Tuesday 8 August 1995

නමස්කාර කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීම


1-4. ඍෂි වරුන් පැවසීය: "ඕ භාග්‍යවන්තය! ඔබගේ ප්‍රකාශයත් සමඟ මහත් සැකයක් මතු වී තිබේ. වේද පුරාණය සහ අනෙකුත් ශාස්ත්‍රයන් තුළ සඳහන් කොට තිබෙන්නේ බ්‍රහ්මා, විෂ්ණු සහ මහේශ්වර යන මේ තිදෙනා සදාකාලික සේම ඔවුන් තිදෙනා පරයන කිසිවෙකුත් බ්‍රහ්මාණ්ඩය තුළ නොමැති බවයි. මෙය ඥානාන්විත පුදගලයන් විසින්ද තහවරු කර තිබේ. බ්‍රහ්මා සියල්ල නිර්මාණය කරයි, විෂ්ණු සියල්ල පාලනය කරන අතර නිසි කල්හී මහේශ්වරයන් සියල්ල විනාශ කරනු ලබයි. නිර්මාණය පැවැත්ම සහ සංහාරයෙහි මූලය මේවායි. බ්‍රහ්මා, විෂ්ණු සහ මහේශ යන ත්‍රිත්වය එකකි. ත්‍රිත්වය තුළ ඒකීයත්වය පවති, ඒකීයත්වය තුළ ත්‍රිත්වය පවති.  සත්ත්ව, රජස් සහ තමස් යන ගුණයන් ත්‍රිත්වය ආධාර කරගනිමින් ඔවුන් තම කාර්‍යන් සිදු කරයි. 

5-11. මොවුන් අතරින් කමලා දේවියගේ ස්වාමියා වන පුරුෂෝත්තම ආදි දේව ජගන්නාත හරි උතුම් වන්නේය. එතුමා හට සියල්ල සිදු කිරීමට හැකිය; විෂ්ණු හැර දස්කම් පෑමට සමත් කිසිවෙකුත් නොවේ. එසේනම් කෙසේද යෝග මායා දේවිය විෂ්ණුව නිද්‍රා අවස්ථාවට පත්කොට මුර්ච්ඡා කරේ? අහෝ භාග්‍යවන්තය! හරි ගේ අසාමාන්‍ය දැනුමට සහ ශක්තියට කුමක්ද සිදු වූයේ? මෙය අපට තිබෙන විශාල ගැටලුවයි; ඒ අනුව අපගේ මෙම සැකය දුරු වී අපගේ යහපැවැත්ම සඳහා ඉතා කාරුණිකව අපට උපදෙස් ලබා දෙන්න. පෙර ඔබ ඒ සඳහන් කළ විෂ්ණුව යටත් කෙරු ඒ ශක්තිය කුමක්ද? ඇය ජන්මය ලැබුවේ කොහේද?  ඒ ශක්තියට තිබෙන බලතල සහ ස්වභාවය කිමෙක්ද? ඕ සුව්‍රත! සියල්ල අපට සැකෙවින් පැහැදිලි කරනු මැන. සියලු දෙවියන්ගේ දෙවියන්ද සමස්ථ ලෝකයෙහි ගුරුවරයා මෙන්ම නිර්මාණය, සංරක්ෂණය සහ සංහාරයා කරන්නාද, රජෝ ගුණය පරයන පාරිශුද්ධත්වයේ ප්‍රතිමූර්තිය වන සදාකාලික බුද්ධිය සහ තේජස සහිත උත්තරීතර විෂ්ණු දෙවිඳුන්ව යෝග මායාව විසින් යටත් කළේ කෙසේද? එවැනි පෞර්ෂත්වයක් යටත් කරගත්තේ කෙසේද? ඕ සූත! ඔබ ඉතාමත් ප්‍රඥාවන්ත සේම, ව්‍යාසයන්ගේ ශිෂ්‍යයකු වන්නේය; අපගේ මෙම සැකය ප්‍රඥාව නම් අසිපතෙන් සිඳ දමනු මැනවි."

