Sunday 24 September 1995

දේවිය බැහැදැකීම

 

1-5. බ්‍රහ්මා පැවසිය: අපගේ අලංකාර විමානය ප්‍රථමයෙන් ගොඩබැස්වූ ස්ථානයේ ජලය රහිත වීමෙන් අප මහත් විස්මයට පත් වුයෙමු. ඵලයන්ගෙන් බහුල වෘක්ෂයන්, වනාන්තර සහ උද්‍යාන වලින් පිරී ඇති පෘථිවිය, කොවුලන්ගේ මිහිරි නදින් අනුනාද වන අයුරු අපි දුටුවෙමු. විශාල ගංගා, ළිං, වැව්, පොකුණු, ජල උල්පත්, කුඩා තටාක, ස්ත්‍රීන්, පුරුෂයන් ආදි සියල්ලෝම එහි සිටියහ. ඊලඟට අප දුටුවේ විවිධ පූජා ශාලා හා විශ්මයජනක ගොඩනැගිලි වලින් යුත් දිව්‍යමය පවුරකින් වට වූ අලංකාර නගරයකි. "මේ ස්වර්ගයයි! පුදුමයකි! මෙය නිර්මාණය කරේ කවුරුන්ද?"

6-11 ඉක්බිති අප දුටුවේ දිව්‍යමය ස්වරූපයකින් යුත් රජෙක දඩයමෙහි නිරත වන ආකාරය යි. අප පෙර දුටු අම්බිකා දේවිය රථයේ රැඳී සිටියාය. ක්ෂණයකින් අපගේ යානය ගුවනෙහි ඉහළට නැග ඇසිපිය හෙළන මොහොතින් සුන්දර ස්ථානයකට ලඟා විය. අප දුටුවේ දිව්‍යමය නන්දන උද්‍යානයයි. එහි සුරබි නම් ගව මාතාව පාරිජාත වෘක්ෂය සෙවණේ රැඳී සිටියාය. ඇයට සමීපව දළ සතරකින් යුත් ඇතෙක්ද; මෙනකා ඇතුළු අනෙකුත් අප්සරාවන් ක්‍රිඩා කරමින්, නර්තනයේ යෙදෙමින් සහ ගායනයේ යෙදෙමින් සිටියහ. මන්දාර උද්‍යානයේ යක්ෂයන්, ගන්ධර්වයන් හා විද්‍යාධරයන් සියය බැගින් ක්‍රීඩා කරමින් හා ගායනයේ නිරත වෙමින් සිටියහ. ඒ අතර ශතකෘතු (ඉන්ද්‍ර) පුලොමාගේ දියණිය වන ශචී සමඟ සිටියේය.

12-18. ඉක්බිති අප විශ්මයෙන් දුටුවේ වරුණ, කුබෙර, යම, සූර්‍ය, අග්නි සහ අනෙකුත් දේවතාවුන් ය. ඊලඟට අප දුටුවේ දේවරාජ ඉන්ද්‍ර අලංකාර නගරයකින් පිටතට පැමිණෙන ආකාරයයි. ඔහු දෝලාවක් මත ශාන්තව රැඳී සිටියේය. ඉන්පසු විමානය ඇසිපිය හෙළන මොහොතකින් බ්‍රහ්මලෝකය වෙත පැමිණියේය. එහි සිටින බ්‍රහ්මා දැක ශිව සහ විෂ්ණු පුදුමයට පත් විය. බ්‍රහ්මාගේ සභා ගර්භයේ සියලු අංගයන් සමඟ වේදයන්ද, බ්‍රහ්ම ලෝකය තුළ පර්වත හා ගංගාවන්ද දක්නට ලැබුණි. මේ සියල්ල දැක විෂ්ණු හා මහේශ්වර මෙසේ විමසිය: "ඕ චතුර් මුඛ ධාරිය! එම බ්‍රහ්මා කවරෙක්ද?" ඉක්බිති මා මෙසේ පැවසිය: "මා මෙම බ්‍රහ්මා කවුරුන්ද යන වග නොදන්නෙමි. මා කවුද? ඔහු කවුද? මෙම භ්‍රාන්තිය මාහට පැමිණියේ කෙසේද? ඔබලාද දෙවිවරුන් ය: එබැවින් නුඹලාට ඒ පිළිබඳව හොඳින් මෙනෙහි කළ හැකිය.

