Thursday 21 September 1995

බ්‍රහ්මා, විෂ්ණු, රුද්‍රයන් විමානයකින් ස්වර්ගය වෙත යාම

 

1-7. ව්‍යාස පැවසිය : "ඕ මහා ශක්ති සම්පන්න කුරු!  ඔබ දැන් මාගෙන් විමසූ ආකාරයටම, මාද නාරදගෙන් විමසුවෙමි. එවිට මහා මුනිවරයා මාහට මෙසේ පිළිතුරු ලබා දුන්නේය: "ඕ ව්‍යාස! පෙර කාලයේ මාගේ මනසටද පැමිණි මෙම ගැටලුව පිළිබඳව මා කුමක් නම් ඔබට පවසන්නද. ඔබ අද දින මාගෙන් විමසු ගැටලුව පෙර මාගේ මනස තුළද ජන්මය ලැබූ හෙයින්; මා මාගේ පියාණන් වන බ්‍රහ්මා වෙත ගොස් මෙසේ විමසුවෙමි: "ඕ ස්වාමීනි! ඕ පියාණනි! මෙම බ්‍රහ්මාණ්ඩය උපන්නේ කොහේ සිටද? එය ඔබ නිර්මාණය කළේද? නැතහොත් විෂ්ණු හෝ මහේශ්වර නිර්මාණය කළේද? මෙම බ්‍රහ්මාණ්ඩය තුළ වන්දනා කිරීමට සුදුසු වන්නේ කවරහුද? ඕ ලෝකයේ ස්වාමීනි! සියල්ල පාලනය කරන උත්තරීතර ස්වාමින් වහන්සේ කවුද? කරුණාකර පවසන්න. ඕ බ්‍රහ්මා! මා මායාව නම් සාගරයේ සහ අනතුරෙහි ගිලි සිටිමි; මගේ සිතේ සැකය ජන්මය ලබා ඇත; එය කිසිදු ශුද්ධ වූ ස්ථානයකින්, දේවතාවෙකු ස්මරණය කිරීමෙන්, සාධනාවක නිරත වීමෙන් නොසංසිදෙන්නේය:  ඕ පාපිරහිතය! මට නිසි පරිදි පිළිතුරු ලබාදී මාගේ සැකයන් දුරලන්න."

8-9. "ඉහළම සත්‍යය අවබෝධ කරගැනීමෙන් තොරව සාමය උදා නොවන්නේය. විවිධාකාරයෙන් අවධානය වෙනතකට යොමු වූ මෙම හදවතට එක් විෂයයක් මත ස්ථාවර විය නොහැක. මා ස්මරණය කර යුත්තේ කාවද? මා වන්දනා කළ යුත්තේ කාටද? කොහේ යන්නද? ප්‍රශංසා කළ යුත්තේ කාටද? මෙම විශ්වයේ උත්තරීතර දෙවියන් කවුද? මාහට මෙය වටහා ගත නොහැකිය."