12-20. මෙය ශ්‍රවණය කෙරු සූත පැවසිය: "අහෝ භාග්‍යවත් මුණිවරුනි! ඔබලාගේ මෙම සැකය දුරු කිරීමට සමත් අයකු මෙතුන් ලෝකයෙහිම නොවේ. බ්‍රහ්මාගේ මනසින් උපන් පුත්‍රයන් වන නාරද, කපිල සහ අනෙකුත් සදාකාලික පුත්‍රයන් ද මේ ආකාරයේ ගැටලු  වලින් ව්‍යාකූල වී ඇත; එසේනම් මේ දුෂ්කර කාරණාව පිළිබඳව මා කුමක් නම් පවසන්නද! බලන්න, ඇතැමෙකු විෂ්ණු දෙවිඳුන් සර්ව උත්තරීතර සංරක්ෂක බව ප්‍රකාශ කරයි; ඔවුන්ට අනුව සියලු යාම් ඊම් සහිත සංසාරයේ නිර්මාතෘ විෂ්ණු වේ; ඔවුන් එම උත්තරීතර නාරායන හෘෂිකේශ ජනාර්දන වාසුදේවයන් වන්දනා කරන කල්හි තව පිරිසක් සියලු භූතයන් පිරිවරමින්, වේදයන්හී ශශිශේඛර (හිසෙහි චන්ද්‍රයා දරා සිටින්නා) ලෙසින් ආමන්ත්‍රණය කරන, ත්‍රිනේත්‍ර ධාරී, පංච මුඛ සහ වෘෂදජ සහ කපාර්ද්දි ලෙසින් හඳුන්වන ත්‍රිශූලයක් දරා සිටින, දක්ෂගේ යාගය විනාශ කෙරූ, තම අර්ධ ශරීරයෙහිගෞරිය දරා සිටිමින් කෛලාශයෙහි විරාජමානව සිටින මහාදේව ශංකරයන්ට ප්‍රණාම කරයි. ඕ බුද්ධිමතුනි! වේදයන්හී ඥානය සහිත තවත් පිරිසක් දිනපතා පූර්ව, මධ්‍ය සහ අපර භාගයන්හී විවිධ ස්තෝත්‍රයන් ඔස්සේ සූර්‍යා නමස්කාර කරනු ලබයි. 

21-25. සෑම වේදයක් තුළම, සූර්‍ය වන්දානව උතුම් කොට සළකන අතර උත්තරීතර සුර්‍යා පරමාත්මය ලෙස නම් කොට ඇත, තවත් වේදාචාරින් කොටසක් අග්නි, ඉන්ද්‍ර සහ වරුණ ආදි දේවතාවුන් උතුම් කොට සළකයි. නමුත් මහාඍෂි වරුන් පවසන්නේ ගංගා දේවිය අතු කොටස් වලට වෙන් වී සෑම පෙදෙසකම පැතිරී ඇත්තා සේ, විෂ්ණුද සියලු දිව්‍යමය ස්වරූප ඔස්සේ විද්‍යාමාන වන බවයි. මහා පඬිවරුන් මෙය සනාථ කිරීම උදෙසා ප්‍රත්‍යක්ෂයන්, අනුමාන සහ ශබ්ද (වාචික සාක්ෂි) ලෙස සාක්ෂි ආකාර ත්‍රිත්වයකින් ප්‍රකාශ කරයි. ඇතැම් න්‍යායික පඬිවරයන් සිව්වන මුලාශ්‍රයක් ලෙස උපමාන (සමානකම්) එකතු කරයි. තවත් ඥානාන්විත පඬිවරයන් අර්ථපට්ටි (සම්බන්ධ/උපග්‍රහණය) පස්වන මුලාශ්‍රය ලෙසින් දක්වයි. ඒවා තමා විසින් ප්‍රත්‍යක්ෂ කරගත් ඒවා නොව අනිවාර්යයෙන්ම ඇඟවෙන්නේ වෙනත් යමකින් දැක, අසා හෝ ඔප්පු කර ඇති කරුණුයි. පුරාණයන් තුල සාක්ෂි සහ ජනප්‍රවාද ලෙස තවත් ආකාර ද්විත්වයක් එකතු කර තිබේ. මේ අනුව සනාථ කිරීමේ ක්‍රම සතක් තිබේ. එනමුත් වේදාන්ත ශාස්ත්‍ර තුල දැක්වෙන්නේ විශ්වයේ මූලය වන සර්වබලධාරි දෙවියන් (පරම් බ්‍රහ්ම) ඉහත දැක්වූ සප්ත සාධක ඔස්සේ අවබෝධ කළ නොහැකි බවයි. 

