Thursday 21 September 1995

ජනමෙජය විසින් විමසන ලද ගැටලු

 


1-3. ජනමෙජය පැවසිය: "ඕ භගවාන්! ඔබ සඳහන් කළ මහා අම්බා යාගය යනු කුමක්ද? අම්බා යනු කවුරුන්ද? ඇය ජන්මය ලැබුවේ කොහේද? ඇගේ උපත සිදු වූයේ කාගෙන් සහ කුමක් සඳහාද? ඇයගේ ගුණයන් කවරේද? ඇයගේ ස්වරූපය හා ස්වභාවය කෙසේද? ඕ දයාවේ සාගරය! ඔබ සියල්ල දත් හෙයින්; කාරුණිකව විස්තර කරනු මැනවි. මේ සමඟ බ්‍රහ්මාණ්ඩයේ ආරම්භය පිළිබඳව විස්තර කරන්න. ඕ බ්‍රාහ්මණ! ඔබ මේ විශ්වය පිළිබඳ සියල්ල දන්නේය. මෙම විශ්වය නිර්මාණය, සංරක්ෂණය හා සංහාරය කරන්නේ බ්‍රහ්මා, විෂ්ණු සහ රුද්‍ර යන ත්‍රීමුර්තිය බව මා අසා ඇත්තෙමි."

4-8. "මෙම උසස් ආත්මයන් ත්‍රිත්වය ස්වාධීනද? නැත්නම් වෙනත් පුද්ගලයෙකුට යටත් වෙමින් ඔවුන් තම යුතුකම් ඉටු කරන්නේද? මේ සියල්ල දැනගැනීමට මා ඉතා උත්සුක වෙමි. එබැවින් පාරශර පුත්‍ර! මාහට විස්තර කරනු මැනවි. මෙම බ්‍රහ්මා, විෂ්ණු සහ මහේෂ්වර සාමාන්‍ය ජීවින් මෙන් මරණයට පත්වන්නේද? නැතහොත් ඔවුන් සත් චිත් ආනන්ද බ්‍රහ්මන්ගේ ස්වභාවයන්ද?  ආත්මයන්ගෙන් සහ මූලද්‍රව්‍යයන්ගෙන් පැන නගින දෙවිවරුන් පවා විඳින ත්‍රිත්ව වේදනාවන් වලට ඔවුන් යටත් වේද? ඔවුන් කාලයට යටත් වේද? ඔවුන්ගේ ආරම්භය කෙසේ කොහේ සිදු වුයේද? සුඛ, දුක, නිද්‍රාව, අලසභාවය ඔවුන්ට දැනෙන්නේද? ඔවුන්ගේ ශරීර සප්ත ධාතුන්ගෙන් හෝ වෙනත් යමකින් සමන්විත වන්නේද?"

9-10. "මේ සියලු කාරණා පිළිබඳව මා තුළ මහත් සැකයක් මතුවී තිබේ. මෙම ශරීර පංච මහා ධාතුන්ගෙන් සමන්විත නොවන්නේ නම්, කුමන මූලද්‍රව්‍යයකින් ඒවා නිර්මාණය වී ඇත්තේද? එමෙන්ම කුමන ගුණාංග වලින් ගොඩනඟා තිබෙන්නේද? ඔවුන් වස්තූන් වින්දනය කරන්නේ කෙසේද? කොපමණ කාලයක ආයුෂ ප්‍රමාණයක් ඔවුන් සතුව ඇත්තේද? ඕ බ්‍රාහ්මණ! එම බ්‍රහ්මා, විෂ්ණු හා මහේශ්වර යන ත්‍රීමූර්තිය වාසය කරනුයේ කොහේද? ඔවුන්ගේ ශක්තීන් හා වත්කම් කොපමණද? මා මේ සියල්ල ශ්‍රවණය කිරීමට කැමැත්තෙමි. එබැවින් මාහට විස්තරාත්මකව දේශනා කරනු මැනවි."

11-12. ව්‍යාස දෙව පැවසිය: "ඕ මහා ප්‍රඥාවන්ත රජුනි! ඔබ මාගෙන් විමසන ලද පැනයන් බොහෝ සංකීර්ණ ය. පුරාණ කාලයේ ඔබ මෙන් මාද නාරද මුනිවරයාගෙන් බොහො පැනයන් විමසුවෙමි. පළමුව ඔහු මාගේ විමසීම් අසා පුදුමයට පත් වූ අතර පසුව ඔහු ඒවාට නිසි පිළිතුරු ලබා දුන්නේය. රජතුමනි! මා ඔබට ඒ ආකාරයෙන්ම පිළිතුරු දෙන්නෙමි; සවන් දෙන්න."

