Sunday 3 September 1995

ගංගා නදියේ ශාපය

 

1-14. ඍෂි වරුන් පැවසිය: ඕ පාපි රහිත ශුක! ඔබ අපට ශ්‍රේෂ්ඨ ශුක සහ සත්‍යවතී ගේ ජන්මය පිළිබඳව විස්තරාත්මක පැවසුවේය. නමුත් ඕ ධර්මදර! ඔබගේ වඳන් තුළින් පිළිතුරු නොලැබුණු එක් ගැටලුවක් අපගේ මනස් තුළ ශේෂව පවති. පළමු ගැටලුව වන්නෙ ව්‍යාසගේ මව වන සත්‍යවතී ගුණවත් ශන්තනු සමඟ එක් වූයේ කෙසේද යන්නනයි. කුරු වංශයේ ශන්තනු රජු ඉතාමත් ධාර්මික පුද්ගලයෙකි. සත්‍යවතී පහත් කුලයක ධීවර දියනියක් බව දැන දැනම කෙසේනම් ඔහු ඇයව සරණ පාවා ගත්තේද? එමෙන්ම ශන්තනුගේ පළමු පතිනිය කවුරුන්ද? ශන්තනූගේ ප්‍රඥාවන්ත පුත් භීෂ්ම වාසුගේ කොටස් වලින් උපත ලැබුවේ කෙසේද? ඕ සූත නිර්භීත භීෂ්ම සත්‍යවතී පුත්‍ර චිත්‍රාංගදට කිරුළ ලබාදුන් බවත් ඔහුගේ මරණයෙන් පසුව විචිත්‍රවීර්‍යට රාජ්‍යත්වය පැවරූ ඔබ පෙර පැවසුවේය. නමුත් ඉතාමත් ධාර්මික සහ ප්‍රතාපවත් වැඩිමහල් භීෂ්ම සිටියදී ඔහු වෙනුවට චිත්‍රාංගද සහ විචිත්‍රවීර්‍ය රාජ්‍යත්වයට පත් වූයේ කෙසේද? නැවතත් විචිත්‍රවීර්‍යගේ අභාවය පිළිබඳව සත්‍යවතී දැඩි ලෙස ශෝකයට පත් වූ අතර, ඇගේ පුත්‍රයන්ගේ භාර්යාවන් දෙදෙනාගේ ගර්භයන්ගෙන් පුත්‍රයන් දෙදෙනෙකු ජන්මය ලැබූවේ වේද ව්‍යාසට දාවද? අපි මෙම කරුණ පැහැදිලි කරන්නේ කෙසේද? කුමක් හේතුකොට ඇය එසේ සිදු කළේද? භීෂ්ම රාජ්‍ය ලබා නොගත්තේ මන්ද? භීෂ්ම විවාහ නොවූයේ මන්ද? ව්‍යාස දේව එවැනි අධාර්මික ක්‍රියාවක් කෙසේ සිදු කළේද? ව්‍යාස පුරාණයන් සම්පාදනය කළ හෙයින් ඔහුට ධර්මය පිළිබඳව මනා වැටහීමක් ඇත්තේය; එසේනම් පර ස්ත්‍රීන්, විශේෂයෙන්ම තම සොහොයුරන්ගේ පතිනිය වෙත ගියේ කෙසේද? ඕ සූත! ව්‍යාස මුනිවරයෙක් වී එවැනි සාපරාධි ක්‍රියාවක් සිදුකළේ කෙසේද? වේදයන්ගේ ක්‍රියාවන් අනුමාන කරන්නේ ඒවායේ පසුකාලීන යහපත් හැසිරීම් වලින් ය; ඒවා අතර එකක් ලෙස මෙම ව්‍යාසගේ ක්‍රියාව ගණනය කරන්නේ කෙසේද? ඕ ප්‍රඥාවන්තය! ඔබ ව්‍යාසගේ ශිෂ්‍යයකි; එබැවින් ඔබ අපගේ ගැටලු නිරාකරණය කිරිමට සිටින විශිෂ්ටතම පුද්ගලයාය. මෙම ධර්මක්ෂේත්‍රයේ සිටින අප සියල්ලෝම එය ඇසීමට උත්සුක වන්නෙමු.

