Friday 15 September 1995

සර්ප සත්‍ර



1-6. සූත පැවසිය: ඕ මුනිවරුනි! රජුගේ ප්‍රාණය නිරුද්ධ බවත් ඔහුගේ පුත්‍රයා සාමාන්‍ය දරුවකු බවත් දුටු ඇමතිවරුන් ඔවුන් විසින් අවමංගල්‍ය උත්සව සියල්ලම සිදු කළහ. පළමුවෙන්ම, සර්ප දෂ්ට කිරීමකින් ඔහුගේ මරණය අහම්බයක් වූ බැවින්, මන්ත්‍ර ජප කිරීමකින් තොරව ගංගා තීරයේ රජු ආදාහනය කළහ. පසුව ඔවුන් විසින් කුසා තණකොළ වලින් සෑදූ රජුගේ ප්‍රතිමාවක් අවමංගල්‍ය කණුවක් මත ස්ථාපනය කොට එය සඳුන් හා සුවඳ දැව වලින් පුළුස්සා දැමූහ. පූජකයන් ඔහුගේ අවමංගල්‍ය කටයුතු  අවසන් කර, වෛදික මන්ත්‍රයන් පුන පුනා ජප කරමින්, රජුට ස්වර්ගය ප්‍රාප්ත කර ගත හැකි වන පරිදි ප්‍රමාණවත් තරම් රන්, ආහාර සහ වස්ත්‍රයන් බ්‍රාහ්මණයින්ට දන් දුන්නේය. ඉක්බිති, සුබ අවසරයෙන්, අමාත්‍යවරුන් බාල කුමරු සිංහාසනය මත පිහිටුවන ලදදේය. එය සියල්ලගේම හදවත් සතුටු කළ අතර රාජ්‍යයේ සමස්ථ ජනයා බාල කුමරුන් සියළුම රාජකීය ගුණාංගයන්ගෙන් පරිපූර්ණ ජනමෙජය ලෙස පිළිගත්හ.

7-12. ධාත්‍රෙයී විසින් රජුට තමාගේ කර්තව්‍යයන් පිළිබඳව උපදෙස් ලබා දුන්නාය. ළමා කුමරුන් ක්‍රමාණුකූලව වසරින් වසර වැඩී මහත් ප්‍රඥාවක් ලබා ගත්තේය.  කුමරු එකොළොස්වන වියට එළඹීමෙන් අනතුරුව ඔහුගේ ගුරු ගායත්‍රී මන්ත්‍රය ලබා දුන් අතර ඔහු එය මහත් පරිශ්‍රමයකින් ශික්ෂණය කළේය. ද්‍රෝණ වසින් අර්ජුන හටත්, පරසුරාම විසින් කර්ණ හටත් පුහුණු කළ ආකාරයට කෘපාචාර්‍ය විසින් ඔහුට ධනුර්වේදය පුහුණු කළේය. ජනමේජය සමස්ථ විද්‍යාවන් අධ්‍යයන කළ අතර දුනු ශිල්ප විද්‍යාවට ප්‍රවීණ වූ හෙයින් හෙයින් ඔහුගේ ශත්‍රැන් හට ඉතා ශක්තිමත් හා අදම්‍ය විය. ඔහු වේදයන්ගේ අනෙකුත් කොටස් සඳහාද ප්‍රවීණ විය. සත්‍යවාදි, ස්වයං හික්මීමක් සහිත ධාර්මික ජනමෙජය රජු සමස්ථ ධර්මශාස්ත්‍රයන් හා අර්ථශාස්ත්‍රයන් (ආර්ථික විද්‍යාව) පිළිබඳව සම්පූර්ණ ඥානය ප්‍රාප්ත කරගනිමින් ධර්ම පුත්‍ර යුධිෂ්ථිර මෙන් පාලන කටයුතු හෙබවිය.

