Thursday 7 September 1995

පාණ්ඩවයන්ගේ ජන්මය

 

1-5. සූත පැවසිය: මෙසේ ශන්තනු සත්‍යවතී විවාහ කරගැනීමෙන් අනතුරුව පුත්‍රයන් දෙදෙනකු ජන්මය ලැබූ අතර කාලයාගේ ඇවෑමෙන් ඔවුන් මරණයට පත් විය. ව්‍යාස දෙවට දාව දෘතරාෂ්ට්‍ර ජන්මය ලැබු අතර ඔහුගේ මව අම්බිකා දේවිය ව්‍යාස දුටු විට දෑස් පියා ගත් හෙයින් දෘතරාෂ්ට්‍ර අන්ධ විය. ඔහු අන්ධ බව දුටු සත්‍යවතී ව්‍යාසට අම්බාලිකා වෙත යන ලෙස අණ කළාය. ව්‍යාස ඉදිරියේ ඇය සුදුමැලි වූ හෙයින් ඔහුගේ පුත්‍රයාද සුදුමැලි විය. ව්‍යාසගේ කෝපයෙන් ඔහු සුදුමැලි වූ හෙයින් ඔහු පාණ්ඩු ලෙසින් හැඳින්විය. කාම ශාස්ත්‍රය පිළිබඳව මනා දැනුමක් ඇති මෙහෙකාරිය ව්‍යාසව තෘප්තිමත් කළ හෙයින් ඇය ජන්මය ලබා දුන් ධර්ම දේවයන්ගේ අංශුවක් වන විදුර ශුද්ධ මෙන්ම ධාර්මික විය. 

6-11 පාණ්ඩු බාල පුත්‍රයකු වූවද අමාත්‍යවරුන් ඔහුව සිංහාසනයේ පිහිටුවූහ. දෘතරාෂ්ට්‍ර අන්ධ හෙයින් ඔහුට සිංහාසනය අහිමි විය. භීෂ්මගේ අවසරය ඇතිව බලවත් පාණ්ඩු ස්වෛරීභාවය ලබා ගත්තේය. ඥානාන්විත විදුර ඔහුගේ අමාත්‍යවරයා බවට පත්විය. දෘතරාෂ්ට්‍ර හට ගාන්ධාරී සහ සෞවාලි නමින් පතිනියක් දෙදෙනෙකු විය; සෞවාලි වෛශ්‍යාවක් වූ අතර ඇය ගෘහස්ත කටයුතුවල නියැලී සිටියාය. පාණ්ඩු රජුටද සූරසෙන පුත්‍රී කුන්තී සහ මාද්‍රී නමින් පතිනියන් දෙදෙනෙකු විය. මාද්‍රි යනු මද්‍ර රජුගේ දියණියයි. ගාන්ධාරී පුත්‍රයන් සිය දෙනෙකුට ජන්මය ලබා දේ. (මහාභාරතය තුළ සඳහන් වන මෙම සිදුවීම ඇතැම් අය විශ්වාස කරන්නේ නළ දරු උපත් තාක්ෂණයයි.) වෛශ්‍යා සෞවාලි යුයුත්සු නම් අලංකාර පුත්‍රයකුට ජන්මය ලබා දුන්නාය. කුන්ති කන්‍යාවක්ව සිටියදී සූර්‍යයාගේ මාධ්‍යයෙන් අලංකාර කර්ණ උපත ලැබුවේය. පසුව ඇය පාණ්ඩු රජුගේ පතිනිය වුවාය.

12. ඍෂි වරුන් පැවසීය: ඕ මුනි සූත! ඔබ පවසන්නේ කුමක්ද? පළමුව කුන්තී විසින් දරුවෙකු බිහි කළ අතර පසුව ඇය පාණ්ඩු සමඟ විවාහ විය; මෙය නිසැකවම මහත් ආශ්චර්යයකි! කුන්තී අවිවාහකව සිටියදි කර්ණ ජන්මය ලැබුවේ කෙසේද? කෙසේ වෙතත්, කුන්තී විවාහ වන්නේ කෙසේද? මේ සියල්ල විස්තරාත්මකව පවසනු මැනවි.

