Wednesday 6 September 1995

වසුන්ගේ උත්පත්තිය

 

1-8. සූත පැවසිය: ප්‍රතීප රජුගේ නික්මීමෙන් අනතුරුව වීර ශන්තනු රජු දඩයම් කිරීම සඳහා වනයට පිටත් විය. ඔහු එලෙස වනාන්තරයේ සැරිසරමින් සිටින කළ ගංගා නදී තීරයේ උකුසු ඇස් ඇති මනාව සැරසුණු ලස්සන ස්ත්‍රියක් දුටුවේය. ඇයව දුටු විට ඇය කෙරෙහි ආකර්ශනය වී රජු මෙසේ සිතන්නට විය: "මාගේ පියාණන් නිසැකවම පවසන ලද්දේ ලක්ෂ්මිය වන් වතක් සහිත මෙම අලංකාර ස්ත්‍රිය පිළිබඳවයි." එම පද්මයක් වන් වත දැකීමෙන් පමණක් රජු තෘප්තියට පත් නොවීය. ඔහුගේ ශරීරයේ කුඩා රෝම කූපයේ සිට හදවත දක්වාම ඇය කෙරෙහි ආකර්ශනය විය. ගංගා දේවිය ද ඔහු මහාභිෂ රජු (පෙර ජන්මය) බව දැන සිටි අතර, අනෙක් අතට, ඔහු කෙරෙහි දැඩි ඇල්මක් ඇති විය. පසුව ඇය සිනාසෙමින් රජු වෙත ගියාය. නිල් පැහැ ස්ත්‍රිය තමා දෙස විමසිල්ලෙන් බලා සිටිනවා දැක රජු මහත් සතුටට පත් වූ අතර මිහිරි වදන් වලින් ඇයව සනසවා මෙසේ පැවසීය: "ඕ සුන්දරිය! ඔබ මනුෂ්‍යය, ගන්ධර්ව, යක්ෂ හෝ නාග දියණියක්ද? නැතහොත් දෙවඟනක්ද? ඕ සුන්දරිය! ඔබ කවරෙකු වූවද මාගේ පතිනිය වන්න; ඔබේ සිනහව ප්‍රේමයෙන් පිරී ඇති බව පෙනේ; එබැවින් අද මාගේ නීත්‍යානුකූල බිරිඳ වන්න."

9-14. සූත පැවසිය: එම ස්ත්‍රිය ගංගා දේවිය බව රජුට හඳුනාගත නොහැකි වු නමුත් මහාභිෂ රජු ශන්තනු ලෙස ජන්මය ලබා ඇති බව ගංගාව දැන් සිටියාය. රජු පැවසු ඉහත වදන් ශ්‍රවණය කළ ගංගාව ඇගේ පෙර සෙනෙහසින් රජුව ආමන්ත්‍රණය කළාය: ඕ රජතුමනි! මා ඔබ ප්‍රතීප රජුගේ පුත්‍රයා බව දන්නෙමි. කාන්තාවක් ස්වාමි පුරුෂයෙකු ලබාගැනීම අනිවාර්ය වුවද, තම කැමැත්ත සහ ගුණයන්ට නොගැලපෙන පුරුෂයෙකු තෝරා ගන්නා ස්ත්‍රිය කවරහුද? නමුත් ඔබ මාහට පොරොන්දුවක් ලබා දෙන්නේ නම් මා ඔබව විවාහ කරගන්නෙමි. මා යහපත් හෝ යහපත්, ශුභ හෝ අශුභ කුමන ආකාරයේ කාර්‍යක් සිදු කරත් ඔබ බාධා කිරීම හෝ එය ඔබේ රුචිකත්වයට හා තෘප්තියට නොගැලපෙන බව කිසි විටෙකත් නොකියන්න. ඔබ මාගේ මෙම නියමය කඩ කළොත් එම මොහොතෙහිම මා ඔබව අතහැර මාහට රුචි ස්ථානයක් කරා යන්නෙමි.

