Thursday 14 September 1995

පරීක්ෂිත්ගේ අභාවය

 

1-3. සූත පැවසිය: ඕ ඍෂි වරුනි! කශ්‍යප නම් බ්‍රාහ්මණයා නිවසෙන් පිටවූ දිනයේදි, පරීක්ෂිත්ගේ ශාපය පිළිබඳව දැනගැනීමට ලැබුණු තක්ෂක වයෝවෘධ බ්‍රාහ්මණ ස්වරූපයක් ධාරණය කරගනිමින් ඔහුගේ වාසස්ථානයෙන් පිටවිය. අතරමගදී තක්ෂක නාගයාට කශ්‍යප බ්‍රාහ්මණයා මුණ ගැසිණි. මන්ත්‍රකෘත වූ බ්‍රාහ්මණයා දුටු තක්ෂක ඔහුගෙන් මෙසේ විමසීය: "ඔබ මෙසේ කඩිනමින් ගමන් කරන්නේ ඔහේද? කුමක් හෝ විපතක්ද?"

4-5. කශ්‍යප එවිට මෙසේ පැවසිය: "තක්ෂක නම් නාගයා පරීක්ෂිත් රජුට දෂ්ට කිරිමට සුදානම් වන වග මාහට දැනගැනීමට ලැබිණි. රජුව සර්ප විෂෙන් සුවපත් කිරීම සඳහා මා යමි. විෂ හරණය කිරීමට සමත් මන්ත්‍රයක් මා දන්නෙමි. ඔහුගේ ආයු කාලය අවසන් නොවන්නේ නම්, මා ඔහුට ඔහුගේ ජීවිතය නැවත ලබා දෙන්නෙමි.

6. තක්ෂක එවිට පැවසිය: 'ඕ බ්‍රාහ්මණය! මා එම තක්ෂක වෙමි; මා ඔහුව සපා කා ඔහුගේ ජීවිතය උදුරා ගන්නෙමි. එබැවින් ඔබ අත්හැර දැමීම වඩා සුදුසුය. මම දෂ්ට කරන තැනැත්තාට ප්‍රතිකාර ඔබට හැකි වේවිද; නිසැකවම ඔබ එසේ නොකරනු ඇත."

7. කශ්‍යප පැවසිය: "ඕ නා රජුනි! බ්‍රාහ්මණයාගේ ශාපයට ලක් වූ රජුට ඔබ දෂ්ට කරන කළ, මාගේ මන්ත්‍ර ශක්තියෙන් මා ඔහුව ජීවත් කරවනවාට සැකයක් නැත."

8 තක්ෂක පැවසිය: "ඕ බ්‍රාහ්මණය!  මා සපා කෑමෙන් පසු ඔබ රජු ජීවත් කරවාවි යැයි ඔබ සිතන්නේ නම්, ඊට ප්‍රථමව ඔබගේ ශක්තිය මා හට ප්‍රදර්ශනය කරනු. මා මෙම අට්ටික්කා ශාකය සපා කමි; ඔබ එයට නැවත ජීවය ලබා දෙනු."

9. කශ්‍යප පැවසිය: "ඔබගේ විෂෙන් දැවි යන මෙම වෘක්ෂයට නිසැකවම මා නැවත ප්‍රාණය ලබා දෙමි."

10-12. සූත පැවසිය: ඉක්බිති තක්ෂක එම ශාකය සපා කෑමෙන් එය භස්ම බවට පත් වූ අතර ; කශ්‍යප එයට නැවත ප්‍රාණය ලබා දුන්නේය. නාගයා වෘක්ෂය භස්ම කෙරූ පසු ඔහු සියලුම භස්ම එක් කොට මෙසේ පැවසිය: "ඕ උග්‍ර විෂ සර්පය! මාගේ මන්ත්‍ර ශක්තිය නරඹන්න. බලන්න! ඔබ ඉදිරියේ මා මෙම වෘක්ෂයට නැවත ප්‍රාණය ලබා දෙමි." 