13-18. සූත පැවසිය: ඕ ද්විජ! ශූරසෙනගේ දියණිය වන කුන්තී කන්‍යා දැරියක්ව සිටියදී, කුන්තිභෝජ රජු තම දියණිය ලෙසින් කුන්තීව ඉල්ලා සිටි අතර ඉන්පසු ශූරසෙන ඇයව ඔහුට බාර දුන්නේය. ඔහු ඇයව යාගයන්හී සේවය කිරීමට යොදාගත්තේය. වරෙක එක්තරා අවස්ථාවකදී, සිව් මසක් පුරා භාරයක නියුක්ත වූ දුර්වාසා මුනි එහි පැමිණියේය; එම කාලය තුළ කුන්ති ඔහුට සේවය කළාය. එයින් මහත් ප්‍රසන්න වූ මුනි විශේෂ මන්ත්‍රයක් ලබා දුන් අතර එම මන්ත්‍රයෙන් ඔනෑම දෙවි කෙනෙකු පැමිණ ඇයගේ ඉච්ඡාවන් සම්පූර්ණ කරන්නේය. මුනිවරයා පිටව ගිය පසුව කුන්තී නිවසෙහි තනි විය, එම මන්ත්‍රයේ නිර්වද්‍යතාව පරික්ෂා කිරීම සඳහා ඇය කුමන දේවතාවෙකු ආවාහනය කරන්නේද යන්න කල්පනා කළාය. සූර්‍ය දෙවියන් දිවා අහසේ සිටිනු දැක, කුන්තී එම මන්ත්‍රය භාවිතා කරමින් එතුමාව ආවාහනය කළාය.

19-21. ඉක්බිති සූර්‍ය දෙවියන් ස්වර්ගයෙ පැමිණ මනුෂ්‍ය ස්වරූපයක් ආරෝපණය කරගනිමින් ඇය ඉදිරියේ ප්‍රකට විය. තමා ඉදිරියේ සිටින ආදිත්‍ය දැක විස්මයට පත්ව වෙව්ලන්නට වූ අතර ස්වාභාවික ඔසප් වීම සිදු විය. ඉන්පසු ඇය දෑත් එකතු කරගනිමින් සූර්‍ය දේවතාවුන්ට මෙසේ පැවසුවාය: "ඔබ වහන්සේගේ ස්වරූපය දැක මා අද ඉතාමත් සතුටු වෙමි. දැන් ඔබේ ලෝකය වෙත ආපසු පිටත් වන්න."

22-23. සූර්‍ය දෙවියන් පැවසුවේය: "ඕ කුන්තී! ඔබ මන්ත්‍ර ශක්තියෙන් මා ආවාහනය කරනු ලැබුවේ කවර හේතුවකටද?  මා ආවාහනය කර, ඔබ ඉදිරියේ සිටින මා හට ඔබ නමස්කාර නොකරන්නේ මන්ද? ඕ සුන්දර නේත්‍රා හිමි තැනැත්තිය! ඔබ දුටු කළ මා සිත රාගයෙන් බර විය; එබැවින් මා වෙත පැමිණෙන්න. මන්ත්‍ර ශක්තියෙන් ඔබ මා යටත් කරගෙන සිටි, එබැවින් පැමිණ මා හා එක්වන්න."

24. මෙය ශ්‍රවණය කෙරූ කුන්ති ඉක්බිති මෙසේ පැවසුවාය: "ඕ ධර්මදර! ඔබ මා කන්‍යාවියකු බව දන්නේය. ඕ සුව්‍රත! මා ඔබ වහන්සේට නමස්කාර කරමි; මා දියණියක් වෙමි; එබැවින් මාහට අයෝග්‍ය ලෙසින් ආමන්ත්‍රණය නොකරන්න."