13-19. "වරෙක වේදකෘත වූ ප්‍රඥාවන්ත නාරද මුනි ගංගා නදිය පාමුල විරාජමානව සිටිනු මා දුටුවෙමි. මා මහත් ආනන්දයට පත් වී ඔහුගේ පාද නමස්කාර කර, ඔහුගේ අණ පරිදි අසුන් ගත්තෙමි. ඔහුගේ සුවදුක් විමසීමෙන් ඉක්බිති මා මෙසේ විමසීය: "ඕ මහා ප්‍රඥාවන්තය! පුළුල් ලෙස ව්‍යාප්ත වූ මෙම විශ්වයේ උත්කෘෂ්ට නිර්මාණකරු කවරහුද? මෙම බ්‍රහ්මාණ්ඩය (විශ්වය) ජන්මය ලැබුවේ කොහෙන්ද? එය සදාකාලික හො තාවකාලිද? එයට බලපෑමක් වූ විට එය හේතුවක් රහිතව නිර්‍මාණය කළ නොහැකි වීම ස්වාභාවික ය. දැන් මෙම හේතුව එනම් නිර්මාතෘ එක් අයෙකුද? බොහෝ පිරිසක්ද? ඕ ඍෂි වරය! සංසාරය පිළිබඳව මා තුළ තිබෙන ගැටලු ඔබට පැවසුවෙමි; සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න පවසා, මාගේ සැකය දුරු කරනු මැනවි."

20-21. "බොහෝ අය විශ්වාස කරනුයේ දේවාදි දේව මහාදේව සියල්ලහි මූලය වන සර්වබලධාරි දෙවියන් බවයි. උන්වහන්සේ සමස්ථ ජීවින්ගේ ගැලවීම ප්‍රභවය; උත්පත්තියෙන් හා මරණයෙන් තොර; සදා මංගල්‍යය වන; ත්‍රිගුණයන්ගේ ස්වාමියා හා නිර්මාණය, සංරක්ෂණය හා සංහාරය පරම ප්‍රභවය ලෙසයි." 

22-25. "ඇතැම් පඬිවරයන් විෂ්ණු පරම දෙවියන් ලෙස විශ්වාස කරන අතර උන්වහන්සේව එලෙස වර්ණනා කරයි. විෂ්ණු පරමාත්මය වන අතර ආදි පුරුෂයන් වන්නේය. උත්පත්තියක් හෝ අවසානයක් නොමැති උන්වහන්සේ, සමස්ථ ජීවින්ගේ සර්වබලධාරී ගැලවුම්කරුය; උන්වහන්සේ සර්ව ව්‍යාප්තය; සැදැහැවතුන්ට වින්දනය හා විමුක්තිය ලබා දෙන තැනැත්තා උන්වහන්සේය. සත්‍යලෝකයේ සිටින චතුර් - මුඛ බ්‍රහ්මා ජන්මය ලද්දේ උන්වහන්සේගේ නාභි කමලෙනි; ඔහු සියල්ලගේම නිර්මාතෘ සේම සමස්ථ දේවතාවුන්ගේ ස්වාමීන් ය."

26-28. "නැවතත් තවත් පඬිවරයන් පිරිසක් පවසන්නේ සූර්‍යා පරම දෙවියන් බවයි. උදෑසන සහ සන්ධ්‍යාවෙහි කිසිදු අලසභාවයකින් තොරව ඔවුන් උන්වහන්සේගේ ස්තෝත්‍ර ගායනා කරයි. ඇතැමුන් පවසන්නේ සහස්‍රාක්ෂි (ඇස් දහසක් ඇති) ඉන්ද්‍ර සියල්ලන්ගේම ස්වාමියා බවයි. ඔවුන් වාසව (වර්තමාන ඉන්ද්‍ර) උදෙසා යාගයන් සිදුකරයි. උන්වහන්සේ සෝම යුෂ පානය කරන අතර සෝම පානය කරන්නන් ඔහුගේ ආදරණීයයන් වේ. ඔහු යාගයන්ගේ පරම ස්වාමියා වන්නේය."

