Thursday 31 August 1995

මත්ස්‍යගන්ධාගේ ජන්මය

 

1-5. ඍෂි වරුන් පැවසිය: ඕ සූත! ඔබේ වදන් ඇත්තෙන්ම අපූරුය! නමුත් ඔබ තවමත් මුල් සිදුවීම් විස්තරාත්මකව අපට නොපැවසුවේය. එහෙයින් අපගේ සිත් තුළ මහත් සැකයක් මතු වී තිබේ. ශන්තනු රජු ව්‍යාසගේ මව සත්‍යවතී විවාහ කරගත් බව අප දන්නෙමු. දැන් ව්‍යාස ඇයගේ පුත්‍රයා වූ ආකාරය අපට පවසනු මැනවි. තම නිවසේ රැඳී සිටිමින් පතිවෘතාව සුරැකි සත්‍යවතීව ශන්තනු විසින් නැවත විවාහ කරගත්තේ කෙසේද? ශන්තනු සහ සත්‍යවතී එක්ව පුත්‍රය දෙදෙනෙකු බිහි කළේ කෙසේද? ඕ භාග්‍යවන්ත සුව්‍රත! ඉතාමත් ශුද්ධ වූ මෙම ඓතිහාසික කරුණ අප හට විස්තර කරනු මැනවි. වෘතයන් සුරකින මෙම ඍෂි වරුන් වේද ව්‍යාස හා සත්‍යවතීගේ උපත ගැන අසන්නට කැමැත්තේය.

6-12. සූත පැවසිය: සියල්ලගේම ඉච්ඡාවන් සම්පූර්ණ කර ගැනීමෙහිලා වාග්භව බීජ මන්ත්‍රය (අයිම්) හෘදයෙන් සහ ආත්මයෙන් ජප කරන්නන් උදෙසා සියල්ල ප්‍රධානය කරන, මනුෂ්‍ය දිවියේ පැවැත්ම උදෙසා චතුර්විද අරමුණ ප්‍රධානය කරන එම සර්වෝච්‍යය ආදි ශක්තිය හට මා නමස්කාර කරමි.  ඉහත සඳහන් බිජය කෙතරම් බලවත්ද යත්, ව්‍යාජ බාවයෙන් යුක්තව ඉතා සැහැල්ලුවෙන් උච්චාරණය කරද එය සියලු සිද්ධීන් ලබා දෙන්නේය. එබැවින්, සෑම ආකාරයකින්ම දේවිය ස්මරණය කළ යුතුය; තවද,  ඇයට ආචාර කරමින් මා පෞරාණික සිද්ධීන් පිළිබඳ මා කථනය ආරම්භ කරමි. අතීතයේ උපරිචර නමින් රජෙක් විය; ඔහු චෙදි රාජ්‍ය පාලනය කල අතර බ්‍රාහ්මණයන්ට ගරු බුහුමන් දැක්වූයේය. ඔහු සත්‍යවාදි මෙන්ම ධාර්මික විය. දේවරාජ ඉන්ද්‍ර ඔහුගේ ව්‍රතයන් කෙරෙහි අතිශයින් ප්‍රසන්න වී ඔහුට මුතු හා පළිඟු වලින් නිර්මිත විමානයක් (අහස් යානයක්) පිරිනැමීය. එම දිව්‍යමය විමානයට නැග රජු සෑම ස්ථානයකටම ගමන් කිරීමට පුරුදු විය. ඔහු කිසිදා පෘථිවි මත රැඳී නොසිටිය අතර නිරන්තරයෙන් ගුවනෙහි රැඳී සිටි හෙයින් ඔහුට "උපරිචර වසු" නමින් අන්වර්ථ නාමයක් ගොඩනැගිනි. ඔහුට ගිරිකා නමින් සුන්දර බිසවක්ද, නොමැකෙන ශක්තියෙන් යුත් පංච පුත්‍රයන් ද ජන්මය ලැබීය. 