15-22. ශන්තනු එයට එකඟ වූ පසුව ගංගාව තමා තුළින් වසුන්ව සිහිපත් කළාය. එය කයින් සහ වචනයෙන් ශන්තනු තම ස්වාමියා ලෙසින් පිළිගත්තාය. මෙලෙස මනුෂ්‍ය ස්වරූපයෙන් සිටි ගංගාව විවාහ කරගත් ශන්තනු තම ස්ථානය කරා ගියේය. රජු ඇයව අත්පත් කර ගැනීමෙන් පසු ප්‍රසන්න උද්‍යානවල විනෝද වීමට පටන් ගත්තේය. කාන්තාව ද ඔහුගේ මානසික හැඟීම් අගය කළ අතර තෘප්තිමත් වන පරිදි ඔහුට සේවය කිරීමට පටන් ගත්තාය. මෙසේ වසර ගණනාවක් සුන්දර වින්දනයන් ගෙවී ගිය අතර ඔවුන් ඉන්ද්‍ර සහ සචි මෙන් විය. ඔවුනට කාලය පිළිබඳව හැඟීමක් නොවීය. එම කාන්තාව සියලු ගුණාංගයන්ගෙන් යුක්ත වූ අතර ප්‍රේම ශාස්ත්‍රය පිළිබඳ මනා දැනුමක් සහිත රජු, ඔවුන්ගේ දිව්‍යමය මාලිගාව තුළ ලක්ෂ්මී සහ නාරායන මෙන් නොනවත්වා විනෝද වීමට පටන් ගත්තාය. මෙසේ වර්ෂ ගණනාවක් ගත වූ අතර ඇය ගැබිනියක් බවට පත් වූවාය. පළමුව ඇය පුත්‍රයකුට ජනමය අතර ඔහු අෂ්ට වසුන්ගෙන් එක් අයෙක් විය. ඔහු උත්පත්තිය ලද මොහොතේම  ගංගා දේවිය ඇයව ගංගා නදියට විසි කළාය. මේ ආකාරයාට සත්වන දරුවා දක්වා අඛන්ඩව සිදු කළාය.

23-26. තම වචනය හේතුවෙන් කිසිවක් කරගත නොහැකිව අසරණ වූ රජු මෙසේ සිතන්නට විය: "මා දැන් කුමක්ද සිදු කළ යුත්තේ? මා කෙසේද මාගේ පරපුර ඉදිරියට ගෙන යන්නේ? පාපයේ ස්වරූපයෙක් වන මාහේ පතිනිය මාගේ පුත්‍රයන් සත්දෙනාම ඝාතනය කළාය. මා ඇයව වැළැක්වුවහොත් ඇය නිසැකවම මා අතහැර යනු ඇත. දැන් මට අවශ්‍ය පරිදි මෙය අටවන ගැබ් ගැනීමයි. දැන් මා ඇයට බාධා නොකළේ නම්, ඇය නිසැකයෙන්ම මාගේ පුත්‍රයා ගඟට විසි කරනු දමනු ඇත. පුත්‍රයකු නැවත ජන්මය ලබයිද නැද්ද යන්න සැක සහිත වන අතර, එය ජන්මය ලැබූවද ඇය එම දරුවා රැක ගනීද යන්න සැක සහිතය. දැන් මෙවැනි සැක සහිත අවස්ථාවක මා කුමක් කරන්නද? කෙසේ වෙතත්, මාගේ පරපුර රැකගැනීම උදෙසා මා උපරිම උත්සාහයක් දරමි."