ඉන්ද්‍ර යනු කිසිම පුද්ගලයෙකුගේ නමක් නොවේ. ඉන්ද්‍ර යන්නෙහි අරුත වන්නේ ස්වර්ග ලෝකයේ / දිව්‍ය තලයන්හී රජු යන්නයි. ඉන්ද්‍ර යනු පදවියකි. බ්‍රහ්ම ලෝකයේ එක් දිනක් මනු ලොව කල්පයකි. එක් කල්පයකට මනු යුග / මන්වන්තර 14ක් තිබේ. මනු යුගයක් යනු කල්පය තුළ මනුෂ්‍ය වර්ගයා ජීවත් වන කාලයයි. සෑම මන්වන්තරයකම ආරම්භකයා වන්නේ මනු වරයෙකි. වර්තමානයේ ගතවන්නේ ශ්වේත වරාහ කල්පයේ සත්වන මන්වතරයයි. වෛවස්වත මනු මෙම මන්වන්තරයේ මනුවරයා වන අතර මහා සෘෂි කෂ්‍යප සහ අධිති දේවියගේ පුත්‍රයා වන වාසව ඉන්ද්‍ර පදවිය දරයි. මීළඟ මන්වන්තරයේ බලි ඉන්ද්‍ර පදවිය භාරගනි.

29-30. "මේ ආකාරයට සමස්ථ මනුෂ්‍යයන් තමන්ගේ ඉච්ඡාවන් අනුව වරුණ, සොම, අග්නි, පවන, යම, කුබේර යන දේවතාවුන් වන්දනාමාන කරයි. මේ අතර ඇතැමුන්, භක්තියකයන්ගේ සියලු ඉච්ඡාවන් සඵල කරන, ස්මරණය කිරිමෙන් සියලු ආකාරයේ සාර්ථකත්වයන් ප්‍රධානය කරන හස්ති මුඛ ගණපති වන්දනාමාන කරයි."

31-37. "ඇතැම් ආචාර්‍යවරුන් පවසන්නේ, ගුණාංගයන් යුක්ත හා තොරවූ ආදි මායා, මහා ශක්ති භවානි සියල්ල ප්‍රධානය කරන බවයි. බ්‍රහ්මන්ගෙන් වෙනස් නොවන, පුරුෂ සහ ප්‍රකෘතිය යන ද්විත්වයම වන, නිර්මාතෘ, සංරක්ෂක හා සංහාරක වන, සියලු දේවතාවුන්ගේ මෑණියන් වන, බ්‍රහ්මාණ්ඩයේ මහා දේවිය වන ඇයට, ආරම්භයක් නොමැති බවත්, සියලු ස්ථානයන් තුළ, සියලු ජීවින් තුළ වාසය කරන බවයි. වෛෂ්ණවී, ශාංකරී, බ්‍රාහ්මී, වාසවී, වාරුණී, වාරාහී, නාරසිම්හී, මහා ලක්ෂ්මී, පරම වේදමාතාව ඇතුළු විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රකට වන්නේ මෙම භවානී දේවියයි. මෙම සංසාරය නම් වෘක්ෂයෙහි පරම විද්‍යාව නම් මූලය එතුමියයි. ඇය සුළු වශයෙන් සිහි කිරීමෙන් පමණක් සමස්ථ බැතිමතුන්ගේ පිඩාවන් විනාශ කොට ඉච්ඡාවන් සඵල කරයි. එතුමිය විමුක්තිය අපේක්ෂිතයන්ට මෝක්ෂයත්, වරයන් අපේක්ෂිතයන්ට වරයන්ද ලබා දෙයි. එතුමිය සමස්ථ ගුණයන් අභිබවා ගියද, එතුමිය තුළින් ඒවා නික්ම වේ. එබැවින් වරයන් අපේක්ෂා කරන යෝගීන් නිර්ගුණ, විද්‍යාවේ ස්වභාවය වන එතුමිය උදෙසා ධ්‍යාන වඩයි."

38. "වේදාන්තයන්ගේ සත්‍යතාව අවබෝධ කෙරූ සෘෂි වරුන් ඇයව නිරාකාර, නිත්‍ය, නිකැළැල්, සමස්ථ ධර්මයන්ගෙන් තොර, සර්වබලධාරි බ්‍රහ්මන් ලෙස ධ්‍යාන වඩයි. ඇතැම් වේදයන් හා උපනිෂද් තුළ ඇයව විස්තර කර තිබෙන්නේ පරම ආලෝකය ලෙසයි."

