. ඔබ සාමාන්‍ය මනුෂ්‍යයන් මෙන් ජාග්‍රත් (අවදිය) , ස්වප්න (සිහිනය) සහ ශුෂුප්ති (ගැඹුරු නිද්‍රාව) යන අවධීන් ත්‍රිත්වය විඳින්නේය. එසේනම් ඔබ තුරීය අවස්ථාව ලබාගත් අයකු සේ හඳුන්වන්නේ කෙසේද? මේ පාබල, අශ්වාරෝහක, අශ්ව රථ සහ සමස්ථ හස්තීන් මාගේය; මා සමස්ථ ධනයන්ගේ ස්වාමියා වන සේක යන මෙම අදහස් අගය කරන්නේද අගය නොකරන්නේද? මා සිතන්නේ ඔබ මිහිරි  හා ගුණවත් දෑ අනුභව කරන අතර ඇතැම් විට සතුටක් දැනෙන අතර තවත් විටෙක වේදනාවක් දැනෙනු ඇත! එබැවින් ඕ රජුනි! ඔබ මල් දමක් සහ සර්පයකු දෙස එක හා සමාන ලෙස බලන්නේ කෙසේද? ඕ රජුනි! මුක්තපුරුෂයකු පස් මිටක්, පාෂාණ කොටසක් සහ රත්‍රන් කොටසක් එක හා සමාන වටිනාකමකින් දකින්නේය; ඔහු පිළිගන්නේ සියල්ල එක් ආත්මයක් වන අතර එය සමස්ථ ජීවීන්ට යහපත සලසන බවයි. එය කුමක් වූවද, මා ලෞකික සැපයන් කෙරෙහි රුචි නොවන්නේය. මාගේ හෘද ආශාව නම්, මම කිසි විටෙකත් හදවතේ ආශාවන් නොමැතිව තනිවම සැරිසැරීමයි. එබැවින් කිසිඳු බැදීමකින් තොරව ශාන්තව සිටීම උදෙසා මා සහකරුවෙකු තෝරාගැනීමට නොකැමැත්තෙමි. මා කිසිවෙකුගෙන් කිසිවක් පිළිගැනීමට අපේක්ෂා නොකරමි. ශීත, උණුසුම ආදියෙන් ලැබෙන සියලු සැප සම්පත් සහ වේදනාවන් මා අත්හරිමි. මා කිසිදු උත්සාහයකින් තොරව ලබා ගත් ඵල වැල මත මාගේ ජීවිතය පවත්වා ගෙන මුවෙකු සේ සැරිසරන්නෙමි. ගෘහ ජීවිතය කෙරෙහි අවම බැඳීමක් හෝ මාහට නොමැති විට, මා සියලු ගුණාංග ඉක්මවා සිටින විට නිවසකින්, ධනයෙන් හෝ බිරිඳකගෙන් මාහට ඇති ඵලය කිම? එමෙන්ම විවිධ දෑ පිළිබඳව ඔබ ඇල්මෙන් සිතමින් ඔබ ජීවන මුක්තිය ලබා තිබෙන බව පවසන්නේ නම්,  එය ඔබේ හුදු අහංකාරයක් මිස අන් කිසිවක් නොවේ. ඕ මහරජ! ඔබ ඔබගේ සතුරන්, ධනය හෝ ඇතැම් විට ඔබගේ සේනාව පිළිබඳව සිතා කනස්සල්ලට පත්වන විට, ඔබ කෙසේනම් සිත්තැවුලින් නිදහස් බව පවසන්නේද?"