10-18. "ඕ සත්‍යවතී පුත්‍ර! මා මෙම බැරෑරුම් ගැටලුව විමසු කළ බ්‍රහ්මා මැසේ පිළිතුරු ලබා දුන්නේය: ඕ උත්කෘෂ්ට පුත්‍රය! විෂ්ණුට පවා නුඹට පිළිතුරු ලබාදීමට නොහැකි වූ කළ මා කුමක් නම් පවසන්නද. ඕ මහා ප්‍රඥාවන්තය! ලෝකයට සම්බන්ධ කිසිවෙකුත් මේ පිළිබඳව කිසිවක් නොදනිති. මේ ලෝකයට නොබැඳෙන, ඊර්ෂ්‍යාවකින් නිදහස් වූ, ආශාවන්ගෙන් තොර වූ හා සන්සුන් බවකින් යුත්, උසස් ආත්මයන් ඇත්තෝ මේ සියල්ලේ රහස දනී. එ සමයෙහි සියල්ල විනාශ වූ කළ, සක්වළම එක් දිය කඳක් වැ සිටියි. ඉක්බිති පංච මහා භූතයන්ගෙන් විස්ථාපනයෙන් මා විෂ්ණුගේ නාභි කමලෙන් ජන්මය ලැබීය. එ සමයෙහි සඳු හිරු නොපෙනෙත්, වෘක්ෂයන් පර්වතයන් නොපෙනෙත්. පද්මයේ මධ්‍යයේ වැඩ සිටි මා මෙසේ කල්පනා කළෙමි: "මේ දිය කඳහෙි මා ජන්මය ලැබුවේ කෙසේද? මා නිර්මාණය කරේ කවුරුන්ද? මාගේ ආරක්ෂකයා වන්නේ කවුරුන්ද? මෙම චක්‍රය අවසන් වූ කළ සංහාරය කරන්නේ කවුරුන්ද? මෙම දිය කඳෙහි තලය දක්නට නොලැබෙන්නේය; එසේ නම් මෙම ජල ස්කන්ධය රඳා පවතින්නේ කුමක් මතද? පද්මයක් පුබුදින්නේ ගොහොරුවක් මතය. දිය කඳ තුළ තලයක් නොමැත්තේනම් මෙම පංකජය මෙසේ පවතින්නේ කෙසේද! මෙම පද්මයේ මූලය සොයා ගැනීමට මා උත්සාහ කරමි. එය හමු වුවහොත් පෘථිවියයද එහි තිබෙනු නොඅනුමානය."

19-21. "මෙසේ සිතා දිය තුළ කිමිදි සහස්‍ර වර්ෂය පුරා සෙවුවද, එම දිව්‍යමය ස්වරය ඇසෙන තාක් මාහට කිසිවක් සොයාගත නොහැකි විය. එම දිව්‍යමය ස්වරය මෙසේ පැවසිය; "තපස් රකිනු!" එම ස්වරය ඇසීමෙන් අනතුරුව මා නැවත පද්මය වෙත ගොස් වර්ෂ දහසක් පුරාවට තපස් රැක්කෙමි. නැවතත් එම දිව්‍යමය ස්වරපය මාහට නිර්මාණය කරන ලෙස පැවසුවාය. එය අසා මා නිර්මාණය කරන්නේ කුමක්ද යන්න සිතන්නට විය. ඉක්බිති බලවත් දෛත්‍යන් දෙදෙනෙකු වන මධු සහ කෛටභ පැමිණ ඔවුන් සමඟ යුද්ධ කරන ලෙස පැවසූහ."

22-25. "මහත් භීතියට පත්වූ මා පද්මයේ දණ්ඩ අල්ලා ගනිමින් ජලය තුළට කිමිදුනෙමි. එවිට මා අනන්ත සර්පයා මත නිද්‍රා අවස්ථාවේ සිටි අපූර්ව පුද්ගලයෙකු දුටුවෙමි. ඔහු වැහි වලාවක මෙන් තද නිල් පැහැයෙන් යුක්ත වූ අතර පීත වස්ත්‍රයන්ගෙන් සහ වන මල් වලින් අලංකෘතව දෑත් සතරක් හිමි උන්වහන්සේ විශ්වයේ ස්වාමියාය. මෙම මහා විෂ්ණුගේ දෑත් සතරෙහි ශංකයක්, චක්‍රයක්, ගදාවක් හා පද්මයක් දරා සිටියේය.  මෙම අච්යුත පුරුෂයා, අනන්ත සර්පයා මත යෝග නිද්‍රාවගේ බලපෑම යටතේ නිද්‍රා අවස්ථාවෙහි සිටිනු මා දුටුවෙමි. ඉක්බිති මා කුමක් කළ යුතුද යන්න කල්පනා කළෙමි."

