Thursday 10 August 1995

ශිව වරයන් ප්‍රධානය කිරීම


1-2. ඍෂි වරුන් පැවසීය: ඕ සූත! අසමසම ආත්මය වන සියලු පුරාණයන් රචනා කෙරූ ව්‍යාස දේව එම පූරාණය ඔහුගේ පුත්‍ර ශුක දේව හට ඉගැන්වු බව ඔබ පැවසුවේය; එනමුත් තපසෙහි නිරත වූ ව්‍යාස දේවයන් කෙසේ ශුක දේව හට ජන්මය ලබා දුන්නෙහිද?

3-8. සූත පැවසිය: ඕ ඍෂි වරුනි! සියලු මුණිවරුන්ගේ ශ්‍රේෂ්ඨතමයා සහ යෝගීන්ගේ ප්‍රමුඛයා වන ශුක දේව සත්‍යවතී පුත්‍ර ව්‍යාස දේවයන්ට දාව ජන්මය ලැබූ ආකාරය ශ්‍රවණය කරන්න. සුන්දර මේරු පර්වත ශිඛරයේ සත්‍යවතී පුත්‍ර ව්‍යාස පුත්‍රයෙක් ලබාගැනීම උදෙසා දැඩි අධිෂ්ඨානයෙන්, තපසක නිරත විය. නාරදට සවන් දීමෙන් අනතුරුව එම මහා තවුසා වාක් බීජය උච්චාරණය කරමින් උත්තරීතර මහාමායවට වන්දනා කළේය.  ඔහු ඉල්ලා සිටියේ තේජෝ, වායු, පඨවි සහ ආකාශ මෙන් පිවිතුරු පුත්‍රයෙකි. ඔහු මනසින් සිතුවේ ශක්තිය සහිත පුද්ගලයා තුන් ලෝකයෙහි වන්දනාවට පාත්‍ර වන බවත්, ශක්තිය රහිත තැනැත්තා වාරණය වන බවත්ය. අද්‍යා ශක්තිය සෑම ස්ථානයකම වන්දනා කරන බවට මෙසේ නිගමනයට පැමිණියේය. මෙසේ යහපත් ආද්‍යා ශක්තිය සමඟ එක් වී වාසය කරන භගවාන් මහේශ්වර උදෙසා කිසිඳු අහරක් නොමැතිව වර්ෂ සියයක තපසක නිරත විය.

9-13. සියලු දේවතාවුන් ක්‍රීඩා කරන, ආදිත්‍යන්, වාසුන්, රුද්‍රයන්, මරුතයන්, අශිවිනී කුමාරයන් සහ අනෙකුත් ඍෂිවරුන් වාසය කරන, කර්ණිකාර උද්‍යානයෙන් සැරසුණු මේරු පර්වතය ශිඛරයෙහි ඔහු තම තපස ආරම්භ කළේය. සම්පූර්ණ විශ්වයම මෙම තපසෙන් ප්‍රභාවමත් වුයේය; ඔහුගේ හිස කෙස් කැටි ගැසි කටුක ස්වභාවයක් ගත්තේය. මෙම තපස දුටු ශචීගේ (ඉන්ද්‍රානි) ස්වාමියා වන ඉන්ද්‍ර අතිශයින් භීතියට පත්විය.

14-16. තෙහෙට්ටුවෙන් සහ අඥාන භාවයෙන් භීතියට පත්ව සිටින ඉන්ද්‍ර දුටු රුද්‍ර දේවයන් ඔහුගෙන් මෙසේ ප්‍රෂ්ණ කළේය: "ඕ ඉන්ද්‍ර! ඔබ අද භීතියට පත්ව සිටින බවක් පෙනෙන්නේ මන්ද? ඕ දේවතාවුන්ගේ ස්වාමිය! ඔබේ දුකට හේතුව කිම? තාපසයන් කෙරෙහි ඔබේ කෝපය සහ ඊර්ෂ්‍යාව කෙදිනක හෝ නොපෙන්වන්න; මා ශක්තිය දරා සිටින්නා බව දන්නා හෙයින් සම්පජාන (කල්පනාව සහිත්) තවුසන් උසස් අරමුණු උදෙසා මා වන්දනා කරති; ඔවුන් කිසිදා අන් අයගේ අයහපත නොපතයි. (දේවිය පරම ශක්තිය වන අතර එම ශක්තිය දරා සිටින්නා මහාදේවයි)

17-20. භගවාන් රුද්‍ර එසේ පැවසු කල්හි ඉන්ද්‍ර "කුමක්ද ඔහුගේ අරමුණ?" ලෙසින් ප්‍රෂ්ණ කළේය. එයට ශංකර මෙසේ පිළිතුරු ලබා දුන්නේය. "තමා හට පුත්‍රයකු පාප්ත්‍ර කරගැනීම උදෙසා, පරසාර පුත්‍ර (ව්‍යාස) දැඩි තපසක නිරත වන්නේය; දැන් වර්ෂ සියයක් සම්පූර්ණ වී ඇත. අද දින මා ඔහු වෙත ගොස් පුත්‍රයකු ලබාගැනීමේ ඔහුගේ වරය ප්‍රදානය කරමි." ඉන්ද්‍ර හට මෙසේ පවසා සකල ගුරු වූ භගවාන් රුද්‍ර, ව්‍යාස දේව වෙත ගොස් ආමන්ත්‍රණය කළේය: "ඕ පාපයන්ගෙන් තොර වාසවී පුත්‍රය! නැගිටින්න! මා ඔබ වෙත පංච මහා ධාතුන් හා සමාන තේජාන්විත ආත්මයක් සහිත, උසස් ඥානයකින් හෙබි, සියලු උසස් ගුණාංගයන්ගේ භාණ්ඩාගාරය වන, කීර්තිමත්, සැමට ආදරණීය වූ, සියලු සාත්ත්වික ගුණයන්ගෙන් විභූෂිත, සත්‍යවාදි සහ නිර්භීත පුත්‍රයකු ප්‍රාප්ත වීමට වර ලබාදෙමි."  