19-26 ඉක්බිති අපගේ විමානය යක්ෂයන් ප්‍රමුඛ කොටගත් උත්තරීතර කෛලාෂය වෙත පැමිණියේය. මන්දාර වෘක්ෂයන්ගේ හෙබි වනාන්තරය කොවුන්ගේ සහ බෙර හඬ වලින් කුල්මත් විය. ඉක්බිති දුටුවේ ව්‍යාඝ්‍ර සමක් දාරා සිටින, උඩුකය හස්ති සමකින් ආවරණය වූ, දස බුජාධාරි, පංචමුඛී භගවාන් ශශි ශේඛරයි. ඉක්බිති වෘෂභයකු පිට නැග එතුමා තම වාසස්ථානයෙන් පිටතට පැමිණෙමින් සිටියේය. උන්වහන්සේගේ ආරක්ෂකයන් ලෙස උන්වහන්සේගේ මහා වීර පුත්‍රයන් දෙදෙනා වන ගණේශ සහ කාර්තීකෙය විය. නන්දි සහ අනෙකුත් සියලු සත්කාරකයන් උන්වහන්සේට ජයඝෝෂා නගමින් උන්වහන්සේ පසුපස යමින් සිටියහ. ඕ නාරද මුනිවරය! අපද තවත් ශංකරයකු දැක මහත් විස්මයට පත් විය. වායුවේ ප්‍රවේගයෙන් අප මීලඟට පිවිසියේ ලක්ෂ්මියගේ වින්දනීය සභාව වන වෛකුණ්ඨයට යි.

27-29. වෛකුණ්ඨයේදි අප අපූර්ව ශක්ති විද්‍යාමාන වීමක් දුටුවෙමු. එම අනර්ඝ නගරය දැක අපේ සගයා වූ විෂ්ණු මහත් පුදුමයට පත් විය. හණ පුෂ්පය හා සමාන වර්ණයකින් යුත් පීත වර්ණ වස්ත්‍රාභරණයෙන් සුශෝභිත චතුර්භුජ විෂ්ණු එහි වැඩ සිටියේය. ලක්ෂ්මී දේවිය අපූර්ව ලෙස චාමර සලමින් සිටියාය. එම නාරායනව දැක අප මහත් විස්මයට පත්ව එකිනෙකාගේ මුහුණු දෙස බැලුවේය.

30-36. ඉක්බිති ඇසිපිය සලන වේගයෙන් අප පැමිණියේ මිහිරි රැලි පවතින සුධා සාගරය (අමෘත සාගරය) අභියසට යි. මෙම සුධා සාගරය ජලජ සතුන්ගෙන් පිරී ඇති අතර රැළි වලින් කැළඹී ඇත. ඒ සමඟ අප පැමිණියේ සාගර මධ්‍යයේ පවතින මණිද්වීපය (මාණික්‍යන්ගෙන් නිර්මිත දිවයින) නම් අපූර්ව ස්ථානයකටයි. මන්දාර, සේපාලිකා සහ අනෙකුත් දිව්‍යමය වෘක්ෂලතාවන්ගෙන්ද, අලංකාර පලස් වලින්ද, අශෝක, මුණ මල්, වැටකෛ, ගිනි සපු ආදි නානාවර්ණ පුෂ්පයන්ගෙන් හා මුතු මැණික් වලින්ද එහි අලංකෘතව තිබූණි. කොවුලන්ගේ හා බිගුන්ගේ නාදය දසත පැතිරුණු අතර එයින් මිහිරි සුසංයෝගී සංගීතයක් වාදනය වන අයුරු ඉදිරිපත් කළේය. විමානයේ සිටි අප ඈතින් දුටුවේ එම ද්වීපය තුළ දේදුන්නක් මෙන් පෙනෙන අලංකාර ශිවාකර ආසනය (පාද සතරෙන් බ්‍රහ්මා, විෂ්ණු, රුද්‍ර, ඊශ්වර සංකේතවත් වන ආසනය) අලංකාර ලෙස පලස් අතුරන ලද අතර විවිධ මැණික් හා ස්වර්ණාභරණ වලින් සැරසී මුතු මැණික් වලින් ආවරණය කර ඇති බවයි. 