15-20. සූත පැවසිය: පුරාණ කාලෙයේ ඉක්ෂ්වාකු පරපුරේ (සූර්‍ය වංශය) මහාභිෂ නමින් රජෙක් රාජ්‍යත්වය හෙබ විය. ඔහු ධාර්මික මෙන්ම සත්‍යවාදි වූ අතර ඔහු සියලු රජවරුන් අතර ප්‍රමුඛයා විය. එම ප්‍රඥාවන්ත රජු දේවරාජ ඉන්ද්‍ර ප්‍රසන්න කිරීම උදෙසා අශ්වමේධ යාගයන් දහසක් සහ වාජපෙය යාගයන් සියයක් සිදු කළේය. එක් අවස්ථාවක රජු බ්‍රහ්මාගේ ලෝකය වෙත පැමිණි අතර අනෙකුත් දේවතාවුන් ඇතුළු උතුම් ගංගා නදියද ස්ත්‍රී ස්වරූපයකින් බ්‍රහ්මා හට සේවය කිරීමට පැමිණ සිටියාය. පසුව ඉතා විශල සුළං ප්‍රවාහයක් හැමූ අතර එයින් ගංගා දේවියගේ වස්ත්‍ර ගැලවී ගියේය. අනෙක් සියලු දේවතාවුන් ඇය දෙස නොබලා හිස් පහත් කරගත් අතර මහාභිෂ පමණක් නොනවත්වා ඇය දෙස බලා සිටියේය. රජු තමාට වසඟ වි සිටිනු බව ගංගා දේවිය වටහා ගත්තාය.

21-23. ඔවුන් දෙදෙනාගේ නින්දිත ආශාවන් දැකීමෙන් කෝපයට පත් බ්‍රහ්මා මෙසේ ඔවුනට ශාප කළේය: "ඕ රජ! ඔබ යළිත් ජන්මය ලැබ මහත් කුසල කර්ම කර නැවත මෙහි පැමිණෙන්න." මෙසේ පවසා රජුට් වසඟව සිටින ගංගා දේවියට මෙසේ පැවසීය: "ඔබද මනුෂ්‍යය ලෝකයට ගොස් ඔහුගේ පතිනිය වන්න" පසුව ගංගා සහ රජු දෙදෙනාම බලවත් ශෝකයෙන් පිටවිය.

24- මහාභීෂ රජු මනුෂ්‍යය ලෝකයට පැමිණීමට අදහස් කළ අතර එහි රජවරුන් ගැන මෙනෙහි කර කුරු වංශයේ ප්‍රතීප රජු තම පියාණන් කොටගෙන ජන්මය ලැබීය. මේ අවස්ථාවේදි අෂ්ට වාසුන් තම පතිනියන් සමඟ විවිධ ස්ථානයන්හි සැරිසරන අවස්ථාවේදී වසිෂ්ඨ මුනිවරයාගේ ආශ්‍රමය වෙත පැමිණියහ. මෙම අෂ්ට වසූන්ගෙන් ද්‍යයු (ආකාශ) ගේ බිරිඳ වසිෂ්ඨගේ කාමදෙනුව වන නන්දිනි දැක තම ස්වාමියාගෙන් මෙසේ විමසීය: "මා දකින මෙම විශිෂ්ඨ ගවයා කාගේද?" වසු මෙසේ ඇයට පිළිතුරු දුන්නේය; "ඕ සුන්දරිය! මේ විශිෂ්ඨ මුනිවරයාගේ ගවයායි. ඇයගේ ක්ෂීරය පානය කරන ඕනෑම ස්ත්‍රියකු හෝ පුරුෂයෙකුගේ ආයු කාලය වසර 10,000 දක්වා දීර්ඝ වන අතර ඔහුගේ තාරුණ්‍යභාවය කිසිදා නොමැකෙන්නේය." එවිට ඇය මෙසේ පැවසිය: "රාජර්ෂි උශ්ණිෂ ගේ දියණිය වන මාගේ සුන්දර මිතුරියක් සිටි. ඕ මහාභාග! කරුණාකර සමස්ථ ඉච්ඡාවන් සඵල කරවන එම නන්දිනි නම් කාමදේනුව සහ ඇයගේ පැටවා වසිෂ්ඨගේ ආශ්‍රමයෙන් රැගෙන එන්න;  මාගේ මිතුරිය එම ක්ෂීරය පානය කර සමස්ථ ව්‍යාධීන්ගෙන් මුක්තිය ලබා මානව වර්ගයා අතර ප්‍රධානි වනු ඇත."

