Friday 8 September 1995

නික්ම ගිය අයවලුන් දර්ශනය වීම

 

1-7. සූත පැවසිය: පාණ්ඩවයන් පස් දෙනාගේ බිසව වූයේ පවිත්‍ර ‌ද්‍රෞපදී දේවියයි. සෑම කුන්තී පුත්‍රයකුට එක් පුත්‍රයා බැගින් බිහි කළාය. අර්ජුන හට සුභද්‍රා නමින් තවත් බිසවක් වූ අතර ඇය ශ්‍රී කෘෂ්ණයන්ගේ නැගනියයි. ශ්‍රී කෘෂ්ණයන්ගේ අණ පරිදි අර්ජුන ඇයව පැහැර ගත්තේය. මහාවිරු අභිමන්යු ජන්මය ලැබුවේ සුභාද්‍රාගෙනි. මේ අභිමන්යූ සහ ද්‍රෞපදීගේ පුත්‍රයන් පස් දෙනා සටනේදී මිය ගියහ. අභිමන්යූගේ බිරිඳ උත්තරා විරාට් රජුගේ ආකර්ශනීය දියණියයි. පවුලේ සියළුම පිරිමි දරුවන් වඳ වී ගිය පසු ඇය එක් මළ දරුවෙකු බිහි කළාය. ඉහත දරුවා අශ්වත්තාමාගේ හී පහරින් මිය ගිය පසු අසාමාන්‍ය ශක්තියකින් හෙබි ශ්‍රි කෘෂ්ණ විසින්ම ඔහුගේ සහෝදරියගේ මියගිය මුනුපුරා නැවත ජීවතුන් අතරට පත් කළේය. පවුල න්‍යෂ්ට වී යාමෙන් පසු මෙම පුත්‍රයා ජන්මය ලද හෙයින්, ඔහු පරීක්ෂිත් යන නමින් ලොව ප්‍රචලිත විය. සියලු පුත්‍රයන් අභාවප්‍රාප්ත වීමෙන් පසු දෘතරාෂ්ට්‍ර මහත් කම්පා වූ අතර භීමගේ හී සර වන් කටුක වදන් ශ්‍රවණය කරමින් පාණ්ඩව රාජධානිය තුළ වාසය කළේය.

8-14. ගාන්ධාරී ද පුත්‍රයන්ගේ වියෝව නිසා දැඩි ලෙස පීඩාවට පත් වී එහි රැඳී සිටියා. යුධිෂ්තිර දිවා රාත්‍රිය පුරා දෘතරාෂ්ට්‍ර සහ ගාන්ධාරී හට සේවය කළේය. ශ්‍රේෂ්ඨ ධාර්මික විදුර සෑම විටම යුධිෂ්තිරගේ උපදෙස් පරිදි සැනසීමට පුරුදු විය. ඔහුගේ සොහොයුරු දෘතරාෂ්ට්‍ර නිරතුරුවම තම ඔහුගේ පාර්ශවයේ සිටියේය. ධර්මගේ පුත්‍රයා වූ යුධිෂ්තිර තම පුත්‍රයාගේ වෙන් වීමේ වේදනාව අමතක කළ හැකි වන පරිදි ඔහුගේ මාමණ්ඩිය වූ දෘතරාෂ්ට්‍ර හට සේවය කළේය. නමුත් භීම නිරන්තනයෙන් ඔහුගේ හදවත පසාරු කර යන ආකාරයේ කටුක වදන් වලින් පහර දුන්නේය. භීම මෙසේ පැවසීමට පුරුදුව සිටියේය: "මා සංග්‍රාමයේදි මෙම දුෂ්ට අන්ධ රජුගේ (දෘතරාෂ්ට්‍ර) සියලු පුත්‍රයන් සංහාරය කළෙමි. දුහ්ශාසනගේ හදවතේ මුළු රුධිරයම හොඳින් උරා බී පානය කළෙමි. දැන් මේ අන්ධ රජු කපුටෙක් සහ බල්ලෙකු මෙන් නිර්ලජ්ජිතව මා දෙන ආහාර කා දමමින්, නිෂ්ඵල ලෙස ජීවන බර දරමින් සිටි." මෙසේ දිනපතාම භීම ඔහුට පරුෂ වචන කීමට පුරුදුව සිටියේය. ධාර්මික යුධිෂ්තිර, භීම නූගත් තිරිසනෙක් බව පවසමින් ඔහුව සැනසුවේය.