13-15. කාශී නිරිදුන් තමාගේ යහපත් දියණිය වන වපුෂ්ඨමා රජුට සරණ පාවා දුන්නේය. අර්ජුන සුභද්‍රා ලබා ගත් සේ ජනමෙජය පියකරු වපුෂ්ඨමා ලබා ගැනීමෙන් මහත් ආනන්දයට පත් විය. රජු තම පතිනිය සමඟ ශතකරතු සහ ශචී වැනි උද්‍යානයන් හා වනාන්තර තුළ වින්දනය කරන්නට විය. දක්ෂ අමාත්‍යවරුන් රාජ්‍ය පාලනයට උත්කෘෂ්ට ලෙස සහය ලබා දුන්හ. ඔවුන් සියල්ලන්ම තෘප්තියෙන් කල් ගත කළේය.

16-17. එකල්හි උත්තණ්ක නම් මුනිවරයෙකු තක්ෂක නාගයාගෙන් බොහෝ පීඩා විඳින හෙයින් තම පළිගැනීම සඳහා උපකාර අපේක්ෂාවෙන් එයට සුදුසුම පුද්ගලයා පරීක්ෂිත් පුත්‍ර ජනමෙජය ලෙස සිතා හස්තිනා වෙත පැමිණ රජුට ආමන්ත්‍රණය කළේය.

18-19. "ඕ යහපත් රජුනි! කළ යුතු දෙය කළ යුත්තේ කවදාදැයි ඔබ නොදනි; නොකළ යුතු දේ ඔබ වර්තමානයේ කරමින් සිටී. ඔබ තුළ කෝපයක් හෝ ශක්තියක් නොමැත. දරුවෙකු හා සමානව ඔබ ක්‍රියා කරයි; එබැවින් ඔබ ශාස්ත්‍රයන්ගේ අරුත් ද, ශත්‍රැන්වද නොදනි.

20. මෙය ශ්‍රවණය කෙරූ ජනමෙජය ඉක්බිති මෙසේ පැවසිය: "ඕ භාග්‍යවන්තය! මාගේ සතුරා කවුදැයි මා නොදනිමි; නිවැරදි කිරීමට ඇති වරද කුමක්ද? කරුණාකර කළ යුතු දේ පවසන්න."

21. උත්තණ්ක පැවසිය: "ඕ රජුනි! දුෂ්ට තක්ෂක විසින් ඔබගේ පියා ඝාතනය කළේය. ඔබගේ පියාණන්ගේ මරණය පිළිබඳව ඔබේ අමාත්‍යවරුන්ගෙන් විමසන්න."

22. සූත පැවසිය: මෙය ඇසූ ජනමෙජය තම පියාගේ මරණය පිළිබඳව අමාත්‍යවරුන්ගෙන් විමසු අතර ඉක්බිති ඔවුන් මෙසේ පැවසිය: "ඔබගේ පියා මරණයට පත් වූයේ තක්ෂක නාගයා දෂ්ඨ කිරීමෙනි."

23. රජු පැවසිය: "මාගේ පියාගේ මරණයට කාරණය වන්නේ බ්‍රාහ්මණ ශාපයකි; මෙය තක්ෂකගේ තිබෙන වරද පවසන්න."