17-27. "ලෝකයේ ව්‍යාජභාවය අවබෝධ කරගත් මුනිවරුන් මධ්‍යස්ථව ආහාර ගනිමින් සහ ඔවුන්ගේ ඉන්ද්‍රියයන් පාලනය කරමින් සන්‍යාස දිවියක් ගත කරන කල්හි මායාවෙහි ගොදුරක් බවට පත්වන විට, ඔබ ගැන කවර නම් කතාද? ඕ රජුනි!  අඥාන පුද්ගලයකුට විද්‍යාධර ලෙසින් ආමන්ත්‍රණය කරන්නා සේ උපතින් අන්ධ පුද්ගලයකුට දිවාකර ලෙසින් පවසන්නා සේ, දිළිඳු මනුෂ්‍යයකුට ලක්ෂ්මීධර ලෙසින් පවසන්නාක් සේ ඔබගේ ප්‍රවේණි නාමය වන විදෙහ නාමයද මා හට තරමක් නිෂ්ඵල වන්නේය. ඔබේ පූර්වගාමීන් වූ ඔබේ පවුලේ රජවරුන් ක්‍රියාවෙන් නොව නාමයෙන් පමණක් "විදෙහ" ලෙස හැඳින්වූ බව මා අසා ඇත්තෙමි. ඕ භූපතිය! ඔබේ පවුලේ “නිමි” නම් රජෙක් විය. එක් කාලයක ඔහු තම ගුරු වසිෂ්ඨ හට යාගයක් සඳහා කල අතර, එවිට උන්වහන්සේ මෙසේ පැවසිය: දේවතාවුන්ගේ නිරිදුන් වන ඉන්ද්‍ර විසින් යාගයක් සඳහා මාහට දැනටමත් ආරාධනා කොට තිබෙන්නේය. එබැවින් ඕ රජතුමනි! පළමුව ඔහුගේ කාර්‍ය අවසන් කිරීමට මාහට ඉඩදෙන්න; ඉන්පසුව මා ඔබගේ කාර්‍යය ඉටු කරන්නෙමි. මාගේ එම කාර්‍ය සම්පූර්ණ කරන තුරු ඔබ පූජා භාණ්ඩ රැස් කිරිම සුදුසු වන්නේය. මෙලෙස පවසා වසිෂ්ඨ ඍෂි ඉන්ද්‍රගේ යාගයට සහභාගි වූ අතර නිමි වෙනත් මුනිවරයෙක් තම ගුරු ලෙසින් පිළිගෙන යාගය ආරම්භ කළේය. මේ සියල්ල දැනගැනීමෙන් කෝපයට පත්වූ මහාඍෂි වසිෂ්ඨ මෙසේ ඔහුට ශාප කළේය: ඕ තම තම ගුරු අත්හළ දුෂ්ටය! තම ගුරුවරයා අත්හැරීමේ අපරාධය හේතුවෙන් අද දින නුඹගේ ශරීරය විනාශ වේවා!" එවිට රජුද ඍෂිවරයගේ ශරීරය විනාශ වන ලෙසට පෙරලා ශාප කළේය. ඒ අනුව දෙදෙනාගේම ශරීරයන් විනාශ වුණි. නමුත්, රජතුමනි! මෙම කුතුහලය මාගේ මනසට පැමිණියේය. තම ශරීරය විනාශ වූ රාජකීය මුනිවරයා පෙරලා තම ගුරුවරයාට ශාප කළේය.

28-34. ජනක පැවසිය: "ඕ බ්‍රාහ්මණයන්ගේ ස්වාමීනි! මාගේ අදහසට අනුව ඔබ පැවසු සියල්ල සත්‍යයකි; කිසිවක් අසත්‍යය නොවන්නේය. මා නමස්කාර කරන ගුරු දේවයන් මාහට පැවසු සියල්ල පරම සත්‍ය බව වටහා ගන්න. ඔබ දැන් අදහස් කරනුයේ ඔබේ පියාගේ ඇසුර අතහැර වනවාසයට යෑමටයි. එය යහපතකි! එනමුත් ඔබ නිසැකයෙන්ම මෘගයන් ආදි සත්ත්වයන් ඇසුරු කරන්නේය; එමෙන්ම බලන්න පංච මහා ධාතුන් සෑම ස්ථානයකම පවතින්නේය, එසේනම් මේ සියල්ලගෙන්ම නිදහස් වීමට ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද? එබැවින් මුනිවරය! ඔබට නිරන්තරයෙන් ආහාර පිළිබඳව සිතන්නට වන විට, ඔබ සියල්ලෙන්ම නිදහස් බව පවසන්නේ කෙසේද? එමෙන්ම ඔබ වනවාසයට ගිය කල්හි ඔබට ඔබගේ වස්තුන් කෙරෙහි සිතන්නට සිදු වේ, එබැවින් මා මාගේ රාජ්‍යය පිළිබඳව සිතීමත් ඔබ ඒ ආකාරයට ගන්න, ඔබගේ මනස තුළ විකල්ප ඥානය (සැකය, ද්වෛතය) ඇති එයින් දුරබැහැර සිට මෙහි පැමිණියේය. එනමුත් මා එවැනි කුතුහලයෙන් තොර වන්නෙමි. මා ශාන්තව මෙහි වාසය කරමි. ඕ බ්‍රාහ්මණයන්ගේ විශිෂ්ටය! මා තුළ කිසිවක් පිළිබඳව සැකය නොමැති හෙයින් මා සුවසේ ආහාර ගෙන සුවසේ සැතපෙයි. මා මෙම සංසාරය කෙරෙහි බැඳී නොමැත යන මෙම චෛතසිකය නිරන්තරයෙන් මාහට පරම ආනන්දයක් අත්කැර දෙන්නේය. නමුත් ඔබ් බැඳි සිටින බව සිතන හෙයින්, නිරතුරුවම ඔබ පීඩාවන් දැනෙන්නේය. එබැවින් බැඳී සිටින යන ඔබේ අදහස අත්හැර සංතුෂ්ටිය ලබාගන්න." 