21-28. භගවාන් ශූලපානි ගේ මිහිරි වදන් ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මහාඍෂි ක්‍රිෂ්ණ ද්වෛපායන එතුමාට නමස්කාර කොට නැවත තම ආශ්‍රමය වෙත පැමිණියේය. තපස හේතුවෙන් වෙහෙසට පත් ව සිටි එතුමා ගිනි දැල්වීම සඳහා ලී කැබලි දෙකක් එකිනෙකට අතුල්ලමින් පුත්‍රයකු ලබා ගැනීම පිළිබඳව මෙසේ සිතන්නට විය.

"මෙම දැල්වෙන කූරු දෙක ඇතිල්ලිමෙන් හට ගන්නා අග්නියෙන් මාගේ පුත්‍රයා ජන්මය ලබයිද? පඬිවරුන් 'පුත්‍රාරනි' ලෙසින් හඳුන්වන උසස් වංශයකට දාව ජන්මය ලැබු අලංකාර පතිනියක්ද මා හට නොවේ. නමුත් බිරිඳ නිර්මල වුවත්, පුත්‍රයකු උත්පාදනය කිරීමට සුදුසු වුවත් එය පාදයන් යුගලයට දමා ගන්නා දම්වැලක් හා සමානය. එබැවින් එවැනි අයෙක් මාගේ පතිනිය කරගන්නේ කෙසේද? නිවසෙහි කාර්‍යන් හොදින් ඉටු කරන, අලංකාර නිර්මල බිරිඳක් සියලු ආශාවන් සහ සතුට ලබා දෙන බව සියල්ලන්ම දන්නා නමුත් එයද සෑමවිටම එක් ආකාරයේ බැඳීමකි. භගවාන් මහේශ්වර පවා ස්ත්‍රියකුට යටත්ව සිටින විට, මේ සියල්ල දැනීමෙන් සහ ශ්‍රවණය කිරීමෙන් අනතුරුව මා කෙසේනම් ගෘහස්ත දිවියක් පිළි ගන්නේද?

29-30. ඔහු මෙලෙස කල්පනා කරමින් සිටින විට, අසාමාන්‍ය සුන්දරත්වයකින් හෙබි ගෘතාචී නම් අප්සරාව ඔහු ඉදිරියෙහි ප්‍රකට වුවාය. ව්‍යාස දේවයන් බ්‍රහ්මචාරි වුවද, තමාගේ සමීපයේ සිට තමා දෙස බලා සිටි අප්සරාව දැක පහසුවෙන්ම අනංගයාගේ හී පහරට හසු වී පීඩාවට පත් වි තමා මෙම අපහසු අවස්ථාවෙ කුමක් කරම්ද යන්න කල්පනා කළේය. 

31-36. "දරා ගත නොහැකි කාමුක හැඟීම් දැන් මා හට පැමිණ ඇත; ධර්මය සියල්ලහි පවතින බව දැන දැනත්. ස්ත්‍රියක් මාගේ තපසෙහි අග්නිය සොරා ගැනීමට පැමිණි බව දැන දැනත්, මා දැන් මෙම දිව්‍ය අප්සරාව පිළිගතහොත්, මාගේ සිහිය විකල් වී ඇති බව සිතමින් මහා මුණිවරුන් මට සිනහසෙනු ඇත. අහෝ! වර්ෂ සියයක වඩාත් බිහිසුණු තපසක නිරත වූ මා මෙම අප්සරාව දැක ශක්ති හීන වූයේ කෙසේද! පණ්ඩිතයෝ සියල්ලන්ගේම හදවතේ ආශාව සහ සියලු සන්තෝෂය වන පුත්‍රයෙකු ලැබීමේ ප්‍රභවය ගෘහ දිවිය ලෙස ප්‍රකාශ කරති; එය කෙතරම්ද යත් එය සියලු ගුණවත් ආත්මයන් ස්වර්ගයේ තෘප්තිය වෙත යොමු කරයි. ඥානීන්ට මෝක්ෂය උදා කරයි. ගෘහපතියකු ලෙස එම අසමසම තෘප්තිය මා හට ලැබෙනවා නම් දොස් පැවරිය හැකි වුවත් මා හට මෙම දේව කන්‍යාව පිළිගත හැකිය. නමුත් නැවතත් ඒ තෘප්තිය ඇය තුළින් මට ඇති නොවේ. එහි කිසිඳු සැකයක් නොමැත. එසේනම් මා කෙසේ ඇයව පිළිගම්ද. පුරාණ කාලයේ පුරූරවා රජු ඌර්වශී දේවියට වසඟ වී අවසානයේදී ඇයගෙන් පරාජයට ලක්වීම හේතුවෙන් මහත් වේදනාවක් දැනුනු ආකාරය මා නාරදගෙන් ශ්‍රවණය කර තිබේ.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ දසවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.