Sunday 10 September 1995

යදු පරපුරෙහි අභාවය හා පරික්ෂිත්ගේ වෘතාන්තය

 

1-13. සූත පැවසිය: පාණ්ඩවයන් යළි හස්තිනාපුරයට පැමිණ තෙවන දිනයේදි වනාන්තර හට ගත් ගින්නකින් දෘතරාෂ්ට්‍ර ඇතුළු ගාන්ධාරී සහ කුන්තී මිය පරලොව ගියහ. එම අවස්ථාවේදි සංජය ඔවුන්ව තනි කොට වන්දනා ගමනක් සඳහා පිටව ගොස් තිබුණි. යුධිෂ්තිර රජු මේ සියල්ල නාරදගෙන් අසා ශෝකයට පත් විය. කුරු පරපුර අභාවයට පත්ව වසර තිස් හයකට පසු ප්‍රභාස තීර්තයේ සිටි යදූගේ සියලු පරම්පරාව බ්‍රාහ්මණ ශාපයෙන් විනාශ විය. මධුවිත පානය කිරිමෙන් මත් වු යදු පරපුර එකිනෙකාට විරුද්ධව සටන් කළ අතර, කෘෂ්ණ සහ බලරාම ඉදිරියේ සමූලඝාතනය කරන ලදි. බලරාම දිවියෙන් සමුගත් අතර බ්‍රාහ්මණයෙකුගේ ශාපයට ගෞරව කිරීම පිණිස දඩයක්කරුවෙකුගේ හී පහරින් භගවාන් කෘෂ්ණ සිය දිවිය අත්හැරියේය. ශ්‍රී කෘෂ්ණ දිවියෙන් සමුගත් බව දැනගත් වසුදෙව (කෘෂ්ණගේ මනු ලොව පියාණන්) විශ්ව මාතාව උදෙසා ධ්‍යාන වඩවා තම දිවිය අත්හැර දැමීය. අර්ජුන ඉතා කණගාටු විය; ඔහු ප්‍රභාස වෙත ගොස් සියල්ලන්ගේම අවමංගල්‍ය කටයුතු නිසි පරිදි සිදු කළේය. කෘෂ්ණගේ මළ සිරුර දුටු අර්ජුන, ඔහුගේ ප්‍රධාන බිරින්දෑවරුන් අට දෙනා සමඟ ඔහුගේ ශරීරය ආදාහනය කළේය. ඔහු බලරාමගේ ශරීරයද ඔහුගේ බිසව වන රේවති සමඟ ආදාහනය කොට ද්වාරක පුරය වෙත ගොස් එහි සියලු වැසියන් ඉවත් කළ අතර වාසුදේවගෙ ද්වාරක නගරය සාගර ගිලි ගියේය. අර්ජුන ද්වාරකාවෙන් නික්ම සියළුම පුද්ගලයින් තමන් සමඟ කැඳවාගෙන යන අතරමගදී ඔහුට දැනුනේ තමා ඉතා දුර්වල බවයි. එබැවින් ආභීර නම් මංකොල්ලකරුවන් පිරිසක් පැමිණ කෘෂ්ණගේ සමස්ථ ධනය අතුළු භාර්යාවන් සොරා ගත්හ. අසහාය ධෛර්යයෙන් යුත් අර්ජුන, ඉන්ද්‍රප්‍රස්ථ වෙත පැමිණීමෙන් පසු, එහි රජු ලෙස අනිරුද්ධගේ පුත්‍රයා වූ වඡ්‍රව පත් කළේය.

14-18 ඉන්පසු ඔහු තමන්ගේ දුර්වලභාවය පිළිබඳව ව්‍යාස හමුව සැළ කළ අතර ව්‍යාස මෙසේ පිළිතුරු ලබා දුන්නේය: "ඕ මහා ප්‍රඥාවන්තය! හරි සහ ඔබ වෙනත් යුගයක නැවතත් පහළ වූ කළ ඔබගේ ශක්තිය නැවත ප්‍රකට වනු ඇත." මෙය ඇසු අර්ජුන ශෝකයෙන් යුක්තව හස්තිනා වෙත පැමිණ සියල්ල යුධිෂ්තිරට සැළ කළේය. යාදවයන්ගේ අභාවය සහ ශ්‍රී කෘෂ්ණගේ නික්මීම දැන ගැනීමෙන් අනතුරුව යුධිෂ්තිරට හිමාලය වෙත යෑමට අවශ්‍ය විය. ඔහු උත්තරා පුත්‍ර පරීක්ෂිත් ව සිංහාසනයේ තබා තම සොහොයුරන් ඇතුළු ද්‍රෞපදී සමඟ හිමාල වනයට පිටත් විය. මෙසේ පාණ්ඩවයන් සතිස (36) වර්ෂයක් හස්තිනා පාලනය කොට හිමාලයේදි තම දිවියට සමු දුන්හ. ඉන්පසු පරීක්ෂිත් වර්ෂ සැටක් සිය යටත්වැසියන් සුපරීක්ෂාකාරීව පාලනය කළේය.

