Wednesday 6 September 1995

සත්‍යවතීගේ විවාහය

 

1-3. ඍෂි වරුන් පැවසිය: ඕ ලොමහර්ෂණ පුත්‍ර, ඕ සූත අෂ්ට වසුන්ට වසිෂ්ඨ මුනිවරයා ශාප කළ ආකාරයත් භීෂ්මගේ ජන්මය පිළිබඳවත් ඔබ අපට පැවසුවේය. ඕ ධර්මදර!  දැන් අපට පවසන්න ශන්තනු ව්‍යාසගේ මව වන සත්‍යවතී විවාහ කරගත් ආකාරය. ඔහු කෙසේද ඇයව ධීවර දියණියක් බව දැන දැන සරණ පාවා ගත්තේ? ඕ සුව්‍රත! අපගේ චකිතයන් දුරු කරනු මැනවි.

4-9. සූත පැවසිය: ශන්තනු රජු නිරතුරුව දඩයම් කිරීම සඳහා පුරුදුව සිටියේය. මහාදේව කාර්තිකෙය සමඟ සතුටින් සිටින්නා සේ; රජුද භීෂ්ම සමඟ දඩයමේ යෑමෙන් තෘප්තියට පත්විය. එක් වතාවක ඔහු ඌරෙකු පසුපස ගමන් කරන විට යමුනා නදි තෙරට ලඟා විය. එහිදී ඔහුට වචනයෙන් විස්තර කළ නොහැකි විශිෂ්ට සුගන්ධයක් දැනෙන්නට විය. මෙම පුසුඹ මන්දාර, කස්තුරි, චමපක, මාලති හෝ කේතකී පුෂ්පයන්ගෙන් නිකුත් වූවක් නොවන බව වටහා ගෙන ඔහු එහි මූලාශ්‍රය සොයාගැනීම උදෙසා වනාන්තරයේ ඔබ මොබ සැරිසැරුවේය. ඔහු කිසි දිනෙක අත්නොවිඳ සුවිශේෂී සුවඳකින් වාතය සංතෘප්ත විය.

10-17. එය පිළිබඳව සිතමින් එයට වශි වූ ශන්තනු එහි මූලය සොයා ගියේය. අවසානයේදී, ඔහු යමුනා ගං ඉවුර වෙත පැමිණි අතර, ඉතා අලංකාර ස්ත්‍රියක්, සන්සුන්ව හා නිහඬව ස්ත්‍රී ලිලාවෙන් සිටිනු ඇස ගැටීය. ඇයගේ ශරීරයෙන් එම සුගන්ධය නිකුත් වන බව රජු අවබෝධ කරගත්තේය. කාන්තාවගේ ස්වරූපය ඉතාමත් අලංකාරය. සුගන්ධය ඉතා අපූරු වූ අතර, සියලු දෙනාගේම සිත් පැහැර ගත්තේය. ඇය යෞවනයන්ට පා තබා තිබූ අතර ඇය ඉතා සුබදායක විය. ඇය පැමිණියේ කොහේ සිටද? ඇය දේවතාවියක්ද, මනුෂ්‍යයක්ද, ගන්ධර්වයෙක්ද, නාගයෙක්ද යන්න දැනගැනීම රජුට මහත් ආශාවක් පහළ විය. එහෙත්, නිශ්චිත නිගමනයකට පැමිණීමට නොහැකි වූ සහ දැඩි උද්‍යෝගයකින් පසු වූ ඔහුට ගංගා සිහි වී යමුනා ඉවුරේ වාඩි වී සිටින එම කාන්තාවගෙන් මෙසේ ඇසීය. "ඕ ප්‍රියේ! ඔබ කවරහුද? ඇයි ඔබ මේ සුන්දර වනාන්තරයේ තනිව සිටින්නේ? ඔබ විවාහකද? නැතහොත් අවිවාහකද? මේ සියල්ලටම පිළිතුරු ලබා දෙන්න. ඔබේ සුන්දර විස්මිත ස්වරූපය දැකීමෙන් මම අතිශයින් උද්‍යෝගිමත් වීමි. එබැවින් ඕ ප්‍රියාවිය!  මට විස්තරාත්මකව විස්තර කරන්න, ඔබ කවුද? සහ ඔබ කුමක් කිරීමට අදහස් කරන්නේද?"