24-29. උත්තණ්ක පැවසිය:  ඔබගේ පියාණන්ව විෂෙන් සුවපත් කිරීමට පැමිණි කාශ්‍යපට ධනය ලබා දෙමින් ඔහුව ඉවත් කරේ තක්ෂකයි. රජතුමනි! එසේ නම් ඔබේ පියාගේ විශාලම සතුරා සහ ඔහුගේ ඝාතකයා තක්ෂක නොවන්නේද? ඕ රජුනි! පෙර කාලයේදි රුරු මුනිවරයාගේ පතිනිය වන ප්‍රමද්වරා සර්ප දෂ්ඨනයකින් මරණයට පත් වූ කළ රුරු නැවත ඇයට ප්‍රාණය ලබා දුන්නේය. නමුත් රුරු මෙසේ ප්‍රතිඥාවක් ලබා දුන්නේය:  "මා දකිනුයේ කිනම් සර්පයාවද, මා ගදාවෙන් පහර දී ඌගේ ජීවිතය උදුරා ගනිමි." ඕ රජතුමනි! ඔහු මෙසේ තීරණය කළ පසු ඔහුට හමුවන සෑම සර්පයෙක්ම ඔහු සංහාරය කළේය. ඔහු ලොව පුරා ගමන් කර විට වනාන්තරයේදි භයානක ජලජ සර්පයෙකු දුටු අතර ඌ සංහාරයට කිරිම සඳහා තම ගදාවෙන්ප හර දුන්නේය. එවිට නාගයා මෙසේ පැවසිය: "ඕ බ්‍රාහ්මණය! මා ඔබට කිසිදු විපතක් නොකළ විටත්, නුඹ මට මෙලෙස පහර දෙන්නේ මන්ද?" 

30. රුරු පැවසිය: "ඕ නාගය! මාගේ පතිනිය නාග දෂ්ඨනයකින් මරණයට පත් විය, එතැන් පටන් මා නාගයන් සංහාරය කරන බවට ප්‍රතිඥා ලබා දුන්නෙමි."

31. මෙය ශ්‍රවණය කෙරූ දුන්දුභ සර්පයා මෙසේ පැවසිය: "මා දෂ්ඨ නොකරමි, දෂ්ඨ කරන සර්පයන් අන්‍ය කුලයකි; මා ඔවුනට සමාන ශරීරයක් දරා සිටි පමණින් මාහට පහර දීම උචිත නොවේ.

32. සර්පයාගේ මුඛයෙන් මෙම කාරුණික වදන් ශ්‍රවණය කොට විස්මයට පත් රුරු මෙසේ විමසිය: "ඔබ කවුරුන්ද? ඔබ මෙසේ දුන්දුභ සර්පයකු වූයේ කිමද?"

33-39. සර්පයා පැවසිය: "ඕ බ්‍රාහ්මණය! මා පෙර බ්‍රාහ්මණයකුව සිටියෙමි; මාහට ක්‍යාස් නමින් සත්‍යවාදි ධාර්මික මිතුරෙකු විය. වරෙක ඔහු යාග කුටියෙහි සිටින මා විසින් ශාක පත්‍රයන්ගෙන් නිර්මාණය කරන ලද ව්‍යාජ සර්පයෙකු ඔහු වෙත දමා ඔහුව බිය ගැන්වුයෙමි. ඔහු බියට පත් වී දැඩි ලෙස වෙව්ලන්නට වූ අතර ඔහු දිගින් දිගටම මට මෙසේ ශාප කළේය - "ඕ දුර්බුද්ධිය සහිත ඇත්තා! ඔබ නිර්විෂ ව්‍යාජ සර්පයකුගෙන් මා භිය ගැන්වූ හෙයින් ඔබද නිර්විෂ සර්පයකු වනු ඇත." වහාම මා සර්පයෙකු බවට පත් වූ අතර මා එම බ්‍රාහ්මණයාට බොහෝ සේ ආයාචනා කළ විට ඔහුගේ කෝපය මදක් පහව ගොස් නැවත පැවසිය: "ඕ නාගය! ප්‍රමති පුත්‍ර රුරු ඔබව මෙම ශාපයෙන් මුදවනු ඇත." මා එම බ්‍රාහ්මණයා වන අතර ඔබ රුරු වන්නේය. දැන් ධර්මයට අනුකූලව මාගේ වචන අසන්න. අවහිංසාව බ්‍රාහ්මණයාගේ උතුම් ධර්මයයි. එහි කිසිදු සැකයක් නොමැත්තේය. බ්‍රාහ්මණයන් සියල්ලටම දයාව දැක්විය යුතුය. යාගයන්හී හැර අන් කිසිඳු අවස්ථාවක ප්‍රාණඝාතය නොකළ යුතුය. ප්‍රාණඝාත චේතනාවන්ගෙන් තොරව යාගයන්හි බිලි දිය හැකිය. යාගයන්ගී සිදු කරන්නා වූ බිලි පුජාවන්ගෙන් මහත් ඵල ලැබෙන්නේය. එහිදි සිදු ප්‍රාණ ඝාතය, අවහිංසාවක් ලෙස සැළකේ.