31-36. පතිනියගේ මෙම ඉල්ලීම අසා ද්‍යයු පාප රහිත වූවද, පෘතු සහ වසුන් සමඟ එක් වී වසිෂ්ඨ මුනිගේ නන්දිනි නම් ගවයා සොරකම් කළහ. නන්දිනී  සොරකම් කළ පසුව, මහා තාපසයෙකු වූ වසිෂ්ඨ ඉක්මනින් ඵල රාශියක් සමඟ අසපුවට පැමිණියේය. එළදෙන සහ ඇගේ පැටවා ආශ්‍රමයේ නොසිටි හෙයින් ඔහු වානාන්තාර සහ ගුහාවන් තුළ සෙවු නමුත් වරුණ පුත්‍ර වසිෂ්ඨ හට ඔවුන්ව සොයාගැනීමට නොහැකි විය. පසුව ඔහු ධ්‍යානයට සමවැදුණු අතර එහිදි වසුන් විසින් තම ගවදෙන සොරකම් කර ඇති බව දැනගැනීමෙන් අනතුරුව ඔහු තුළ කෝපාග්නිය දැල්වි මෙසේ ප්‍රකාශ කළේය: "වසුන් විසින් මා හට විරුද්ධව මාගේ ගවයා සොරකම් කළ හෙයින් ඔවුන් මනුෂ්‍යයන් අතර ජන්මය ලැබිය යුතුය."

37-39 වරුණ පුත්‍ර වසිෂ්ඨ මෙසේ ශාප කළ විට ඔවුන් මහත් කනගාටුවට පත්ව මුනිවරයාගේ ආශ්‍රමයට පැමිණ ඔවුන් හැකි තාක් ඔහුට කන්නලව් කිරීමට පටන් ගත් අතර ඔහුගේ රැකවරණය පැතීය. තමා ඉදිරියේ කම්පා සහගතව සිටින වසුන් දුටු වසිෂ්ඨ මුනි මෙසේ පැවසිය; "වර්ෂයක් ඇතුළත ඔබ සැම සාපයෙන් නිදහස් වනු ඇත; නමුත් වසු ද්‍යයු මාගේ මාගේ නන්දිනී සහ පැටවා ඍජුවම සොරාගත් හෙයින් ඔහු දීර්ඝ කාලයක් මනුෂ්‍යයන් අතර වාසය කරනු ඇත."

40-43. වසුන් මෙසේ ශාපය ලබා නැවත පැමිණන විට බ්‍රහ්මාගේ ශාපය හේතුවෙන් කනස්සල්ලෙන් සිටි ගංගා දේවිය ඔවුන්ට මුණ ගැසුණු අතර සියල්ලෝම ඇයට නමස්කාර කොට මෙසේ පැවසීය: "ඕ දේවී! අප තුළ මහත් ගැටලුවක් පැන නැගී ඇත. අමෘතය මත ජීවත් වන අප මිනිස් ගර්භය තුළ උපත ලබන්නේ කෙසේද; ඕ උත්කෘෂ්ට ගංගාව! ඔබ ස්ත්‍රියක් ලෙස ප්‍රකට වී අප හට ජන්මය දෙනු මැනවි. ඕ පාපි රහිතය! ඔබ ශන්තනු රජුගේ පතිනි වී අප ඔබගේ කුසෙන් ජන්මය ලැබූ පසු ඔබගේ නදියට අපව විසිකර දමන්න. ඔබ එසේ කළ විට අප නිසැකයෙන්ම ශාපයෙන් මුක්ත වනු ඇත."

