Sunday 17 September 1995

ආස්තිකගේ ජන්මය

 

1-4. සූත පැවසිය: රජුගේ වදන් ශ්‍රවණය කෙරූ සත්‍යවතී පුත්‍ර ව්‍යාස දෙව මෙසේ පැවසුවේය: "ඕ රජතුමනි! මා දැන් ඔබට ශුද්ධ වූ, අපූරු වූ, බොහෝ පුරාවෘත්තයන්ගෙන් පිරුණු, ශුභ ඵල ලබා දෙන, භාගවත පුරාණය දේශනා කරමි; සවන් දෙන්න. මින් පෙර මාගේ පුත්‍රයාට මෙම පුරාණය අධ්‍යයනය කිරීමට සැලැස්සුවෙමි. ඕ රජතුමනි මා දැන් සියලුම රහස්‍යන් සමඟ එම උත්කෘෂ්ට පුරාණය ඔබට දේශනා කරමි. මම මෙය සියලුම අගාමා වලින් උපුටා ගත්තෙමි. එය ධර්මය (ආගම), අර්ථ (ධනය), කාමය (ආශාවන් ඉටු කිරීම) සහ මෝක්සා (විමුක්තිය) ගෙන එයි; මා මෙය සමස්ථ ආගම (සම්ප්‍රදායන්) තුළින් සංක්ෂේපය කෙරුවෙමි. එය ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂය ප්‍රධානය කරයි; මෙය ශ්‍රවණය කිරීමෙන් සැම විටම සංතුෂ්ටිය හා යහපත් ප්‍රතිඵල ලබා දෙයි."

5-7 ඉක්බිති ජනමෙජය පැවසිය: "ඕ ස්වාමීනි! ඒ මුනි අස්තික යනු කවරහුද? ඔහු සර්ප සත්‍ර යාගය වෙත පැමිණියේ කුමන කාරණාවක් උදෙසාද? සර්පයන් ආරක්ෂා කරගැනීමෙන් ඔහු ප්‍රාප්ත කරගනු ලැබූවේ කුමක්ද? ඕ මහා භාග්‍යවන්තය! කමා කොට මේ සියල්ල මාහට පළමුව පවසනු මැනවි; ඉක්බිති එම පුරාණය මාහට දේශනා කරනු මැනවි." 

8-9. ව්‍යාස දෙව පැවසිය: "ඕ රජුනි! පුරාණ කාලයේ ජරත්කාරු නමින් මුනිවරයෙකු විය. ඔහු සෑම විටම ශාන්තියම තම පරම මාර්ගයට කොට ගත්තේය. ඔහු අවිවාහක විය. වරක් ඔහු වනාන්තරයක ගුහාවක ඔහුගේ මුතුන් මිත්තන්ව දුටුවේය. ඔවුන් ජරත්කාරුට මෙසේ පැවසිය: "ඕ පුත්‍ර! විවාහ වන්න; එවිට අප මහත් ප්‍රසන්න වනු ඇත; ඔබට පුත්‍රයකු ලැබුණු කල අප සමස්ථ පීඩාවන්ගෙන් මුක්ත වී ස්වර්ගය ප්‍රාප්ත කරගනු ඇත."

10-11. මෙය ශ්‍රවණය කෙරූ ජරත්කාරු ඉක්බිති මෙසේ පැවසිය: "ඕ මුතුන්මිත්තනි! සිඟමනකින් හා ඉල්ලීමකින් තොරව මාගේ නමින්ම ස්ත්‍රියක ලබා ගත්තොත් හා ඇය මට සම්පූර්ණයෙන්ම අවනත නම්; මා විවාහ වී ගෘහ දිවියක් ගෙන යන්නෙමි. මා නුඹලාට පව්සන්නේ සත්‍යයකි." මෙසේ තම මුතුන්මිත්තන්ට පැවසු ජරත්කාරු ඉක්බිති තීර්ථ යාත්‍රාවෙහි නිරත විය. මේ අවස්ථාවේදීම නාග මාතා කදෘ තම  පුත්‍රයන්ට අග්නියෙන් විනාශ වන ලෙස ශාප කළාය. එයට හේතුව මෙසේය:  ඒ මොහොතේ කශ්‍යපගේ සම භාර්යාවන් දෙදෙනෙකු වූ කදෘ සහ විනතා සූර්‍ය දෙවියන්ගේ රථයෙහි අශ්වයන් බැදීම දැක එකිනෙකා සමඟ වාද කළහ.