13-15. ඉක්බිති මන්ත්‍රකෘත කශ්‍යප අත්ලට ජලය ස්වල්පයක් ගෙන එයට මන්ත්‍ර ශක්තිය ඇතුලු කොට එම ජලය භස්ම මත ඉසිනු ලැබීය. ජලය ඉසිමෙන් අනතුරුව අට්ටික්කා වෘක්ෂය පෙර තිබූ ආකාරයටම නැවත සකස් විය. වෘක්ෂයට යළි ප්‍රාණය ලැබු ආකාරය දුටු තක්ෂක විමතියට පත්ව කශ්‍යපට මෙසේ පැවසිය: "ඕ බ්‍රාහ්මණය! මෙතරම් වේදනාවක් දැරීමෙහි ඔබේ අරමුණ කුමක්ද? ඔබ් අවශ්‍ය කුමක්ද යන්න පවසන්න නිසැකවම මා එය සඵල කරමි."

16. කශ්‍යප පැවසිය: "ඕ නා රජුනි! රජුගේ ශාපය පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව මාගෙ බුද්ධියෙන් ඔහුට උපකාර කොට ධනය ප්‍රාප්තක කරගැනිමයි මාගේ සූදානම."

17. ඉක්බිති තක්ෂක මෙසේ පැවසුවේය: "මා ඔබ අපේක්ෂිත ධනය ඔබට ලබාදෙමි; එය රැගෙන නැවත ඔබගේ නිවස වෙත පිටව යන්න. මාගේ ඉච්ඡාව සඵල වීමට ඉඩ දෙන්න."

18-24. ඉක්බිති කශ්‍යප තම මෙසේ කල්පනා කළේය: "මා දැන් කුමක් කළ යුත්තේද? මා තණ්හාවෙන් මෙම ධනය පිළිගෙන නැවත නිවසට ගියහොත්, මාගේ නම සහ කීර්තිය ලෝකයාගෙන් සැඟවෙණු ඇත. නමුත් රජු නැවත ජීවත් කරවුවහොත්,නොමැකෙන කීර්තිය, බහුල ධනයන් සහ ශ්‍රේෂ්ඨතම පුණ්‍යන් මාහට හිමි වේ. කීර්තිය රහිත ධනයට ලැජ්ජා වේවා! එබැවින් යමෙක් තම කීර්ති නාමය රැකගැනීමට උපරිම උත්සායක නිරත විය යුතුය. රඝු නිරිදුන් කීර්තිය උදෙසා තම සියල්ලම බ්‍රාහ්මණයන් කට දන් දුන්නේය. හරිශ්චන්ද්‍ර රජු සහ කර්ණ නිමක් නොමැති දේපළ ලබා දීමට මඳක් හෝ පසුබට නොවූහ. නැවත සලකා බැලිය යුතු එක් කරුණක් තිබේ, විෂ සහිත අග්නියෙන් රජු පිළිස්සී යනු දැක මම කාරණය සුළුපටු ලෙස සළකන්නේ කෙසේද? මා රජුට නැවත ප්‍රාණය ලබා දුන් කළ සියල්න්ම ප්‍රීතිමත් වනු ඇත. රජෙකු රහිත රාජධානියක් නිසැකවම විනාශ වනු ඇත. එවිට එම පාපය මටද හිමි වනු ඇත. මම ඉතා කෑදර පුද්ගලයෙක් යැයි මගේ හිස මත අපකීර්තියක් ඇති වේ"

