Tuesday 12 September 1995

රුරුගේ වෘතාන්තය

 

1-4. පරීක්ෂිත් පැවසුවේය: "මුනි රුරු සැතපීම සඳහා යහනට ගිය විට ඔහුගේ සිත කාමයෙන් වික්ෂිප්ත විය. ඔහුගේ ස්වභාවය දුටු පියාණන් මෙසේ විමසීය: ඕ රුරු! ඔබ කනස්සල්ලෙන් සිටින්නේ මන්ද? රාගයෙන් මත්ව සිටි රුරු තම පියාණන්ට මෙසේ පැවසිය: මා ස්තූලකෙශ ආශ්‍රමයේදී ප්‍රමද්වරා නම් අලංකාර යුවතිය දුටුවෙමි; මා ඇයව සරණ පාවා ගැනීමට සිතන්නෙමි. ඉක්බිති ප්‍රමති හැකි ඉක්මනින් ස්තූලකෙශගේ ආශ්‍රමයට ගොස් විවිධ සාකච්ඡා වලින් ඔහුව ප්‍රසන්න කොට ඔහුගේ දියණිය ඉල්ලා සිටි අතර ස්තූලකෙශ ශුභ දිනයකදි තම දියණිය ලබාදෙන බවට පොරොන්දු විය.

5 උත්කෘෂ්ට ආත්මයන්ගෙන් හෙබි ප්‍රමති සහ ස්තූලකෙශ විවාහ සූදානම් වන අතරතුර ආශ්‍රමයෙහි උද්‍යානය තුළ ක්‍රීඩා කරමින් සිටි ප්‍රමද්වරා සර්පයකු දෂ්ට කිරීමෙන් මරණය පත් වුවාය. ඇයගේ අභාවය දුටු සමස්ථ මුනිවරු ශෝකයෙන් මුසපත් විය. ඇයගේ ශරීරයෙන් ආත්මය ඉවත් වූවද තවමත් ශරීරය දීප්තිය පවතිනු දුටු ඇයගේ පියාණන් වන ස්තූලකෙශ කම්පාවෙන් කඳුළු සලන්නට විය. ඔහුගේ මේ මොරගැසීම ශ්‍රවණය වී රුරු  කුමක් සිදුවීදැයි බැලීමට පැමිණි අතර යුවතිය ප්‍රාණයෙ තොරව නමුත් ප්‍රාණය ඇත්තා සේ බිම වැතිරී සිටිනු දුටුවේය. 

12-17 ස්තූලකෙශ සහ අනෙකුත් මුනිවරුන් හඬමින් සිටිනු දුටු රුරු එම ස්ථානයෙන් පිටතට පැමිණ මහා හඬින් වැළපෙන්නට විය. "අහෝ! ඉරණම විසින් නිසැකවම මෙම සර්පයාව එවා ඇත්තේ මගේ සියලු දුක් කරදර වලට කාරණය ලෙස සහ මාගේ සියලු සතුට විනාශ කර දැමීමටයි. අහෝ දැන් මා කුමක් කරන්නද? කොහේ යන්නද? මාගේ ප්‍රියාවිය මරණ මුඛයට ඇද වැටී ඇත, මාගේ පතිනිය රහිත මාහට තව දුරටත් ජීවත් විය නොහැකිය. අහෝ! මා කෙතරම් අභාග්‍ය සම්පන්න ජිවියෙක්ද? මාගේ ප්‍රියාවිය වැළඳගැනීමට මාහට නොහැකි විය. ඇයගේ වත සිප ගැනීමේ, ඇයව විවාහ කරගැනීමේ අවස්ථාව අහිමී වී ඇත. අහෝ මාගේ මනුෂ්‍ය උත්පත්තිය කෙරෙහි මා ලජ්ජා වෙමි! මාගේ දිවියෙන් මා හට ඵලක් නොමැත, ඇයගේ චිතකයට මාද බිලි දෙන්න. අහෝ!  වේදනාවෙන් සිටින මනුෂ්‍යයා හට ප්‍රාර්ථනා කළත් මරණය නොපැමිණේ නම් මා සතුට උදෙසා කුමක් කරම්ද? එබැවින් මට වැවකට පැනීමට හෝ දැවෙන අග්නියට ඇතුළු වීමට හෝ විශ පානය කිරීමට හෝ  කඹයක් බැඳ ගෙල සිර කිරීමට ඉඩ දෙන්න!"