27-32. කාලයාගේ ඇවෑමෙන් වසිෂ්ඨ ගේ නන්දිනි නම් ගව දෙන සොරාගත් වසු ගංගාවගේ අටවන පුත්‍රයා ලෙසින් ජන්මය ලැබීය. ශන්තනු රජු, පුත්‍රයා දැක ගංගාගේ පාමුල වැටී මෙසේ කීවේය."අද මගේ ජීවිතය දෙන්නැයි මා ඔබට යාඥා කරමි. මාගේ මෙම එකම පුත්‍රයාව පෝෂණය කරනු මැනවි. ඕ සුන්දරිය ඔබ මාගේ අලංකාර පුත්‍රයන් සත් දෙනාම ඝාතනය කළාය. ඕ සුන්දරිය! මා ඔබේ පාමුල වැඳ වැටෙමි. මාගේ පුත්‍රයාගේ ප්‍රාණය සුරකින්න. ඔබ මාගෙන් වෙනත් යමක් ඉල්ලුවහොත් එය විරල වූවද, මා ඔබට එය ලබාදෙමි; නමුත් ඔබ මාගේ උරුමකරු ආරක්ෂා කරනු මැනවි. වේදයෙහි කෙළ පැමිණි පඬිවරයන්  පවසන්නේ උරුමකරුවෙකු නොමැති තැනැත්තෙකුට ස්වර්ගය වෙත යාමට නොහැකි බවයි. එබැවින් ඕ සුන්දරිය! මාගේ අටවන පුත්‍රයා රැකදෙන මෙන් මා ඔබගෙන් ඉල්ලමි.

33-36. ශන්තනු විසින් මෙසේ ඉල්ලීම කළද ගංගා දේවිය දරුවාව නදියට විසී කිරිමට සුදානමින් සිටියාය. එවිට ක්‍රෝධයෙන් මුසපත් වූ රජු මෙසේ ගර්ජනා කළේය: "ඕ අධම කුරිරු ස්ත්‍රිය! නුඹ කුමක් කිරීමටද සැරසෙන්නේ? ඔබ නිරයට බිය නොවන්නේද? මෙවැනි අධම ක්‍රියාවන් සිදු කරන ඔබ කුමන දුෂ්ටයාගේ දියණියක්ද? ඕ පාපිය! ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයකට යන්න නැතහොත් ඔබ කැමති පරිදි මෙහි සිටින්න, එය නොවැදගත් වේ; නමුත් මගේ පුත්‍රයා මෙහි රැඳී සිටිනු ඇත. ඔබ මගේ පවුල වඳ කිරිමෙහිලා උත්සුක වන කල්හි ඔබ සමඟ ජීවත් වීමෙන් අත්වන ප්‍රයෝජනය කිම?

37-44. පුත්‍රයා රැගෙන යාමට සූදානම්ව සිටි ස්ත්‍රියට රජු මෙසේ ආමන්ත්‍රණය කළ විට ඇය කෝපයෙන් මෙසේ පැවසුවාය: "ඕ රජුනි! ඔබ මාගේ පොරොන්දුවට පටහැනිව ක්‍රියා කළ විට මාගේ වචනය බිඳ වැටුණු අතර ඔබ සමඟ ඇති මගේ සම්බන්ධතාවය අද සිට අවසන් වන්නේය. එබැවින්, මා මෙම පුත්‍රයා වනයට රැගෙන ගොස් ඔහුව පෝෂණය කරමි. මා ගංගා වෙමි දේව කාර්‍ය ඉටු කිරීම උදෙසා මා මෙහි පැමිණියෙමි. උත්කෘෂ්ට ආත්මයක් සහිත වසිෂ්ඨ පෙර අෂ්ට වසුන් හට මනුෂ්‍යන් වන ලෙස ශාප කළේය. ඔවුන් බොහො කණස්සල්ලට පත්ව මාහට ඔවුන්ගේ මැණියන් වන ලෙස පැවසීය. ඕ නරපතිය! මා ඔවුන්ගේ අවශ්‍ය වූ දේ ලබා දුන්නෙමි! දෙවියන් වහන්සේගේ කාර්‍ය ඉටු කිරීමෙහි අරමුණෙන් මා ඔබගේ පතිනිය වූයෙමි. සප්ත වසුන් දැනටමත් ජන්මය ලබා නිදහස් වී ඇත; දැන් මෙම අවසන් වසු ඔබගේ පුත්‍රයා ලෙසින් කලක් මෙහි රැඳී සිටිනු ඇත. ඕ සන්තානු! ගංගා පූජා කළ මේ පුත්‍රයාව දැන් ගන්න. මෙය දේව වසු බව දැනගෙන පුත්‍රයකු ලැබීමේ සතුට භුක්ති විඳින්න. ඕ භාග්‍යවන්තය! මෙම පුත්‍රයා ලෝකයේ ගාංගෙය (ගංගාගේ පුත්‍රයා) ලෙසින් ප්‍රකට වනු ඇත. ඔහු සියල්ලගෙන්ම මහාබල වනු ඇත. ඕ රජුනි! මා අද ඔහුව, මා ඔබ මාගේ ස්වාමියා ලෙසින් පිළිගත් ස්ථානය වෙත රැගෙන යමි. මා ඔහුව පෝෂණය කර තරුණ වියට පත් වූ පසු ඔහුව ඔබට නැවත බාර දෙන්නෙමි. මන්ද මෙම පුත්‍රයාට තම මව අහිමි වුවහොත් ඔහු ජීවත් නොවනු ඇත."

