Saturday 2 September 1995

ව්‍යාස දෙවගේ ජන්මය

 

1-10. සූත පැවසිය: වරක් එක් අවස්ථාවකදී දැඩි ජවසම්පන්න මුනි පරාශර වන්දනා ගමනක් සඳහා නික්මුන අතර එතුමා යමුනා නදිය අසබඩට පැමිණියේය. ඉන්පසු එහි ආහාර ගනිමින් සිටි ධාර්මික ධීවරයා අමතා මෙසේ පැවසිය: "ඕ ධීවරය! මාව ඔබගේ ඔරුවෙන් ගඟෙන් එගොඩ කරන්න." මෙය ඇසු ධිවරයා අලංකාර මත්ස්‍යගන්ධා වෙත මෙසේ පැවසුවේය. "මෙම ආගමික තාපසයා ගඟ තරණය කිරීමට අදහස් කරයි. ඔරුව රැගෙන එතුමාව අනෙක් ඉවුර වෙත ගෙන යන්න." පියාණන්ගේ අණ පරදි අතිශයින්ම රූමත් මත්ස්‍යගන්ධා මුනිවරයා සමඟ ඔරුව පැද යන්නට වූවාය. මෙම යාත්‍රාව යමුනා නදිය තරණය කරමින් තිබෙන කළ අලංකාර නේත්‍රා හිමි මත්ස්‍යගන්ධා තරුණිය දුටු පරාශර මුනි දෛවයට අනුව එය කෙරෙහි ආකර්ශනය විය. තාරුණ්‍යයින් හෙබි මත්ස්‍යගන්ධාව වින්දනය කිරීමේ අරමුණ සහිතව ඔහුගේ දකුණතින් ඇයගෙ වමත ඩැහැගත්තේය. නීල වර්ණයෙන් මත්ස්‍ය මෙසේ මුනිවරයා ආමන්ත්‍රණය කළාය: "ඕ ධර්මදර! අනංගයාගේ හී පහරට හසුව ඔබ කුමක් කරන්නද සැරසෙනුයේ? ඔබට දැන් අවශ්‍ය දේ ඔබේ පවුලට හෝ ශාස්ත්‍රය හැදෑරීමට සුදුසුද නැත්නම් ඔබේ තපස්‍යයට සුදුසුද? බලන්න, ඔබ ජන්මය ලද්දේ වසිෂ්ඨගේ පෙළපතෙහි වන අතර ගුණවත් චරිතයක් ලෙස නම් දරා ඇත. ඕ බ්‍රාහ්මණය! මනුෂ්‍ය උත්පත්තියක් ලැබීම කෙතරම් දුර්ලබද යන්න ඔබ මැනවින් දනී; එමෙන්ම මාගේ දැනුම අනුව බ්‍රාහ්මණ බව ලබා ගැනීම අතිශයින්ම දුර්ලභය."

11-12. "ඔබේ පරපුර, වේදය සහ අනෙකුත් ශාස්ත්‍රයන්හි යහපත්කම සහ ඉගෙනීම අනුව ඔබ ප්‍රමුඛයා සහ විශිෂ්ටතමයා ය. ඔබ ධර්මය පිළිබඳව මැනවින් දන්නේය; එසේ නම් මත්ස්‍ය ගන්ධයෙන් යුක්ත මාගේ ශරීරය දුටු කළ ඔබ ආර්යයෙකුට නුසුදුසු මෙම ක්‍රියාව කිරීමට සූදානම් වන්නේ කෙසේද? මාව වින්දනය කිරීම උදෙසා කාමයෙන් මුසපත්ව ඔබ මාගේ අත ඩැගැගත්තේ මාගේ ශරීරය කුමන ශුභ ලක්ෂණයක් දුටු හෙයින්ද? ඔබ ඔබගේ ධර්මය අමතකව තිබෙනුයේ මන්ද?"