25-33. ඉන්පසු උත්කෘෂ්ට කශ්‍යප ධ්‍යානයට සමවැදුණු අතර රජුගේ ආයු කාලය අවසන් බව එහිදී ඔහු වටහා ගත්තේය. මෙසේ රජුගේ මරණය ආසන්න බව දැනගැනීමෙන් අනතුර්ව ඔහු තක්ෂකගෙන් ධනය ප්‍රාප්ත කර නැවත තමා වාසස්ථානය කරා පිටවිය. කශ්‍යපගේ පිටවීමෙන් සත් දිනකින් ඔහු පරීක්ෂිත් ගේ මරණය රැගෙන හස්තිනාපුරය වෙත ලඟා විය. නගරය ලඟා වූ විට රජු ආරක්ෂාකාරිව සිටින බවත් එම ස්ථානය මන්ත්‍රයන් හා ඖෂධයන්ගෙන් ආරක්ෂා කොට ඇති බවත් ඔහුට දැනගැනීමට ලැබිණි. බ්‍රාහ්මණයන්ගේ ශාපය ඔහුගේ හිස මතවැටෙනු ඇතැයි යන බියෙන් දැඩි ලෙස කලබලයට පත් විය. ඉක්බිති ඔහු මෙසේ කල්පනා කළේය: "මා මන්දිරයට කෙසේනම් ඇතුළු වන්නේද? බ්‍රාහ්මණයින්ට පීඩා පමුණුවන, බ්‍රාහ්මණයකුගේ ශාපයක් ලද මෙම අඥාන කුහක දුෂ්ඨ රජු මම කෙසේ රවටමිද? තාපස බ්‍රාහ්මණයෙකුගේ ගෙල වටා මියගිය සර්පයෙකු කරකැවූ බැවින් එතැන් සිට එක් මිනිසෙකුවත් පාණ්ඩව පවුල තුළ ජන්මය ලබා නැත. රජු ඉතා සාහසික අපරාධයක් කර ඇති හෙයින් එය නොවැලැක්විය හැකි බව දැන ගනිමින්, මාළිගාවේ සෑම පැත්තකින්ම මුරකරුවන් තබා ගොඩනැගිල්ලේ ඉහළම තට්ටුවට නැග ඇති අතර එමඟින් මරණය රැවටීමට සිතා සාමකාමී මනසක රැඳී සිටී. බ්‍රාහ්මණයාගේ වචනයට අනුකූලව ඔහුව පරාජය කරන්නේ කෙසේද?"

34-38. "මරණය වැළැක්විය නොහැකි බව අඳුරු බුද්ධියෙන් යුත් රජු නොදනී එම හේතුව නිසා ඔහු ගොඩනැගිල්ල වටා ආරක්ෂකයින් සහ මුරකරුවන් තබා ඇති අතර, ඔහු නිවසේ  සතුටින් කාලය ගත කළේය. නමුත් දෛවය විසින් කිසිවෙකුට උල්ලංඝනය කළ නොහැකි ලෙස මරණය නියම කළ විට, එය වළක්වා ගැනීමට දහස් ගණන් උත්සාහයන් දරූවද එය නිෂ්ඵල බව  ඔහු නොදැන සිටියි. පණ්ඩු පවුලේ මේ ගෝත්‍රිකයා ඔහුගේ මරණය අත ළඟ බව දනිමින් තවමත් ජීවත් වීමට අපේක්ෂා කරන හෙයින් සන්සුන් මනසකින් තමාගේම ස්ථානයේ රැඳී සිටී. රජු දැන් කළ යුත්තේ පුණ්‍ය කටයුතුය. ධර්මානුකූල ක්‍රියාවන් තුළින් පමණක් රෝගයන් විනාශ වන අතර ආයු කාලය දීර්ඝ වේ. මිය යන මිනිසා විවිධ පුණ්‍ය කටයුතු සිදු කරමින් මරණය එන තාක් බලා සිටිය යුතුය; එවිට ඔහුට ස්වර්ගය ප්‍රාප්ත වන අතර නැතහොත් නිරය නොවැලැක්විය හැකිය."