18-19. ඉක්බිති ඇය මෙසේ පැවසීය: "ඕ රජතුමනි! මා ධීවරයාගේ දියණියයි. මා සම්පූර්ණයෙන්ම මාගේ පියාණන්ගේ අණට යටත් වෙමි. ඕ රාජරාජේශ්වර ධර්මය උදෙසා මා යමුනා නදිය හරහා පාරු ගෙන යමි. මාගේ පියා අපගේ නිවසට ගොස් තිබේ. ඕ ස්වාමීනී! මා ඔබට මෙසේ සත්‍ය පැවසුවෙමි."

20-23. මෙසේ කියමින් කාන්තාව කැමති වූවාය; එවිට උද්‍යෝගිමත් රජ ඇයට මෙසේ කීවේය: කුරු වංශයේ ප්‍රමුඛතම වීරයා මා වෙමි. එබැවින් මා ඔබේ ස්වාමිපුරුෂයා ලෙසින් තෝරා ගන්න. එවිට ඔබේ යෞවනය නිෂ්ඵල නොවනු ඇත. මා හට වෙනත් බිරිඳක් නොමැත; එබැවින් ඔබ මාගේ නිත්‍යානුකූල බිරිඳ වන්න. ඕ ප්‍රියේ! රාගය මට මහත් වේදනාවක් ලබා දෙයි; එබැවින් මා දැන් සදහටම ඔබේ කීකරු සේවකයා වී සිටිමි. ඕ ආදරණීය! මගේ පෙර සිටි ආදරණීය බිරිඳ මාව අතහැර දමා ගියාය; නමුත් මා නැවතත් විවාහ නොවුයෙමි. නමුත් දැන් ඔබගේ සුන්දරත්වය දැක මාගේ මනස මාහට පාලනය කරගත නොහැකිය.

24-26. රජුගේ මෙම අමෘතය වන් අලංකාර වදන් ශ්‍රවණය කිරීමෙන් ඉක්බිතිව ධීවර දියණිය රාගයෙන් මත් වුවාය: "ඕ රජුනි! ඔබ ප්‍රකාශ කළ දෙයට මා ද කැමතියි. නමුත්, මා කුමක් කරන්නද? මා ස්වාධීන නොවෙමි. ඔබ මෙය දැනගත යුතුයි. ඔබට මාව විවාහ කර දීමට මගේ පියාට පමණක් හැකිය. මාගේ පියාණන්ගෙන් මාව විමසන්න.  මා ධීවර දියණියක් වූවද මුරණ්ඩු නොවෙමි. මා සෑම විටම මාගේ පියාණන්ට කීකරුය. මාගේ පියා කැමතිනම් ඔබට මා සරණ පාවා ගත හැකිය. එවිට මා ඔබට යටත් වෙමි. ඕ රජතුමනි!  යෞවනයෙන් පිරිපුන් මා හට කාම දෙවියන් වධහිංසා කරයි. ඔහු ඔබට එතරම් වධහිංසා නොපමුණවයි. කෙසේ වෙතත්, අතීතයේ සිට පැවත එන මාගේ පරපුරේ පුරුදු සහ සිරිත් විරිත් ගැන මා සලකා බැලිය යුතුය. මා මාගේ ඉවසීම රඳවා ගත යුතුයි.

27-29. සූත පැවසිය: ඇයගේ මෙම ආකර්ෂණීය වදන් කෙරෙහි දැඩි ලෙස සතුටු වූ රජු, කාන්තාව සඳහා ධීවරයාගේ නිවසට ගියේය. රජු තම නිවසට පැමිණෙනු දුටු ධීවරයා මහත් විස්මයට පත් වී භක්තියෙන් හිස නමා මෙසේ පැවසීය: "ඕ රජතුමනි! මා ඔබ වහන්සේගේ සේවකයා වන්නෙමි. ඔබේ පැමිණීමෙන් මම ආශීර්වාද ලබමි. ඕ උත්කෘෂ්ට රජුනි! ඔබ වහන්සේගෙ පැමිණීම පිළිබඳව මාහට හේතු පවසනු මැනවි."

30. රජු පැවසිය: "ඕ පාපි රහිතය! මම සත්‍යවශයෙන්ම ඔබට පවසන්නේ, ඔබ මට ඔබේ දියණිය විවාහ කර දෙන්නේ නම් නිසැකයෙන්ම ඇයව මාගේ නීත්‍යානුකූල බිරිඳ බවට පත් කර ගමි."