15-19. දෘතරාෂ්ට්‍ර වර්ෂ දහඅටක් බිඳුණු හදවතින් එහි වාසය කළේය. දිනක් ඔහු වනාන්තරයේ වාසය කිරීමේ අදහස ධර්මගේ පුත්‍රයා වන යුධිෂ්ඨිරාට යෝජනා කළ අතර, "අද මා මාගේ පුත්‍රයන්ගේ නම් වලින් තර්පනම් කිරීමට කැමැත්තෙමි. ඔවුන් සියලු දෙනාගේම අවමංගල්‍ය කටයුතු භීම සිදු කළ බව සත්‍යයකි. නමුත්, පෙර පැවති වෛරය හේතුකොට ඔහු මාගේ පුත්‍රයන් උදෙසා කිසිවක් නොකළේය. ඔබ මට කහවනු ලබා දෙන්නේ නම් මා මාගේ පුත්‍රයන් වෙනුවෙන් අවමංගල්‍ය චාරිත්‍ර සිදු කර තපස් රැකීම උදෙසා වනාසයට පිටත් වෙමි, එවිට මාහට ස්වර්ගය ප්‍රාප්ත කළ හැකිය.

20-28. ඉක්බිති ලෝකයට ඊශ්වර වූ යුධිෂ්තිර තම බාල සොහොයුරා අමතා මෙසේ පැවසිය: "ඕ භාග්‍යවන්තය! අපේ ගෞරවනීය මාමණ්ඩිය තම පුත්‍රයන්ගේ අවසන් කටයුතු කිරීමට කැමැත්තෙන් සිටී. එබැවින් ඒ සඳහා අපට ඔහුට යම් මුදලක් දීමට සිදු වනු ඇත. වැඩිමහල් සොහොයුරාගේ මෙම වද අසා දැඩි ලෙස කෝපයට පත් පවන පුත්‍ර භීම මෙසේ පැවසිය: "ඕ භාග්‍යවන්තය! දුර්යෝධනගේ සහ සෙසු අයගේ අධ්‍යාත්මික ප්‍රයෝජනය සඳහා අපට ධනය දීමට සිදු වේ ද? මෙවැනි දුෂ්ට අන්ධ රජෙකු ඔබ අතින් මෙතරම් මහත් සතුටක් ලැබෙනවාට වඩා අඥාන කමක් තිබිය හැකිද? ඕ ආර්‍ය! වනාන්තරය තුළ අප නිමක් නොමැති විපත්තීන් වලට මුහුණ පෑවේ, ඉතාමත් යහපත් ද්‍රෞපදී දුහ්ශාසන විසින් මහජනයා හමුවට ගෙන එන ලද්දේ ඔබේ සාවද්‍ය උපදේශන හේතුවෙනි. අප හට තමුන්ගේ තෘප්තිය උදෙසා අප ඉතා බලවත් වුවද, මත්ස්‍ය රාජ විරාත්ගේ නිවසේ මෙහෙකරුවන් ලෙස රැඳී සිටීමට සිදු විය. ඔබ අපේ වැඩිමහල් සහෝදරයා නොවී සූදුවට ඇබ්බැහි නොවී සිටියා නම් ජරාසන්ධ සංහාරය කළ මා, විරාට් රාජාට කෝකියෙකු වීමට ඉඩ තිබුණි! අප කෙදිනක් මෙතරම් විශාල කරදරයකට මුහුණ දී නැද්ද? කිසි විටෙකත් වාසව පුත්‍ර අර්ජුන වෘහන්නලා නමින් අංගනාවක් සේ සැරසෙනු නොමැත්තේය. මනුෂ්‍ය උත්පත්තියක් ලබා ගාණ්ඩීව දුන්න අත දරා සිටින අර්ජුනට කාන්තාවන් පළඳන ආභරණයක් දැරීමට සිදු වීම තරම් වේදනාවක් තිබේද? දෘතරාෂ්ට්‍රගේ හිස ගසා දැමුවා නම් අර්ජුනගේ හිසෙහි කෙස් කළඹ සහ ඔහුගේ දෑස් වල ඇති අංජන දැක මා සතුටු වන්නෙමි!