18-21. මෙසේ රුරු ගං ඉවුරේදී බොහෝ සෙයින් විලාප දුන් අතර ඔහු තම මනසින් මෙනෙහි කරමින් බොහෝ වේලාවක් මාර්ගයක් සෙවූ  අතර මරණයෙන් අත් වන වාසිය කුමක්ද යන්න සිතුවේය. "සියදිවි නසාගැනීමෙන් ආපසු හැරවිය නොහැකි බලවත් අකුසලයක් වනු ඇත. එමෙන්ම මාගේ දෙමාපියන්ටද එය වේදනාවකි. මගේ අවාසනාව සහ සතුරන් සතුටු වනු ඇත. එහි කිසිදු සැකයක් නොමැත. ඇගේ වියෝව නිසා මා සියදිවි නසා ගතහොත් හෝ  පීඩාවට පත් වුවහොත් මාගේ ආදරණීයයාට ලැබෙන ප්‍රයෝජනය කිම? මම මරණයට පත්වනා යැයි සිතන්න, එවිට පවා මාගේ ආදරණීයයා ඊලඟ භවයේදි මාගේ නොවනු ඇත. එබැවින් මා සියදිවි නසා ගැනීමේදී වැරදි රාශියක් ඇති නමුත් මා මාගේ දිවිය රැක ගත්තොත් එහි වරදක් නොමැත."

22-26. මේ අනුව රූරු ස්නානය කර ආචමන සිදු කර පවිත්‍ර බවට පත්විය. ඉක්බිති තම දෑතෙහි පවතින ජලය දෙස බලා මෙසේ පැවසිය: "මා දේවතාවුන් වන්දනා කරමින් මා භක්තියෙන් හෝමයන්, ජපයන් සිදු කර ඇත්නම්, ගුආචාර්යවරුන්ට සේවය කර ඇත්නම්, මා වේදයන් හදාරා ඇත්නම්, ගයාත්‍රිය ස්මරණය කර ඇත්නම්, සූර්‍ය වන්දනාව සිදුකොට ඇත්නම්, එවිට මාගේ කුසලයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මගේ ආදරණීයයාට ජීවිතය ලබා දී අවදි කරවන්න. මාගේ ප්‍රියාවියට නැවත ප්‍රාණය නොලැබෙන්නේ නම් මාගේ ප්‍රාණය මා ත්‍යාග කරමි" මෙසේ ඔහු දේවතාවුන් ස්මරණය කරමින් ඔහුගේ දෑත් මත තිබූ ජලය පොළොවට විසි කළේය. මේ අනුව රුරු ශෝකීව හඬටමින් සිටියේය.

27-28. ඉක්බිති දේව දූතයෙකු පැමිණ ඔහුට මෙසේ පැවසිය: "ඕ බ්‍රාහ්මණය! මෙම අවිනීත උත්සාහය නොකරන්න; ඔබේ ආදරණිය ඇගේ ජීවිතය නැවත ලබා ගන්නේ කෙසේද? ඇයගේ දිවිය දැන් අවසන් වී ඇත. දැන් වෙනත් ස්ත්‍රියකු තෝරා ගන්න. නුඹ නිෂ්ඵල ලෙසින් කඳුළු සලන්නේ කිම?  ඇය අවිවාහාක මිය ගිය හෙයින් ඇය සහ ඔබ අතර කිනම් සෙනේහයක්ද?"

29. එවිට රුරු පැවසිය:  "ඔ දේව දූතය! මාගේ ප්‍රියාවිය මරණෙන් අවධි වූවත් නොවූවත් මා පර ස්ත්‍රියක් සරණ පාවා නොගනිමි. ඇය නැවත ජීවිතය ලබා නොගන්නේ නම්, මේ මොහොතේදී මා මාගේ ජීවිතයද අත්හරිමි"

30-31. රුරුගේ මෙම ශ්‍රේෂ්ඨතම අභිප්‍රායෙන් දේව දූතයා සතුටු වූ අතර පහත සඳහන් සත්‍ය ප්‍රතිලාභදායක නමුත් අලංකාර වදන් පැවසුවේය: "ඕ බ්‍රාහ්මණය! මා ඔබට එක් මාර්ගයක් පවසමි, එය හොදින් ශ්‍රවණය කරන්න. දෙවිවරු මෙය නියම කරන ලද්දේ බොහෝ කලකට පෙර ය. ඔබේ ආයු කාලයෙන් අර්ධයක් ඔබට අතහැර දැමිය හැකි අතර, එමඟින් ඔබට ඉක්මනින් මෙම දැරියව ජීවතුන් අතරට ගෙන ඒමට හැකි වනු ඇත."

32. රුරු පැවසිය: "ඕ දේව දූතය! මා මාගේ ආයු කාලයෙන් අර්ධයක් ත්‍යාග කරන්නෙමි; එහි කිසිදු සැකයක් නොමැත්තේය. මාගේ ප්‍රියාවියගේ ප්‍රාණය හැකි ඉක්මනින් නැවත ලබාදීමට කටයුතු කරනු මැනවි."