25-30. සූර්‍ය පැවසීය: "මා නිෂ්ඵලව ගියහොත්, මහත් ලැජ්ජාවට පත් වන අතර, දේවතාවුන් අතර සිනහවට පාත්‍ර වනු නිසැකය. එබැවින් ඕ කුන්තී! ඔබ මා තෘප්තියට පත් නොකරන්නේ නම් මා නිසැකවම ඔබ හා ඔබට මෙම මන්ත්‍රය ලබාදුන් බ්‍රාහ්මණයා හට ශාප කරමි. ඕ සුන්දරිය! ඔබ් මා තෘප්තිමත් කළද ඔබගේ කන්‍යාභාවය රැඳී පවතිනු ඇත; මෙය කිසිවෙකුත් දැන නොගන්න අතර මා මෙන් තේජාන්විත පුත්‍රයකු ඔබට ලැබෙනු ඇත." මෙසේ පවසා සූර්‍ය දේවා, කුන්තී භුක්ති විඳිමින්, මනසින් ඇය වෙත ආකර්ෂණය විය. පසුව ඇය වෙත වරයන් ප්‍රදානය කොට පිටව ගියේය. රූමත් කුන්තී ගැබ්ගෙන ඉතා රහසිගතව නිවසෙහි රැඳී සිටීමට පටන් ගත්තාය. එය දැන සිටියේ ආදරණීය හෙදිය පමණි; ඇගේ මව හෝ වෙනත් පුද්ගලයෙකු මෙම කරුණ නොදැන සිටියහ, කාලයාගේ ඇවෑමෙන් දෙවන සූර්‍යා සහ කාර්තිකේය වැනි අලංකර පුත්‍රයකු එහි ජන්මය ලැබීය.

31-32. එවිට හෙදිය ලජජාශීලි කුන්තීගේ දෑත් අල්ලාගෙන මෙසේ කීවාය: “අහෝ මනෝහර තැනැත්තිය! මා ජීවත් වන තුරු ඔබට තිබිය හැකි කන්ස්සල්ල කුමක්ද? කුන්තී ඉන්පසුව දරුවා මඤ්ජුසාවකට දමා මෙසේ පැවසිය: "ඕ පුත්‍ර! මා කුමක් කරන්නද? නින්දාව කෙරෙහි පවත්නා බිය හේතුකොට මාගේ ප්‍රාණය වන් ඔබව මා අත්හැර දමමි. මෙම උත්කෘෂ්ට පුත්‍රයා පසෙකලා දැමීම ගැන මා අතිශයින් කනගාටු වෙමි.  

33-35. "සමස්ථ ගුණාංගයන්ගෙන් තොර විශ්ව මාතාව සහ සියල්ලන්ගේම ස්වාමීදූ වන ගුණයන්ගෙන් පිරිපුන් භගවතී අම්බිකා දේවිය ඔබව ආරක්ෂා කරනු ඇත. සමස්ථ ඉච්ඡාවන් ප්‍රධානය කරන ඔබට ඇයගේ ක්ෂීරය ලබාදෙනු ඇත. අහෝ! මෙම හුදකලා වනාන්තරයේ සූර්යාට දාව ඉපදුන ඔබව, අවශ්‍ය නොමැති කාන්තාවක් මෙන් අත්හරිමි. මා මෙන්ම මා හට ආදරනීය වු ඔබේ පද්මයක් වන් වත මට කවදා දැකිය හැකි වේද. අහො! මා මාගේ පූර්ව ජන්මයේදි තුන් ලෝකයේ මාතාව වන ශිවානි වන්දනා කොට නොමැත. මා ඇයගේ පාද පද්මයන් උදෙසා ධ්‍යාන වඩා නොමැත්, මා මහත් අවාසනාවන්ත වෙමි. ඕ මා ප්‍රිය පුත්‍ර!  වනාන්තරයේ ඔබව අත්හැරීම යන මා දැන දැනම කළ මේ බිහිසුණු පාපය සමනය කර ගැනීම සඳහා මා මහා තපසක නිරත විය යුතුය."

36-38. සූත පැවසිය: මංජුසාව තුළ සිටි පුත්‍රයාට මෙසේ කී කුන්තී, යමෙකු ඇයව දකී යයි බියට පත් වී එය තම හෙදියගේ අතට භාර දුන්නාය. ඉක්බිත ඇය ස්නානය කොට දුක්ඛිතව පියාගේ නිවසෙහි වාසය කළාය. රථාචාර්ය්‍යයකු වූ අධිරතට අහම්බෙන් එය හමුවිය. ඔහුගේ පතිනිය වන රාධා ඔහුව හදාවඩා පෝෂණය කළාය. මෙසේ එම නිවසේ හැදී වැඩුණු කුන්තී පුත්‍ර කර්ණ ඉතා ශක්තිමත් රණශූරයෙකු විය.