26-27. එබැවින් පළමුව, විශ්වාසයට මඟ පෙන්වන හේතුව වන බුද්ධිය වඩවා ගත යුතුය; වේදයන්ගේ වදන් තෝරා ගනිමින්, නැවත නැවතත්  සාකච්ඡා කරමින් බ්‍රහ්මන් ගැන ඔබේ නිගමන උකහා ගත යුතුයි. තවද, බුද්ධිමත් පුද්ගලයා විසින් අවබෝධයෙන් සහ නිවැරද ගුණධර්ම පිළිපැදිමෙන් ලද දේ ස්වයං සාක්‍ෂිය ලෙස පිළිගත යුතුය. 

28-33. බුද්ධිමතුන් පවසන ආකාරට සහ පුරාණ තුළ සඳහන් ආකාරයට මූල ශක්තිය බ්‍රහ්මා තුළ උත්පාදක ශක්තිය ලෙස පවතින බවත්, හරි තුළ සංරක්ෂණ ශක්තිය ලෙසින් පවතින බවත්, හර තුල සංහාරක ශක්තිය ලෙසින් පවතින බවත්; කුර්ම සහ අනන්ත ශේෂ තුළ ආධාරක ශක්තිය ලෙසත්; අග්නිය තුළ දහනය ලෙසින්ද; වායුව තුළ ප්‍රචලන ශක්තිය ලෙසින්; මේ ආකාරයට සෑම ස්ථානයක විවිධ ශක්ති ස්වරූපයන් ඔස්සේ පවතින බවයි. සමස්ථ විශ්වය තුළ ඔහු කවුරු වුවත් මෙම ශක්තිය අහිමි වුවහොත් ඔහුට කිසිඳු ක්‍රියාවක් සිදු කිරීමට නොහැකිය; මෙය පරයන යමක් තිබේද; ශිව හට කුල කුණ්ඩලිනී ශක්තිය අහිමි වුවහොත් ඔහු ප්‍රාණය රහිත සිරුරක් වනු ඇත; ඕ මහා ඍෂි වරුනි! ඇය  බ්‍රහ්මාගේ සිට කුඩා තෘණ පඳුර දක්වා චංචල නිශ්චල සියල්ලෙහි වාසය කරන්නීය; එම ශක්තිය රහිත වුවහොත් සියල්ල නිෂ්ක්‍රිය වන්නේය. සංග්‍රාමයක නිරත වීම හෝ කිසියම් ස්ථානයකට ගමන් කිරීම හෝ ආහාර ගැනීම පවා එම ශක්තිය රහිතව සිදු කළ නොහැකිය. 

34-38. මේ ආකාරයට බුද්ධිමතුන් එම සර්වබලධාරී ශක්තිය බ්‍රහ්මන් (ත්‍රීමුර්තියේ බ්‍රහ්මා නොවේ. බ්‍රහ්මන් පිළිබඳව ලිපිය පහළින්) ලෙසින් ආමන්ත්‍රණය කරයි. සත්‍ය වශයෙන්ම බුද්ධිමතුන් නිරතුරුවම විවිධාකාරයෙන් ඇයව පිදිය යුතු අතර ඇගේ යථාර්ථය සහ ගුණයන් සෑම ආකාරයකින්ම තීරණය කළ යුතුය.  විෂ්ණු තුළ සාත්ත්වික ශක්තිය ඇති හෙයින් ඔහුට සංරක්ෂණය කළ හැකිය; එසේ නොමැතිනම් එතුමා නිෂ්ඵල වනු ඇත; එමෙන්ම බ්‍රහ්මා තුළ රාජසික තිබෙන හෙයින් එතුමා නිර්මාණය කරයි; එසේ නොමැතිනම් නිෂ්ඵල වනු ඇත; ශිව තුළ තාමසික ඇති හෙයින් උන්වහන්සේ නිර්මාණය කරයි; එසේ නොමැති නම් එතුමා නිෂ්ඵල වන්නේය. මේ අනුව මනස තුළින් තර්ක කරන කල්හි උත්තරීතර ආද්‍යා ශක්තිය ඇයගේ ඉච්ඡාව අනුව මෙම චංචල නිශ්චල විශ්වය නිර්මාණය, සංරක්ෂණය මෙන්ම විනාශය කරන බව දැන ගත යුතුය; බ්‍රහ්මා, විෂ්ණු, ඉන්ද්‍ර, අග්නි, සූර්‍ය, වරුණ හෝ කිසිදු අයෙකුට එය සිදු කළ නොහැකිය. සත්‍ය වශයෙන්ම සියලු දේවතාවුන් තම කාර්‍යන් සිදු කරනු ලබන්නේ මෙම ආද්‍යා ශක්තිය භාවිතයෙනි.