13-23. රජු තම පුත්‍රයන් හට වෙන වෙනම රාජ්‍යයන් ලබා දී ඔවුන් රජවරුන් බවට පත් කළේය. එක් අවස්ථාවක උපරිචරගේ පතිනිය වන ගිරිකා තම ඔසප් වීමෙන් පසු ස්නානය කොට පුත්‍රයකු පිළිබඳව අපේක්ෂා සහගතව රජු වෙත පැමිණියාය; එනමුත් එදිනම ඔහුගේ මියගිය මුතුන් මිත්තන්ගේ නාමයන්ට ගෞරවය කිරීම උදෙසා පවත්වන ශ්‍රද්ධා උත්සවය වෙනුවෙන් මුවෙකු දඩයම් කිරීමට ඔහුගේ මුතුන් මිත්තන් අණ කළහ. මුතුන් මිත්තන්ගේ වදන් ඇසූ චෙදි රජු තම බිරිඳ කෙරෙහි තරමක් කනස්සල්ලට පත් විය. නමුත් මුතුන් මිත්තන්ගේ අණ මහත් බලවත් සහ කීකරු වීම සුදුසු යැයි සිදු රජු තම පතිනිය පිළිබඳ හදගස් හෘදයෙහි තබා ගනිමින් දඩයමට පිටත් විය. ඉක්බිති වනාන්තරයේදි කමලා දේවිය හා සමානව පියකරු තම ගිරිකා ස්මරණය වී ඔහුට ක්ෂණික මෝචනය සිදු විය. ඔහු තම ධාතුන් නුග පත්‍රයකට දමා මෙසේ කල්පනා කළේය: ඉහත ශුක්‍ර තරලය නිෂ්ඵල නොවන්නේ කෙසේද? මගේ ශුක්‍ර තරලය ඵල රහිතව පැවතිය නොහැක; මාගේ පතිනිය මේ වන විටත් ඇගේ ඔසප් වීමේ තත්ත්වය සමත් වී ඇත. මා මෙම ධාතුන් ඇය වෙත යවමි. මෙසේ කාලයක් සිතූ ඔහු තම ශුක්‍ර තරලය නුග වෘක්ෂය පාමුල තම එය මන්ත්‍ර ශක්තියෙන් බලවත් කළේය. ඉන්පසු අසල සිටි උකුස්සෙකු අමතා මෙසේ පැවසීය: "ඕ භාග්‍යවන්තය! මේ මගේ ශුක්‍ර තරලය රැගෙන මගේ මාලිගයට යන්න. මෙය රැගෙන ගොස් මාගේ පතිනිය වන ගිරිකා හට ලබා දෙන්න,. අද ඇයගේ ඔසප් දිනයයි."

24-27. සූත පැවසිය: "ඕ මුනිවරුනි! මෙසේ පවසමින් රජු ශුක්‍ර තරලය සහිත නුග පත්‍රය උකුස්සාට ලබා දුන්නේය. ඌ එය රැගෙන වහාම ගුවනට නැග්ගේය. ඒ අතර තවත් උකුස්සෙකු මෙය දැක් නුග පත්‍රය ගොදුරක් යැයි සිතා ඔහු මතට පතිත විය. ක්‍ෂණිකවම කුරුල්ලන් දෙදෙනා අතර ඉතා දරුණු සටනක් ආරම්භ විය. මෙසේ සංග්‍රාමය සිදුවන අතර ශුක්‍ර තරලය උකුස්සාගේ තුඩෙන් ගිලිහී යමුනා නදියට පතිත විය. ඉන්පසු පක්ෂීන් දෙදෙනා ඉවතට පියඹා ගියේය.

28-31. එක් දිනක අද්‍රිකා නම් අප්සරාවක් යමුනා නදියෙහි සන්ධ්‍යා වන්දනයේ නිරත වෙමින් සිටින බ්‍රාහ්මණයෙකු වෙත පැමිණියාය, එම රූමත් ස්ත්‍රිය ජලයේ ස්නානය කිරීමට පටන් ගත් අතර ක්‍රීඩා කිරීමට බැස බ්‍රාහ්මණයාගේ දෙපා අල්ලා ගත්තාය. ප්‍රාණායාමයෙහි නිරතව සිටි බ්‍රාහ්මණ කාමුකා ආශාවන්ගෙන් පිරි අප්සරාව දැක මෙසේ ශාප කළේය: "ඔබ මාගේ ධ්‍යානයට බාධා කළ හෙයින් ඔබ මත්ස්‍යකු වනු ඇත." මේ ආකාරයට විශිෂ්ට අප්සරාවක් වන අද්‍රිකා ශාපය හේතුවෙන් මත්ස්‍යකු වි යමනු නදියේ වාසය කළාය.