35. ''මෙම ශරීරය මාගේ යන චෛතසිකය මෝහයට මාර්ගය වන අතර; මේ ශරීරය මාගේ නොවේ යන්න මුක්තියට මාර්ගය සපයයි. එබැවින් මෙය සත්‍ය වශයෙන්ම දැන ගන්න; මේ ධනය, රාජ්‍යය ආදි කිසිවක් මාගේ නොවන්නේය." 

36-45. සූත පැවසිය: රාජකීය මුනිවරයාගේ මෙම වදන් වලින් අතිශයින් ආනන්දයට පත් වූ ශුක සාධු! සාධු! ලෙසින් පැවසීය. ඉන්පසු ශුක කිසිඳු පමාවකින් තොරව නැවතත් ව්‍යාසගේ ආශ්‍රමයට පැමිණි අතර ව්‍යාස තම පුත්‍රයා දැක ආදරයෙන් වැළැක්වීම ගනිමින් ඔහුගේ සැපදුක විමසිය. එවිට සියලු ශාස්ත්‍රයන්ගෙන් පරිපූර්ණ වේදයන් හැදෑරීමට සදා සුදානම් වූ, බුද්ධිමත් මනසකින් යුතු ශුක දේව තම ආශ්‍රමයේ උසස් ආත්මයක් ඇති ජනකගේ රාජධානියේ තත්වය ගැන සිතමින් ඉහළම ශාන්තිය අත්විඳීමට වූවේය. ඔහු යෝග මාර්ගය තෝරාගත්තද ඉතාමත් මනෝහර, භාග්‍යවන්ත, පිවාරි නම් ඍෂි කන්‍යාවිය සරණ පාවා ගත්තේය. ඔවුන්ට දාව පළමුව කෘෂ්ණ, ගෞරප්‍රභ, භූරි සහ දෙවශෘත නමින් පුත්‍රයන් සිව් දෙනෙක්ද, දෙවනුව කීර්ති නමින් දියණියක්ද උපත ලැබීය. තපසෙහි අග්නිය හා සමාන ව්‍යාස පුත්‍ර ශුක තම දියණියව විභ්‍රාජ ගේ පුත්‍ර උත්කෘෂ්ට අනූහ හට සරණ පවා දුන්නේය. කාලයාගේ ඇවෑමෙන් අනූහට දාව කීර්ති දේවිය පුත්‍රයකු බිහි කළ අතර ඔහු පසුකාලිනව බ්‍රහ්මදත්ත නමින් රජ විය. බ්‍රහ්මන් පිළිබඳව අවබෝධය සහිත හෙයින් ඔහුව එනමින් හැදින්වුණි. පසුව ශුක දෙවගේ බෑණනුවන් වන අනූහ නාරද මුනි ගෙන් මායා බීජය (හ්‍රීම්) සහ උත්කෘෂ්ට යෝග විද්‍යාව ප්‍රාප්ත කරගැනීමෙන් අනතුරුව තම රාජ්‍යය පුත්‍රයා හට ලබා දී බදරිකා ආශ්‍රමයට ගොස් මුක්තිය ලබාගත්තේය.  දේවඍෂි නාරද ඔහු ලද මන්ත්‍රය සහ දේවියගේ කරුණාවෙහි බලපෑමෙන්, කිසිදු බාධාවකින් තොරව ඔහු තුළ බ්‍රහ්ම ඥානය අවධි වී මෝක්ෂය ප්‍රාප්ත කරගනු ලැබීය.