33-36. රජු පැවසිය; "ඕ අමාත්‍යවරුනි! මේ අවස්ථාවේදි අනික් පසින් තම දියණිය අභාවය පිළිබඳව දැනගත් විශ්වාවසු (ප්‍රමද්වරාගේ සත්‍ය පියා) විමානයකින් ස්වර්ගයේ සිට යම ලෝකය වෙත පැමිණියේය. ඉන්පසු දේව දූතය සහ ගන්ධර්ව රජු යම දෙවියන් අභිමුඛයට ගියේය.  ඉන්පසු ධර්මරාජට (යම) මෙසේ පැවසිය: ඕ ධර්මරාජ! මෙම විශ්වාවසුගේ දියණිය සර්පයෙකු දෂ්ට කිරිමෙන් මෙහි පැමිණ තිබේ. රුරු මුනි තම ප්‍රාණයෙන් කොටසක් ඇය වෙත ලබා දීමට කැමැත්තේය. රුරුගේ පාරිශුද්ධ භාවයේ බලපෑම තුළින් කන්‍යාවියට නැවත ප්‍රාණය ලබා දීමට ඉඩ දෙනු මැනවි."

37. ධර්මරාජ පැවසිය: "ඕ දේව දූතය! ඔබට ඇයගේ ප්‍රාණය අවශ්‍ය වන්නේ නම් රුරුගේ ප්‍රාණයෙන් හරි අඩක් ඇයට ලැබීමට සලස්වන්න. දැන්ම ගොස් රුරුට ඇයව ලබාදෙන්න."

38-39. රජු පැවසිය: "ඕ අමාත්‍යවරුනි! යම විසින් දේව දූතයාට මෙසේ පැවසු කළ ඔහු ක්ෂණිකව ගොස් ඇයට ප්‍රාණය ලබා දී රුරුට බාර දුන්නේය. ඉක්බිති නැකැත් දිනක රුරු ඇයව සරණ පාවා ගත්තේය. මේ අනුව, ඍෂි දියණියක වූ ප්‍රමද්වරා මියගොස් සිටියත්, නිසි මනසින් ඇගේ ජීවිතය නැවත ලබා ගත්තාය.

40. එබැවින් ඕ සභිකයිනි! දිවිය සුරක්ෂිත කරගැනීම උදෙසා ශාස්ත්‍රයන්ට අනුකූලව ධනයෙන්, මන්ත්‍රයන්ගෙන් හා ඖෂධයන්ගෙන් උපරිම උත්සාහය දැරිය යුතුය.

41-46. අමාත්‍යවරුන්ට මෙසේ පැවසු පරීක්ෂිත් මහල් සතකින් යුත් විශාල ගොඩනැගිල්ලක් තනවා, එය වටා රැකවලුන් රඳවා මන්ත්‍රයන්ගෙන් සුරක්ෂිත කොට ඒ තුළ සුව කිරීමේ ශක්තිය සහ මාණික්‍යන් හා ඖෂධ වර්ග ස්ථානපනය කර ඒ තුළ පදිංචි විය. ශෘංගී මුනිවරයාගේ කෝපය සංසිඳවීම සඳහා රජු විසින් ගෞර්මුඛ නම් මුනිවරයා නිරතුරුවම ඔහු වෙත යවා "නිහතමානී බැතිමතාගේ අපරාධයට සමාව දෙන මෙන්" ඔහුගෙන් නැවත නැවතත් ඉල්ලා සිටියේය. ඉන්පසුව, ආත්මාරක්‍ෂාව සඳහා රජු සෑම පැත්තකින්ම නුමෙන් හා මන්ත්‍රයන්හි පරිපූර්ණ බ්‍රාහ්මණයින් ගෙන්වා ගත්තේය. කිසිවෙකුටත් ගොඩනැගිල්ලේ ඉහළට නැගීමට නොහැකි වන පරිදි හස්තීන් ස්ථානගත කරනු තැබුවේ අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් ය. වරක් “ඇතුළත් වීම තහනම්” යැයි නියෝග කළ විට වායුවට පවා එහි පිවිසුමක් සොයා ගැනීමට නොහැකි විට ගැන අන් පිළිබඳව කුමක් කිව හැකිද! පරීක්ෂිත් රජු තක්ෂක නාගයා පැමිණෙන තෙක් දින ගනිමින් එහි කල් ගත කළේය.

47-50. ඔහු එම ස්ථානයේදී සන්ධ්‍යා වන්දනය සිදු කළ අතර එම ස්ථානයේදීම තම අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා කරමින් පාලන කටයුතුද ගෙන ගියේය. ඕ ඍෂි වරුනි!  මේ අවස්ථාවේදි මන්ත්‍රකෘත වූ කශ්‍යප නම් බ්‍රාහ්මණයෙකු රජුගේ මෙම ශාපය පිළිබඳව ශ්‍රවණය කොට එය ඉවත් කළහොත් තමාට අධික වස්තුවක් ප්‍රාප්ත වන බව සිතා රජු සිටින ස්ථානයට පැමිණීමට කල්පනා කළේය. බ්‍රාහ්මණයා රජුගෙන් ධනය අපේක්ෂාවෙන් තම නිවසින් පිටව ගියේය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ නමවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.