45-53. මෙසේ පවසමින් ගංගාව පුත්‍රයා සමඟ අන්තර්ධාන විය. ශන්තනු රජු දැඩි ශෝකයට පත් වූ අතර ඔහු මාලිගාවේ කල් ගත කළේය. රජු සැමවිටම තම බිරිඳ සහ පුත්‍රයාගේ වෙන්වීම ගැපිළිබඳව සිතූ අතර වේදනාකාරී ලෙස තම රාජ්‍යය පාලනය කළේය. මෙසේ කාලය ගෙවී ගිය අතර එක්තරා අවස්ථාවක  ශන්තනූ රජු දඩයම් කිරීමට ගොස්  මී හරකුන්, ඌරන් සහ වෙනත් වන සතුන් දඬුවම් කර ගංඟා ඉවුර වෙත පැමිණීයේය. පිරිමි ළමයෙක් විශාල දුන්නකින් සෙල්ලම් කරමින් ඊතල පසුපස ඊතල එල්ල කරමින් සිටින බව ඔහු මෙහිදී පුදුමයෙන් දුටුවේය. රජුගේ අවධානය පිරිමි ළමයා වෙත ආකර්ෂණය වූ නමුත් එම දරුවා ඔහුගේද නැද්ද යන්න ඔහුගේ මනසට කිසිසේත් නොපැමිණීයේය. ඔහුගේ අසාමාන්‍ය දස්කම් දෙස බැලීමේදී, අනංගයා මෙන් ඊතල පහසුවෙන් හා වේගයෙන් එල්ල කිරීමට ඔහු දැක්වූ දක්‍ෂතාවය, සමාන විය නොහැකි ඔහුගේ හැකියාව සහ අලංකාර ස්වරූපය දැක විශ්මයට පත්ව මෙසේ ඇසුවේය; "ඕ පාපි රහිතය! ඔබ කවරහුද?" වීරයා කිසිඳු පිළිතුරක් නොදී හී ප්‍රහාර එල්ල කරමින් නික්ම ගියේය. 

53-55 රජු ඔහු කවුරුන්ද? කාගේ පුත්‍රයෙකුද? කුමක් කල යුතුද? කොහේ යන්නද? යැයි කල්පනා කළේය. ඉන්පසු ඔහු ගංගා දේවිය ප්‍රශංසා කළ අතර ඇය අලංකාර ස්වරූපයෙන් රජු ඉදිරියේ පෙනී සිටියාය. ඇයව දුටු රජු මෙසේ පැවසිය: "ඕ ගංගා! මෙතනින් නික්ම ගිය දරුවා කවුරුන්ද? ඔබට නැවත වතාවත් ඔහුව මා හට පෙන්විය හැකිද?" 