29-32. ඕ ලෝකස්වාමීනී! ඔබෙන් නොඅසා මම ජතුගෘහ නම් නිවස (දුර්යෝධන විසින් පාණ්ඩවයන් ගිණි තැබීම සඳහා තනන ලද නිවසක්) ගිනි තැබුවෙමි. එබැවින් අපව පුළුස්සා දැමීමට අවශ්‍ය වූ දුෂ්ඨ විරෝචන ද ඔහු විසින් පිළිස්සිය. නැවතත් ඔබගේ අවසරයෙන් තොරව මා කීචක සංහාරය කළෙමි. මා පසුතැවෙන එකම කාරණය නම් ඒක් ආකාරයටම පොදු ශාලාව ඉදිරිපිට දෘතරාෂ්ට්‍රගේ පුත්‍රයන් සංහාරය නොකිරීමයි. ගන්ධර්භයන්ගේ මහා සතුරන් වූ දුර්යෝධන සහ අනෙකුත් පුත්‍රයන් සිරගතව සිටියදී ඔබ ඔවුන්ව නිදහස් කළේ ඔබේ ඔබේ අඥානභාවය හේතුවෙනි. එම දුර්යෝධන ඇතුළු අනෙකුත් පිරිසගේ අධ්‍යාත්මික ප්‍රයෝජනය සඳහා අද දිනත් ඔබ ධනය ලබා දීමට කැමති ය! නමුත්, පෘථිවියේ ස්වාමීනි, ඔබ මෙය කළ යුතු යැයි මාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කළත්, මා කිසි විටෙකත් ධනය ලබා නොදෙමි.

33-38. මෙසේ පවසා භීම පිටව ගියේය. ධර්ම පුත්‍ර යුධිෂ්තිර අනෙකුත් සොහොයුරන් තිදෙනා සමඟ සාකච්ඡා කොට දෘතරාෂ්ට්‍ර හට බොහෝ ධන සම්පත් දුන්නේය. මෙයින් අම්බිකා පුත්‍ර දෘතරාෂ්ට්‍ර තම පුත්‍රයන්ගේ ශ්‍රද්ධා උත්සවය සිදු කළ අතර බ්‍රාහ්මණයන් උදෙසා විශාල පරිත්‍යාගයන් සිදු කළේය. දෘතරාෂ්ට්‍ර රජු මෙසේ, සියලු අවමංග්ල්‍ය කටයුතු සිදු කරම ගාන්ධාරි, කුන්තී සහ විදුර සමඟ ඉක්මනින් වනාන්තරයට යාමට සූදානම් විය. සංජයගේ උපකාරයෙන් දැඩි බුද්ධිමත් දෘතරාෂ්ට්‍ර වන මාර්ග පිළිබඳව දැනගත් අතර පසුව නිවසින් පිටතට ගියේය. සූරසේනගේ දියණිය කුන්තී, ඇගේ පුත්‍රයන් විසින් නැවැත්වුවද, ඔවුන් පසුපස ගියාය. භීම සහ අනෙකුත් කෞරවයන්ද ඔවුන් සමඟ ගං ඉවුර දක්වා පැමිණ වැලපෙමින් හස්තිනාපුරයට පැමිණියහ. ඔවුන් ගංගා තීරයේ තිබෙන ශුභාශිෂ්ඨ ශතයූප ආරාමයට පැමිණ එහි ගෙ පැලක් තනා තපස් රැකීමට ආරම්භ කළහ.