31-32. ධිවරයා පැවසිය: "ඕ රජතුමනි! කවදා හෝ දිය යුතු දේ, දිය නොහැකි යැයි මා පවසන්නේ කෙසේද? එබැවින් ඔබ වහන්සේ මාගේ දියණිය ඉල්ලා සිටින්නේ නම් මම ඇයව ඔබ වහන්සේට දෙන්නෙමි. නමුත් රජතුමනි! ඔබ වහන්සේ ඇයගේ පුත්‍රයාට රජකම ලබා දිය යුතුය. ඔබ වහන්සේ නොමැති විට ඔබ වහන්සේගේ වෙනත් පුත්‍රයෙකුට රජ විය නොහැක.

33-35. මෙම වදන් අසා මහත් කලබලයට පත්ව ගාංගෙය සිහි වූ හෙයින් නිහඬව සිටියේය. ප්‍රේමයෙන් රෝගී වූ ඔහු කනස්සල්ලෙන් ආපසු නිවස වෙත පැමිණි අතර ස්නානය, ආහාර, නිද්‍රාව ආදි සියල්ල ප්‍රතික්ෂේප කළේය. මේ අතර දේවතාවුන් හා සමාන වූ ගාංගෙයට තම පියාණන් කනස්සල්ලෙන් සිටිනු පසක් වී ඔහු වෙත ගොස් එයට හේතු විමසීය.

36-41. "ඕ රජුනි! කුමන කාරණයක් හේතුකොට ඔබ වහන්සේ කනස්සල්ලෙන් සිටින්නේද? ඔබට ජයගත නොහැකි සතුරා කවරෙක්ද?  ඔබගේ පාලනය නතු කරගැනීමට අවශ්‍ය වන්නේ කාවද? ඕ රජුනි! තම පියාගේ වේදනාවන් වටහා නොහැකි, ඒවා නැසිය නොහැකි පුත්‍රයකු සිටීමෙන් අත්වන ඵලය කිම? පුතෙකු පෙර භවයන්හී ඔහු ලැබූ ණය පියවීම සඳහා උපත ලැබී පුත්‍රයාට සැබැවින්ම පුත්‍රයා ලෙස හැඳින්විය හැකිය.  මේ තුළ කිසිදු ආකාරයක සාකච්ඡාවක් නොමැත. බලන්න රඝු වංශයේ රාම තම පියාණන්ගේ අණට අනුව තම රාජධානිය අත්හැර තම සොහොයුරු ලක්ෂ්මන සහ් පතිනිය සීතා සමඟ චිත්‍රකූට වනයට පිටත් විය. හරිශ්චන්ද්‍ර රජුගේ පුත්‍රයා වන රොහිත තම පියාගේ ණය පියවීමට සූදානම් වූ අතර ඔහුගේ පියා විසින් විකුණා බ්‍රාහ්මණයෙකුගේ නිවසේ සේවකයෙකු ලෙස සේවය කළේය. සුප්‍රසිද්ධ ශුනශෙව උසස් ආත්මයක් සහිත අජිගර්ත විසිනඑ විකුණනු ලැබු කළ ඔහුව යාගයක් සඳහා බැඳ තිබුනේය. නමුත් ගන්ධිගේ පුත් විශ්වාමිත්‍ර විසින් ඔහුව පසුව නිදහස් කරන ලදී. පුරාණ කාලයේදි පරශුරාම තම පියාගේ අණ පරිදි තම මවගේ හිස ගසා දැමූ බව හොඳින් දන්නා කරුණකි. පියාගේ වදන් වඩාත් වැදගත් යැයි ඔහු සැලකූ අතර එබැවින් එවැනි අධර්මිෂ්ඨ ක්‍රියාවක් කිරීමට හැකි විය."

42-44. "ඕ රජතුමනි! මේ මාගේ ශරීරය ඔබේ අත ය; නිසැකවම ඔබ මට අණ කරන දේ මට කළ හැකිය. එසේනම් මා කුමක් කළ යුතුද යන්න පවසන්න? මා ජීවත් වන තාක් ඔබ වහන්සේ කිසිඳු පීඩාවක් නොවිඳිය යුතුය. ඔබ අවසර දෙන්නේ ප්‍රායෝගික නොවන දෑ පවා මා කරන්නෙමි. ඔ රජතුමනි! ඔබ කලබල වන හේතුව පවසන්න; මාගේ දුන්නෙන් මම එය වහාම ඉවත් කරමි. මාගේ ශරීරය ඔබ වහන්සේගේ නියෝගය ඉටු කරන්නේ නම්, ඔබේ ඉච්ඡාවන් නිසැකවම ඵල දරනු ඇත. හැකියාවක් ඇති වුවද තම පියාගේ කැමැත්ත ඉටු කිරීමට අකමැති පුත්‍රයන් ලජ්ජා විය යුතුය. තම පියාගේ සංකාවට හේතුන් විනාශ නොකරන පුත්‍රයකු ලැබීමෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?"