13-16. මෙසේ පවසා මත්ස්‍යගන්ධා තම සිතින් මෙසේ කල්පනා කළාය:  අහෝ! මාව භුක්ති විඳීම සඳහා මේ බ්‍රාහ්මණයාට නිසැකවම සිහි විකල් වී ඇත. නිසැකවම, මෙම බෝට්ටුවේ මාව භුක්ති විඳීමට ගන්නා වෑයමෙන් ඔහු දැන් ගිලී යනු ඇත. ඔහුගේ මනස අනංගයාගේ හී වලින් කොතරම් කලබල වී ඇත්ද යත්, ඔහුගේ කැමැත්තට එරෙහිව කිසිවෙකුට ක්‍රියා කළ නොහැකි බව පෙනේ. මෙසේ සිත ඇය මුනිවරයා ආමන්ත්‍රණය කළාය: "ඕ භාග්‍යවන්තය! ඉවසිලිවන්තව සිටින්න! මා පළමුව් ඔබව අනෙක් ඉවුරට එගොඩ කිරිමෙන් අනතුරුව ඔබට රිසි යම සිදු කරන්න." එසේ පැවසීමෙන් අනතුරුව මුනිවරයා ඇයගේ අත නිදහස්කොට ශාන්ත වූ නමුත් මද වෙලාවකින් නැවතත් කාමයෙන් මත්වී මත්ස්‍යගන්ධාව ඩැහැ ගත්තේය; ඉන්පසු ඇය ඉදිරියේ වෙවලමින් සිටි පරාශරට මෙසේ පැවසුවාය.

17-23. "ඕ ශ්‍රේෂ්ඨතම මුනිවරය! මාගේ ශරීරයෙන් නිකුත් වන දුර්ගන්ධය ඔබට නොදැන්නේද? සමාන ස්ත්‍රීන් හා පුරුෂයන් අතර ලිංගික සංසර්ගය සතුට හා සහනය ගෙන දෙන බව ඔබ හොඳින් දනී." මෙසේ පැවසීමෙන් අනතුරුව පරාශර මත්ස්‍යගන්ධාව යෝජනාවක් පමණ පුරා පැතිරෙන් කස්තුරි වන් සුවඳවත් කළ අතර ඇයගෙ ශරීරය අතිශයෙන්ම අලංකාර කළේය. කාමයෙන් මත් වූ ඔහු ඇවතත් ඇයගේ දකුණතෙන් ඩැහැගත්තේය. ඇය යලිත් මුනිවරයාට මෙසේ පැවසුවාය: "ඕ මුනි! බලන්න! සියල්ලන්ම අප දෙස බලා සිටි, මාගේ පියාණන් පවා, එබැවින් ඕ මුනි! රාත්‍රිය තෙක් ඉවසන්න; සියල්ලටම පෙර මෙම මෘග ක්‍රියාව මට ඉතාමත් අසතුටුදායක ය. දිවා කාලය තුළ සංසර්ගයෙහි යෙදීම මහත් පාපයක් ලෙස ප්‍රඥාවන්තයන් දක්වා තිබේ. පුරුෂයන් සඳහා හොඳම ලිංගික කාලය ලෙස ඔවුහු රාත්‍රී කාලය නියම කළහ. එමෙන්ම බොහෝ අයගේ ඇස් මේ දිශාවට යොමු වි ඇත. එබැවින් ඕ ප්‍රඥාවන්තය! ඔබගේ රාගය මද වෙලාවක් දරා සිටින්න; මක්නිසාද මහජනයා විසින් ප්‍රකාශ කරන ලද චෝදනාව බිහිසුණු ය. මෙය ඇසූ පරාශර තම ධ්‍යාන ශක්තියෙන් අවට වැසී යන සේ මීදුමක් නිර්මාණය කළේය. එයින් යමුනා ගං තීරණ අඳුරු විය.