44-49. ගංගා දේවිය එයට එකඟ වූ අතර වසුන් තමන්ගේ ස්ථාන කරා පිටව ගියෝය. ගංගා දේවියද එම කාරණාව පිළිබඳව දිගින් දිගටම සිතමින් එයින් නික්ම ගියේය. පසුව මහාභිෂ ප්‍රතීප රජුගේ පුත්‍ර ශන්තනු ලෙසින් ජන්මය ලැබීය. ඔහු ඉතාමත් ධාර්මික සේම නිරන්තරයෙන් තම වචනය සුරක්ෂිත කළේය. එක් දිනක් ප්‍රතීප රජු සූර්‍ය දේවතාවුන් නමස්කාර කරන කල්හි ගංගා දේවිය ස්ත්‍රී ස්වරූපයක් දරමින් දියෙන් පිටතට පැමිණ රජුගේ දකුණු කලවයේ හිඳගත්තාය. එවිට ප්‍රතාප රජු මෙසේ පැවසීය: "ඕ සුන්දර වතක් ඇත්තිය! අවසරයකින් තොරව ඔබ මාගේ දකුණු කලව මත හිඳගත්තේ මන්ද?" සුන්දර ගංගා දේවිය මෙසේ පිළිතුරු දුන්නාය: " ඕ කෞරවයන්ගේ විශිෂ්ටතමය! මා එසේ කලේ කුමක් නිසාදැයි අසන්න, මා ඔබට ආකර්ශනය වූ හෙයින් මා ඔබගේ කලව මත හිඳ ගත්තෙමි; එබැවින් කරුණාකර මා පිළිගන්න."

50-52. එවිට ප්‍රතීප රජු අලංකාර යුවතියට මෙසේ පැවසිය: "මා කාමයට හසුව පර ස්ත්‍රීන් උදෙසා නොයන්නෙමි. තවත් ආකාරයට ඔබ වාඩි වූයේ පුත්‍රයන්ට සහ පුත්‍රයන්ගේඑ පතිනියන්ට හිමි දකුණු කලව මතයි; එබැවින්; මාගේ ඉච්ඡාධාරී පුත්‍රයා බිහි වූ කළ ඔබ ඔහුගේ පතිනිය වනු ඇත. ඔබගේ උත්කෘෂ්ට ඉච්ඡාව අනුව ඔහු නිසැකවම ජන්මය ලබනු ඇත." එය එසේ සිදු වනු ඇත යයි පවසමින් ඇය එම ස්ථානයෙන් නික්ම ගියාය.

53-56. ඇය පිළිබඳව සිතමින් රජු මන්දිරයට ගියේය. කාලයාගේ ඇවෑමෙන් ඔහුට පුත්‍රයකු ලැබුණු අතර ඔහු නවයොවුන් වියට පා තබන විට වනවාසයට යාමට කැමති වූ අතර රජු මේ ගැපිළිබඳ තම පුත්‍රයාට දැනුම් දුන්නේය. අලංකාර සිනහවක් සිනහවක් සහිත තරුණියක් ඔහු හා විවාහ වීමට පැමිණියහොත් ඇයව විවාහ කර ගන්නා ලෙසින්ද පැවසුවේය. එමෙන්ම ඇය කවුරුන්ද යන්න නොසොයන ලෙසත්, ඇයව සරණ පාවා ගැනීමෙන් ඔහුට සතුට උදා වන බවද පැවසුවේය.

57. ඉන්පසු ප්‍රතීප නිරිඳුන් තම රාජ්‍ය පුත්‍රයාට බාරකොට වනවාසයට පිටව ගියේය. රජු එහිදී අම්බිකාව උදෙසා තපස් රැක තම සංසාර ගමන අවසන් කළේය. ඉතා ජවසම්පන්න ශන්තනු රජු තම රාජධානිය ලබා ගැනීමෙන් පසු ධර්මානුකූල නීතියට අනුව යුක්තිය පසිඳලමින් තම යටත් වැසියන් පාලනය කළේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ තෙවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.