39.42. ඇය ස්වකීයව හේතුව වන්නා සේම සියලු ක්‍රියාවන්ගේ ඵලයන් ලෙස විවිධාකාරයෙන් සාක්ෂි සපයයි. බුද්ධිමතුන් පවසන ආකාරයට ශක්තිය ආකාර ද්විත්වයකි; එනම් සගුණ සහ නිර්ගුණ වශයෙනි. පංච ඉන්දියයන් සහ බෞතික වස්තූන් කෙරෙහි බැඳි සිටින පුද්ගලයන් සගුණ ස්වරූපයන් වන්දනාමාන කරන අතර බෞතික වස්තූන් කෙරෙහි බන්ධනය නොවන්නන් නිර්ගුණ ස්වභාවය වන්දනාමන කරයි. එම සංවිඥානික ශක්තිය ධර්ම, අර්ථ, කාම සහ මෝක්ෂ ලෙසින් ජිවිතයේ චතුර්විද අරමුණු වන්නේය. රීතින්ට අනුව ඇයට නමස්කාර කරන විට ඇය සියලු ආකාරයේ ඉච්ඡාවන් ප්‍රදානය කරයි. මායාවට බන්ධනය වූ පෘතක්ජනයන් ඇයව කිසිසේත් නොදනී; ඇතැම් පුද්ගලයින් මදක් දැනගෙන අන් අයව ආකර්ෂණය කරගන්නේය;  කලි යුගයේ බලපෑමෙන් ඇතැම් අඥාන පණ්ඩිතයන් ඔවුන්ගේ පුද්ගලික විශ්වාසයන් පවත්වා ගැනීමට මිථ්‍යාදෘෂ්ටිය ව්‍යාප්ත කරනු ලබයි.

43-48. අහෝ භාග්‍යවත් මුණිවරුනි! වෛදික නියමයන් ගෙන් ඔබ්බට පවතින විවිධ මත පදනම්ව ඇති කලි යුගය මෙන් වෙනත් යුගයක් නොමැත. නැවත සළකා බලන කල්හි, බ්‍රහ්මා, විෂ්ණු සහ මහේශ සර්වබලධාරි ස්වරූප නම් කුමන හෙතුවක් අරභයා මනස සහ වචනය පරයන අන් අයෙකු උදේසා ධ්‍යාන වඩන්නෙහිද; එමෙන්ම ඔවුන්ගේ සාර්ථකත්වය උදෙසා යාගයන් සිදු කරන්නේ කුමකටද? සත්‍ය වශයෙන්ම ශක්ති දේවිය සර්ව උත්තරීතර බව ඔවුන් දන්නා හෙයින් නිරන්තරයෙන් ඇය උදෙසා ධ්‍යාන වඩයි.  එබැවින් බුද්ධිමත් පුද්ගලයා සෑම ආකාරයෙන්ම එම උත්තරීතර ශක්තිය උදෙසා සේවය කළ යුතු බව දන්නේය. ඕ මුණිවරුනි! සියලුම ශාස්ත්‍රයන්ගේ නිරවුල් නිගමනය මෙසේය.

49-50. මා මෙම සැඟවුනු මහා රහස ශ්‍රවණය කරනු ලැබුවේ භගවාන් ක්‍රිෂ්න ද්වෛපායනගේ ශ්‍රී මුඛයෙනි. ඔහු නාරදගෙන් ශ්‍රවණය කළ අතර, නාරද ශ්‍රවණය කළේ ඔහුගේ පියාණන් වන බ්‍රහ්මාගෙනි. බ්‍රහ්මා ශ්‍රවණය කරනු ලැබුවේ විෂ්ණුගෙනි. ඕ මුණිවරුනි! ප්‍රඥාවන්තයින් ඊට පටහැදි අනෙක් ශාස්ත්‍රයන් ශ්‍රවණය කිරීමද සුදුසු නොවේ; ඔවුන් තම හදවතින්ම බ්‍රහ්ම සනාතනී ශක්තිය උදෙසා සේවය කළ යුතුය.

වේද ව්‍යාස විසින් රචිත ශ්ලෝක 18,000 කින් සමන්විත ශ්‍රීමත් දේවී භාගවත මහාපුරාණයේ පළමු සර්ගයේ අටවැනි පරිච්ඡේදය මෙසේ අවසන් වේ.