39-42. පාණ්ඩු රජු ස්ව්‍යම්වරයකදි කුන්තීව විවාහ කරගත් අතර මද්‍ර රජුගේ දියණියද ඔහුගේ උප බිසව බවට පත් විය. වරෙක පාණ්ඩු රජු දඩයම් කිරීම සඳහා වනාන්තරයේ සැරිසරණ කල ප්‍රේමාලිංගයේ යෙදෙමින් සිටි මුවන් ජෝඩුවක් දැක උන් දෙදෙනාට ප්‍රහාර එල්ල කළේය. නමුත් මුව ස්වරූපයෙන් සිටියේ කින්දම මුනි සහ එතුමාගේ පතිනියයි. ඉක්බිති පහර කෑ මුනිවරයා අවසන් සුසුම් හෙළීමට පෙර රජුට මෙසේ ශාප කළේය; "නුඹ කවරෙකු සමඟ හෝ එක් වුවහොත් නිසැකවම මරණයට පත්වනු ඇත." මෙම ශාපයෙන් බොහෝ සෙයින් කනස්සල්ලට පත් පාණ්ඩු රජු තම රාජ්‍ය අත්හැර වනවාසයට පිටව ගියේය.

43-48. ඕ මුනිවරුනි! ඔහුගේ බිසවුන් දෙදෙනා වන කුන්තී සහ මාද්‍රී වනවාසයේ හිදිමින් ඔහුට සේවය කළේය. පාණ්ඩු මුනිවරුන්ගේ ආශ්‍රමයක නැවතී ධර්ම ශාස්ත්‍ර ඇසීමෙන් දැඩි තපසක නිරත විය. වරක් ඔහු මුනිවරුන්ගේ ආගමික දේශනාවන්ට සවන් දෙමින් සිටියදී, පුත්‍ර හින පුරුෂයාට කිසි විටෙකත් ස්වර්ගයට යා නොහැකි බව මුනිවරුන් පවසන ආකාරය ඔහුට නිසැකවම ශ්‍රවණය විය. එබැවින් ඔහුට කෙසේ හෝ වෙනත් ආකාරයකින් පුත්‍රයකු ලැබිය යුතුය. පඬිවරුන් ක්ෂෙත්‍රරාජ, ගෝලක, කුණ්ඩ, සහොධ, කානීන සහ ක්‍රීත ලෙසින් ෂඩ් ආකාරයේ පුත්‍රයන් දක්වයි.  වනාන්තරයෙන් ලබා ගත්, වෙන පියෙකුගෙන් ලැබූ, පෝෂණය කිරීමට අපහසු අනෙකුගේ පුත්‍රයෙක්, යන් සියල්ලටම තම පියාගේ ධනය හිමිකර ගැනීමට අයිතියක් ඇත. නමුත් එකිනෙකින් අනුපිළිවෙළ පහත් වන්නේය.

49-50. මෙලෙස ශ්‍රවණය කෙරූ පාණ්ඩු රජ කුන්තී අමතා මුනිවරයෙකු දාව පුත්‍රයෙකු බිහි කරන ලෙස දැන්විය. "මාගේ නියෝගය පරිදි, මෙය කිරීමෙන් ඔබට කිසිඳු පාපයක් සිදු නොවේ. අතීතයේ උත්කෘෂ්ට සෞදාස රජුට වසිෂ්ඨ රජුගෙන් පුත්‍රයකු ලැබුනු බව මා අසා තිබේ. 

51-54. කුන්තී රජුට පැවසිය: "ඕ ස්වාමීනි මා එක් සිද්ධ මන්ත්‍රයක් දන්නෙමි. එය මට පෙර දුර්වාසා මුනි විසින් ලබා දුන්නකි. එම මන්ත්‍රයෙන් මා කුමන දේවතාවෙකු ආවාහනය කළද, ඔහු මන්ත්‍ර ශක්තියට යටත්ව ක්ෂණිකව මා ඉදිරියෙහි ප්‍රකට වේ. ස්වාමියාගේ ඉල්ලීම මත කුන්තී ධර්ම දෙවියන් ආවාහනය කොට ඔහුට දාව යුධිෂ්තිරට ජන්මය ලබා දුන්නාය. ඉන්පසු ඇය පවන දේවට දාව වෘකොදර (භීම); ඉන්ද්‍රට දාව අර්ජුනද උපත ලැබීය. මේ ආකරයට වර්ෂයකට එක් පුත්‍රයා බැගින් කුන්තී වර්ෂ ත්‍රිත්වයකදි රණශූර පුත්‍රයන් ත්‍රිත්වයකට ජන්මය ලබා දුන්නාය. 