39-45. සය වසරක් ගෙවී ගිය කළ ඔවුන්ගේ වියෝවෙන් කලබලයට පත් වූ යුධිෂ්තිර තම බාල සොහොයුරන්ට මෙසේ පැවසීය: "මා ස්වප්නයෙන් දුටුවේ අපගේ මෑණියන් කුන්ති ඉතා සිහින්ව දුර්වල වී ඇති බවයි. මාගේ මව, මාමණ්ඩිය, නැන්දණිය, උත්කෘෂ්ට විදුර සහ ප්‍රඥාවන්ත සංජය දැක ගැනීමට මාගේ මනසට දැඩි සේ අවශ්‍යව ඇත." එවිට පාණ්ඩුගේ පුත්‍රයන් පස් දෙනාට කුන්ති දැකීමට ආශා වූ අතර, ඔවුන් සමඟ ද්‍රෞපදී, සුභද්‍රා, උත්තරා ඇතුළු අනෙකුත් පුද්ගලයින් ශතයූප ආරාමයට ගොස් එහි සිටි අය දුටුවෝය. නමුත් විදුර දැකීමට නොසිටි හෙයින් ධර්ම දේව පුත්‍ර යුධිෂ්තිර ඔහු පිළිබඳව විමසීය. එවිට දෘතරාෂ්ට්‍ර මෙසේ පැවසිය: "විදුර විරාගය වඩවා ගෙන තනිව හුදකලා ස්ථානයකට ගොස් සදාතනික බ්‍රහ්මන් උදෙසා හදවතින් ධ්‍යාන වඩයි"

46-50. පසුවදා යුධිෂ්තිර තනිව ගංගා තීරයෙහි ගමන් කරන විට තපසෙහි නිරත ව සිහින් වී ගිය විදුරව දුටුවේය. ඉන්පසු ඔහු මෙසේ කෑගැසුවේය: "යුධිෂ්තිර රජු වන මා ඔබට නමස්කාර කරමි" ශුද්ධ වූ විදුර මෙය ශ්‍රවණය කළද නෑසුනාක් මෙන් සිටියේය. ක්ෂණයකින් විදුරගේ මුහුණෙන් අපූරු රශ්මි කදම්බයක් පැමිණ යුධිෂ්තිරගේ මුව තුළට ඇතුළු විය. දෙදෙනාම ධර්ම දේවගේ අංශූන් වේ. විදුර එවිට මරණයට පත් වූ අතර යුධිෂ්තිර බලවත් ශෝකය ප්‍රකාශ කළේය. විදුරගේ ශරීරය චිතකයෙහි තැන්පත් කළ විට දිව්‍යමය ස්වරයක් ශ්‍රවණය විය: "ඕ රජතුමනි! ඔහු ඉතාමත් ප්‍රඥාවන්ත වන බැවින් ඔහුව ආදාහනය නොකළ යුතුය; ඔබට රිසි ස්ථානයකට ඔබට යා හැකිය."

51-54. මෙය ශ්‍රවණය කෙරූ යුධිෂ්තිර පවිත්‍ර ගංගා නදියෙන් ස්නානය කිරීමෙන් අනතුරුව නැවත ආශ්‍රමයට පැමිණ දෘතරාෂ්ට්‍ර වෙත සියල්ල විස්තරාත්මකව සැළ කළේය. පාණ්ඩවයන් නගරයේ අනෙකුත් වැසියන් සමඟ ආරාමයේ නැවතී සිටියදී වෙද ව්‍යාස, නාරද සහ අනෙකුත් මුනිවරයන් යුධිෂ්තිර වෙත පැමිණියහ. කුන්ති උත්කෘෂ්ට ව්‍යාස හට මෙසේ පැවසුවාය: "ඕ මුනිවරය! මාගේ පුත්‍ර කර්ණ ජන්මය ලැබු විට පමණයි මා දුටුවේ; එබැවින් මට එක්වරක් ඔහුව පෙන්වන්න. ඕ භාග්‍යවන්තය! ඔබට පමණයි මෙය සිදු කළ හැක්කේ; ඕ ස්වාමීනි මාගේ ඉච්ඡාව සඵල කරනු මැනවි."