39-40. "බ්‍රාහ්මණයකුට වධහිංසා පැමිණු හෙයින් රජු බලවත් අකුසල කර්මයක් සිදුකොට ඇත. එබැවින් බ්‍රාහ්මණ ශාපය ඔහුගේ හිස මතට පැටවී ඇත. ඔහුට මෙය අවබෝධ කර දීමට හැකි එවැනි බ්‍රාහ්මණයෙක් නොමැත්තේද; නැතහොත් නිර්මාතෘ ඔහුගේ මරණය  නොවැලැක්විය හැකි ලෙස නියම කර ඇත."

41-43. මෙසේ මෙනෙහි කරමින් සිටි ප්‍රධාන සර්පයා සෙසු සර්පයින්ව අනුගමනය කරමින් තාපස බ්‍රාහ්මණ ස්වරූපය ගෙන රජු වෙත ගෙන යාමට ඵල වැල ලබා දුන්නේය. තක්ෂක සර්පයා කෘමීන්ගේ ස්වරූපයෙන් පලතුරු තුළට ඇතුළු විය. එවිට අනෙකුත් තාපසයන් ඵල රැගෙන පරීක්ෂිත් රැඳී සිටින ස්ථානයට පැමිණියහ.

45-48. ඔවුන්ව දුටු ආරක්ෂකයන්ට ඔවුන් කවුරුන්ද යන්න විමසු කළ මෙසේ පිළිතුරු ලබා දුන්නේය: අතර්වවේද මන්ත්‍ර ජප කරමින් අභිමාන්යු පාණ්ඩව පරපුරේ පුත්‍රයා වූ වීර රජුගේ ආයු කාලය දීර්ඝ කිරීම සඳහා අපි ආරාමයෙන් පැමිණෙමින් සිටිමු. අපට රජු සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට අවශ්‍යයි; දැන් ඔබ ගොස් රජුට දන්වන්න, මුනිවරුන් පිරිසක් ඔහුව බැහැදැකීමට පැමිණි බවට. අපි ඔහුට ජලය ඉස ඔහුට මිහිරි පලතුරු ස්වල්පයක් ලබා දී පසුව පිටව යන්නෙමු. මුනිවරුන්ට රජු බැහැදැකීමට ඉඩ නොදෙන භාරත පවුලේ එවැනි දොරටු පාලකයන් අපට හමු වී නැත. අප පරික්ෂිත් නැවතී සිටින ස්ථානයට ගොස් ඔහුට ආශිර්වාද කොට දීර්ඝායුෂ පතන්නෙමු. අපි අපගේ නියෝග ඔහුට දැනුම් දී ස්ව ස්ථානයන් බලා පිටත් වන්නෙමු.

49-52. සූත පැවසිය: මෙම වදන් අසා සිටි මුරකරුවන් රජු විසින් පෙර නියෝග කළ පරිදි කපැවසුවේ මෙසේය: "ඕ බ්‍රාහ්මණ වරුනි අපි සිතන්නේ ඇත්තෙන්ම නුඹලාට අද රජු සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වීමට නොහැකි වේවි. හෙට දිනයගේ නුඹලාට මෙහි පැමිණිය හැකිය. ඕ මුනිවරුනි! බ්‍රාහ්මණ ශාපය හේතුකොට රජු මෙම ස්ථානය ඉදි කර ඇත; සත්‍ය කාරණාව නම් බ්‍රාහ්මණයන්ට මන්දිරයට ඇතුළු විය නොහැකිය." ඉක්බිති බ්‍රාහ්මණ වෙසින් සිටි සර්පයන් මෙසේ පැවසිය: "ද්වාර පාලකයිනි! මෙම ඵල වැල රැගෙන ගොස් රජුට ලබාදී අපගේ ආශිර්වාදය ඔහුට පවසන්න."

53-54. ද්වාර පාලකයන් රජු වෙත ගොස් මනිවරුන්ගේ පැමිණීම දන්වා සිටි අතර රජු මෙසේ පැවසිය: "ඔවුන් රැගෙන ආ ඵල වැල මෙහි ගෙනැවිත් ඔවුන් පැමිණි කාරණාව විමසා සිටින්න. මාගේ ප්‍රණාමය ඔවුන්ට පිරිනමා අද දින මා හට ඔවුන්ව බැහැ දැකීමට නොහැකි බවත් හෙට දිනයේ නැවත පැමිණෙන ලෙසත් දන්වන්න." 