26-29. "වෙනත් මාර්ගයක් සොයාගත නොහැකි වූ කළ, නිද්‍රාවේ ස්වභාවය වූ දේවිය සිහිවී ඇයව ප්‍රශංසා කිරීමට පටන් ගත්තෙමි. ස්වරූපය නිශ්චය කළ නොහැකි වූ උත්කෘෂ්ට යෝග නිද්‍රා දේවිය විෂ්ණුගේ ශරීරයෙන් ඉවත් වී දිව්‍යමය ආභරණයන්ගෙන් සැරසී ගුවනෙහි බැබළීමට පටන් ගත්තාය. ඇය ඉවත් වූ වහාම විෂ්ණු අවදි විය. ඉක්බිති වර්ෂ පන්දහසක් පුරා උන්වහන්සේ මධු හා කෛටභ සමඟ යුද්ධ කළේය. ඉක්බිති භගවතී දේවියගේ කරුණාවෙන් උන්වහන්සේ තම කලවා මත එම අසුරයන් දෙදෙනා සංහාරය කළේය."

30-33. "විෂ්ණු සහ මා සිටින විට රුද්‍ර දේවයන්ද අප හා එක් වූහ. ඉක්බිති අප තිදෙනා අවකාශයේ සිටි අලංකාර දේවියක් දුටුවේය. පසුව අප තිදෙනා ඇයව ප්‍රසන්න කිරීමට ස්තෝත්‍ර ගායනා කළ අතර ඇයගේ දයාන්විත බැල්මෙන් අපගේ හදවත්ව තෘප්තිමත් කළ අතර ඇය මෙසේ පැවසුවාය: "ඕ බ්‍රහ්මා! ඕ විෂ්ණු! ඕ රුද්‍ර! දෛත්‍යන් දෙදෙනා සංහාරය කොට ඇත. දැන් නුඹගේ අලස බව අත්හැර විශ්ව නිර්මාණය, සංරක්ෂණ හා සංහාරය යන කාර්‍යන් සිදු කරන්න; නුඹලාගේ වාසස්ථානයන් නිර්මාණය කොට, සතුටින් කල් ගෙවන්න. නුඹලාගේ ශක්තීන්ගෙන් සිව් ආකාරය නිර්මාණය කරන්න."

34-38. බ්‍රහ්මා මෙසේ පැවසීය: "ඕ මෑණියනි! මෙහි පුළුල් තලයක් නොමැත; සියල්ල අනන්ත සාගර ස්කන්ධයකි. පංච භූතයන්, පංච තන්මාත්‍රයන්, අවයවයන්, ගුණයන් ආදි කිසිවක් මෙහි නොමැත. එසේ නම් අප නිර්මාණ කාර්යය ක්‍රියාත්මක කරන්නේ කෙසේද?" දේවිය එක් වරම සිනහා පහළ කළාය. එවිට ගුවනෙන් පැමිණියේ අලංකාර විමානයකි. දේවී පැවසුවාය: "ඕ බ්‍රහ්මා! ඕ විෂ්ණු! ඕ රුද්‍ර! භියකින් තොරව මෙම විමානයට ගොඩවන්න. මා අද නුඹලාට අපූර්ව යමක් පෙන්වමි."

39-41. ඇයගේ ප්‍රකාශයෙන් අන්තුරුව අප බියකින් තොරව එම විමානය වෙත ගොස වූයෙමු. එය විවිධ මාණික්‍යන්ගෙන් හා ස්වර්ණාභරණයන්ගෙන් අලංකෘතව තිබුනි. දීප්තිමත්  මුතු වලින් අලංකෘත ඝංඨාර මිහිරි නාද නිකුත් කරමින් ස්වර්ගයක් මෙන් දිස්විය. බියකින් තොරව අප වාඩිවී සිටිනු දුටු එතුමිය තම ශක්තියෙන් විමානය පියාසර කරවුවාය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ දෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.