45-52. පුත්‍රයාගේ වදන් ශ්‍රවණය කෙරූ රජු හදවතින් බොහෝ ලජ්ජා වී මෙසේ පැවසීය: "ඕ පුත්‍ර! ඔබ මාගේ එකම පුත්‍රයා වීම දැන් මගේ බරපතලම සිත්තැවුලයි. හැරත් ඔබ ඉතා බලවත්, ගෞරවනීය වීරයෙකු වන අතර කිසි විටෙකත් සංග්‍රාම තුළදි ඔබ පිටු නොපායි; එබැවින් අවාසනාවන්ත ලෙස ඔබ සංග්‍රාම භූමියකදි මිය ගියහොත් මා ඵල රහිත වනු ඇත; එවැනි තත්වයන් යටතේ මා කුමක් කරන්නද? එබැවින් මා හට එක් පුත්‍රයෙකු පමණක් සිටියොත් මාගේ දිවිය ඵල රහිත වනු ඇත; මෙයයි මාගේ විශාලම ගැටලුව; එබැවින් මා හට සමාවන්න. ඕ පුත්‍ර! මට ඔබට සඳහන් කළ හැකි වෙනත් සිත්තැවුලක් නොමැත. පියාගේ මේ වදන් ඇසූ ගාංගෙය අමාත්‍යවරුන් කැඳවා පැවසුවේ  සත්‍ය කාරණය ඔහුට පැවසීමට රජු ලජ්ජාශීලි බාවත; එබැවින් සත්‍ය කාරණය දැනගෙන ඔහුට පවසන ලෙසත්; එවිට ඔහුට කිසිදු බාදාවකින් තොරව ඒවා ක්‍රියාත්මක කළ හැකි බවත්‍ ය. භීෂ්ම එසේ පැවසු කළ අමාත්‍යවරුන් ගොස් සත්‍ය කාරණාව භීෂ්ම හට සැළ කළේය. මෙයදැනගත් අනතුරුව ඔහු කුමක් කරන්නද යන්න පිළිබඳව කල්පනා කළේය.

53. ඉන්පසු භීෂ්ම අමාත්‍යවරුන් සමඟ ධීවරයාගේ නිවසට ගොස් මෙසේ ආයාචනා කළේය: "ඔබේ සුරූපී දියණිය මගේ පියාට විවාහ කර දෙන ලෙස මම ඔබට ආයාචනා කරමි. ඔබේ දියණිය මාගේ මව වන අතර මා ඇගේ මෙහෙකරු වන්නෙමි."

54. එවිට ධීවරයා පැවසීය: "ඕ මහා භාග්‍යවත් කුමරුනි! ඔබ සිටින තාක් ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා හට රජ රජ විය නොහැකිය. එබැවින් කරුණාකර ඔබ මාගේ දියණිය සරණ පාවා ගන්න.

55. භීෂ්ම නැවත පැවසිය: "ඔබගේ දියණිය මාගේ මව වීමට ඉඩ දෙන්න, මා කිසිදා රාජ්‍ය බාර නොගන්නෙමි. ඔබගේ දියණියගේ පුත්‍රයා නිසැකවම කිරුළු පළඳිනු ඇත."

56. ඉක්බිති ධීවරයා (දශ්රජ්) පැවසිය: "ඔබ වදන් නිර්වද්‍ය බව මා දනිමි; නමුත් ඔබගේ පුත්‍රයා ශක්තිමත් වුවහොත් ඔහුට බලෙන් රාජ්‍ය පවරා ගත හැකිය."

57. භීෂ්ම පිළිතුරු ලබා දුන්නේය: "මාගේ වදන් සත්‍ය ලෙස පිළිගන්න; මා කිසිදා විවාහ නොවෙමි; අද දින පටන් මා මෙම දුෂ්කර පොරොන්දුව රකිමි.

58-59. සූත පැවසිය: භීෂ්මගේ මෙම ස්ථිර අධිෂ්ඨානයට සවන් දීමෙන් අනතුරුව, ධීවරයා තම පියකරු දියණියව ශන්තනු වෙත ලබා දුන්නේය. මේ ආකාරයට ශන්තනු සත්‍යවතීව සරණ පාවා ගත් නමුත් ව්‍යාසගේ ආශ්චර්යමත් උත්පත්තිය පිළිබඳව ඔහු නොදැන සිටියේය. 

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ පස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.