40-45. උත්තණ්ක පැවසිය: "ඉක්බිති එම බ්‍රාහ්මණයා සර්ප යෝනියෙන් මුක්ත වු අතර රුරුද එතැන් පටන් ප්‍රාණ ඝාතයෙන් වැළැකී සිටියේය. ඕ රජුනි! රුරු එම කන්‍යාවියට නැවත ප්‍රාණය ලබා දී සරණ පාවා ගත්තද, පෙර වෛරය හේතු කොට නාගයන්ව සංහාරය කළේය. ඕ රජුනි! ඔබගේ මරණීය අවස්ථාවෙදි සිදු කළ යුතු කිසිදු පුණ්‍යකර්මයකින් තොරව මිය ගියේය. එබැවින් ඔබේ සතුරන් වන සර්පයන් මරා ඔබේ පියා බේරා ගන්න. තම පියාගේ සතුරාගේ ක්‍රියාවන් සතුරුකමක් ලෙස නොසලකන එම පුත්‍රයා ජීවත්ව සිටියද මියගිය අයකු හා සමානය. ඔබේ පියාගේ සතුරන් වන සර්පයන් මරා දමන තුරු ඔබේ පියා නිරයෙන් මුක්ත නොවන්නේය. ඕ රජතුමනි! ඔබගේ පියාට සිදු වූ අයුක්තිය සිහි කරමින් මහා මාතාව උදෙසා සර්ප යාගය සිදු කරනු. 

46-48 සූත පැවසිය: උත්තණ්ක පැවසු වදන් ශ්‍රවණය කෙරූ ජනමෙජය තම කඳුළු පිස දමා මෙසේ සිතුවේය: "අහෝ! මා ලැජ්ජා වෙමි! මා මහා අඥානයකි; එබැවින් මාගේ ආඩම්බරය නිෂ්ඵලතාවයකි. සර්ප දෂ්ඨයකින් නිරයට ගොස් සිටින පියෙකු ඇත්තෙකුට කිනම් ගෞරවයක්ද. දැන්, මා සැකයකින් තොරව, සර්ප සත්‍ර යාගය ආරම්භ කර අග්නි හෝමයෙන් සියලුම සර්පයන් විනාශ කිරීම සහතික කර මාගේ පියා නිරයෙන් මුක්ත කරමි."

49-52. මෙසේ තීරණයකට එළඹි තමා අමාත්‍යවරුන් ආමන්ත්‍රණය කළේය: "ඕ අමාත්‍යවරුනි! මහා යාගයක් සඳහා සුදානම් වනු. ගංගා නදිය අසබඩ බ්‍රාහ්මණයන් විසින් තෝරා ගත්  සුදුසු ශුද්ධ භූමියක කුළුණු ශතකයක් සහිත අලංකාර පූජා ශාලාවක් ඉදි කර ඒ තුළ යාගයක් පිළියෙල කරන්න. සමස්ථ මූලික පිළිවෙත් අවසන් වූ විගස මා මහා සර්ප යාගය ආරම්භ කරමි. එම යාගය තුළ තක්ෂක නම් සර්පයා මූලික වන අතර උත්තණ්ක ප්‍රධාන පූජකයා වනු ඇත. එබැවින් වේදකෘත වූ බ්‍රාහ්මණයන්ට ඉක්මනින් ආරාධනා කරන්න.