46-55. අනෙක් පසින් ශුක දෙව තම පියාණන් අත්හැර අලංකාර කෛලාෂ පර්වතයට වැඩම කළේය. ඔහු නිෂ්චල බ්‍රහ්මන් කෙරෙහි ධ්‍යාන වඩමින් මෙලෙස එහි කාලය ගත කළේය. කාලයාගේ ඇවෑමෙන් ශුක දෙව අෂ්ට සිද්ධීන් ප්‍රාන්ත කරගත් අතර පර්වත ශිඛරයේ සිට ඉහළ ගුවනට නැඟී එහි සැරිසරන්නට වූ අතර ඔහු දෙවන සූර්‍යයා මෙන් බබලන්නට වූවේය. ශුක පර්වත ශිඛරයෙන් නැගි සිටින විට එය ද්විත්වයකට වෙන් වී විවිධ අසුභ සංඥා පෙනෙන්නට විය. ශුක දෙව, ඔහුගේ ශරීරයේ විස්මිත දීප්තියෙන් දෙවන සූර්යයා මෙන් පෙනී සිටින විට වායුව සේ අතුරුදහන් වී පරමාත්මය හා එක්විය. ඉන්පසු දේවඍෂිවරුන් ඔහු වෙනුවෙන් ගීතිකා ගායනා කරන්නට විය. අනෙක් පසින් තම පුත්‍රයාගේ වෙන් වීම දරාගත නොහැකිව සන්තාපයට පත් ව්‍යාස දෙව වැළපෙන්නට විය. "ඕ මාගේ පුත්‍රය! අහෝ පුත්‍ර ඔබ කොහේ නික්මුනේද?" ශුක නික්මුණු ශිඛරය වෙත ගොස් හඩා වැළපෙන්නට විය. සියල්ලෙහි අභ්‍යන්තර පාලක වන පරමාත්මය තුළ වැඩ සිටි ශුක දෙව බලවත් ශෝකයෙන් හඬමින් සිටි ව්‍යාස දෙව වෙත ද්‍යෝංකාරයක් ලෙසින් මෙසේ පැවසිය: "ඕ පියාණනි! ආත්මයේ ආලෝකය හා සසදන කළ ඔබ හා මා අතර වෙනසක් නොමැත. එසේනම් ඔබ මා වෙනුවෙන් වැලපෙන්නේ කිම?" අද පවා ඉහත දෝංකාරය පැහැදිලිව ඇසෙන්නේය. තම පුත්‍රයාගේ වෙන් වීමෙන් බලවත් ශෝකයට පත් ව සිටින ව්‍යාස දෙව දුටු මහේශ්වර පැමිණ ඔහු සනසාලමින් මෙසේ පැවසීය: "ඕ ව්‍යාස දෙව! ඔබේ පුත්‍රයා යෝගීන් අතර ප්‍රමුඛයා ය; ස්වයං පාලනයක් නැති සාමාන්‍ය මිනිසුන්ට ඉතා කලාතුරකින් ප්‍රාප්ත වන ඉහළම තත්වය ඔහු ලබා ඇත්තේය. එබැවින් තවත් කම්පා නොවන්න. ඔබ බ්‍රහ්ම තත්ත්‍වය අවබෝධ කරගත් විට, දැන් එම බ්‍රහ්මන් තුළ සිටින ඔබේ ශුක පිළිබඳව දුකක් ප්‍රකාශ නොකළ යුතුය. ඔබේ කීර්තිය දැන් අසමසම වන්නේ  ඔබට ඔහු වැනි පුත්‍රයකු ලැබීම හේතුවෙන් පමණි."

56. ව්‍යාස දෙව පැවසිය: "ඕ දේව ස්වාමීනි! ජගත් ස්වාමීනි! මා දැන් කුමක් කරම්ද? කෙසේ හෝ මගේ දුක මාගේ හෘදයෙන් ඉවත් නොවේ. මාගේ දෑස් මාගේ පුත්‍රයා දැකීමෙන් තෘප්තිමත් වන්නේය; ඒවා තවපත් පුත්‍රයා දැකීමට කැමැත්තේය."

57. ව්‍යාසගේ දුක්ඛිත වදන් ශ්‍රවණය කෙරූ භගවාන් මහාදේව ඉක්බිති මෙසේ පැවසිය: "ඕ මුනි ශාර්දූල! ඔබේ පුත්‍රයා අලංකාර ඡායාවක් සේ ඔබ සමීපයේ පෙනෙන ආකාරයට මා ඔබට වරයක් ප්‍රධානය කරමි, ඕ ශත්‍රැ නාශකය! දැන් ඔබේ පුත්‍රයාගේ ඡායාව දැකීමෙන් ඔබේ ශෝකය අත්හරින්න" භගවාන් මහේශ්වර එසේ පැවසු විට එකල්හි එම ස්ථානයෙන් නික්මුනේය. ඔහු අතුරුදහන් වූ විට, තම පුතුගේ වියෝව නිසා වූ ශෝකයෙන් ව්‍යසා දැඩි ලෙස කලබලයට පත් වූ අතර, දැඩි හදවතින් තම වෙත වෙත නැවත පැමිණියේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දහනවවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.