12. අශ්වයන් දුටු කදෘ පළමුව විනතාගෙන් මෙසේ විමසුවාය: "ඕ යහපත් තැනැත්තිය! මේ අශ්වයාගේ වර්ණය කුමක්දැයි පවසන්න"

13. විනතා පැවසිය: "ඕ උත්කෘෂ්ට වන්තිය! ඔබ කුමක්ද සිතන්නේ? මා පවසන්නේ මෙම තුරඟයා ශ්වේත වර්ණ බවයි. එහි වර්ණය කුමක්දැයි ඔබ ක්ෂණිකව පැවසීම උචිතය. එවිට අපි ඔට්ටුවක් තබමු."

14. කදෘ පැවසුවාය: "මා සිතන්නේ උන් කාල වර්ණයෙන් යුක්ත බවයි. එන්න අප ඔට්ටුවක් තබමු; ජයග්‍රහණය කරනා අනෙකාගේ දාසිය විය යුතුය."

15-18. එසේ පවසා ඇය රහසින් ඇයගේ පුත්‍රයන් කැඳවා මෙසේ පැවසුවාය: "සූර්‍ය රථයේ සිටින අශ්වයාගේ ශරීරය නුඹලා ආවරණය කරන්න. එවිට ඌ කාල වර්ණයෙන් දිස්වනු ඇත. එවිට ඇතැම් නාගයන් එය ප්‍රතික්ෂේප කළ අතර ඇය ඔවුන්ට ජනමෙජයගේ යාගයෙන් දැවි යන ලෙසට ශාප කළාය.  අනෙකුත් නාගයන් තම මව ප්‍රසන්න කිරීම උදෙසා අශ්වයා වටා දරණය වූ අතර ඌ පසුව කාල වර්ණයෙන් දිස් විය. පසුව කදෘ සහ විනතා අශ්වයා නැරඹීමට ගිය අතර ඌ කාල වර්ණයන් දිස් වූ හෙයින් ඇය බොහෝ සේ කම්පා විය.

19-21. පසුව විනතා පුත්‍ර ගරුඩ තම මෑණියන් ශෝකයෙන් සිටිනු දැක ඇයගෙන් එයට කාරණා විමසිය: "ඕ මෑණියනි! ඔබ ශෝකයෙන් සිටින්නේ මන්ද? සූර්‍ය දෙවියන්ගේ අශ්වාරෝහක අරුණ සහ මා සිටියදි ඔබ හඬමින් සිටින බව පෙනී යයි. අප ජීවත්ව සිටියදි ඔබ දුක් විදීම පිළිබඳව අපට ලජ්ජා වේවා! ඕ සුන්දර තැනැත්තිය! පුත්‍රයගේ සිටියදි මවක් ශෝකයෙන් සිටීනම් එවැනි පුත්‍රයකුගෙන් ඇති ඵලය කිමද? එබැවින්, ඕ මෑණියනි! ඔබගේ ශෝකයට කාරණා පවසන්න. මා නිසැකවම් එය දුරු කරමි."

22. විනතා පැවසුවාය: "ඕ පුත්‍ර! මාගේ දුක්ඛිතභාවය පිළිබඳව කුමක් නම් පවසන්නද: මා දැන් මාගේ විරුද්ධවාදිනියගේ දාසියක් බවට පත්ව ඇත. කිසියක් හෝ රැවටීමකින් ඈ මා පරාජය කළ අතර දැන් ඇයව මාගේ බරණිය (පිට) මත තබාගෙන යන ලෙස පවසයි. ඕ පුත්‍ර! ඒ හේතුවෙන් මා ශෝකයෙන් සිටින්නෙමි." 