55. ගාන්ධාරි පැවසුවාය: "ඕ මුනිවරය! දුර්යෝධන සංග්‍රාමයට ගිය කළ මා ඔහු නොදුටුවෙමි; එබැවින් ඕ මුනිවරය! දුර්යෝධන සහ ඔහුගේ සොහොයුරන් මා හට පෙන්වනු මැනවි."

56. සුභද්‍රා පැවසුවාය: "ඕ සර්වඥය! මාගේ ප්‍රාණයටත් වඩා වටින මහා වීර අභිමන්යු දැකීමට මා හට අවශ්‍යය, ඕ මහා මුනිවරය! එක්වරක් මාහට ඔහුව පෙන්වනු මැනවි."

57-64. සූත පැවසිය: සත්‍යවති පුත්‍ර ව්‍යාස දෙව මෙය ශ්‍රවණය කිරීමෙන් අනතුරුව ප්‍රාණායාම සිදු කොට බ්‍රහ්ම ශක්තිය වන සදාතනික දේවිය උදෙසා ධ්‍යාන වැඩුවේය. සවස් කාලය පැමිණි විට, මුනි යුධිෂ්තිර සහ අනෙකුත් සියලුම දෙනාටම ගංගා නදී තීරයට ආරාධනා කළේය. ගංගා ජලයෙන් ස්නානය කොට මණිද්වීපයෙහි වාසය කරන ගුණාංග වලින් යුක්තව සහ එ සමඟම සියලු ගුණාංග අභිබවන බ්‍රහ්මමයී ප්‍රකෘති දේවිය උදෙසා මෙසේ ගීතිකා ගායනා කළේය: "ඕ දේවිය! බ්‍රහ්මා, විෂ්ණු, මහේශ්වර, ඉන්ද්‍ර, වරුණ, කුබෙර, යම සහ අග්නි නොමැති කළ ඔබ පමණක් ශේෂව පැවති හෙයින් ඔබ තුමියට මාගේ නමස්කාරය වේවා! පංච කර්මේන්ද්‍රියන්, පංච ඥානේන්ද්‍රියන්, සූර්යයා සහ චන්ද්‍රයා පවා නොමැති කළ ඔබ වහන්සේ පමණක් ශේෂව සිටි හෙයින් නැවත නැවතත් මාගේ නමස්කාරය වේවා! ඕ මෑණියනි! ඔබ සමස්ථ ජීව ලෝක ඇතුළු විශ්වීය හිරණ්‍යගර්භය දරා සිටින්නියයි; නැවතත් ඔබ මෙම හිරණ්‍ය ගර්භයද, සියුම් ශරීරද, ඒවා සමතුලිත කිරීම සඳහා සත්ත්ව රජස් සහ තමස් යන ගුණ ත්‍රිත්වයද නිර්මාණය කොට කල්ප කාලයක් සඳහා ස්වාධීනව හා වෙන්ව සිටියාය. එම කාලය තුල විරාගි පුද්ගලයන්ට පව ඔබ වහන්සේගේ ස්වභාවය වටහ ගත නොහැකිය. ඔවුන්ගේ මිය ගිය අයවලුන් පෙන්වන ලෙස මොවුන් මා හට ආයාචනා කරයි. නමුත් මා එය සිදු කිරීමට අසමත් වේ . එබැවින් කරුණාකර ඔවුන්ගේ මළවුන් නැවත දර්ශනය කරනු මැනවි.

65-68. ව්‍යාස මෙසේ ප්‍රශංසා කෙරූ කළ විශ්වීය විඥානය සහ විශ්වීය මාතාව වන මහාමායා දේවිය ඔවුන්ගේ ඥාතීන්ව ඔවුනට දර්ශනය කර වුවාය. අසහාය ධෛර්යයෙන් යුතු වූ ව්‍යාස, නැවත මහාමායාව සිහි කරමින්, ඔවුනට සමුදුන්නේය. පාණ්ඩවයන් සහ මුනිවරුන් එකිනෙකාට සමු දෙමින් තමන්ගේ ස්ථානයන් කරා ගියෝය. යුධිෂ්තිර රජු ව්‍යාස පිළිබඳව පවසමින් අවසානයේ හස්තිනා වෙත පැමිණියේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ හත්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.