24-26. එවිට මත්ස්‍යගන්ධා මුනිවරයාට මෘදු ලෙස කථා කළේය: "ඕ ද්විජයන්ගේ උත්තරීතරය! මා තවමත් විවාහ වී නොමැත; මා තවමත් කන්‍යාවියකි; ඔබ මා වින්දනය කළ පසුව නික්ම යනු ඇත; ඔබගේ ධාතුන් ඵල රහිත නොවේ;  එබැවින් බ්‍රාහ්මණය!  මාගේ ඉරණම කුමක්ද?  මා අද දින ගැබ් ගතහොත්, මා මාගේ පියාණන්ට කුමක් නම් පවසන්නද? මගේ අනාගත තත්වය කුමක් වේද? මා වින්දනය කිරීමෙන් අනතුරුව ඔබ පිටවී යෑම පිළිබඳව කිසිඳු සැකයක් නොමැත. මම පසුව කුමක් කරන්නද; කරුණාකර පවසන්න."

27. මත්ස්‍යගන්ධාගේ වදන් ශ්‍රවණය කෙරූ පරාශර මෙසේ පැවසිය: "ඕ ප්‍රියේ! මාගේ කාර්‍ය අවසන් වූවද ඔබ දැන් සිටින්නා සේ කන්‍යාවියක් ලෙසම සිටිනු ඇත; ඔබ රුචි ඕනෑම වරයක් මාගෙන් විමසන්න මා ඔබට නිසැකවම ඔබට එය ලබාදෙමි."

28-29. සත්‍යවතී පැවසීය: "ඕ උත්කෘෂ්ට බ්‍රාහ්මණය! මාහට මෙය ප්‍රධානය කරනු මැනවි; මාගේ මව සහ පියා මේ පිළිබඳව කිසිවක් දැන නොගත යුතු අතර මාගේ කන්‍යාභාවය එලෙසම පැවතිය යුතුය. එමෙන්ම ඔබ මෙන්ම තේජාන්විත පුත්‍රයකු මා හට ලැබිය යුතුය; මාගේ මෙම සුගන්ධය සහ අලංකාරය එලෙසම පැවතිය යුතු අතර එය වර්ධනය විය යුතුය.

30-34. පරාශර මෙසේ පැවසිය: "ඕ සුන්දරිය! නාරායනගේ ස්වරූපයක් ලෙස දිව්‍යමය මෙන්ම ඉතාමත් පවිත්‍ර පුත්‍රයකු ඔබට ලැබෙනු ඇත. ඔහුගේ නාමය තුන් ලෝකය පුරා ප්‍රචලිත වනු ඇත. ඕ සුන්දරිය! මින් පෙර කෙදිනක හෝ මගේ හදවත එවැනි ආශාවකින් කලබල වී නැත. ඔබ කෙරෙහි මා තුළ ආශාවක් පහළව ඇත්තේ කෙසේදැයි මා නොදනිමි. මා අතිශයින් සුන්දර අප්සරාවන් දැක ඇති මුත් කෙදිනක හෝ මාගේ ඉවසීම  භංග නොවීය; එනමුත් ඔබ දුටු විට මා ඔබ කෙරෙහි ආකර්ෂණය වීම පූර්ව විධානයක් විය හැකිය. මෙයට යම් අභිරහස් හේතුවක් තිබිය යුතුය. කෙසේ වෙතත්  ඉරණම කිසිවෙකුට නැවැත්විය නොහැකිය; එසේ නොමැතිනම් දැඩි දුර්ගන්ධයක් සහිත ඔබ කෙරෙහි මා ආකර්ශනය වන්නේ කෙසේද? ඕ සුන්දරිය! ඔබගේ පුත්‍රයා තුන් ලෝකයෙහි ප්‍රචලිත වනු ඇත; ඔහු පුරාණ සම්පාදනය මෙන්ම වේදයන්ද වෙන් කරනු ඇත.