37-44. රත් පැහැ වස්ත්‍රයක්, රත් පැහැ මල්දමක් හා ශරීරය කුම්කුම වලින් සුශෝභිතව සිටින දිව්‍යමය ආර්‍යාවක් අප දුටුවෙමු. ඇයගේ නේත්‍රා රක්ත වර්ණය;  රත් ලවන් හිමි ඒ දේවියට ලක්ෂ්මීන් කෝටියකටත් අධික අලංකාරයක් හා සූර්‍ය තේජසක් විය. මිහිරි සිනහවකින් යුක්තව භගවතී භුවනේශ්වරී බැතිමතුන්ට වරයන් ප්‍රධානය කිරිමට හා බැතිමතුන්ගේ භිය දුරු කිරීමට සුදානමින්, අභය සහ වරද මුද්‍රාවන් දරමින් විරාජමානව සිටියාය. අප කෙදිනක හෝ එවැනි ස්වරූපයක් මින් පෙර දැක නොමැත. පක්ෂීන් පවා එම දයාවේ ප්‍රතිමූර්තිය වන්, දිවාකරගේ වර්ණයෙන් යුක්ත, යෞවනයෙන් පිරිපුන් දේවියට සේවය කිරීමට හ්රිම් නම් අත්භූත මන්ත්‍රය පුනරුච්චාරණය කරයි. පියකරු සිනහවකින් යුක්ත එම දේවියගේ වත කමල ප්‍රකෘතියේ සමස්ථ සුන්දරත්වයෙන් සැරසී තිබේ. ඇය විවිධාකරයේ ආභරණන් දරා සිටියාය. ශ්‍රී යන්ත්‍ර හැඩයෙන් යුත් තෝඩු වලින් ඇයගේ වත කමලේ අලංකාර තවත් වැඩි විය. හෘල්ලේකා ඇතුලු අනෙකුත් අප්සරාවන් ඇය වටා වැඩ සිටියා ය.

45-48. සිව් දිශාවන්හී සිටින පරිවාර ස්ත්‍රීන් භුවනේශි මහේශ්වරී දේවියට ස්තෝත්‍ර ගායනා කරමින් සිටියාය. අනංග කුසුම ආදි දේවීන් සෑම පසෙකින්ම එතුමිය වටා සිටියාය. ඕ තොමෝ සත්කොණ යන්ත්‍රයක් මත විරාජමානව සිටියාය. මෙය දුටු අපි සැවොම මවිතයට පත් වීමු. අත්භුත ස්වරූපය මින් පෙර නොදුටු අතර අපි සිතුවේ: "මා ආර්‍යාව කවුද? ඇයගේ නම කුමක්ද? එතරම් දුර සිට අපි ඇය පිළිබඳව කිසිවක් නොදනිමු." මෙසේ අප එතුමිය දෙස බලා සිටින කළ අත් සතරක් සහිත එතුමිය නේත්‍රා දහසක්, අත් දහසක් බවට පත්වනු සේ දුටුමු.

49-50. ඕ නාරද! අප තුළම සැකමුසු සිතුවිලි ඇතිවීම නිසා අපි දැඩි අපහසුතාවයට පත් වෙමින් මෙසේ සිතුවෙමි: "ඇය අප්සරාවක් හෝ ගන්ධර්ව දියණියක් හෝ වෙනත් දිව්‍යාංගනාවක්ද? ඇය කවුද?" මෙම අවස්ථාවේදී භගවාන් විෂ්ණු මිහිරි සිනහවෙන් සිටි දේවිය සමීපව දුටු අතර ඔහුගේ බුද්ධියෙන් නිශ්චිත නිගමනයකට පැමිණ අපට මෙසේ පැවසිය.