19-25. ඉක්බිති පරික්ෂිත් එක් අවස්ථාවක් දඩයම් කිරීම සඳහා වනාන්තරයට පිවිසිය අතර එහිදි මෘගයෙකුට පහර එල්ල කළේය. ඔහු මෘගයා සොයා වනාන්තරයේ ඔබ මොබ සැරිසැරූවේය. ඔහුට දැඩි පිපාසයක්, කුසගින්නක් දැනුන අතර, ශරීරය වෙහෙසට පත් වී, දහඩිය වගුරමින් සිටියේය. ඉක්බිති ඔහු ධ්‍යාන සුවයට සම වැදි සිටි මුනිවරයකු දැක ඔහුගෙන් ජලය සහිත ස්ථානයක් විමසිය. නමුත් ඒ අවස්ථාවෙදි මුනිවරයා මුනිවත රැකූ හෙයින් පිළිතුර ලබා නොදුන්නේය. මෙය දුටු පිපාසිත රජු කලිගේ බලපෑමට ලක්ව කෝපයට පත් වී මියගිය සර්පයෙකු දුනුවේ ඉදිරි කෙලවරින් ඔසවා මුනිවරයාගේ ගෙල වටා එතීය. සර්පයෙකු ඔහුගේ ගෙල වටා ඔතන විටත් සම්බෝධී අවස්ථාවේ සිටි මනුවරයා පිළිතුරු නොදිය. රජුද නැවතත් නිවසට පැමිණියේය. එළදෙනකුගේ කුසෙන් ජන්මය ලද එම මුනිවරයාගේ පුත්‍රයා මෙන්ම මහාශක්තියේ දැඩි බැතිමතෙක් වු මහා තාපස ශෘංගී වනයේ ක්‍රිඩා කරන කළ ඉහත සිදුවීම තම මිත්‍රයකුගෙන් ශ්‍රවණය කළේය.

26-30. "ඕ මුනි! කවුරුන් හෝ ඔබගේ පියාගේ ගෙලෙහි මියගිය සර්පයෙකු ඔතා තිබේ." ඔහුගේ වදන් ශ්‍රවණය කෙරූ ශෘංගී තම අතට ජලය ස්වල්පයක් ගෙන මෙසේ ශාප කළේය: "මාගේ පියාගේ ගෙලෙ වටා මැරුණු සර්පයකු එතු පුද්ගලයා අද සිට සතියක් තුළ තක්ෂක නාගයාගේ ප්‍රහාරයට ලක්වනු ඇත." මුනිවරයාගේ එක් ශිෂ්‍යයකු ගොස් මුනිවරයාගේ ශාපය පිළිබඳව රජුට දන්වා සිටියේය. අභිමන්යු පුත්‍ර පරීක්ෂිත් බ්‍රාහ්මණයාගෙන් මෙම ශාපය පිළිබඳව අසා එය නොවරදින බව දැනගනිමින් තම අමාත්‍යවරුන්ට මෙසේ පැවසීය: "ඕ අමාත්‍යවරුනි! නිසැකවම, බ්‍රාහ්මණ පුත්‍රයෙකු විසින් මාහට ශාප කරනු ලැබුවේ මාගේ වරද හේතුවෙනි.