35-36. මෙසේ පවසා පරාශර මුනි තරමක් යටත් වූ මත්ස්‍යගන්ධා සමඟ වින්දනය කළේය. ඉන්පසු යමුනා නදියෙන් ස්නානය කොට ඉක්මනින් ඉවත්ව ගියේය. අනෙක් අතට සත්‍යවතී ද ක්ෂණිකව ගැබ් ගත් අතර යමුනා දිවයිනෙහි දෙවන කාම දේවයන් මෙන් අලංකාර පුත්‍රයකුට ජන්මය ලබා දුන්නාය. එම ශක්තිමත් පුත්‍රයා ජන්මය ලැබූ විගස තපස කෙරෙහි තම මනස යොමවා තම මාතාවට මෙසේ පැවසීය:  ඕ මෑණියනි! ඔබ දැන් රුචි ස්ථානයකට පිටවන්න. මාද ධ්‍යාන වැඩීම සඳහා නික්ම වෙමි. ඕ භාග්‍යවන්තිය! ඔබ මා ස්මරණය කරන්නේ කුමන අවස්ථාවේදි එම අවස්ථාවේදීම මා ඔබ වෙත පැමිණෙමි. ඕ මෑණියනි!  එහිදී ඔබට දැඩි කර්තව්‍යයක් පැවරෙන විට, මා ස්මරණය කරන්න, මා ක්ෂණිකව ඔබ වෙත එන්නෙමි. ඔබට යහපත සැලසේවා; මා දැන් නික්ම යමි. සිත්තැවුල් වලින් වැළකී සතුටින් ජීවත් වන්න." මෙසේ පවසමින් ව්‍යාස දෙව පිටත් විය. මත්ස්‍යගන්ධාද නැවතත් තම පියාණන් වෙත ගියාය.

41-45. ද්වීපයක ජන්මය ලැබූ හෙයින් ව්‍යාසව ද්වෛපායන නමින් හැඳින්විනි. ඔහු භගවාන් විෂ්ණුගේ අර්ධ අංශුවකි. ඔහු ජන්මය ලැබූ විගසම වැඩිවියට පත් විය. ද්වෛපායන සෑම තීර්තයකට ස්නානය කළ අතර උග්‍ර තපසක් රකිනු ලැබීය. මේ ආකාරයට පරාශරට දාව සත්‍යවතීගේ ගර්භයෙන් ව්‍යාස ජන්මය ලැබීය. කලියුගයේ පැමිණීම දැක ඔහු වෙද වෘක්‍ෂය ශාඛා රාශියකින් අලංකාර කළේය. ඔහු එසේ වේදයන් ශාකයන් රැසකට වෙන් කළ හෙයින් ඔහු වේද ව්‍යාස ලෙසින් හැඳින්විය. ඔහු අෂ්ටදශ පුරාණයන්, සංහිතාවන්, උත්කෘෂ්ට මහාභාරතය නිර්මාණය කළ අතර (පුරාණ ව්‍යාස නිර්මාණය කළද රචනා කරේ වෙනත් මුනිවරුන් විසිනි) වේදය උපකොටස් ලෙස වෙන් කොට සුමන්තු, ඒවා අධ්‍යයනය කිරීමට ජෛමිනි, පෛල, වෛශම්පායාන, අසිත, දෙවල යන ගෝලයන්ද , තම පුත්‍ර ශුක දෙවටද ජන්මය ලබා දුන්නේය.  

46- සූත පැවසිය: ඕ මුනිවරුනි! මේ ආකාරයට සත්‍යවතී පුත්‍ර ශුද්ධ ව්‍යාසගේ ජන්මය පිළිබඳව විස්තර කළෙමි. ඕ මුනිවරුනි! ඔහුගේ ජන්මය පිළිබඳව නැවතත් කිසිඳු සැකයක් ඇති කර නොගන්න. මක්නිසාද ශ්‍රේෂ්ඨ පුද්ගලයන්ගේ සහ මනුවරුන්ගේ ජීවිත සැලකීමේදී යහපත් දේ පමණක් ගැනීම සැමවිටම යෝග්‍ය වේ. සත්‍යවති මත්ස්‍යයකු තුළින් ජන්මය ලැබීමටත්, ඇය පළමුව පරාශර හා එක් වී පසුව ශාන්තනු හා එක් වීමට අසාමාන්‍ය අත්භුත හේතුවක් පවති. එසේ නොමැතිනම් කෙසේද පරාශර වැනි උතුම් මුනිවරයෙක් කාමයෙන් මත් වී පහත් පුද්ගලයෙකු සේ මෙතරම් දරුණු සාපරාධි ක්‍රියාවක නියැලෙන්නේ? 

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ දෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.