51-56. "මෙහි සිටිනුයේ සමස්ථ කාරණාවන්ගේ පරම කාරණාව වන නොමැකෙන සහ සදාකාලික, පූර්ණ ප්‍රකෘති භගවතී මහාවිද්‍යා මහාමායා දේවියයි. විපරීත බුද්ධියක් සහිත පුද්ගලයන්ට දේවිය වටහා ගත නොහැකිය; තම යෝග ශක්තියෙන් එතුමියව දැකිය හැක්කේ යෝගීන්ට පමණි. උන්වහන්සේ නිත්‍ය බ්‍රහ්මන් මෙන්ම අනිත්‍ය මායාවයි. උන්වහන්සේ පරමාත්මයේ ඉච්ඡා ශක්තියයි, ලෝකයේ පළමු නිර්මාතෘවරියයි. පුළුල් නේත්‍රා හිමි මෙම විශ්ව මාතාව විසින් වේදය ප්‍රකට කළාය. ප්‍රලය සමයේදි (විනාශ අවස්ථාවේදි) ඇය සමස්ථ විශ්වයම විනාශ කර, සිය ශරීරය තුළට සියුම් ශරීර සියල්ල ද්‍රාවණය කරගනි. මෙසමයෙහි ඇය විශ්වයේ බීජ ස්වරූපයෙන් ප්‍රකට වී ඇත. බලන්න ඇය වටා පවතින විභූතීන් (ශක්ති ස්වරූප). දිව්‍යමය ආභරණවලින් හා දිව්‍යමය සුගන්ධයන්ගෙන් සැරසි සිටින ඔවුන් සියල්ලොම එතුමියට සේවය කරති. ඕ බ්‍රහ්මා! ඕ ශංකර! අද අපට මෙම දේවියගේ දසුන ලැබීම ආශීර්වාදයක් මෙන්ම මහත් භාග්‍යයකි." 

57-61. "අතීතයේ අප රැකි තපස්හි ඵලයන් අද අපට ප්‍රාප්තව ඇත. නැතහොත් කුමක් හේතුවෙන් භගවතිය අපට එතුමියගේ ස්වරූපය දර්ශනය කරන්නේද? තපසෙන්, දානයෙන්, ප්‍රඥාවෙන් පරිපූර්ණ උත්කෘෂ්ට ආත්මයක් සහිත පුද්ගලයන්ට භගවතී දේවිය දැක ගැනීමට හැකි වේ. ලෞකික වස්තූන් කෙරෙහි ඇලුණු රාගී පුද්ගලයාට එතුමියව කිසි දිනෙක බැහැදැකිය නොහැක. ඇය පරම පුරුෂ ශිව සමඟ එක්ව සිටින මූල ප්‍රකෘතියයි.  එතුමිය ස්වාධීනව බ්‍රහ්මාණ්ඩය නිර්මාණය කොට පරමාත්මය වෙත විද්‍යාමාන කළාය. මෙම සමස්ථ විශ්වයම සහ එහි දක්නට ලැබෙන සියල්ලෙහි පරම හේතුව ලෙස එතුමියට ණයගැතියි. සමස්ථ ස්වරූපයන් දරා ගන්නා මායාවද; සියල්ලන්ගේ දේවියද එතුමියයි."

62-67. "මා කොහේද! අනෙකුත් දේවතාවුන් කොහේද! ලක්ෂ්මිය ඇතුළු අනෙකුත් දේවීන් කොහේද! ඇයගේ කුඩා අංශුකට හෝ අප කිසිවෙකු සැසඳීමට නොහැක. මා ළදරුවෙකුගේ ස්වරූපයෙන් මහා සාගරයට මත සිටියදි දුටු එම දේවිය එතුමියයි. නුග පත්‍රයක් මත කුඩා ළදරුවෙකු ස්වරූපයෙන් පාදයේ ඇඟිලි උරමින් සිටියදි, මෙම දේවිය මවක් මෙන් මාගේ ශරීරය පද්දමින්, ගී ගායනා කරමින් මා නැළවුවාය. මාගේ පෙර මතකයන් සියල්ල නැවත ලබාගනිමින් එතුමිය භගවතී බව හඳුනාගනිමි. මා මේ පවසන දේට අවධානයෙන් සවන් දෙන්න, මේ ආර්‍යාව අපගේ මෑණියන් ය." 

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමද් දේවී භාගවත මහාපුරාණයේ තෙවන සර්ගයේ තෙවන පරිච්ඡේදය මෙසේ අවසන් වේ.