24. ගරුඩ දේව එම බර තමා විසින් දරන බව පවසා  කදෘ සහ ඔවුන්ගේ පුත්‍රයන් තම බරණිය මත තබාගනිමින් සාගරයෙන් එතෙරෙ කළේය. පසුව එතුම කදෘගෙන් මෙසේ විමසිය: "ඕ මෑණියනි! මා ඔබතුමියට නමස්කාර කරමි; කරුණාකර මාගේ මෑණියන් ඔබගේ වහල්භාවයෙන් මුක්ත කරන ආකාරය මා හට පවසනු මැනවි.

27. ඉක්බිති කදෘ මෙසේ පැවසුවාය: "ඕ පුත්‍ර! ඔබගේ ශක්තියෙන් ස්වර්ගයට ගොස් අමෘතය ගෙන මාගේ පුත්‍රයන්ට ලබාදීමට හැකිනම් ඔබගේ මවා වහල්භාවයෙන් මුක්ත වනු ඇත."


28-30. කදෘ එසේ පැවසු කළ විනාත පුත්‍ර මහා ශක්ති සම්පන්න ගරුඩ දේව ක්ෂණිකව ඉන්ද්‍ර ලෝකය වෙත ගොස් යුද්ධ කොට අමෘතය සොරාගෙන එය කෘද්‍ර වෙත ලබාදී තම මෑණියන් මුදවා ගත්තාය. මේ අතර අමතෘය පසුව පානය කිරිමේ අරමුණෙන් නාගයන් ස්නාන කිරීමට පිටව ගිය අතරතුර ඉන්ද්‍ර අමෘත කලස සොරා ගත්තේය. ඕ රජුනි! මේ අනුව, ගරුඩ දේවගේ ශක්තියෙන් විනතා ඇයගේ වහල්භාවයෙන් නිදහස් විය.

31. අනෙක් පසින් නාගය ස්නානය කොට නැවත පැමිණි කළ අමෘත කලස නොමැති බව පසක් විය. පොළව්ට වැටුන අමෘත බිඳක් හෝ ලැබේ යන අදහසින් නායන් අමෘත කලස තබා තිබුණු ස්ථානයෙහි පවසින් කුශ තෘණ ජිව්හයන්ගෙන් ස්පර්ශ කිරීමට පටන් ගත්හ. මෙහි ප්‍රතිඵලයක් ලෙසින් කුශ තෘණ වල තියුණු කොන් වලින් සමස්ථ සර්පයෙන් ජීව්හානුන් ද්විත්වයකට වෙන් විය. එබැවින් සර්පයන් ද්වීජිහ්වා යන නාමයෙන් හැඳින්වේ. 

32-34 තම මවගේ ශාපයට ලක් වූ වාසුකි ඇතුළු අනෙකුත් නාගයන් බ්‍රහ්මා වෙත සරණ පතා ගොස් එතුමාට සියල්ල සැළ කළේය. ඉන්පසුව බ්‍රහ්මා මෙසේ පැවසිය: "වාසුකීගේ සොහොයුරිය වන ජරත්කාරුව, මුනි ජරත්කාරු වෙත සරණ පාවා දෙන්න. (දෙදෙනාගේම නම් එක හා සමානය. ඇය මනසා දේවිය ලෙසිනුත් හදුන්වයි.) ඇයගේ ගර්භයෙන් ආස්තික නම් පුත්‍රයකු බිහි වනු ඇත; ඔහු නිසැකවම නුඹලාගේ බාධාවන් හරණය කරනු ඇත." 