53-55.  සූත පැවසිය: මේ අනුව රජුගේ අණ පරිදි දක්ෂ ඇමතිවරු පූජාවට අවශ්‍ය සියළුම ද්‍රව්‍ය එකතු කර විශාල හෝම කුණ්ඩයක් සූදානම් කළහ. සර්පයින් කැඳවා මේ යාගය සූදානම් කළ විට තක්ෂක බියෙන් දැඩි ලෙස කලබලයට පත් වී ඉන්ද්‍රගේ සරණ ගියේය. ඉන්ද්‍ර, බියෙන් වෙව්ලමින් සිටි තක්ෂකට බලාපොරොත්තුවක් දී, ඔහුගේ ආසනය මත හිඳුවා, බිය නොවන්න! සර්පය බිය නොවන්න! යන වදන් වලින් ධෛර්‍යමත් කළේය.

56-59. තක්ෂක විසින් ඉන්ද්‍රගේ සරණ පතා ගොස් ඇති බව දැනගත් උත්තණ්ක මුනිවරයා කලබලයට පත්ව ඉන්ද්‍රටද යාගය සඳහා ආරාධනා කළේය. තක්ෂකට වෙනත් මාර්ගයක් නොපෙණුනු හෙයින් යායාවර පරපුරෙහි උපන් ජරත් කාරු පුත් ආස්තික මුනිවරයා සරණ පැතීය. මුනි පුත්‍රය වූ ආස්තික පූජාවට පැමිණ ජනමෙජය වර්ණනා කරමින් ගීතිකා ගායනා කළේය: රජුද මනුවරයා දැක ප්‍රණාම කොට ඔහු කවුරුන්ද යන්න අසා ඔහුට අවශ්‍ය දේ තමා ඉටු කරන බව පැවසිය. මෙය ඇසු ආස්තික යාගය නවත්වන ලෙසට ඔහුට පැවසිය. 

60-63. සත්‍යවාදි රජු මුනිවරයාගේ වචනය සුරැකීම සඳහා යාගය නැවැත්වුයේය. වෛශම්පායන (මහාභාරතයේ කථිකයා) විසින් රජුගේ සිත තෘප්තිමත් කිරීම උදෙසා සම්පූර්ණ මහාභාරතය රජුට දේශනා කළේය. මහාභාරතය ශ්‍රවණය කිරීමෙන්ද තෘප්තිමත් නොවූ රජු වේද ව්‍යාස හමුව මෙසේ පැවසිය: "මා දැන් ශාන්තිය අත්පත් කරගන්නේ කෙසේද; මාගේ සිත නිරතුරුවම ශෝකයෙන් දැවෙමින් පවතී; මා කුමක් කළ යුතුද යන්න පවසන්න? මාගෙ පියා වන පරීක්ෂිත් ගේ අකල් මරණයෙන් මා ව්‍යාකූලව ඇත."

64- "ඕ භාග්‍යවන්තය! මාරාන්තික යුද පිටියක හෝ සාමාන්‍ය සංග්‍රාමයක්දි ක්ෂත්‍රීයන්ගේ මරණය ප්‍රශංසනීය බව බලන්න; ස්වාභාවික නීති රීති වලට අනුකූලව අනුගමනය කරන්නේ නම් ඔහුගේම නිවසේදී ඔහුගේ මරණය පවා ප්‍රශංසනීය ය; නමුත් මාගේ පියාණන් හට එවැනි මරණයක් ප්‍රාප්ත නොවීය. බ්‍රාහ්මණ ශාපයක් හේතුවෙන් ඔහු නිෂ්ඵල ලෙස මියැදුනේ මන්ද? ඕ සත්‍යවතී පුත්‍ර! නිරයේ සිටින මාගේ පියාණන් හට ස්වර්ගය ප්‍රාප්ත කරගත හැකි ආකාරයට පවසනු මැනවි එමගින් මාගේ හදවතට සාමය උදාවනු ඇත.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ එකොළොස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.