56-59. ඉක්බිති ගංගා දේවිය මෙසේ පැවසුවාය: "ඕ රාජරාජේශ්වර! ඔහු ඔබගේ පුත්‍රයාය, ඔහු අටවන වසුන් වේ. මෙතරම් කාලයක් මා ඔහුව පෝෂණය කළ අතර දැන් මා ඔහුව ඔබට භාර දෙමි. ඕ සුව්‍රත! මේ මහා තාපස ගාංගෙයයි. ඔහු ඔබේ පවුලේ කීර්තිමත් අංකුරයයි. ඔබේ පරපුරේ මහිමය වැඩි වනු ඇත. මා ඔහුට දුනු විද්‍යාව ප්‍රගුණ කළෙමි. ඔබේ මේ පිරිසිදු පුත්‍රයා සිෂ්ඨගේ ආරාමයේ වාසය කළ අතර සියලු විද්‍යාවන් පිළිබඳ මනා දැනුමක් ඇති සහ සියලු ක්‍රියාවන්හි නිපුණයෙකු වී ඇත. පරශුරාම විසින් දැන සිටි සියල්ලක්ම ඔබගේ පුත්‍රයා දන්නේය. එබැවින් ඕ රාජරාජෙශ්වර! දැන් ඔබේ පුතාව රැගෙන සතුටින් සිටින්න."

60-64. මෙසේ පවසා ගංගා දේවිය ඔහුට පුත්‍රයා ලබාදී අන්තර්ධාන විය. රජු ද මහත් සේ සතුටු වී තම පුත්‍රයා වැළඳ ගත්තේය  ඔහු හිස සිඹ අශ්ව රථයට ගෙන ගොස් තමාගේම නගරය දෙසට ගමන් කළේය. හිස්තිනාපුරයට පැමිණි පසුව තම පුත්‍රයාගේ පැමිණීම සැමරීම විශාල උත්සවයක් සංවිධානය කෙරිණි, ඔහු සමස්ථ ජ්‍යෝතිර්වේදීන් අමතා කුමන දිනය සුබදැයි විමසීය. ඉන්පසු ඔහු තම සියලුම අමාත්‍යවරුන් කැඳවා ගාංගෙයව යුවරජ තනතුරෙහි තැබීය. එයින් ධාර්මික ශන්තනු ඉතාමත් තෘප්තියට පත්වූ අතර ඔහුට ගංගාවගේ වෙන් වීමේ වේදනාව අමතක විය.

65-67. සූත පැවසිය: මෙලෙස ඔබලා හට වසුන්ගේ ශාපය, භීෂ්මගේ ජන්මය, ගංගා සහ ශන්තනු ගේ එක් වීම පිළිබඳව විස්තර කළෙමි. මෙම දිව්‍යමය කථාවස්තුව ශ්‍රවණය කරන ඔනෑම අයෙකු පාපයන්ගෙන් මුක්ත වන්නේය. ඕ මුනිවරුනි! මා ව්‍යාසගේ ශ්‍රී මුඛයෙන් ශ්‍රවණය කළ ආකාරයට මේ පුණ්‍ය කථාවස්තූන් නුඹලා හට පැවසුවෙමි.

68- ලක්ෂණයන් පහකින් යුක්ත වූ සහ විවිධ පුරාවෘත්තයන්ගෙන් පිරුණු, ව්‍යාස මුණිවරයාගේ ශ්‍රී මුඛයෙන් පැමිණි මෙම ශුද්ධ ශ්‍රීමද් භාගවතම් ශ්‍රවණය කරන ඕනෑම අයෙකුගේ සියලු පාපයන් විනාශ වී සාමය හා ආශීර්වාදය ප්‍රාප්ත වන්නේය. ඕ, මුනි! මෙම ශුද්ධ වූ ඉතිහාසය මෙසේ ඔබට සම්පුර්ණයෙන්ම විස්තර කරේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ සිව්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.