36-38. බ්‍රහ්මාගේ මෙම උත්කෘෂ්ට ප්‍රකාශයෙන් අනතුරුව වාසුකි වනයට ගොස් ජරත් කාරු මුනි හමුව තම නැගණියව විවාහ කරගන්න ලෙස ආයාචනා කළේය. ඇයටද තමාගෙ නාමයම තිබෙන බව දැනගත් මුනිවරයා ඉක්බිති මෙසේ පැවසිය: "නමුත් ඔබගේ නැගනිය මාගේ ආදේශයන්ට විරුද්ධ වූ දින මා ඇයව අත්හැර දමමි." මෙම කොන්දේසි මත මුනිවරයා මනසා දේවියව සරණ පාවා ගත්තේය. වාසුකි නැවත තම වාසස්ථානය කරා පිටවිය. ඉක්බිති ජරත්කාරු මුනිවරයා එම මහා වනය තුළ පැල්පතක් ගොඩනඟා තම පතිනිය සමඟ සතුටින් වාසය කළේය. 

39-43. එක් අවස්ථාවක ජරත් කාරු මුනිවරයා තමා අහාර ගෙන තමාව කුමන හේතුවක් උදෙසා හෝ අවදි නොකරන ලෙස පවසා සැතපුනේය. සවස් කාලය පැමිණි කළ මුනිවරයාට සන්ධ්‍යා වන්දනය අතපසු වේ යැයි බිය වි වාසුකීගේ නැගණිය මෙසේ සිතන්නට වුවාය: "මා දැන් කුමක්ද කළ යුත්තේ? මා ඔහුව අවදි නොකළොත් මාගේ හිතට ශාන්තියක් උදා නොවන්නේය; නමුත් මා ඔහුව අවදි කළහොත් ඔහු මා අත්හැර දමනු ඇත. දැන් මා ඔහුව අවදි නොකළේ නම්, අරමුණක් නොමැතිව සන්ධ්‍යා කාලය ගත වී යයි. කුමක් වූවද, ඔහු මා හැර ගියහොත් හෝ මාගේ මරණය සිදු වුවහොත්, එය ධර්මය නොපිළිපැදීමට වඩා යහපත් වේ. මක්නිසාද යත් ධර්මය විනාශ වූ කළ නිරය නිසැකය.

44-45. එලෙස සිතා ඇය ඔහුව අවධි කොට මෙසේ පැවසුවාය: "ඕ ස්වාමීනි සන්ධ්‍යා කාලය එළඹ ඇති හෙයින් අවදි වනු මැන" මහා කෝපයෙන් අවධි වූ මුනිවරයා මෙසේ පැවසිය: "නුඹ මාගේ නිද්‍රාවට බාදා කළ හෙයින්, මේ මොහොතේම මා ඔබව අත්හැර දමමි; නුඹ නැවතත් නුඹගේ සොහොයුරා වෙත පිටවන්න." 

46. මුනිවරයා එසේ පැවසු කළ ඇය වෙව්ලමින් මෙසේ පැවසුවාය: "මාගේ සොහොයුරා මා හා ඔබ විවාහ කරවීමෙන් අත්වූ ප්‍රයෝජනය කිමද?"

47-50. ඉක්බිති මුනිවරයා තම පතිනිය හට දැඩි සේ මෙසේ පැවසිය: "එය නුඹගේ කුසෙහි ඇත." ජරත්කාරු ඇය අත්හැර දැමූ අතර ඇය නැවතත් වාසුකි වෙත ගියේය. වාසුකි පුත්‍රයා පිළිබඳව ඇයගෙන් විමසූ කළ මුනිවරයා තමා අත්හැරු බවත්, පුත්‍රයා තම ගර්භයේ සිටින බවත් පැවසුවාය." මනුවරයා කිසිදා අසත්‍ය නොපසවසන බව දත් වාසුකි තම නැගණියට ආරක්ෂාව සැපයීය. ඕ කුරුසත්තම! කාලයාගේ ඇවෑමෙන් කීර්තිමත් ආස්තික මුනිවරයා ජන්මය ලැබීය.