55-58. මුරකරුවන් තාපසවරුන් වෙත ගොස් ඔවුන්ගෙන් ඵල වැල ලබාගෙන රජුට මහත් ගෞරවයෙන් පූජා කළහ. කුහක බ්‍රාහ්මණ වෙස් ගත් සර්පයන් පිටවගිය කළ රජු එම ඵල රැගෙන සිය ඇමතිවරුන් ආමන්ත්‍රණය කළේය: "මේ ඵල ගෙන මාගේ සියලුම මිතුරන්ට ඒවා ආහාරයට දෙන්න. ම බ්‍රාහ්මණයන් විසින් පිරිනැමූ එක් පලතුරක් පමණක් ගෙන එය ආහාරයට ගමි."

59-61. මෙසේ පවසා උත්තරා පුත්‍ර පරීක්ෂිත් එක් ඵලයක් තබා ගනිමින් සියලු පලතුරු බෙදා දුන්නේය. තම පලතුර කැපූ විට ඔහු දුටුවේ එහි සිටිනා තඹ පැහැති කාල වර්ණ නෙත් හිමි කෘමියාය. මෙයින් අමාත්‍යවරුන් පුදුමයට පත් වූහ; රජු ඔවුන්ට කතා කළේය: “හිරු අවරට ගොස් තිබේ, එබැවින් අද වස විෂ පිළිබඳව තවදුරටත් බිය වීමට අවස්ථාවක් නැත. මා අද පවසන්නේ බ්‍රාහ්මණයාගේ ශාපයට බිය වී, මේ කෘමියා මට දෂ්ට කරන්න ඉඩ දෙන ලෙසයි." රජු මෙසේ පවසමින් කෘමියාව තම ගෙලෙහි තබා ගත්තේය.

62-66. සිදු වූයේ මහා පුදුමයකි! හිරු අවරට යන අවස්ථාවේදි කෘමි වේශයෙන් සිටි තක්ෂකව රජු තම ගෙලෙහි තබා ගත් කළ ඔහු මහා ඝෝර සර්ප වේශයට පැමිණ රජුගේ ගෙල වටා එතී ඔහුට දෂ්ඨ කළේය. අමාත්‍යවරුන් මහත් පුදුමයට පත් වූ අතර මහත් වේදනාවෙන් හා ශෝකයෙන් හඩා වැලපෙන්නට වූහ. එම භයානක සර්පයා දුටු අමාත්‍යවරුන් භීතියෙන් මුසපත් වී සෑම පැත්තකින්ම පලා ගියෝය. ආරක්ෂකයින් මහා හඬින් කෑ ගැසීය. සෑම පසෙකින්ම බිහිසුනු ඝෝෂාවන් නිකුත් වුණි. එවිට සර්පයාගේ ග්‍රහණයට හසුවී සිටින උත්තරා පුත්‍ර පරීක්ෂිත් තමාගේ සියලු ප්‍රයත්නයන් නිෂ්ඵල බව හැඟී ගිය හෙයින් නිහඬව සිටියේය. තක්ෂක නාගයාගේ මුඛයෙන් පිටවු බිහිසුන් විෂ අග්නියෙන් රජුව මරණයට පත් විය.

67- මේ අනුව රජුගේ ජීවිතය උදුරා ගත් තක්ෂක ආකාශයේ ඉහළට ගියේය; ලෝකය පුළුස්සා දැමීමට මෙන් සර්පයා සූදානම් බව ජනතාව දුටුවෝය. පිළිස්සුණු වෘක්ෂයක් මෙන් රජු අප්‍රාණිකව බිම වැතිරීසිටියේය; රජුගේ මරණය දැක සියල්ලෝම මොරගැසුවෝය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ දසවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.