32-39. උපරිචර වසුගේ ශුක්‍ර තරලය පක්ෂියාගේ තුඩෙන් ගිලිහී යමුනා නදියට වැටුන කළ අද්‍රිකා එය අනුභව කොට ගැබ්බර වුවාය. (ශුක්‍ර මන්ත්‍ර ශක්තියෙන් බලවත් කළ හෙයින්) දස මසකින් පසුව ඇයව ධීවරයෙකුගේ දැළකට හසු වූවාය. මත්ස්‍යයාගේ උදරය ඉරා දැමූ විට මිනිසුන් දෙදෙනෙක් ක්‍ෂණිකව ගර්භාෂයෙන් එළියට ආහ. එක් අයෙකු අලංකාර පිරිමි දරුවෙකු සහ අනෙකා හුරුබුහුටි ගැහැණු දරුවෙකු විය. මෙය දුටු ධීවරයා අතිශයින් පුදුමයට පත් විය. ඔහු වාසලට ගොස් උපරිචර වසුට දැනුම් දුන්නේ මත්‍යයකුගේ ගර්භයෙන් පිරිමි සහ ගැහැණු දරුවෙකු උත්පත්තිය ලද බවයි. රජු ද මහත් පුදුමයට පත් වූ අතර වාසනාවන්ත පිරිමි දරුවා පිළිගත්තේය. මෙම දරුවා පියා මෙන්ම ඉතා ශක්තිමත් හා සත්‍යවාදි වූ අතර ඔහු මත්ස්‍යරාජ නමින් ප්‍රචලිත විය. උපරිචර වසු දියණියව ධීවරයා හට ලබාදුන් අතර ඇය කාලි නම් විය. ඇය මත්ස්යෝදරී නාමයෙන් ප්‍රචලිත වුවාය. ඇයගේ ශරීරයෙන් මසුන්ගේ ගන්ධය පැමිණි හෙයින් ඇය මත්ස්‍යගන්ධා ලෙසින්ද හැඳින්විනි. උත්කෘෂ්ට වසුගේ දියණිය මෙසේ ධිවර නිවසෙහි උස්මහත් වුවාය.

40-41. ඍෂි වරුන් පැවසිය: මුනිවරයාගෙන් ශාපය ලැබ මත්ස්‍යයකු එම අප්සරාව පසුව ධීවරයා විසින් අනුභව කළේද? පසුව ඒ අප්සරාව හට කුමක්ද සිදු වූයේ? ඇය කෙසේද ශාපයෙන් මුක්ත වූයේ? ඇය කෙසේද නැවත ස්වර්ගය වෙත නික්මුනේ?

42-47. ඍෂි වරුන්ගේ ගැටලු වලට සූත මෙසේ පිළිතුරු දුන්නේය: මුනිවරයා විසින් අප්සරාවට පළමුව ශාප කළ විට, ඇය විස්මයට පත් විය. දැඩි සේ කලබලයට පත් වී ඇය හඬන්නට වූ අතර පසුව ඔහුට ප්‍රශංසා කිරීමට පටන් ගත්තාය. පසුව ඇය කෙරෙහි අනුක්ම්පා සහගතව බ්‍රාහ්මණයා මෙසේ පැවසිය: "ඕ උත්කෘෂ්ට වන්තිය! කණගාටු නොවන්න; මෙම ශාපය අවසන් වන ආකාරය මා ඔබට  පවසන්නෙමි. මාගේ කෝපාග්නියෙන් ලද ශාපයෙ ඔබ මත්ස්‍යකු වූ නමුත් ඔබ මනුෂ්‍යන් දෙදෙනෙකුට ජනමය ලබා දුන් කල්හී ඔබ ශාපයෙන් මුක්ත වනු ඇත." ඉන්පසු අද්‍රිකා මත්ස්‍ය ස්වරූපයට පත් වී යමුනා නදියට පිවිසුනාය. ඇය මනුෂ්‍ය දරුවන් දෙදෙනාට ජන්මය ලබාදුන් පසුව ශාපයෙන් මුක්ත වී දිව්‍යමය ස්වරූපයකට පත්ව ස්වර්ගය වෙත නික්මුනාය. ඕ ඍෂි වරුනි මෙසේ මත්ස්‍යගන්ධා ජන්මය ලැබ ධීවර නිවසෙහි හැදී වැඩුනාය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ පළමුවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.