55-56. මාද්‍රීද තම ස්වාමියා ආමන්ත්‍රණය කොට මෙසේ විමසීය: "ඕ රජතුමනි! කෞරවයන්ගේ විශිෂ්ටය! මා දැන් කුමක් සිදු කරම්ද? මාහට පුත්‍රයන් ප්‍රාප්ත කරගැනීමට මාර්ගයක් පවසන්න; ඕ ස්වාමීනි මාගේ වේදනාවන් දුරු කරනු මැනවි." එවිට පාණ්ඩු රජු කුන්තීට ආයාචනා කළ අතර කුන්තී ඇය කෙරෙහි අනුකම්පා සහගතව මන්ත්‍රය ලබා දුන්නාය.

57. ඉන්පසු රූමත් මාද්‍රී අශ්විනි කුමාරයන් ආවාහනය කොට නකුල සහ සහදෙව යන නිවුන් සොහොයුරන්ට ජන්මය ලබා දුන්නාය. 

58-65. ඕ මුනිවරුනි! මේ ආකාරයට දේවතාවුන්ට දාව පාණ්ඩු රජුගේ බිසවුන්ගෙන් පාණ්ඩවයන් පස් දෙනාගේ ජන්මය සිදු විය. වරෙක පාණ්ඩුගේ අවසානය ලං විය. මාද්‍රි දැක ඔහුගේ රාගය උත්සන්න වී ඇය සමඟ එක් වූ අතර එක් වරම ඔහු බිම ඇද වැටුනි. මාද්‍රී බිම වැටි විලාප තබන්නට වුවාය. ඇයගේ විලාපයත් සමඟ කුන්තී සහ පුත්‍රයන් පස් දෙනා එම ස්ථානයට පැමිණියහ. එවිට කලබලයක් ඇති වූ අතර මහා මනුවරයන්ද එම ස්ථානයේ පෙනී සිටියහ. පාණ්ඩු රජුගේ මරණය සිදු වී ඇති බව දැනගත් මුනිවරුන් ගංගා නදිය අසබඩ ඔහුගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදු කළහ. ඒ අවස්ථාවේදි මාද්‍රි තම පුත්‍රයන් දෙදෙනා කුන්තී වෙත පවරා සතී පූජාව සිදුකොට තම ස්වාමියා සමඟ සත්‍ය ලෝකයෙහි ජන්මය ලැබූහ. පසුව මුනිවරුන් පාණ්ඩු රජුට ගෞරව කිරීම උදෙසා තර්පන විධි පැවැත්වූ අතර කුන්ති සහ පුත්‍රයන් හස්තිනාපුරයට රැගෙන ගියේය.

66- කුන්තී පැමිණි බව දැනගත් භීෂ්ම, විදුර සහ දෘතරාෂ්ට්‍රගේ අනෙකුත් ඥාතීන් පැමිණ කුන්තීගෙන් මෙසේ විමසිය: "ඕ සුන්දරිය! මෙම පංච පුත්‍රයන් කවරහුද?" එවිට කුන්තී පාණ්ඩු රජුගේ ශාපය පිළිබඳව ස්මරණය කොට දුක්මුසුව මෙසේ පැවසුවාය: "මෙහි සිටින්නේ දේවතාවුන්ට දාව කුරු වංශයේ ජන්මය ලද පුත්‍රයන්ය." එහි රැස්ව සිටි පිරිස් හට මෙය ඔප්පු කිරීම සඳහා ඇය දේවතාවුන්ව ආවාහනය කළාය. දේවතාවුන් එහි ප්‍රකට වී ඔවුන් තමන්ගේ අංශූන් ලෙස පැවසිය. ඉක්බිති භීෂ්ම දේවතාවුන්ගේ වචනයට ගරු කොට පුත්‍රයන්ට නිසි ගෞරවය ලබා දුන්නේය. ඉන්පසු භීෂ්ම පංච පුත්‍රයන් සහ කුන්තීව හස්තිනා පුරයේ රඳවා පෝෂණය කළේය. ඕ මුනිවරුනි! මේ ආකාරයට කුන්ති පුත්‍රයන් ජන්මය ලැබ උස්මහත් විය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ හයවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.