31-36. වේදයන්හී කෙළ පැමිණි පඩිවරුන් පවසන ආකාරයට මරණය වැළැක්වීමට නොහැකි මෙම තත්වයේදි කුමක් කළ යුතුද යන්න සොයා බලන්න; කෙසේ වෙතත්, නුවණැත්තන් ශාස්ත්‍රයන්ට අනුව මෙය වළක්වා ගැනීමට උපරිම උත්සාහයක් දැරිය යුතුය. ඕනෑම ක්‍රියාවක් නිවැරදි කිරීමට පියවර ගැනීමේ උපදේශකයින් වන බොහෝ මුනිවරු පවසන්නේ ප්‍රඥාවන්තයින්ගේ සියලු ක්‍රියාවන් නිසි ආකාරයෙන් ඵල දරන බවයි; ඔවුන්ගේ විසඳුම නොවිසඳී පවතී. එබැවින් මා පවසන්නේ මාණික්‍යන්, මන්ත්‍රයන් සහ ඖෂධයන්ගේ ශක්තීන් විස්තර කළ නොහැකි බවයි. නිසි පරිදි ආලේප කළහොත් ඒවා ඵල නොදරනු ඇතැයි නුඹලා සිතන්නේද? මුනිවරයකුගේ පතිනියක් සර්ප දෂ්ඨනයකින් මියගිය පසුව ඔහු තමාගේ ප්‍රාණයෙන් අඩක් ඇයට ලබා දි ඇයව නැවතත් ජීවත් කරවූ බව අසා තිබේ. නොවැළැක්විය හැකි දේ සිදු විය යුතුය යන උපකල්පනය මත උගතුන් යැපීම සුදුසු නොවේ. ජීවමාන වර්තමානය වෙනුවෙන් ක්‍රියා කිරීමට යමෙක් උපරිම උත්සාහය දැරිය යුතුය.

37-39 ඕ අමාත්‍යවරුනි! ඉරණම මත පමණ රැඳී සිටින අයෙකුගෙ ඔබ ස්වර්ගයේ හෝ මනුලොව දැක තිබේද? සන්‍යාසීන් ලෞකිකත්වය අතහැර දමා ඇතත් ඔවුන්ට ආරාධනා කළත් නොකළද නිවාස හිමියන්ගේ නිවෙස් වෙත යාමට සිදු වේ. නැවත වරක් බලන්න, පුද්ගලයෙකුගේ ආහාරයක් කෙනෙකු නොවිමසා ගෙනැවිත් අනුභව කලා යයි සිතමු, කෙනෙකුගේ උත්සාහයක් නොමැතිව ආහාර මුඛයෙන් කුසට යන බව ඔබට සිතා ගත හැකිද? එබැවින් යමෙක් ආරම්භයේ සිටම තමාගේම දක්ෂතා විදහා දැක්විය යුතුය. ප්‍රඥාවන්තයින් නිරතුරුවම මෙසේ සිතමින් තෘප්තියට පත් වේ: "මා දෛවය විසින් තීරණය නොකෙරු කුමන යමක් මා කරන්නද?"

40. පරීක්ෂිත් එසේ පැවසු විට අමාත්‍යවරුන් මෙසේ විමසීය: "කුමන මුනිවරයා තම ප්‍රාණයෙන් තම පතිනියට නැවත ප්‍රාණය ලබා දුන්නේද? ඇය මරණයට පත් වූයේ කෙසේද? මේ පිළිබඳව අප හට විස්තරාත්මකව පවසනු මැනවි.

41-49. ඉක්බිති රජු මෙසේ පැවසිය: භෘගු මුනිවරයා හට පුලොමා නමින් අලංකාර පතිනියක් සිටියේය. ලොව පිළිගත් ච්‍යාවන මනුවරයා ජන්මය ලද්දේ ඇයගේ කුසෙනි. ශර්යාති පුත්‍රී සුකන්‍යා ඔහුගේ පතිනිය විය. ඇයගේ කුසෙන් ප්‍රමති නමින් අලංකාර පුත්‍රයකු ජන්මය ලැබීය, ප්‍රමතී ගේ පියකරු පතිනිය වූයේ ප්‍රතාපී දේවියයි. ඇයගේ ගර්භයෙන් මහා තාපස රුරු ජන්මය ලැබුවේය. එම කාලයේ ස්තූලකෙශ නම් ධාර්මික සත්‍යවාදි පුද්ගලයෙකු තපසක නිරත වී සිටියේය. ඕ අමාත්‍යවරුනි! මේ අතර මුඛ්‍ය අප්සරාවක් වන මේනකා ගංගාව අසබඩ විශ්වාවසු ගන්ධර්වයා සමඟ එක් වී ගැබ් ගත්තාය. ඇය එම ස්ථානයේ සිට ගං ඉවුරේ පිහිටි ස්තූලකෙශගේ ආරාමය වෙත ගොස් ඉතා පියකරු දියණියක් බිහි කළාය. මෙම දැරිය අනාථයෙකු හා ඉතා රූමත් බව දුටු මුනි ස්තූලකෙශ ඇයව හදා වඩා ගැනීමට පටන් ගෙන ඇයට ප්‍රමද්වරා යන නම තැබුවේය. උත්කෘෂ්ට ප්‍රමද්වරා තම යෞවන වියට එළඹුණු අතර ඇයව දුටු රුරු මුනිවරයා දැඩි ආශාවකින් ගිලී ගියේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ අටවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.