51-52. "ඕ රජුනි! සත්‍යවදි එම මුනිවරයා තම මවගේ පරපුර සුරක්ෂිත කිරීම උදෙසා ඔබව සර්ප සත්‍ර යාගයෙන් වැළැක්වුයේය. යායාවර පරපුරෙන් ජන්මය ලද ආස්තික මුනිවරයාගේ වදන් වලට ඔබ ගරු කිරීම ඉතාමත් යහපත්ය."

53-54. "ඕ ශක්තිවන්තය! නුඹට සදා යහපතම උදා වෙත්වා! ඔබ මහාභාරතය ශ්‍රවණය කෙරූ අතර බොහෝ දානමය පිංකම් සිදු කොට ඇත. ඔබ ගණනය කළ නොහැකි මුනිවරුන් සංඛ්‍යාවක් වන්දනා කොට ඇත. නමුත් රජතුමනි! ඔබ කෙතරම යහපත් කර්මයන් සිදු කරත්, ඔබගේ පියා තවමත් ස්වර්ගය ප්‍රාප්ත කර නොමැත. ඔබේ පවුල විශුද්ධ කිරීමට ඔබට නොහැකි වී ඇත."

55-61. "එබැවින් ඕ ජනමෙජය රජුනි! උතුම් භක්තිභාවයෙන් යුක්තව දේවිය උදෙසා විශාල මන්දිරයක් නිර්මාණය කරන්න; එවිට ඔබගේ සමස්ථ ඉච්ඡාවන් පූර්ණ වනු ඇත. සමස්ථ ආශාවන් පරිපූරණය කරන්නා වූ දේවියව පවිත්‍ර භක්තියෙන් වන්දනා කරන කළ ඇය රාජ්‍ය ස්ථාවරය කොට පරපුර වැඩි කරනු ඇත. ඕ රජතුමනි! දේවිමඛ යාගය සිදු කොට දේවිය ප්‍රසන්න කරන්න. දේවියගේ මහිමයන්ගෙන් පිරුණු උත්කෘෂ්ට පුරාණය වන ශ්‍රීමද් භාගවතම් ශ්‍රවණය කරන්න. ඕ රජුනි! තම හෘදය තුළ භගවතී දේවිය උදෙසා භක්තිය හා ප්‍රේමය පිරී පවතින පුද්ගලයන් ප්‍රඥාවන්ත හා ආශීර්වාද ලත් අය සේම මහා භාග්‍යවන්තයන්ද වන්නේය. ඕ භාරත පරපුරෙහි කීර්තිමත් තැනැත්ත! ශ්‍රේෂ්ඨ මහාමායා මාතාවට නමස්කාර නොකරන්නන් නිරතුරුවම පීඩා විදින බව දැනගන්න."

62- "ඕ රජතුමනි!  බ්‍රහ්මා ඇතුළු සමස්ථ දේවතාවුන් නිරතුරවම ඇයට සේවය කරන කළ ඇයට නමස්කාර නොකරන්නේ කවුද? ඕ රජුනි! මෙම පුරාණය නිරන්තරයෙන් ශ්‍රවණය කරන්නාගේ සමස්ථ ඉච්ඡාවන් සඵල වන්නේය. පුරාණ කාලයේදි භගවතී දේවිය විසින්ම මෙම උත්කෘෂ්ට භාගවත පුරාණය විෂ්ණු හට ප්‍රධානය කළාය. ඕ රජතුමනි!  ඔබ මෙම උතුම් පුරාණය ශ්‍රවණය කෙරූ කළ ඔබේ සිත සන්සුන් වී සාමකාමී වනු ඇත; පුරාණය ශ්‍රවණයක් කිරීමෙහි එක් ඵලයක් ලෙස ඔබ සියලු මුතුන්මිත්තන් ස්වර්ගය ප්‍රාප්ත කරගනු ඇත."

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගයේ දොළොස්වැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.

වේද ව්‍යාස විසින් රචිත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ දෙවන සර්ගය මෙසේ සමාප්ත වේ.