39-43. "ඇතැම් ප්‍රඥාවන්තයන් පවසන්නේ දෙවියන් වහන්සේ අනන්ත භාහුන්, කර්ණයන්, පාදයන්, මුහුණත් සහිත විරාට් පුරුෂ බවත්, ගුවන උන්වහන්සේගේ පාද බවයි. පුරාණකෘත වූ ඇතැමුන් උන්වහන්සේව පුරුෂෝත්තම ලෙස විස්තර කරයි. නිර්මාණය තනිව සිදු කළ නොහැකි බව ප්‍රකාශ කරන තවත් පිරිසක්ද සිටී. අනීශ්වරවාදි (අදේවවාදීන්) පුද්ගලයන් පවසන්නේ මෙම අනන්ත විශ්වය දෙවියන් වහන්සේගේ නිර්මාණයක් නොවන බවයි. එබැවින් එහි නිර්මාතෘ ලෙස හැඳින්විය හැකි නිශ්චිත දෙවි කෙනෙකු නැත. ඒ අනුව කිසිදු නිර්මාතෘවරයෙක් නොමැතිව වුවද, මෙම බ්‍රහ්මාණ්ඩය ස්වභාව ධර්මයෙන් උත්පාදනය වී එය විසින්ම මෙහෙයවනු ලැබේ."

44. "සාංඛ්‍ය දර්ශනය අනුගමනය කරන්නන් පවසන්නේ පුරුෂ විසින් විශ්ව නිර්මාණය සිදු නොකළ බවත්, ප්‍රකෘතිය හෙවත් දේවිය මෙහි නිර්මාතෘ බවයි. ඕ මුනිවරය! කපිල නම් සාංඛ්‍ය ආචාර්‍ය වරුයා හා අනෙකුත් දර්ශනවාදීන් ප්‍රකාශ කළ අදහස් මා ඔබට මෙසේ පැවසුවෙමි. විවිධ සැකයන් නිරන්තරයෙන් මා තුළ පවති."

45-48. "මෙම සැකයන් නිසා මගේ මනස කෙතරම් ව්‍යාකූල වී ඇත්ද යත් මට නිශ්චිත නිගමනයකට පැමිණිය නොහැක. ධර්මය යනු කුමක්ද සහ අධර්මය යනු කුමක්ද යන්න පිළිබඳව මගේ සිත බෙහෙවින් නොසන්සුන් වී ඇත. ධර්මයේ ගුණයන් කවරේද? මාහට ඒවා වටහාගත නොහැක. මක්නිසාද යත්, දේවතාවුන් සියල්ලෝම සත්ත්ව ගුණයෙන් බිහි වූ අතර සෑම විටම සත්‍යයට අනුගත වී සිටියත්, ඔවුන් නිරන්තරයෙන් දානවයන්ගේ පීඩාවන්ට පත් වේ. එසේ නම්, ධර්මයෙහි ස්ථිරභාවය කෙරෙහි මාගේ විශ්වාසය තැබිය හැක්කේ කෙසේද? මාගේ මුතුන් මිත්තන් වූ පාණ්ඩවයන් සෑම විටම යහපත් හැසිරීම් හා යහපත් ක්‍රියාවන්ගෙන් සමන්විත වූ අතර ඔවුන් ධර්ම මාර්ගයේම රැඳී සිටියහ. නමුත් ඔවුන්ටද විවිධ පීඩාවන්ට මුහුණ දීමට සිදුවිය. මෙවැනි අවස්ථාවන්හිදී ධර්මයේ ශ්‍රේෂ්ඨත්වය අවබෝධ කර ගැනීම ඉතා අසීරු ය. එබැවින් ඕ මුනිවරය! මේ සියල්ල දකින කළ මාගේ මනස පීඩාවන්ගේ සාගරයෙහි ගිලී ඇත."

49-50. "ඕ මහා මුනිවරය! ඔබට ප්‍රායෝගික නොවන කිසිවක් නොමැත; එබැවින් මාගේ සැකයන් දුරලනු මැනවි. ඕ මුනිවරය! මා නිරන්තරයෙන් මුලාව නම් සාගරයේ ගිලෙම්න් ගොඩ එමින් නැවත ගිලෙමින් සිටි. එබැවින් මෙම සංසාර සාගරය තරණය කිරීමට ප්‍රඥාව නම් පාරුව වන මැනවි."

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ පළමු පරිච්ඡේදය මෙසේ අවසන් වේ.